ලෝකයේ හොඳම දරුවන් සිටින්නේ තමාට යැයි ශ්‍රීමා මැතිනිය විශ්වාස කළා | සිළුමිණ

ලෝකයේ හොඳම දරුවන් සිටින්නේ තමාට යැයි ශ්‍රීමා මැතිනිය විශ්වාස කළා

ආදරණීය අම්මා කෙනකුගේ වියෝවෙන් පසු නිවෙසේ ඇති වන පාළුව පාඩුව ගැන අමුතුවෙන් කිව යුතු නැත‍.

මේ කියන්නට යන පවුලේ ජීවය රැකගත් ඇය සදහටම ඔවුන් අතහැරගොස් ඒ වන විට දින හතරක්ව තිබිණි. ඇයගේ අවසන් කටයුතු සිදු කරන ලද්දේ අප එහි ගිය දිනට පෙර දිනයේය. සාලයේ පසෙක ඇත්තේ ඇගේ විශාල ප්‍රමාණයේ සේයාරුවකි. මුව පුරා හිනැහෙන ඒ සොඳුරු රුව අපූරුය. එහි දිස් වන්නේ දිවංගත අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ ප්‍රිය බිරිය වූ ශ්‍රීමා දිසානායක මැතිනියගේ රුවයි.

“එන්න, අපි මෙහෙන් ඉඳන් කතා කරමු.“

ශ්‍රීමා මැතිනියගේ පෞද්ගලික ලේකම්වරියව සිටි ප්‍රියන්ති පල්ලියගුරු මහත්මිය අප නිවෙස තුළට කැඳෙව්වාය.

ශ්‍රීමා දිසානායක මැතිනියගේ වියොවින් තැවෙන ඔවුන් හා කතාව කොතැනින් පටන් ගන්නේ දැයි සිතමින් සිටි මොහොතක අප අසලට ආවේ ඇමැති නවීන් දිසානායකගේ බිරිය වෛද්‍ය ලංකා ය.

“අම්මාගේ පින්තූර මේ තියෙන්නේ... මේවා හොඳද?“ ඇය තම ජංගම දුරකතනයේ ඇති ඡායාරූප එකිනෙක පෙන්වමින් අසන්නීය.

“අම්මා කවදාවත් මට නැන්දම්මා කෙනෙක් වුණේ නැහැ. මට සැලකුවේ ඇගේම දියණියට වගේ...“ ලංකා පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.

වසර තිහකට වැඩි කාලයක් ශ්‍රීමා දිසානායක මැතිනිය සමඟ එක්ව කටයුතු කළ ප්‍රියන්ති පල්ලියගුරු තම මතකය අවදි කරන්නට වූවාය.

“මගෙ ගම අම්පාර. කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ඉගෙනගත්ත මම උසස් පෙළ හැදෑරුවේ අම්පාර ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඒ කාලේ කොටි කලබල නිසා මම කොළඹ ආවා. මට භාෂා තුනම පුළුවන්. මම මුලින්ම ආවේ මැඩම් ළඟට නොවෙයි; සර් ගාවට. ඒ කාලේ ගාමිණි සර් ලංකා ජාතික වතුකම්කරු සංගමයේ සභාපති. මම ඒ කාර්යාලයේ තමයි සේවය කළේ. ඒ 1989 විතර. ඔය කාලේ තමයි දෝෂාභියෝගය ගෙනාවේ. සර්ව මේ කාලේ ඒ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කළා. මමත් එතනින් අයින් වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවකුගේ මාර්ගයෙන් ගාමිණි සර්ගේ කාර්යාලයට බැඳුණා. පස්සේ ගාමිණි සර් මේ රටේ හතර වැනි විධායක ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයකට සූදානම් වුණා. ඒත් ජනාධිපතිවරණයට සති දෙකක් තියෙද්දි තොටළඟ බෝම්බ ප්‍රහාරයෙන් සර් මියගියා. එතනදි එජාපයෙ ප්‍රබලයන් කිහිපදෙනකුම මැරුණා. සර්ගෙ මරණින් පස්සේ තමයි මට මැඩම් එක්ක සමීපව කටයුතු කරන්න ලැබුණේ. ඇය බොහෝම කාරුණික නිහතමානි කාන්තාවක්; ඒ වගේම ගුණයහපත් මවක්. ඇය ඇගේ දරුවන්ට පමණක් නොවෙයි; අපටත් බොහෝ ආදරය කළා. ඇගේ වෙන්ව යෑම අපට දරාගන්න බොහෝම අමාරුයි.“ ප්‍රියන්ති දුක්බර හඬින් පවසන්නීය.

