
ලෝකයේ හොඳම සංචාරක මධ්‍යස්ථානය පිපිරී ගියේය. එය මරණයේ මිටියාවත බවට පත් වී තිබිණි. ශුද්ධ වූ පාස්කු ඉරිදාවේ ගලා ගිය ලේ ගංගාව ලෝකයම කම්පාකළේය. දිවයිනේ ප්‍රධාන දේවස්ථාන තුනක් හැරුණු විට කොළඹ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංස්බරි හෝටල් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක් විය. මේ දිවයිනේ මිහිර විඳිමින් පාස්කු නිවාඩුව ගත කරන්නට පැමිණි මේ බිමට ආදරය කළ විදේශිකයෝ 37 දෙනෙක් මිය ගියහ. ඔවුන්ගෙන් 17 දෙනෙකුගේ සිරුරු තවමත් ජාතික රෝහලේ මෝචරියේය. මරණයේ සේයාවක්වත් නොපෙනුණ සුන්දර මොහොතක තමන් උපන් රටින් කිලෝමීටර ගණනාවක් ඈතදී මිය ගිය ඒ මිනිසුන් පිළිබඳ මෙතෙක් කිසිවෙකු නොඇසූ සංවේදී කතා කීපයක් ඔබට කියන්නට ඇත. නැති වී ගිය සෑම ජීවිතයකම ඇත්තේ එක සමාන වටිනාකමක් බව සැබෑය. එහෙත් ආගන්තුක සත්කාරය ජිවිත පරමාර්ථය කරගත් ජාතිකයක් දකින්නට විත් කැබලි වී මිය ගිය ආදරණීය ආගන්තුකයන්ගේ මරණ අපව ඉකි ගසා හඬවන්නේ ඒ හැඟීමේ සංස්කෘතික ගැඹුරක් ද ඇති නිසාය.
බංග්ලාදේශයම හැඬවූ රජ පවුලේ පුංචි පුතු
සයාන් චෞද්රි අට හැවිරිදි සුරතල් දරුවෙකි. ඔහු ඉපදුණේ බංග්ලාදේශයේ ප්‍රභූ පවුලකය. කොටින්ම ඔහු බංග්ලාදේශයේ රාජකීය පවුලක උරුමයේ සංකේතය විය. එළඹි පාසල් නිවාඩුව ගත කිරීමට සිය මව ශෙයික් අමීනා, සුල්තානා සෝනියා ත්, පියා වන මශිඋල් හක් චෞද්රි ත් සිය එකම සහෝදරයා වූ සොහාන් ද සමඟ ඔහු ලංකාවට පැමිණියේ මේ කුරිරු බෝම්බ ප්‍රහාරය සිදු වීමට දින කිහිපයකට කලිනි.
සයාන් චෞද්රි වත්මන් බංග්ලාදේශ අගමැතිනි ශෙයින් හසීනාගේ ඥාති දියණියකගේ (සහෝදරියකගේ දියණියකගේ) පුතෙකු වු නිසා ඔහු බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන සිටියේය.
එපමණක් නොව සයාන් චෞද්රි ගේ මව වන ශෙයික් අමීනා, ද බංගලාදේශයේ අවාමි ලීගයේ ප්‍රධාන දේශපාලන නායකයකු වන ශෙයික් ෆස්ලුල් කරීම් සෙලීම් ගේ දියණියය. ඔවුන් නවාතැන් ගෙන සිටියේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ හය වැනි මහලේය.
පාස්කු ඉරු දින මේ තුච්ච බෝම්බ ප්‍රහාරය සිදු වන විට සයාන් ඔහුගේ පියා සමඟ පහළ මාලයේ වූ ආපන ශාලාවේ ආහාර ගනිමින් සිටියේය. සොහාන් සිටියේ සිට මව සමඟ ඔවුන්ගේ කාමරයේය. නිමේෂයකින් කුරිරු මිනිස් බෝම්බය පිපිරි ගියේය. උදෑසන ආහාර ගනිමින් සිටි පිරිස ලේ විලක් මැද වැටී සිටියහ. ඒ හඬට කාමරයේ සිටි සයාන්ගේ මවත් සොහොයුරාත් ආපන ශාලාවට දිව ආහ. කිසිවෙකු සොයාගත නොහැකිය. සෝනියා විලාප තබන්නට වූවාය. පසුව තම ස්වාමියා පමණක් තුවාල සහිතව රෝහල් ගත කළ පුවත ඇයට අසන්නට ලැබිණි. එහෙත් හුරුබුහුටි පුංචි සයාන් ඇයට හමු නොවිණි.
