
වහබ්වාදය පතුරුවන මුස්ලිම් කල්ලිවලට එරෙහිව සමාජ මාධ්‍යයන්හි මෙන්ම එළිමහන් දේශන පවත්වමින් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින සුන්නාහ් ට්‍රස්ට් සංවිධානයේ නිර්මාතෘ අහමඩ් ඉන්තිකාබ් 2017 කාතන්කුඩිහිදී ජාතික තාවුහිද් ජමාඩ් අන්තවාදී කල්ලියෙන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරයේදීද හඬ නැඟු අයෙකි. තාවුහිද් ජමාඩ් නමැති අන්තවාදී කල්ලිවලින් රටට පමණක් නොව මුස්ලිම්වරුන්ටද සිදුවන විනාශය ගැන ඔහු මෙසේ අදහස් දැක්වීය.
“මේ ප්‍රශ්නය දුරදිග ගියා වැඩියැයි මීට වසර කීපයකට පෙර සිටම පෙන්වා දුන්නා. එහෙත් කිසිදු කෙනෙකුගෙන් අවශ්‍ය දේ සිදුවුණේ නෑ. සහරාන් කියන්නෙ වසර කීපයක සිටම අන්තවාදය වැපිරූ කෙනෙක්. ඔහුගේ මුහුණුපොතෙන් ඒ බව හොඳටම පෙනුණා. ඔහු දැඩි ලෙස සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ ගති පැවැතුම්වලට එරෙහිව කටයුතු කළ කෙනෙක්. ඔහු වසර දෙක තුනක සිටයි සමාජ මාධ්‍යය හරහා ශීඝ්‍රයෙන් ඉදිරියට ආවේ.
මුස්ලිම්වරු හැටියට අපි මේ අයගේ ක්‍රියාකලාපයන්ට කෙතරම් බියක් දක්වනවාද කියලා හිතෙන විට රටේ අනෙකුත් ජනකොටස් කොතරම් බියෙන් සිටිනවාද යන්න අපට හැඟෙනවා. ඔය සහරාන්ලා කීවේ පිළිම වන්දනාව අකැපයි කියායි. සොහොන් ගෙවල් තිබෙන සියලුම පල්ලි කඩන්න ඕනෑ කියායි ඔහු පවසන්නේ. එහෙමනම් පිළිම වන්දනාව සිදුකරන වෙනත් ආගම් සමඟ කෙතරම් තරහකින්ද මේ අය ඉන්නෙ කියා හිතාගන්න පුළුවන්නේ.
ඔය වහබ්වාදය පතුරුවන සංවිධානවල නායකයන් මීට වසර පහළොවකට විස්සකට පෙරදී විදේශවල සිටින නායකයන් මෙහි ගෙනැවිත් අන්තවාදය වැපිරූමට උත්සාහ කළා. නමුත් ඊට අවස්ථාව නොලැබුණු හෙයින් මෙරට සිටි ඔවුන්ගේ අනුගාමිකයන් ඒ මත පැතිරවීමට යොමු වුණා. හැබැයි මෑතක සිට මේ අය අන්තවාදය පතුරුවන විදේශිකයන් රටට ගෙන්වනවා. උදාහරණයක් කියන්නම්, බිලාල් පිලිප් කියන්නෙ ඇමෙරිකානු සම්භවයක් සහිත මුස්ලිම් අන්තවාදියෙක්. ඔහුට රටවල් රැසකටම ඇතුළුවෙන්න නොහැකි ලෙස නීති පනවා තියෙන්නෙ. ඒත් බිලාල් පිලිප් දිගින් දිගටම මෑත කාලයේ අපේ රටට ආවා. මං ගිහින් මේ පුද්ගලයා ගැන වගකිවයුතු සියලුම ස්ථානවලට පැමිණිලි කළා. නමුත් වැඩක් වුණේ නැහැ. බිලාල් පිලිප් අනූ ගණන්වලදී ප්‍රථමයෙන් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය විනාශ කිරීමට තැත් කළ බවට චෝදනා ලැබූ එකසිය හැටගාණක ලැයිස්තුවේ සිටි කෙනෙක්. අවසානයේ ඔහු ඇමෙරිකාවේ තහනම් චරිතයක් වුණා. අදටත් එම ලැයිස්තුවේ ඔහුගේ නම තියෙනවා. මම වැඩසටහනක් නිර්මාණයකොට මොහු ගැන හෙළිදරව් කළා. ඒ වගේම මෙරට මාධ්‍යයන්හිද මෙයා ගැන පළවුණා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ඔහු අන්තවාදි මත මෙරට තුළ පතුරුවනවා. මොහු ත්‍රස්තවාදියෙක් කියා මම කියන්නෙ නැහැ. නමුත් අන්තවාදය පතුරුවන්නෙක්. හැබැයි වෙනත් රටවල මෙයාගේ ශිෂ්‍යයෝ ඉන්නවා අයිඑස් සාමාජිකයෝ. මෙවැනි අයගේ මත පළවන වෙබ් අඩවි, පොත්පත් අපේ රටේ තහනම් කළ යුතුයි.
