
ක්‍රීඩාවේ මූලික පරමාර්ථ මුළුමනින්ම ව්‍යසනයට ලක් වෙමින් ඇත. ක්‍රීඩාව තුළ තිබූ මනුස්සකම් හා හැදිච්චකම් හා මහත්මා ලක්ෂණ වෙනුවට අමනුස්සකම් හා නැහැදිච්චකම් කිසි දා නැති තරමින් මතු වෙමින් තිබේ. දැන් දැන් ක්‍රීඩා පිටි තුළ දී එළිදකින මැරකම් හා දාමරිකකම් ඊට නිදසුන්ය.
ක්‍රීඩා පිටියක් තුළ සිදු වූ එවන් නැහැදිච්චකමක් ගැන යළිත් අපට කතා කරන්නට සිදු වී තිබේ. ඒ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ගල්කිස්ස ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල අතර පැවැති වයස අවුරුදු 19න් පහළ පළමු කොටස් එක්දින ශූරතාව වෙනුවෙන් පැවැති අවසන් තරගයේදීය. ශාන්ත තෝමස් කණ්ඩායම තරගය ජය ගැනීමත් සමඟ ම පිටියට කලහකාරී ලෙස කඩා වැදුණු රිච්මන්ඩ් පාර්ශ්වයේ පිරිසක් ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායක සිතාර හපුහින්න ඇතුළු ක්‍රීඩකයන්ටත්, කණ්ඩායම් භාර ආචාර්යවරයාටත් පහර දුන්හ. පරාජිත රිච්මන්ඩ් සපෝටර්ස්ලාගේ දෙකේ පන්තියේ ක්‍රියා කලාපය පිට්ටනිය වසුරු බිමක් බවට පත් කළ අයුරු අප බලා සිටියේ ශෝකයෙනි.
එවැනි සිදු වීමක් වාර්තා වන මුල්ම අවස්ථාව මෙය නොවේ. එහෙත් මේ අශ්ලීල හැසිරීම් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමේ ඉතිහාසයක් තිබේ. පසුගිය වකවානුව තුළ එවැනි තුට්ටු දෙකේ මදාවිකම් ක්‍රිකට් පිටියෙන් වාර්තා වූයේ අහම්බෙනි. එහෙත් යළිත් ඒ ගෝත්‍රික හැසිරීම් එළි බැස තිබේ.
තරගයක ජය පරාජය විඳ දරාගැනීමට නොහැකි මෝඩයන්ගෙන් ලාංකේය ක්‍රීඩාවට පමණක් නොව සමාජයටවත් ශත පහක වැඩක් නැත.
තරගයක ඇත්තේ ජය සහ පරාජයයි. මෙහි අතරමැදි ගනුදෙනුවට බොහෝ දෙනා අකැමැතිය. ඒ අනෙකාට දෙවැනි වන්නට ඇති අකැමැත්තය. එකී කතාබහ ක්‍රීඩා පිටියේදී වඩා තිව්ර වන විට අනෙක් තැන්වලදී තරගයට ඇත්තේ තවත් තරගයකි. බොහෝ විට මේ ව්‍යසනය කරන්නේ ක්‍රිකට් විඳින්නන් නොව, තරග බලන්නට එන බේබද්දෝය. ඔවුන්ගේ විකල් වූ ආවේගයන්ය. ඒ පිළිබඳව අප පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා විමසුවෙමු. ඔහු ඩිල්ෂාන් සිල්වා ය. ඩිල්ෂාන් අපට කියන්නේ ඔහුත් මේ මදාවියන්ගෙන් බේරුණේ අපහසුවෙන් බවය.
“මේ පිරිස මටත් තර්ජනය කළා.“ රිච්මන්ඩ් මැරයන් ඔහුට කළ පීඩාව ගැන සිහි කරමින් ඩිල්ෂාන් අප හා කතා කළේය.
“තර්ජනය කළ අය මම හඳුනනවා. තරගය හොඳට ගියා. අඩුපාඩුවක් කියන්න බෑ. පරාජය දරාගන්න බැරිව තමයි මේ දේ කළේ. රිච්මන්ඩ් විද්‍යාලයට අපට කිසි ම දෙයක් කියන්න බෑ. තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හෝ පුහුණුකරු මෙයට සම්බන්ධ නෑ. ඒ නිසා විද්‍යාලයට එරෙහිව කටයුතු කරන්න බෑ.“
“තරගය අවසන් කරන්න ඔන්න මෙන්න කියලා තියන කොට ම රිච්මන්ඩ් ආධාරකරුවන් පරාජය දරාගන්න බැරුව වියරුවෙන් වගේ හැසිරෙන්න ගත්තා. අපි තරගයට අවශ්‍ය ආරක්ෂාව පවා යොදවලා තිබ්බේ. ක්‍රීඩාංගණයට බීමතින් එන එක හරි මත්පැන් ගේන එක හරි අපට නවත්වන්න පුළුවන්කමක් නෑ. පරාජය දරා ගන්න බැරිකම තමයි එවැනි පහරදීම්වලට හේතු වෙන්නේ. මේ ගැටලුව තවදුරටත් අපට ඉදිරියට ගෙන යන්න වුවමනාවක් නෑ. ආරාධිත කණ්ඩායමක් තමන්ගේ ප්‍රදේශයට ආවම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා වගකීමක් ඔවුන් බාර ගන්න ඕනෑ. සටන තිබෙන්න ඕනෑ පන්දුවක් සහ පිත්ත අතර මිසක් අතින් පයින් නොවෙයි. ශාන්ත තෝමස් නායකයාට තමයි කට්ටිය වට කරගෙන ගැහුවේ. එහෙම දේවල් වෙන්න හොඳ නෑ. ක්‍රීඩාව ගැන නොදන්න, ජය පරාජය අඳුරන්නේ නැති සුළු පිරිසක් නිසා අද ගාල්ලට ම නින්දා අපහාස විඳින්න සිද්ධ වෙලා තිබෙනවා. මේ ගැන මගේ පැමිණිල්ලත් දාලා තියෙන්නේ.“
දැන් සිද්ධිය පොලිසියේය. පොලිසී උසාවි ගානේ ගොස් තීරණ ලබා ගැනීම සඳහා ක්‍රිකට් තරග පැවැත්විය යුතු නැත. ක්‍රිකට් පාතාල ක්‍රීඩාවක් නොවේ. පාතාලයට ඇද වැටෙමින් ඇති මහත්වරුන්ගේ ක්‍රීඩාවේ වර්ණය රැකගැනීම කළ යුතු වන්නේත් ක්‍රීඩාවට ප්‍රේම කරන ක්‍රීඩා ලෝලීන්මය.