මේ වන විට ලංකාවේ ඇති වු තත්ත්වය කන වැකුණු අවාමි ලීගයේ කරිම් සෙලීම් ගේ පවුලේ උදවිය කොළඹට පැමිණිමට සූදානම් වූහ. අතුරුදහන් වූ පුංචි සයාන් ගේ දේහය ඒ ඉරු දින රාත්‍රි 8ට පමණ රෝහල් මෝචරියේ තිබි සොයාගන්නට පවුලේ අයට හැකි විය. සයාන්ගේ දේහය පසුගිය බදාදා ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඩකා නුවරට ගෙනාවේ බංගලාදේශයේ සියල්ලන්ගේම සෝ සුසුම් මැදය. සයාන්ගේ පියා තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. බෝම්බයෙන් ඔහුගේ දෙපා දැඩි සේ හානි වී තිබේ. ඔහුව තවත් ශල්‍යකර්ම කිහිපයකට යොමු කිරීමටද සිදු වී ඇත.
රාජකීය පවුලකට උරුමකම් කියු පුංචි සයාන්ගේ මරණය බංග්ලාදේශයේ ප්‍රධාන පුවත් වාර්තා කර තිබුණේ අතිශය ශෝක ජනක පුවතක් වශයෙනි. ඩකා ට්‍රිබියුන් පුවත්පත කීවේ සයාන් සිය සීයාගේ දේශපාලන හිතවතුන් අතර හුරතල් දරුවකු වූ බවය.
“ සයාන් මේ ගෙදර විශාල කොටස්කරුවෙකු වුණා. එයා නැති ගේ අද පාළුවෙලා ගිහින්. ඒ අඩුව කාටවත් පිරිමහන්න බැහැ...“ අවාමි ලීගයේ හා සමාජ ශුභසාධන ලේකම් සුජිත් රෝයි නන්දි එසේ පවසා තිබිණි.
මේ මරණයෙන් බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනාද බලවත් ලෙස ශෝක වන්නීය. මේ අවස්ථාව වන විට ඇය සිටියේ බෘනායි දේශයේ සංචාරයක නියැළෙමිනි.
“මගේ ඥාතියෙකුත් මිය ගිහින්. එයාටත් මියගිය සියලු දෙනාටත් යාඥා කරන්න..“ යැයි ඇය සිය රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
රටට සුවය දෙන්නට පැමිණි මොනික් ඇලන්
ඇමෙරිකා ජාතික අන්තර්ජාතික මැණික් ව්‍යාපාරිකයකු වන ලුවිස් ඇලන්ට ලංකාව හුරු පුරුදු තැනකි. ඔහු නිරන්තරයෙන් ලංකාවට පැමිණියේ මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා පමණක් නොව ලංකාවේ අසරණ දරු පිරිසක් වෙනුවෙන් ජීවිත දානය දෙන්නට රෝහලක් තනන්නටය. මෙවර ඔහුගේ ගමනේ අරමුණ වූයේ සිය පවුලේ උදවියට තමන් තැනූ රෝහල පෙන්වීමය. එහෙත් ඒ අරමුණ සුනු විසුනු වී තිබිණි.
ඔහු පාස්කු ඉරිදා උදේ සිය පුතුන් දෙදෙනකු සමඟ නැති වුණු කවරකු හෝ සොයමින් කොළඹ ජාතික රෝහල පුරා දිවයමින් සිටියේය. ඒ වන විටත් තිරිසන් බෝම්බ ප්‍රහාරයට ලක් වී ලුවිස් ඇලන්ගේ බිරිය, මොනික් ඇලන් මියගොස් සිටියාය.
