
සමාජ විද්‍යානුකූලව සිංහල අවුරුදු උලෙළ අපට ඉතාමත් වැදගත් සිද්ධියක් වන්නේ එය අපේ සාරධර්ම පෝෂණය කරන අවස්ථාවක් වන බැවිනි. අවුරුදු චාරිත්‍ර අතර එම කාර්ය මැනවින් ඉටු කෙරෙන චාරිත්‍රයක් වන්නේ බුලත් දීමේ සිරිතයි. දැනට ශේෂවී ඇති අවුරුදු සිරිත් අතර ඉතාමත් වැදගත් කොට සැලකිය යුතු අවුරුදු සිරිත වන්නේ එයයි.
සිංහල අවුරුදු ලැබීමට පෙර, එනම් පරණ අවුරුදු දා පූජ්‍ය පක්ෂයට, දෙමාපියන්ට, වැඩිහිටියන්ට. නෑදෑ හිත මිතුරන්ට බුලත් අතක් දී ආචාර සමාචාර කිරීම අවුරුදු සිරිතේ සිරිත් විරිත්වල ඇති ශ්‍රේෂ්ඨ පුරුද්දකි. මෙදින ගම්වල කොයි කවුරුත් ගමේ ගෙන් ගෙට ඇවිද බුලත් අතක් නැතිනම් බුලත් කොළ කීපයක් හෝ දී ආචාර සමාචාර පවත්වනු ලැබේ.
මෙහි විශේෂය වන්නේ තමාගේ ගෙට අනෙක් ගෙවල්වල අය පැමිණ බුලත් අතක් දී ආචාර කොට ගියත් තමාත් අනෙක් අයගේ නිවෙස්වලට ගොස් බුලත් අතත් දී ආචාර කිරීමය.
මෙම චාරිත්‍රයේ ගැබ්ව ඇති හරය අතිශයින් වැදගත්ය. කාලාන්තරයක් තිස්සේ පුද්ගලයන් අතර පැවැති නොහොඳ නෝක්කාඩු බුලත් අතක් දී අවුරුද්දට කතා කළ පසු නැති භංගවී යන ආකාරය අප දැක ඇත. සමහර පවුල්වල සහෝදර සහෝදරියන් අතර පැන නගින, විවිධ වූ අර්බුද නිසා උද්ගතව තිබූ නොහොඳ නෝක්කාඩු බුලත් අතක් දී අවුරුද්දට කතා කළ පසු සමාදාන වන අවස්ථා දැනිදු විරල නොවේ.
විශේෂයෙන් අපේ පවුල්වල අවුරුදු දා බිරිය දරුවන් ඉදිරියේ බුලත් අතත් දී සැමියාට ආචාර කිරීම සිරිතකි. පවුලේ ආදරය බැදීම සංකේතවත් කරන මෙම සිරිත දරුවන්ට ද පවුලේ ආදරය උගන්වන පාඩමක් වැනිය. මේ නයින් බලන කල අවුරුද්දට දෙන බුලත් අතේ ඇත්තේ පුදුම බලයකි.
බුලත් දීමේ සිරිත අවුරුදු චාරිත්‍ර වලදී පමණක් නොව සිංහල ජන ජීවිතයේ වැදගත් බොහෝ අවස්ථාවල කෙරෙනු ලබන්නකි. ගෙදරක පැවැත්වෙන මංගල අවස්ථා පිළිබඳව ඥාතීන්ට දැන්වීම් කෙරෙන්නේ ඉලත්තට්ටුව මත බුලත් තබා පිළිගැන්වීමෙන් ය.
මෙලෙස බුලත් දී ආරාධනා කිරීම වෙන කවර ලෙසකින් කරන ආරාධනාවකටත් වඩා උතුම් කොට සැලකේ. එබැවින් එසේ ආරාධනා කළවිට එම උත්සවයට අනිවර්යයෙන්ම සහභාගි වීම ඥාතීන්ගේ සිරිතය. “කවුද තමුසෙට බුලත් දුන්නේ” යන ජන වහර ඇති වීමට ද හේතුව යමෙක් අනාරාධිතව සහභාගි වුවොත් ආරාධනා නොකළ බව පැවැසීමේ වදනක් ලෙසයි.
විවාහ මංගල්‍ය වලදී මඟුල් පෝරුව මත දී මනාලයා සහ මනාලිය ඔවු නොවුන්ට බුලත් දී ආචාර කර ගනිති. මනාලිය මනාලයා සමඟ පිටත්වී යාමට ද ඥාතීන්ගෙන් අවසර ලබා ගන්නේ බුලත් දීමෙනි. සිංහල ගැමියන් ගොයම් කැපීම ඇතුළු කුඹුරේ වැඩ කටයුතු සඳහා හිත මිත්‍රාදීන් කැදවා ගන්නේ ද බුලත් දී ආරාධනා කිරීමෙනි.
වැඩිවිය පත් දියණිය ඉස්සෝදා නෑවීමෙන් පසු දෙමාපියන්ට බුලත් හුරුළු පිළිගන්වා ආශිර්වාද ලබා ගනී. මනාලිය කැදවාගෙන යාමට පැමිණෙන මනාලයා ඇතුළු පිරිසේ පැමිණ සිටින සංඛ්‍යාව මනාලියගේ ඥාතීන්ට දැනුම් දෙන්නේ පැමිණි පිරිසට සමාන බුලත් සංඛ්‍යාවක් මනාලියගේ ඥාතීන් වෙත යැවීමෙනි.
බුලත් කෑමේ පුරුද්ද පෙරදිග මිනිසුන් අතර බහුලව පැවැත්වෙන්නකි.