සුද්දගේ කාලේ ලක්වැසියා බියගන්්නන්න ඇන්ද කාකි නිල ඇඳුමට මෙදා පාර වෙනසක් | Page 3 | සිළුමිණ

සුද්දගේ කාලේ ලක්වැසියා බියගන්්නන්න ඇන්ද කාකි නිල ඇඳුමට මෙදා පාර වෙනසක්

  • දියුණු රටවල ඇසට ප්‍රිය පොලිස් නිල ඇඳුමක්
  • එදා පොලිස් විදානගේ නිල ඇඳුම මඩකලපු සරමයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පසු කරමින් සිටින්නේ 153 වැනි වර්ෂයයි. ගුණාත්මක හා ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීම සඳහා පොලිසිය තුළ සිදු කරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් එක් පියවරක් ලෙස පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමට පියවර ගන්නා බව පසුගිය 28 වැනි දා කොස්ගම නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අවධාරණය කර සිටියේය.

දෙදහස් නවය වසරේ පත්වූ තිස් දෙවැනි පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා සමයේ සිටම කතාබහට ලක් වන මෙරට පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම වෙනස් කිරීම ගැන හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සාගල රත්නායක මහතා සමයේදීද බොහෝ සේ කතාබහක් ඇති විණි. ඊට පොලිස් නිලධාරින් දක්වන ප්‍රතිචාර ගැන විමසමින් පසුගිය සමයේ සංගණනයක්ද සිදු වී තිබිණි. එහෙත් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු වගටද වාර්තා විණි.

අතීතයේදී අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍ර පැවැති රටවල ස්වදේශික ජනයා පීඩාවට පත් කරමින් බලය තහවුරු කරගැනීමට භාවිත කළ නිල ඇඳුමක් සේ කාකි ඇඳුමින් යුත් වත්මන් පොලිස් නිල ඇඳුම සැලැකේ.

ඒ නිසා දියුණු රටවල පොලිස් නිලධාරින් භාවිත කරන ආකාරයේ ඇසට ප්‍රිය පොලිස් නිල ඇඳුමක අවශ්‍යතාව මේ මොහොතේ මෙරටට අවැසි බව හැඟි යන්නෙ පොලිසිය හා මහජනයා අතර මනා සබඳතාවක් ගොඩ නඟාගැනීම වෙනුවෙනි. එසේම වත්මන් මෙරට පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුම් තවත් රාජ්‍ය ආයතන කීපයකම නිල ඇඳුමක් ලෙස භාවිත කිරීමට යම් ආකාරයක ගැටලුකාරි තත්ත්වයකි.

එසේම අප රටට ආසන්නතම ඉන්දියාවද මේ වන විට ක්‍රමයෙන් දියුණු රටවල හා සමානව පොලිස් නිල ඇඳුම කාකි ඇඳුමෙන් වෙනස් වී මහජනයාට ප්‍රිය උපදවන ආකාරයට වෙනස් වෙමින් තිබෙන බව මෙරට උසස් පොලිස් නිලධාරියෙක්ද අපට පැවැසීය.

මේ වන විට හත් වතාවකදී වෙනසකට භාජනය වී ඇති මෙරට පොලිස් නිල ඇඳුමේ විකාශය ගැන පුළුල් විවරණයක් කළේ මෙරට පොලිස් ඉතිහාසය ගැන මනා දැනුමකින් යුත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතායි.

1866 මනා සංවිධානාත්මකව බිහි වූ වත්මන් මෙරට පොලිස් සේවය ඊට පෙර 1805 අංක 14 දරන පනතින් අසංවිධානාත්මක පොලිස් සේවයක් ලෙස බිහි වී ඇත. ඒ අනුව එදා ඉංග්‍රිසි පාලකයන් විසින් පොලිස් විදානේ නමැති තනතුර හඳුන්වා දී ඇත. එසේ බිහි වූ පොලිස් විදානේ තනතුරට අදාළ වූ නිල ඇඳුම වී ඇත්තේ අදටත් මඩකලපු සරම ලෙසින් ප්‍රකට සරම සහ කාකි කබායකි. බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය සහිත බඳ පටිය සහ පපුව හරහා පලඳින බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය සහිත බාපනයක්ද ඊට අයත් විය. ඊට අමතරව එදා පොලිස් විදානේ නිල ඇඳුමේ අංගයක් ලෙසට කිරිච්චියද එක් කොට ඇත. එහෙත් එදවස නිල ඇඳුමට පාවහන් නොතිබූ බවටද සැලවේ.

එම පොලිස් විදානේ නිල ඇඳුම දෙවන වතාවට වෙනස් වී ඇත්තේ වසර 42කට පසුව 1848 වසරේදියි. අත්දිග කරපියවූ කමිසය සහ ප්‍රථම වතාවට පොලිස් නිලධාරි නිල ඇඳුමට කලිසම එක් වෙමින් කාකි කලිසම සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡන සහිත බඳ පටියක්ද ඊට ඇතුළත් විණි. එසේම රෙදිවලින් නිමැවූ හිස්වැසුමක් මෙන්ම පාවහන් යුගලක්ද භාවිත කර තිබේ.