අද ලෝකයේ බොහෝ රටවල ඇතැම් අන්තර්ජාල සමාජ ජාලා තහනම්. අපටත් එවැනි අන්තවාදි, ත්‍රස්තවාදි මත පතුරුවන සමාජ මාධ්‍යයන්ට, වෙබ් අඩවිවලට, වීඩියෝ රූපරාමුවලට තහනමක් අත්‍යවශ්‍යයි.
මේ වන විට ඇතැම් අන්තවාදය පතුරුවන නායකයන් රටවලට නොයා අන්තර්ජාලයයි භාවිත කරන්නෙ. සහරාන් මෑත කාලයේ සියලුම මත, අයිඑස් වීඩියෝ පළ කරමින් අන්තවාදය, ත්‍රස්තවාදය පැතිරුවේ මුහුණුපොත මඟින්. ඔහු වසර දෙක තුනක සිට ප්‍රසිද්ධියේ පෙනී සිටියෙ නැහැ.
අද වන විට වහබ්වාදය පතුරුවා හැරීම බොහෝ රටවල තහනම් කරලා තියෙන්නෙ. ඒ රටවල ඒ පිළිබඳ කිසිදු පොතපතක් තිබෙන්න බැහැ කියා නීති පනවලා තියෙන්නෙ. එහෙත් අපේ රටේ මේ වන විට මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් මහා ඛේදවාචකයක් සිදුකර තිබුණත් තවම ඒ එකදු සංවිධානයක්වත් තහනම් කරලා නැහැ. අපි කියන්නෙ මේ ජාතික තවුහිද් ජමාඩ් නමින් පෙනි සිටින සංවිධානය පමණක් නොව සමස්ත ලංකා තවුහිද් ජමාඩ්, ශ්‍රී ලංකා තවුහිද් ජමාඩ්, සිලෝන් තවුහිද් ජමාඩ් වැනි සංවිධාන මෙන්ම ජමාඩ් ඉස්ලාමි, ජමාඩ් මුසල්මින් වැනි විවිධ නම්වලින් පෙනී සිටින මෙරටේ අන්තවාදය පතුරුවන සියලු සංවිධාන තහනම් කරන්න කියායි. මේ අය එකම වර්ගය. නොයෙක් නම්වලින් පෙනී සිටීමයි වෙනස. තවුහිද් වචනයේ තේරුම ඒකදේවවාදය. මේක මූලධර්මවාදයක්. මේවා තහනම් කරන ලෙස අප වසර ගණනාවක් තිස්සෙ බලපෑම් කළා. කිසිදු වැඩක් වුණේ නෑ.
දැන්වත් ක්‍රියාත්මක නොවුණහොත් මේ ප්‍රශ්නය ඉදිරියේදී මීට වඩා බරපතළ ගැටලුවක් වෙයි. සිදුවූ සිදුවීම් ගැන මුස්ලිම් ජනතාව ලෙස අපට විශාල කනගාටුවක් තියෙන්නෙ. අපි සියලු දෙනා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට උදවු කළ යුතුයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ගැටලු ඇතිනොකර ආරක්ෂක අංශවලට සෑම ආකාරයෙන්ම උපරීම සහාය දිය යුතුයි. පල්ලිවල පරීක්ෂාවන්ට ආවොත් කිසිදු පැකිළීමකින් තොරව සහාය දිය යුතුයි.