පසුගිය වසරේ රත්නපුර මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත වූයේ ඇඳන් 107ක් සහිතව සියලු අවශ්‍ය බඩු භාණ්ඩද සමඟිනි. නිරන්තරයෙන් ලංකාවට පැමිණි ලුවිස් ඇලන් සිය ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකු වූ පුන්සිරි තෙන්නකෝන්, ප්‍රියන්ත ද සිල්වා, හා සුභාෂ් කරුණාරත්න සමඟ එක්ව මේ ළමා වාට්ටුව අංග සම්පූණ ලෙස නිම කළේය. එම වාට්ටු සංකීර්ණය නිම කර දෙන්නට ලුවිස් ඇලන්ට විශේෂ හේතුවක් විය. ඒ මීට වසර කිහියකට පෙර නේපාලයේදි මියගිය සිය පුතණුවන් සිහි ගන්වන්නටය. රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයෙන් තමන් විසින් මේ ආගන්තුක රටේ නිම කළ ළමා වාට්ටුව පෙන්වීමට ලුවිස් ඇලන් සිය බිරිය මොනික් ඇලන් හා පුතුන් තිදෙනා වන ජේසන්, ටිමෝති හා ජැස්පර් සමඟ පාස්කු නිවාඩුවට කොළඹ ආවේය.
“මම යෝජනා කළේ මෙවර නිවාඩුවට වියට්නාමයේ සංචාරයට යමු කියලා. එතකොට මොනික් කිව්වා, මට ආසයි ඔයා ලංකාවේ හදපු රෝහල් වාට්ටුව බලන්න. මම ලංකාවට හරිම ආදරෙයි. අපි ලංකාවට ගිහින් ඒක බලලා තුන්වැනි මහලත් හදලා දෙන්න කටයුතු කරමු කියලා කිව්වා. ” ඇලන් ලුවිස් කීවේය.
පසුගිය 16 වැනිදා ඔවුහු ලංකාවට පැමිණියහ. ඇලන් පවුල නවාතැන ගත්තේ කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේය. ඔවුහු පසුගිය 20 වැනිදා හවස ඔවුන් සදා නිම කළ රෝහල දකින්නට ආවෝය. ඒ වන විට එම වාට්ටු සංකීර්ණයේ දරුවන් 13000ක් වෙත ප්‍රතිකාර කර තිබිණි. මින් අප්‍රමාණ සතුටට පත් මොනික් ඇලන් ළමා ශල්‍ය වාටටුවක් වසර දෙකක් තුළ ඉදි කර දෙන්නට පොරොන්දු වූවාය. පැයක් පමණ එතැන සිට ඔවුන් යළි කොළඹ පැමිණියේ පසුදා ලංකාවෙන් පිටත්ව යන්නටය.
පාස්කු දා දහවල් 2ට බැංකොක් බලා යෑම පිරිසේ අරමුණ විය. ඒ පිළිබඳ ගුවන් ගමන් සුදානම් කිරීමේ අරමුණින් ලුවිස් ඇලන් සිය පුතුන් දෙදෙනෙකු සමඟ පිටත්ව ගියේය. මේ අතර මොනික් ඇලන් සිය වැඩිමහල් පුතු සමඟ උදෑසන ඊස්ටර් ආහාරය සඳහා ආපන ශාලාවට ගියාය. බෝම්බකරුවා සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය පුපුරවා දැම්මේය. ලුවිස් ඇලන් දරුවන් දෙදෙනා සමඟ රෝහලේ ඇඳක් ඇඳක් පාසා යමින් සිය බිරිය හා දරුවා සොයද්දි හමුවූයේ තුවාල වී සිටි පුත් ජේසන්ය. ස්නායු ශල්‍ය, ශල්‍යාගාර,මෘත ශරීරාගාර පීරමින් සිය මව සෙවූ ඔවුනට අවසානයේ ඇයගේ මෘත ශරීරය හමුවූයේ පොලිස් මෝචරියේදීය. මොනික් ඇලන් ලංකාව දමා ගියේ නැත. ඇයගේ දේහය ඇය ආදරය කළ මේ බිමේම මිහිදන් විණි.