“මැඩම් ඉගෙනගෙන තියෙන්නේ කොළඹ කාන්තා විද්‍යාලයේ. ඉන් පස්සේ කොළඹ නිතී පිඨයේ ඉගෙනුම ලබා තිබෙනවා. ශ්‍රීමා මැඩම්ට ගාමිණි සර්ව හමුවෙන්නේ නීතිවිද්‍යාලයේදි. මුලින්ම ඔවුන් අතර තිබී ඇත්තේ දැඩි යහළුකමක්. පසුව තමයි ඒ යහළුකම ප්‍රේමයකට පෙරළිලා තිබෙන්නේ. ගාමිණි සර්ගෙත් ශ්‍රීමා මැඩම්ගෙත් පවුල් දෙක අතරත් හොඳ බැඳීමක් තිබිලා තියෙනවා. ශ්‍රීමා මැඩම්ගේ පවුලේ අක්කයි අයියයි විතරයි ඉන්නේ. අයියා කීර්ති වේනදූව මහතා. ඔහු පසුගිය මාර්තු මාසයේ පළමු වැනිදා මියගියා. වැඩිමල් සහෝදරිය වෛද්‍යවරියක්. ඇය එංගලන්තයේ පදිංචිව සිටින්නේ. මේ හැමෝම හරිම එකමුතුයි.“ ප්‍රියන්ති පවසන්නීය.

ගාමිණි දිසානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස ශ්‍රීමා මැතිනිය ඉදිරිපත් වූවාය.

“මුලදී ශ්‍රීමා මැඩම්ගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ ජනාධිපති අපේක්ෂිකාව වෙන්න. ඒත් සර්ගෙ මරණයත් එක්ක ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයට වෙනත් කෙනකු යොදවන්න තරම් කාලයක් තිබුණෙ නැහැ. ඒ නිසා හැමෝම මැඩම්ගෙන් ඉල්ලීමක් කෙරුවා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න. මේ ජනාධිපතිවරණයෙන් පසු මැඩම් දේශපාලනයෙන් ඉවත් වුණා.“

ගාමිණී දිසානායක මහතාගේ මරණය සම්බන්ධයෙන් ඇය දැරුවේ මොන වගේ අදහසක්ද?

“සර්ගේ මරණය ගැන මැඩම් කවදාවත්ම කාටවත්ම ඇඟිල්ල දික්කළේ නැහැ. සර්ගෙ මරණයෙන් පස්සේ මැඩම් දරුවන්ට සර් නැති අඩුව දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. දරුවන් වෙනුවෙන් හැම යුතුකමක්ම ඉටු කෙරුවා. සර් ගැන මතක් කරන හැම මොහොතකම මැඩම්ට කතා කරගන්න බැරිව වචන හිර වෙනවා. ඒ දෙන්නා අතර පුදුම බැඳීමක් තිබුණේ.

සර්ගෙ මරණය වූ දවසේ උදේ වරුවේ සර් හිටියේ බිංගිරියේ; මැඩම් මාතර රැස්වීම්වල. කොහොම හරි එදා මැඩම් ගෙදර ඇවිල්ලා කාමරේ ඉඳලා තියෙන්නේ. සර් කුරණෑගල බිංගිරියේ රැස්වීමෙ ඉඳලා ඇවිත් තොටළඟ රැස්වීමට යන්න සූදානම් වෙලා, කරේ තිබුණ මාලෙ, සුර ඔක්කෝම ගලවලා බුදු ගෙයි තියලා තමයි වොෂ්-එකක් දාගන්න ගිහින් තියෙන්නේ. හැමදාම ගෙදරින් පිටවෙන කොට මැඩම්ට හාද්දක් දෙනවලු. එදත් සර් වාහනේට නැඟලා ආයෙත් මැඩම් ඉන්න තැනට ඇවිල්ලා. ආයෙත් වාහනේ ළඟට යන්න ගිහින් කවදාවත් නැතිව පස්ස හැරිලා බැලුවලු. රෑ දෙකට විතර තමයි මැඩම්ට ආරංචිය ලැබිලා තියෙන්නේ තොටළඟ බෝම්බය පුපුරලා සර්ටත් තුවාලයි කියලා. යාළුවෝ දෙන්නෙක් එක්ක මැඩම් රෝහලට යන කොට සර්ව ඇඳක දාලා තිබිලා. මැඩම්ට අදහාගන්න බැරි වුණාලු, සර්ගේ ඇ‍ඟේ තුවාලයක්වත් දකින්න ලැබිලා නැහැ. ඊට ටිකක් එහාට වෙන්න වෛද්‍යවරුන් ඔසී අබේගුණසේකර මහත්තයාට ප්‍රතිකාර කරමින් හිටියලු. මැඩම් හිතුවලු සර්ට මුකුත් වෙලා නැහැ කියලා...

