දියවැඩියා සහ හදවත් රෝගීන්ටත් සුදුසු අවුරුදු කෑම මේසයක අපූරුව! | සිළුමිණ

දියවැඩියා සහ හදවත් රෝගීන්ටත් සුදුසු අවුරුදු කෑම මේසයක අපූරුව!

වස විස නැති දේශීය සහල් පිටි ගන්න වෙද මුං ඇටවලින් මුං කැවුම් හදන්න පිරිසුදු කිතුල් හකුරු, කිතුල් පැණි, පිරිසුදු පොල්තෙල් භාවිත කරන්න සාම්ප්‍රදායික සහලකින් කිරි බත් පිසින්න

කැවුම් කොකිස් නැති අවුරුද්ද, අවුරුද්දක් නොවේ යනුවෙන් අප සැලකීමට පුරුදු වූයේ සිංහල අලුත් අවුරුදු කෑම මේසයට කැවුම්, කොකිස් අනිවාර්ය දෙයක් වූ නිසා ය. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, අතිරස, කොකිස්, අග්ගලා, අළුවා, වැලි තලප යන කැවිලි සමඟ කිරි බතෙන් ද කෙසෙල්වලින් ද සැරසෙන කෑම මේසය වටා රොක් වන පිරිස ඒවා භුක්ති විඳින්නේ රසය ගැන මිස ගුණය ගැන නම් සිතා නොවේ. එහෙත් පැණි රස මෙන් ම තෙල් අධික ආහාරවලින් සමන්විත සිංහල අලුත් අවුරුදු කෑම මේසය පෝෂණ ගුණය රැකෙන ආකාරයට සකස් කරගත හැකි ය.

අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ලබන මේ මොහොතේ හෙළයන්ගේ ප්‍රාර්ථනාව අනුව ආයු, වණ්ණ, සැප සහ නුවණ වැඩි දියුණු වන ආකාරයට නිවැරැදි ආහාර වේලක් සකස් කරගැනීමේ

අගය අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ.

කැවුම්, කොකිස්, අතිරස වැනි කැවිලි පිළියෙල කරගැනීමේදී වස විසෙන් තොර පාරම්පරික සහල් කැකුලට කොටා ලබාගත් පිටිවලින් කැවිලි සකස් කළ යුතු ය. ඒ සඳහා පච්ච පෙරුමාල්, කළු හීනටි හාල් වැනි සාම්ප්‍රදායික සහල් යොදාගත හැකි ය. මන්ද වස විසෙන් තොර සහල්වලින් ගත් පිටි කැවිලි සඳහා භාවිත කිරීමෙන් නිසි පෝෂණ ගුණය ලැබෙන බැවිනි.

වර්තමානයේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා වගා කරන සහලින් ලැබෙන පෝෂණයක් නැත. එයින් අප සිරුරට ලැබෙන එකම දෙය වස විස පමණි. එම සහලින් සකස් කරගත් කැවිලිවලින් ද කිරිබතෙන් ද ශරීරගත වන්නේ එම වස විසම නොවේද? එබැවින් කහමාල, කහවණු වැනි සාම්ප්‍රදායික සහලින් කිරිබත් පිස ගැනීමෙනුත් පාරම්පරික සහල් කොටාගත් පිටිවලින් කැවිලි පිළියෙල කරගැනීමෙනුත් අලුත් අවුරුදු මේසයේ පෝෂණ ගුණය රැකගත හැකි ය.

එමෙන් ම මුංකැවුම් පිළියෙල කරගැනීමේදී ‘වෙද මුං ඇට’ යොදා ගැනීම වටී. මන්ද සාමාන්‍ය මුංඇටවලට වඩා පාරම්පරික ‘වෙද මුංඇට’ පෝෂණ ගුණයෙන් ඉහළ අගයක් ගන්නා නිසා ය. ඊට අමතරව තල, කුරහන්, කුදර යන ධාන්‍ය යොදා පිළියෙල කරගන්නා තල කැරලි, කුරහන් හැලප වැනි කැවිලි වර්ග අවුරුදු මේසයට එක් කරගැනීමෙන් නිසි පෝෂණයක් ලබාගත හැකි ය.

එම කැවිලි පිළියෙල කරගැනීම සඳහා පිරිසුදු කිතුල් පැණි සහ කිතුල් හකුරු මුසු කරගැනීමෙන් සීනිවලින් ලැබෙන අහිතකර ප්‍රතිඵල වෙනුවට පැණි රස සහ සෞඛ්‍ය සම්පන්න බවින් සපිරි කැවිලි ආහාරයට ගත හැකි ය. අද වෙළෙඳපොළේ තිබෙන පොල් පැණිවලට සීනි කලවම් කර ඇති බැවින් පිරිසුදු පොල් පැණිවලින් ලබාගත හැකි පෝෂණ ගුණය ජනතාවට ලබාගැනීමට නොහැකි වී තිබේ. නැති නම් පිරිසුදු පොල්පැණි අතීතයේ විසූ අය භාවිත කර ඇති බවට සාක්ෂි ඇත.