“මොනික් ලංකාවට ගොඩාක් ආදරෙයි. අපි බැංකොක් ගමන සංවිධානය කරද්දි පුතත් එක්ක හෝටලයේ නතර වුණේ ඇගේම කැමැත්තටයි. සමහර විට යන්න තියෙන දේ ඇයට කලින්ම දැනෙන්න ඇති. ඇයගේ ජීවිතය අවසාන විය යුත්තේ මේ සුන්දර රටේ කියලා ඇයටම හිතෙන්න ඇති. ඇයගේ වෙන් වීම මේ රටේ දී සිදු වීම අපිට දරාගන්න නොහැකි වුවත් ලංකාවේ දරුවන්ට පිහිටවීම අපි නවත්වන්නේ නැහැ. ඇය නමින් අපි මේ රෝහලේ ඉතුරු ඉදිකිරීම් කරනවා“ රටින් පිටවන්නට පෙර ලුවිස් ඇලන් අපට කීවේය.
දරුවන්ගේ සිරුරු හඳුනාගැනිමට පැමිණි ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය
බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායම් ලබන ආයතනය ලෙස සැලකෙන්නේ ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිළි ව්‍යාපාරය ය. එහි වැඩිම කොටස් හිමියා වන්නේ ඇන්ඩර්ස් හෝල්ක් පෝල්සන් ය. ඔහු ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාය. ඔහු Zalando නමැති ජර්මානු සමාගමේද හිමිකරුය. ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්රයේ ප්රමුඛයෙකු වන ඔහු අක්කර 220000ක හිමිකරුවෙකි. ඇන්ඩර්ස් හෝල්ක් පෝල්සන්ගේ දරු තිදෙනා ඊස්ටර් නිවාඩුවට ලංකාවට පැමිණියහ. ඔවුන් නවාතැන් ගත්තේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේය. එම කෝටිපති ව්‍යාපාරිකයාගේ දරුවන් පාස්කු දින තිරශ්චීන ප්‍රහාරයට ලක් වී මිය ගියේ ඔවුන්ගේ මවුපියන්ටවත් ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි සේය. පාස්කු ඉරු දින උදෑසන සිය බිරිය එක් දියණියක සමඟින් හෝටලයේ පිහිනුම් තටාකයේ සිටියදී ඇන්ඩර්ස් හෝල්ක් පෝල්සන් අනෙක් දියණියන් දෙදෙනා හා පුතණුවන් සමඟ උදෑසන ආහාරයට ගියේය. ඒ මොහොතේ ශ්‍රැංගිලා බෝම්බය පිපිරී ගියේය. බෝම්බයෙන් බේරෙන්නට ඇන්ඩර්ස් හෝල්ක් පෝල්සන් දියණියන් සමඟ පහත මාලයට දිව ගියේය. පහත මාලයත් පුපුරා ගියේය. පළමු බෝම්බයෙන් බේරුණු ඔවුහු හෝටලයේ දෙවැනි බෝම්බයට බිලිවුහ. ඇන්ඩර්ස් හෝල්ක් පෝල්සන් තුවාල ලබා බේරුණේය. පුතා හා දියණියෝ දෙදෙනක් බෝම්බයට බිලිවූහ.
මේ කෝටිපති ව්‍යාපාරිකයා විකෘති වු සිය දරුවන්ගේ සිරුරු හඳුනාගැනිමට විධිමත් සැලැස්මක් සකස් කළේය. පසුගිය සති අන්තය වන තෙක් මේ විදේශීය දරු තිදෙනාගේ සිරුරු තිබුණේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශීතාගාරයේ ය. බදාදා සවස් වන විට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් නිලධාරීහු පිරිසක් ලංකාවට පැමිණියහ. ඩෙන්මාර්කයේ අධිකරණ වෛද්‍ය නිලධාරීහු හා ඩෙන්මාර්කයේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ද ඒ අතර වූහ.
ඔවුහු පැමිණ මෙරට අධිකරණ බලධාරීන්ට සඳහන් කර සිටියේ මේ දරු තිදෙනාගේ සිරුරු හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂාවක් සිය රටේදි සිදු කරන හෙයින් ඊට සහාය විය යුතු බවය. ඒ අනුව මේ විශේෂඥ පිරිස සිය රටේ දී මේ දරු තිදෙනාගේ සිරුරු හඳුනා ගැනීමේ පරීක්ෂාවන් සිදු කර එය තහවුරු කිරීමෙන් අනතුරුව නැවත ලංකාවට පැමිණ සිරුරු බාරගැනීමට නියමිතය. ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පිපිරීම සිදු වූ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේද විශේෂ විමර්ශනයක් කිරීමට අවසර ඉල්ලා තිබිණි.