"කොහොම වුණත් පුතාලා දෙන්නා දේශපාලනයට එනවට මැඩම් කැමැති වුණේම නැහැ. එත් මැඩම්ට අදහසක් තිබුණා ගාමිණි දිසානායක මහතා නතර කරපු තැනින් එතුමාගේ වැඩපිළිවෙළ පටන් ගන්න ඕනෑ කියලා. දරුවන්ටත් ඒ අදහසම තිබුණා. 1995 මාර්තු 20 සර්ගේ උපන්දිනය දවසේ තමයි ගාමිණි දිසානායක පදනම ආරම්භ කළේ. දරුවන් සඳහා පරිගණක හා ඉංග්‍රීසි පුහුණුව වගේම තාක්ෂණික හා වෘත්තීය පුහුණුව දීම මේ පදනමෙන් අද දක්වාම කෙරෙනවා. මේ පාඨමාලාව පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ වන විට තරුණ-තරුණියන් 3,000ක් පමණ මෙහි ඉගෙනුම ලබා තිබෙනවා.

ඇය දරුවන් ගැන හිතුවේ කොහොමද?

අම්මා සහ දරුවන් අතර තිබුණේ ලොකු බැඳීමක්. මැඩම් හැමදාම හිතුවේ ලෝකෙ හොඳම දරුවන් ඉන්නේ මැඩම්ට කියලා. මං එහෙම කියන්නේ මෙන්න මේ නිසයි. යම් දේශපාලනඥයකුගේ දුවක පුතකු වැරදි වැඩක් කරලා ඒ ගැන දැනගන්න ලැබුණාම මැඩම් කියනවා ‘ප්‍රියන්ති, මං හරි වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ පුත්තු මට ආඩම්බරයක්‘ කියලා. මැඩම් එහෙම කියන්නේ මයන්ත සර් හා නවීන් සර් බොහෝම ගුණගරුක පුතුන් දෙදෙනෙක් කියලා විශ්වාස කරන නිසා.

දරුවන් අම්මා ගැන හිතුවේ කොහොමද?

ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී මැඩම්ට හාට් ඇටෑක්-එකක් ආවා. මැඩම්ව රෝහල්ගත කෙරුණා. ශල්‍යාගාරයේදී නැවතත් ඇටෑක්-එකක් ඇවිල්ලා. මැඩම්ගේ ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙන්නේ. ඒ වෙලාවෙදි ‘අම්මේ! මාව දාලා යන්න එපා...‘ කියලා මයන්ත සර් කෑගහලා අඬලා තිබුණා. මැඩම්ට එදා ජීවිතය ලැබුණා. මේ දරුවෝ තුන්දෙනා අම්මව හොඳින් බලාගත්තා.

ගාමිණි දිසානායක පවුලට නොම්මර 45 ගෙදර බොහෝම ප්‍රසිද්ධ තැනක් නේද?

