
ලොවේ කොතැනක පිපුණ ද මල් බොහෝ සොඳුරුය. විචිත්‍රවත්ය. විවිධ වර්ණ , හැඩතල , පෙති රටා මෙන්ම සුවඳ විවිධාකාර වූවද මලක් ජීවිතයට ගෙන දෙන සතුට හා සෞන්දර්ය එකිනෙකට සන්සන්දනය කළ නොහැකිය. මන්ද ඒ හැම මලකට ආවේණික වූ වටිනාකමක් ඇති නිසාය. අතේ ඇඟිලි එක හා සමාන නොවන සේ අප මිහිමතට රැගෙන එන අපේ ජීවිත හැඩතල ද විවිධය.
ශාරීරික හා මානසික ස්වභාවය ද එසේමය. ශාරීරික හැඩතල, වර්ණය, අත් පා වල ස්වභාවය, රුව ගුණය මේ සියල්ල එකිනෙකාට වෙනස්ය. මිනිසෙකු ලෙසින් සියලු ශාරීරික අංගෝපාංග හා මානසික ශක්තිය කිසිදු අඩුවකින් තොරව රැගෙන එන්නන් මෙන්ම ස්වභාව ධර්මයේ අනුකූලතාවට අනුව කුමක් හෝ ශාරීරික අංගයක හෝ මානසික ශක්තියේ අඩුලුහුඬුකමක් සහිතව උපත ලබන්නෝ ද සිටිති. ඒ සියලු දෙනාම එක හා සමානය. පොදුවේ මිනිසෙකු ලෙසින් ලැබිය යුතු සෑම වරප්‍රසාදයක්ම මේ සෑම දෙනෙකුටම හිමි විය යුතුය.
සමානාත්මතාව සැමට සලසමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් උදෙසාම විවිධ සත්කාරයන්හි නිරත වන සමාජ සේවා දෙපාර්තමේන්තුව සෑම වර්ෂයකම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ බක් මහ උලෙළක් පවත්වන්නේ එවැනි සුවිශේෂී අරමුණක් ක්‍රියාවට නංවමිනි. මෙවර 2019 බක් මහ උලෙළ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ උපදෙස් හා මඟපෙන්වීමෙන් යුතුව සංවිධාන කිරීම සුවිශේෂීය.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව එම බක්මහ උලෙළ පසුගිය 04 වැනි දා බත්තරමුල්ල ජී.එච්.බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී දවස පුරා පවත්වන්නට කටයුතු යොදා තිබිණි.
රට පුරා ගම් දනව් තුළ සිංහල අලුත් අවුරුදු උත්සව පැවතුණ ද විශේෂ අවශ්‍යතා සහිත වුවන් වෙනුවෙන් එවැනි උත්සව අවස්ථා පවතින්නේ ඉතා අවම මට්ටමක වීම එයට හේතුව විය. එබැවින් එම බක් මහ උලෙළේ අරමුණ වූයේ එවැනි දූ දරුවන් හා තරුණ තරුණියන් වෙත නොලැබෙන සතුට හා ප්‍රීතිය උනුන් වෙනුවෙන් ලබාදීමය.
දිවයින පුරා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියත්මක වන වෘත්තීය පුහුණු පාසල් 08ක තරුණ තරුණියන් හා නාවින්න ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ දූ දරුවන් හත්සියයක පමණ පිරිසකට සාමාන්‍ය දූ දරුවන්ට මෙන්ම අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේ අවස්ථාව එම බක්මහ උලෙළින් ලැබිණි.
මෙහිදී විශේෂ තරග අතරට රෝද පුටුව පසුපසට පැදීම, ලිස්සන ගසේ හරහට යෑම, වැනි තරග සංවිධාන කර තිබූ අතර, සාමාන්‍ය අවුරුදු උත්සවයක පවතින සෑම තරගයක්ම එම අවුරුදු උලෙළට ඇතුළත් විය. සිඟිති අවුරුදු කුමරා කුමරිය මෙන්ම යොවුන් අවුරුදු කුමරා , කුමරිය තරග මෙන්ම දරු දැරියන්ගේ විචිත්‍ර නර්තන අංග රැසකින් ද එම බක් මහ උලෙළ වර්ණවත් විය.
සීදුව, වත්තේගම, කැටවල, තෙලඹුගස්යාය, අමුණුකුඹු, මාදම්පෙ,කලවාන,වැනි දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් හි මෙන්ම පුනරැත්ථාපන රෝහල රාගම, නාවින්න ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය ඇතුළු පුවක්පිටිය ජයවිරු සමාධි නිවස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තරුණ දරුවන් ද එම බක්මහ උලෙළ සමඟ තම සතුට බෙදාගත් අයුරු අපූරුය.
සාමාන්‍ය අවුරුදු උත්සවයක දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සතුටු වන්නට, තරග කරන්නට ඉඩකඩක් නොලැබෙන අවධියක සමාජ සේවා දෙපාර්තමේන්තුව එවැනි සත්කාරයක් කිරීම කොපමණ අගේදැයි වැටහෙන්නේ ඒ දූ දරුවන් විඳි දෝරේ ගලා යන සතුට නෙත ගැටෙද්දීය.
උත්සවයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ යෝජනාවකට අනුව සහභාගී වූ සෑම දරුවෙකු වෙනුවෙන්ම රුපියල් දහසක මුදල් ත්‍යාගයක් ලබාදෙන්නට කටයුතු සූදානම් කර තිබීම සුවිශේෂීය.
එම අවස්ථාවට බස්නාහිර පළාත් අමාත්‍යංශ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න, අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන් , සමාජ සේවා අධ්‍යක්ෂ ටී.එන්.හෙට්ටිආරච්චි මහතා සමාජ සේවා නිලධාරීන් , මවුපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ජීවිත දහම අප සියලු දෙනාටම පොදු ය . හුස්මගැනීමේ සිට සෑම මිනිස් අවශ්‍යතාවක්ම භුක්ති විදීමේ නිදහස , සතුට , දුක, කඳුළ විඳගැනීමේ අවකාශය සැම වෙත හිමි වේ. සාමාන්‍ය මිනිසෙකු ලෙස උපත ලබා කවර හෝ ස්වභාවික උවදුරකින් වුවද යම් දිනෙක ආබාධිත තත්වයකට පත් වන්නට සිදු වුවොත් අප ද ඔවුන් හා සමානය.
සුවඳ මලක පෙති අඩු වුව ද මලක සුවඳ අඩු නොවන බව අප වටහා ගත යුතුය. අප පිළිගත යුත්තේ සොබා දහම අප වෙත තිළිණ කරනා දෙය පමණය.