අවුරුදු කැවිලි ගැන කතා කිරීමේදී පොල් තෙල් ගැන විශේෂයෙන් කතා කළ යුතු ය. මන්ද කැවුම්, කොකිස්, පැණි වළලු වැනි කැවිලි බොහෝමයක් තෙලෙන් බැද ගන්නා නිසා ය. පොල් තෙල් කොලෙස්ටරෝල් ඉහළ නැංවීමට හේතුවකි. හෘද රෝගීන්ටත් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයටත් පොල්තෙල් සුදුසු නැත. නමුත් පිරිසුදු පොල්තෙල් භාවිත කිරීමෙන් බදින කැවිලි ශරීර සෞඛ්‍යයට අහිතකර නැත. වර්තමානයේ ෆාම්තෙල්, සෝයා තෙල් වැනි විවිධ තෙල් වර්ග කලවම් කරමින් නිපදවන පොල් තෙල් භාවිතයෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවෙන අතර අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයටත් හෘද රෝගීන්ටත් රෝගී තත්ත්වයන් තව තවත් වැඩි කරනු ඇත. නිරෝගී අයකුට වුවද අද වෙළෙඳපොළේ තිබෙන පොල් තෙල් සුදුසු නැත. එහෙත් හිඳ ගන්නා පොල්තෙල් නිරෝගී අයට පමණක් නොව කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පෙළෙන අයට ද ඉතාම සුදුසු ය. පිරිසුදු පොල් තෙල් එම රෝග පාලනය කරයි. අද වන විට නිවසේදීම පොල් තෙල් හිඳ ගන්නා උපකරණ ඇති බැවින් පිරිසුදු පොල් තෙල් නිවසේදීම පිළියෙල කරගත හැකි ය.

මේ අනුව කලවම් නොකළ පොල් තෙල්, කලවම් නොකළ පොල් පැණි හා කිතුල් පැණි යොදා පාරම්පරික සහල් පිටිවලින් පිළියෙල කළ කැවිලි අනුභව කිරීමෙන් නිවැරැදි පෝෂණ ගුණය ලබාගත හැකි බව සඳහන් කරන්නේ අවුරුදු කැවිලි පෙවිලි ඉදිරියේ සුසුම් හෙළමින් ළතැවෙන හෘද රෝග, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන්ගේ සතුට වෙනුවෙනි.

අවුරුදු කෑම මේසයට කෘෂි රසායනික ද්‍රව්‍ය නොයෙදූ කෙසෙල් ඇවරියක් එක් කරගැනීම ද නිරෝගී දිවි පෙවෙතකට ඉවහල් වේ. පෝෂණ ගුණයෙන් අධික රත් කෙහෙල්, නේත්‍රපලංම්, පූවාලු වැනි කෙසෙල් ඇවරියක් කෑම මේසය මත තැබීමට හැකි නම් එය ඉතා අගනේ ය. රසායනික ද්‍රව්‍ය සංයෝග නොකළ කෙසෙල් මිල දී ගත හැකි වන්නේ වෙළෙඳ පොළෙන් නම් නොවේ. ගමේ ගොඩේ විකුණන, කඩමැස්සක විකුණන කෙසෙල් කැන්වලිනි.

සිංහල අවුරුදු දිනයේ නැකැත් වේලාවට පිසගන්නා කිරිබත එළකිරෙන් පිස ගත හැකි නම් එය පෝෂණ ගුණයෙන් අධික ය.

සිංහල අවුරුද්දේ ගමේ වැඩිහිටියන්ටත් නෑදෑහිතවතුන්ටත් බුලත් අතක් දී කතා කර වරදක් සිදුවිණි නම් සමාව ඉල්ලා සිටීම හෙළ සිරිතේ මුල් තැනක් ලැබෙන වැදගත් චාරිත්‍රයකි. ඒ සඳහා පිළිකා කාරක දුම්කොළය ඉවත් කර, පිළිකා ගුණ නසන බුලත් පමණක් යොදාගත යුතු ය.

වර්තමානයේ බොහෝ නිවෙස් තුළ කැවිලි පෙවිලි තැන්පත් කර තබන්නේ ප්ලාස්ටික් බඳුන්වලය. එහෙත් උණු උණු කැවුම් කොකිස් ප්ලාස්ටික් භාජනවල තැන්පත් කිරීමෙන් ඒවා ප්ලාස්ටික් සමඟ ප්‍රතික්‍රියා කර, ශරීරයට අහිතකර රසායනික සංයෝග නිපදවේ. එබැවින් කැවිලි පෙවිලි ප්ලාස්ටික් භාජනවල අසුරා තැබීම වෙනුවට මැටි වළං තුළ හෝ පන් කොළ පෙට්ටිවල ඇසිරීමෙන් ඒවායේ ඇති තෙල් උරාගෙන නිවැරැදි පෝෂණයෙන් යුතු කැවිලි පෙවිලි ආහාරයට ගත හැකි ය.

කෙසේ වුව ද මෙම සිංහල අලුත් අවුරුද්දේ තිරිඟු පිටි යොදා සකස් කළ කේක්, බිස්කට් වැනි ආහාර ඉවත ලා නිවැරැදි ආකාරයට සකස් කළ කැවුම්, කොකිස්, අළුවා, වැලිතලප, මුංගුලි, උඳුවැල්, තලගුලි, හැලප වැනි දේශීය කැවිලි වර්ග අනුභව කිරීමෙන් ආයුෂ, වර්ණය, නිරෝගී බව වැඩි කර ගත හැකි ය.

(වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි)

සටහන - හර්ෂා සුගතදාස

 

Comments