එම නිල ඇඳුමේ ආයු කාලය අවසන් වී තිබුණේ 1864 වසරේදීයි. එම වර්ෂය පොලිස් දෙපාර්තමේන්තුවට තවත් ලෙසකින් වැදගත් වන්නෙ නිල රාජකාරියේදී දිවිපිදූ ප්‍රථම පොලිස් නිලධාරියා වන පොලිස් කොස්තාපල් සභාන්ගේ මරණයද එම වර්ෂයේදීම සිදුවූ හෙයිනි. මෙරට විසූ බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරියෙකු වූ එෆ්. ආර්. සෝන්ඩර්ස්ගේ මූලිකත්වයෙන් වෙනස් වූ එම නිල ඇඳුමට දිග කලිසමත්, කරපියවූ කබායත්, ඉණ වටා පලඳින බ්‍රිතාන්‍ය ලාංඡන සහිත බඳපටිය, පිත්තල බොත්තම්, පාවහන් සහ නිල අඳුමේ රෙද්දෙන්ම නිමැවූ හිස්වැස්මක් අයත් විය. එම හිස්වැස්ම මධ්‍යයේ නිලධාරින්ගේ නිල අංකයද ප්‍රදර්ශනය කෙරිණි. එසේම එම නිල ඇඳුම නිමවා තිබුණේ බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරින් භාවිත කළ සර්ජ් නමැති රෙද්දෙනි.

අනතුරුව නිල වශයෙන් නූතන පොලිස් දෙපාර්තමේන්තුව බිහි වූ 1866 සැප්තැම්බර් 03 වැනිදා සිවු වන වරටත් පොලිස් නිල ඇඳුම වෙනසකට භාජනය වී ඇත. ඒ වත්මන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස සැලැකෙන ජෝර්ජ් රොබට් විලියම් කැම්බල් මහතාගේ මූලිකත්වයෙනි. බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් වූ එයද සර්ජ් රෙද්දෙන් නිමවා ඇත. එසේම එම නිල ඇඳුම 1864 වසරේ හඳුන්වා දුන් නිල ඇඳුමට බොහෝ සෙයින් සමාන වූවකි. වෙනසකට තිබී ඇත්තේ හිස්වැස්ම වෙනුවට නිකට වටා පටියක් සහිත රෙදි තොප්පියක් සමඟ අත් ලාංඡන සහ නළාවක් එක් කිරීමයි. එම නිල ඇඳුම මෙතෙක් පොලිස් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පැවැති නිල අඳුම ලෙස ඉතිහාසගත වී තිබේ. ඒ වසර 59 කි.

ඒ අනුව නැවතත් පස් වන වරට නිල ඇඳුමේ වෙනසක් වන්නෙ 1925 වසරේයි. අට වන පොලිස්පතිවරයා ලෙස පත්වූ හර්බට් ලෙයාර්ඩ් ඩව්බිගින් සමයේ වූ එම නිල ඇඳුමේ වෙනසත් සමඟ සර්ජ් රෙද්දෙන් මැසු නිල ඇඳුමටද තිත තැබිණි. අනතුරුව වත්මනෙහිද භාවිත වන කාකි පැහැති රෙද්දෙන් නිල ඇඳුම හඳුන්වා දී ඇත්තේ එවරයි. එම නිල ඇඳුම දණහිස වැසුණු කොට කලිසමකින් සහ කබායකින් සමන්විතය. ලාංඡන සහිත බඳපටියක් මෙන්ම කැන්වස් වර්ගයේ හිස්වැස්මක්ද ඊට අයත්ව තිබී ඇත. ඊට අමතරව පාවහන් සහ මේස් වෙනුවට විලුඹේ සිට දණහිස දක්වා වෙළන ලද කළු පැහැති පටියක්ද භාවිත කර ඇත. නිල ඇඳුම් කබායේ දකුණුපස සාක්කුවට ඉහළින් නිලධාරි අංකය සඳහන් විණි.

පොලිස්පති සර් රිචඩ් අලුවිහාරේ සමයේදී, එනම් 1947 දී සයවන වරට වෙනස්වූ පොලිස් නිල ඇඳුම 1925 ඇඳුම සේම කොට කලිසමකින් යුක්ත විය. එහෙත් පෙරදී 'බම්බු කලිසම' ලෙස හැඳින්වූ කලිසමට වඩා එවර වෙනස් වූ කලිසම දණහිසට අඟල් කීපයක් දක්වා ‍කොට වී ඇත.

පෙරදී අපහසු පලඳනාවක් වූ දණහිස දක්වා වෙළන ලද කළු පැහැති පටිය වෙනුවට කළු පැහැති මේස් පැලඳීම සිදු වී ඇත. එතැන් පටන් වසර 27ක් කොට කලිසම් ඇඳි පොලිස් නිල ඇඳුම අහෝසි කරමින් හත් වන වරට මෙන්ම අවසානයට මෙරට පොලිස් නිල ඇඳුම වෙනස් වී තිබුණේ 1974 වර්ෂයේදීයි. ඒ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුව පොලිස්පති ස්ටැන්ලි සේනානායක සමයේයි.

වත්මනෙහි පොලිස් නිලධාරින් භාවිත කරන 1974 වෙනස් වූ නිල ඇඳුමේ ආයු කාලය මේ වන විට වසර 45කි. එම නිල ඇඳුමේ පලඳනාවල වෙනස්කම් දෙකක් 1978 වසරේදී සිදුවී තිබිණි. එතැන් පටන් මේ දක්වා කිසිදු වෙනස්කමකට ලක් නොවූ වත්මන් නිල ඇඳුම ගැන නැවතත් මේ වන විට කතාබහක් ඇති වී තිබේ.

මේ වන විට නිශ්චිත තීන්දු තීරණ ගනිමින් සිටින පොලිස් නිල ඇඳුමේ 'වෙනස' කුමනාකාරයෙන් සිදුවේද යන්න සැවොම බලා සිටී.

 

Comments