සියල්ල පවසා සමුගත් ජපාන සූපවේදියාගේ බිරිය
කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ ජපාන සූපවේදියෙකු මුහුණ දුන් අවාසනාවන්ත සිදු වීමක්ද මේ අතර වෙයි. මේ සූපවේදියාගේ බිරිය මෙන්ම දරු තිදෙනා සිය ස්වාමියා සේවය කරන හෝටලයට පැමිණියේ පාස්කු නිවාඩුවට දරුවන් සමඟය. බෝම්බය පිපිරෙන අවස්ථාවේ සූපවේදියාගේ බිරිය හා වැඩිමහල් දියණිය ආහාරය සඳහා ගොස් සිටියෝය. ඔහු හා අනෙක් දරුවා සිටියේ හෝටල් පරිශ්‍රයේ වෙනත් ස්ථානයකය. සැණෙකින් බොම්බයෙන් සියල්ල සුනු විසුනු වි ගියේය. ජපාන ජාතිකයා විලාප තබමින් සිය දරුවාත් බිරියත් සොයන්නට වූයේය. අවසානයේ ඔවුහු හමු වූහ. බිරිය වැටී සිටියාය. මව ආසන්නයේ කිසිදු උපද්‍රවයකින් තොරව දියණිය වූවාය.
බෝම්බයෙන් කම්පනයට පත් ඔහු සිය බිරිය පෞද්ගලික රෝහලකට කෙසේ හෝ ගෙනියන්නට වෙර දරද්දි ඔහු සිහිසුන් විය. බිරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණි. රෝහල් ගත වු ඇයට වූ සියල්ල හොඳින් මතකය. ඇය බොහෝ දෙනෙකුට ඒ බව කීවාය. නමුත් දෛවයේ කුරිරු සරදමට මෙන් දින දෙකකට පසු ඇය මෙලොවින් සමු ගත්තාය. හඬා වැටෙන සැමියා ඉදිරියේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇයගේ සිරුර අභ්‍යන්තරය පරීක්ෂා කරද්දි හමුවූයේ බෝම්බයෙන් විසිරී ගිය යකඩ ගුලි ගණනාවකි.
බිරිය, දරු දෙදෙනා අහිමි වූ බ්‍රිතාන්‍ය නීතිඥ පියා
බ්‍රිතාන්‍ය ජාතික බෙන් නිකල්සන් පදිංචි වී සිටින්නේ සිංගප්පූරුවේය. ඔහුත් ඔහුගේ බිරියත් සිංගප්පූරුවේ ප්‍රසිද්ධ කැණීම් සමාගමක සේවය කරන නීතිඥයෝය. බෙන්ගේ බිරිය ඇනීටා මෙන්ම පුතු ඇලෙක්ස් හා දියණිය ඇනබල් පාස්කු නිවාඩුව ගත කරන්නට තෝරාගත්තේ ලංකාවය. ඔවුන් නවාතැන් ගෙන සිටියේ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේය.
හෝටලයේ දෙවැනි මහලේ වු බෝම්බ පිපිරිමෙන් බෙන් ගේ බිරිය මියගියාය. ඒ ශෝකජනක පුවත දැනගත් බෙන් තම සිරුරේ වැගිරෙන ලේ සහිතව පිස්සෙකු මෙන් එහ මෙහා දුවමින් සිය දරුවන්ට අත්වු ඉරණම සොයන්නට වූයේය. ඔහු සිහිනයෙන්වත් නොපැතූ ලෙස මියගිය අය අතර සිටි එක් පුතෙක් ඔහුගේ නෙත ගැටිණි. එහෙත් තවමත් බෙන්ගේ දියණිය පිළිබඳ හෝඩුවාවක් නැත. ඇයත් මිය ගිය බව දැන් පියා දනී. එහෙත් එය පිළිගන්නට ඔහු තවමත් සූදානම් නැත.
ලෝකයම මළගෙයක් කරමින් පාස්කු ඉරුදින එල්ල වු මේ ප්‍රහාරයෙන් විදේශිකයෝ පිරිසක් ජිවිතක්ෂයට පත්වු පුවත වාර්තා කරන්නේ දැඩි සංවේගයෙනි. මේ ලිපිය ලියන මොහොත වන විටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හඳුනා නොගත් විදේශික සිරුරු 17ක් ඇති බව වාර්තා වෙයි. ඒ සිරුරු හඳුනා ගැනීමට බොහෝ සෙයින් අපහසු තත්ත්වයේ පැවැතීමත්, හඳුනාගැනීමට ඔවුන්ගේ ඥාතීන් මෙරට නොවීමත් මේ ප්රශ්නය ඇති වීමට හේතු වි ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සෘජු මැදිහත් වීම මත මේ කටයුතු වඩාත් වේගවත්ව සිදු කරන අතර ඔවුන් ද නොසිතූ පරිදි මේ කටයුතු වඩාත් සංකූල වී ඇත.
බෝම්බ පිපිරීම ඇස් පනා පිට පෙනුණු සිදුවීමක් වුවද මේ සිරුරු නිදහස් කිරීමේ කටයුතු සිදු කරන්නේ ලංකාවේ පිළිගත් නීති රාමුව ඔස්සේය. ඒ සඳහා යම් අයෙකු හෝ ඥාතියකු විසින් එම විදේශිකයාගේ සිරුර හඳුනාගත යුතුය. පසුව සාක්ෂි සටහන් කිරීම මෘත ශරීරය කැපීම මහේස්ත්‍රාත්වරුන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඉදිරියේ සිදු වෙයි.
එසේ හඳුනාගත් සිරුරු බලධාරීන් විසින් කඩිනමින් නිදහස් කරන ලදි. හඳුනාගැනිමට අපොහොසත් වු සිරුරු හඳුනාගැනීම සංකීර්ණ කාර්ය පටිපාටියකට අනුව සිදු කරන්නට කොළඹ අධිකරණ මහේස්ත්‍රාත්වරුන් මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් කටයුතු යොදා ඇත.
හඳුනාගැනීමට අපොහොසත් වු විදේශිකයන්ගේ සිරුරු හඳුනා ගැනීමේ කටයුත්තේදී ඒ ඒ රටේ තානාපති කාර්යාල බලධාරීහු මියගිය අයගේ විදෙස් ගමන් බලපත්‍ර රැගෙන පැමිණියහ. එහෙත් ගමන්බලපත්‍රයේ ඡායාරූපය හා මළසිරුරේ ස්වරූපය සංසන්දනය කිරීමෙන් හඳුනා ගැනිමට ඔවුහු අපොහොසත් වූහ. එසේම තවත් හඳුනාගැනීමේ ක්‍රමයක් ලෙස ඔවුන් සමඟ පැමිණි පිරිසටද ඇඳුම් පැලඳුමෙන් තමන්ගේ සගයා හඳුනාගැනීමේ අවස්ථාව නොලැබී ගියහ. ඒ, ඔවුන්ද රෝහල් ගතව සිටින නිසාය.
කෙසේ වෙතත් මේ අතිශය සංකීර්ණ කර්තව්‍යයට රටක් වශයෙන් මුහුණ දිය යුතු නිසා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියමයෙන් තානාපති කාර්යාල මගින් ආදාළ රටින් සිය ඥාතීන්ගේ ඩි.එන්.ඒ සාම්පල ගෙන්වා ඒ අනුව පරීක්ෂා කිරීම් ආරම්භ විය. විශේෂයෙන් විදේශිකයන් විධිමත් පරීක්ෂණ මඟින් මිස ඇස් මානයෙන් හඳුනා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. දියුණු විදෙස් රටවල් සිය පුරවැසියන්ගේ අනන්‍යතාව දත් පරීක්ෂාවෙන් තහවුරු කරගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරයි. එසේ හඳුනා නොගත් විදේශිකයන්ගේ සිරුරු හඳුනාගැනීමට ඩී.වි.අයි (D.V.I) පරීක්ෂාව සිදු කරන්නට තීරණය කර තිබේ. දත්වල හැඩරුව, මුහුණේ සලකුණු ඔස්සේ හඳුනාගැනීමට අපේ අධිකරණ වෛද්‍ය අංශ අන්තර්ජාතික සහාය ලබාගෙන තිබිණි. ඒ සිරුරු රැසක් දැන් නිදහස් කොට ඇත.