ඔව්. කොළම 03, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානයේ, නොම්මර 45 ගෙදර ඕනෑම වේලාවක ඕනෑම කෙනකුට විවෘතයි. සර් හමු වෙන්න එන අයට, සර් හිටියේ නැත් නම් මැඩම් කතා කරලා සංග්‍රහ කරලා යවනවා. මැඩම් පුදුමාකාර නිරහංකාර කෙනෙක්. සිංහල අවුරුද්දට ගොඩක් අය සර්වයි මැඩම්වයි බලන්න ආවා. මගේ පුතා කවදාවත් සිංහල අවුරුද්දට ගෙදරින් කිරිබත් කන්නේ නැහැ. එයා හැමදාම මෙහෙ ඇවිත් මැඩම්ගේ අතින් තමයි අවුරුද්දේ ඉස්සෙල්ලාම කිරිබත් කෑවේ. සර්ගෙ උපන්දිනය දවසටයි, සර්ගේ ගුණ සැමරුම් උත්සවය දවසටයි දැනුම් දීමකින් තොරව එන පිරිසක් හැමදාම ඉන්නවා. මම අදත් විශ්වාස කරනවා මැඩම්ගෙ ගතිගුණ දෙවැනි වෙන්නේ ජේ. ආර්. ජයවර්ධන ආර්යාවට පමණයි.

දේශපාලනය හැරුණු විට ඇය ආශා කළේ වෙන මොනවාටද?

මැඩම් පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා. මැඩම් චිත්‍රපට ගීතවලට බොහෝම කැමැතියි. විශේෂයෙන්ම මනමේ, සිංහබාහු, මුහුදු පුත්තු නාට්‍ය ගීතවලට කැමැතියි. ගාමිණි දිසානායක මහත්තයා වැඩියෙන්ම ආශා කළේ ‘හෙළ ජාතික අභිමානේ‘ ගීතයට. ඒ වගේම තමයි මැඩම් පොත්වලට කැමැතියි. මැඩම්ට යාළුවෝ ගොඩාක් හිටියා. ඔවුන් අතර බුක් ක්ලබ්-එකක් තිබුණා. ඒ අය දවසක හමු වෙනවා; ඔවුන් කියවපු පොත් හුවමාරු කරගන්නවා. බයිබලය, කුරානය ආදි ආගමික පොත් මැඩම් කියවලා තියෙනවා. මැඩම් අන්තිමට බැලුවේ ‘ඝරසරප‘ චිත්‍රපටය. විවේක තියෙන වෙලාට ඇය අපත් සමඟ ගීත ගැන කතා කරනවා. මැඩම්ට ජපානයේ ‘යසනි‘ කියලා පූජක පවුලක් සමඟ දිගුකාලින යහළුකමක් තිබුණා. ඇය ඔවුන් හමු වීමට එහි යනවා. මැඩම්ගේ ලොකුම ආශාව තිබුණේ මුනුපුරු මහේන්ද්‍රන් නිතිඥයකු ලෙස දිවුරුම් දෙන දවසේ එයට සහභාගි වීම. ඒත් ලෙඩ වුණ නිසා ඇයට ඊට සහභාගි වෙන්න බැරි වුණා.

නොම්බර 45 ගෙදර පොකුණක් තිබුණා. ඒ පොකුණේ මාළු හිටියා. අපි පොකුණ ගාවට ගිහිල්ලා කතා කළාට මාළු එන්නේ නෑ. ඒත් මැඩම් පොකුණ ගාවට ඇවිල්ලා විසිල් එකක් ගැහුවාම මාළු ටික ඔක්කෝම ළඟට එනවා. ඇය සතුන්ට ඉතා ආදරෙයි. අපට මනුස්සකම කියලා දුන්නෙත් ශ්‍රීමා මැඩම්.

ඒත් මැඩම් කවදාවත් කිසිම දෙයකට දැඩිව ආශා කළ කෙනෙක් නොවෙයි. ඇය කිසිම දෙයක් තමන් සන්තකව තබාගත්තේ නැහැ; හැම දෙයක්ම දරුවන්ට බෙදා දුන්නා. ඇය කවදාවත් ලෝභකමකින්, ද්වේෂයකින් ඉන්නවා මම දැකලා නැහැ. ඇය බොහෝ දන්-පින් කළ කෙනෙක්. ඇගේ වියෝවත් සමඟ අපේ ජීවිත හිස් වෙලා කියලයි මට හිතෙන්නේ...“

තිස් වසරක් පුරා ශ්‍රීමා දිසානායක මහත්මියගේ පෞද්ගලික ලේකම්වරිය පමණක්ම නොව; ඇයගේ සමීපතම යෙහෙළියක ලෙසද කටයුතු කළ ප්‍රියන්ති පවසන්නේ දෑසේ නැඟි කඳුළක් පිස-දමමිනි.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments