රටවල් රැසක පාලකයන් නන්නත්තාර කළ ලෝක සයිබර් හැකරා | සිළුමිණ

රටවල් රැසක පාලකයන් නන්නත්තාර කළ ලෝක සයිබර් හැකරා

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් රැසක පාලන තන්ත්‍රයන් නිරුවත් කරමින් යුද අපරාධ රැසක් සාක්ෂි සහිතව ලොවට හෙළිදරව් කළ, රාජ්‍ය මට්ටමින් සිදු කළ වංචා, දූෂණ, අල්ලස් ගැනීම් රැසක තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින් රටවල් රැසක පාලකයන් තම සතුරන් බවට පත් කරගත් විසිඑක් වැනි සියවසේ සයිබර් විප්ලවවාදියා පසුගියදා ඉක්වදෝරයේදී අත්අඩංගුවට පත්විය. නැතහොත් තම සතුරන් අතට පත් විය.

ලොවම මවිතයට පත් කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වූ ඔහු ජූලියන් අසාන්ජ්ය. 1971 වසරේ ජූලි 3 වැනිදා උපත ලද ඔහු ඉක්වදෝර සම්භවයක් සහිත ඕස්ට්‍රේලියා ජාතිකයෙකි. ඔහු සතු අධ්‍යාපන සුදුසුකම් ලිවීමට ඉඩ වෙන් කිරීම කළ යුතු නොවන්නේ එමඟින් ඔහු කළ හේළිදරව් කිරීම්වලට වෙන් වන ඉඩ ප්‍රමාණය අඩු වන බැවිනි. කෙසේ වුවද පරිගණක වැඩසටහන් නිර්මාණකරුවකු වීමට තම ජීවිතයේ වැඩි ඉඩක් ලබාදුන් අසාන්ජ් තමා සතු ඒ හැකියාව ලොවට මෙහෙයක් කිරීමට යොදාගැනීමට තීරණය කළේ කිසියම් විකල්පමය භාවිතාවක් මඟිනි. විකිලීක්ස් බිහි වන්නේ එලෙසය.

විකිලීක්ස් යනු මෙලොව දැනට බිහි වූ විශාලතම හැකර්වරුන්ගේ අඩවිය ලෙසින්ද නම් කළ හැකිය. එයට හේතුව එම වෙබ් අඩවියට අතුළත් කර ඇති හෙළිදරව් කිරීම් සියල්ලම ලොව නොයෙක් රටවල ආණ්ඩුවල වෙබ් අඩවි මෙන්ම ආරක්ෂක පද්ධති සහ ජාල තුළට හොරෙන් ඇතුළු වූ හැකර්වරුන් විසින් සොරාගත් තොරතුරු වන බැවිනි. සාමාන්‍ය භාවිතයේදී අප දන්නා හැකර්වරුන්ගෙන් විකිලීක්ස් වෙනස් වන්නේ එය පොදු ජනතාවට හානියක් නොව යහපතක්ම අරමුණු කරගනිමින් විවිධ දේශපාලන න්‍යාය පත්‍රවල රහසිගත තොරතුරු සහ ඒ හේතුවෙන් මහජනතාවට විඳින්නට සිදු වූ පීඩා හෙළිදරව් වන තොරතුරු මුදා හැරිය බැවිනි.

2006 වසරේදී විකිලීක්ස් ආරම්භ වුවද එයට ලොව පුරා ජනතාවගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ 2010 දී එය අමෙරිකානු යුද අපරාධ තොග පිටින් හෙළිදරව් කිරීමට පටන් ගැනීමත් සමඟය. එයින් පසු දිගින් දිගටම ජූලියන් අසාන්ජ්ගේ මූලිකත්වයෙන් ලොවට හෙළිදරව් කළ තොරතුරු අතර අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේදී සිදු කළ යුද අපරාධ, ඉරාකයේදී හිතා මතා එල්ල කළ ගුවන් ප්‍රහාර මඟින් සිවිල් ජනතාව සහ මාධ්‍යවේදීන් මරණයට පත් වූ අවස්ථා දැක්වෙන වීඩියෝ පට, ඉරාකය සම්බන්ධයෙන් අමෙරිකාව ගන්නා ලද රහසිගත තීරණ, යේමනයේ ඩ්‍රෝන ප්‍රහාර, ආරබි ලෝකයේ වංචා සහ දූෂණ, කෙන්යාවේ අධිකරණ පද්ධතියේ දූෂණ, චීනය ටිබෙට් දේශය සම්බන්ධයෙන් ගන්නා ලද අන්තනොමතික තීරණ, පිරූ හි තෙල් වංචා මෙන්ම සිරියා අර්බුදය සම්බන්ධව අමෙරිකාව සහ සෙසු රටවල් කිහිපයක් අමෙරිකා ආරක්ෂක අංශ සමඟ හුවමාරු කරගත් ඊ මේල් පණිවුඩ ලක්ෂ 10ක් පමණද විය.

ශ්‍රී ලංකාවේ මානුෂිය මෙහෙයුම පැවති සමයේ එයට මැදිහත් වීමේ අවස්ථා සොයා බලමින් අමෙරිකාව හුවමාරු කරගත් ඊ මේල් පණිවිඩද වරක් එහි ඇතුළත් විය.

මෙතරම් තොරතුරු සමුදායක් ලොවට හෙළිදරව් වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර අමෙරිකාව ප්‍රධානව ලොව පුරා රටවල් රැසක් ඒ සමඟ දෙදරා යන්නට විය. එහෙත් මුදල් සහ බලය එක් තැන්ව ජනතාවගේ දෙනෙත් ඇරවීමේ අසාන්ජ්ගේ උත්සාහය ව්‍යර්ථ කර දැමීමට දැරූ උත්සාහය ඉතා ඉක්මනින් සාර්ථක වූයේ ධනවාදය මේ මොහොතේ සමස්ත ලෝකයේ ජනතාවගේ සිතීමේ හැකියාව පහළම අඩියට දමා අැති බැවිනි.

අමෙරිකාව අසාන්ජ් ‘අවශ්‍ය පුද්ගලයකු‘ ලෙස නම් කළ අතර ඔහු වහාම යුරෝපයේ රටවලින් දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කර සිටියේය. වරින් වර රටින් රට තානාපති කාර්යාලවල සැඟවෙමින් දුෂ්කර ජීවිතයක් ගෙවූ අසාන්ජ් කිසියම් දුරකට තම ජීවිතයේ ආරක්ෂාව සහතික කරගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබීමත් සමඟිනි. එවකට ඉක්වදෝරයේ ජනාධිපති වූ රෆායෙල් කොරයා ( 2007 - 2017) අසාන්ජ්ට දේශපාලන රැකවරණ ලබාදීමට කැමැත්ත දැක්වූ අතර අමෙරිකානු බලපෑම්වලට විරුද්ධව යමින් අසාන්ජ්ට රැකවරණ සපයා සිටියේය.

එහෙත් අමෙරිකාව තමාට කළ මදිපුංචිකම් පහසුවෙන් අමතක කර දමන රටක් නොවේය. රටවල් පිටින් දණගස්වන අමෙරිකාවට ජූලියන් අසාන්ජ් වැනි තනි පුද්ගලයකු අල්ලාගැනීමට මෙතරම් කලක් පුරා දැල් එළීමට සිදු වීම පුදුමයට කරුණක් විය.

රෆායෙල් කොරයාගේ පාලන කාලය නිම වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මොරේනෝ අසාන්ජ්ට තවදුරටත් දේශපාලන රැකවරණ ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියේ ‘තවදුරටත් ලෝකයේ සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම තම ප්‍රතිපත්තිය නොවන‘ බව පවසමිනි.

ඒ අනුව පසුගිය සතියේ ඉක්වදෝර තනාපති කාර්යාලයට කඩා වැදුණු බ්‍රිතාන්‍ය පොලිසිය අසාන්ජ්ව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට පත් වන විට අසාන්ජ් බ්‍රිතාන්‍ය යේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක් ගත කර තිබිණි.

එහෙත් හාස්‍යජනක කරුණ වන්නේ එතරම් හෙළිදරව් කිරීම් සිදු කළ අසාන්ජ් අත්අඩංගුවට පත් වන්නේ ඒ එක් කරුණක් නිසා හෝ නොව ස්ත්‍රී දූෂණ චෝදනා මත වීමය.

2010 වසරේදී ස්වීඩනයේ සංචාරයක නිරත වූ අසාන්ජ් එහිදී කාන්තාවන් දෙදෙනෙකුට අතවර කළ බවට චෝදනා එල්ල විය. අසාන්ජ් ඒ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ තමා යම් හෙයකින් අත්අඩංගුවට පත් වන්නේ නම් අමෙරිකාව තමා මරා දමනු ඇති බවය.

කෙසේ වෙතත් දැන් ඔහු අනුමාන කළ සියල්ල එලෙසින්ම සිදු වෙමින් තිබේ. දැනට ඔහු ඉල්ලා ඇති එකම ඉල්ලීම වන්නේ තම නඩුව ස්වීඩනයේදී නොව බ්‍රිතාන්‍යයේදී අසන ලෙසයි. ඒ අනුව ලබන මස දෙවැනි දින ඔහුව ලන්ඩන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

තනි පුද්ගලයකු ලෙස ධනවාදයට එරෙහිව යෑම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් අසාන්ජ් එය සිදු කළේය. ඉන්පසු වසර ගණනක්ම සාධාරණත්වය අගයන සුළුතරයක සහයෝගයෙන් මහා පාලන තන්ත්‍රයන්ට අභියෝග කරමින් රැඳී සිටියේය. එවන් වූ පුද්ගලයකුගේ ඉරණම කෙසේ විසඳේවි දැයි බලා සිටීම වෙනුවට සාධාරණත්වය අගයන මිනිසුන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටීමට තරම් ධෛර්යවත් වන්නේ නම් පෘථිවිය මත හෙට දවස වඩාත් යහපත් වනු ඇත.

Comments