ගමක් මළගමක් කළ කටුවාපිටියේ කටුක ඉරිදාව | සිළුමිණ

ගමක් මළගමක් කළ කටුවාපිටියේ කටුක ඉරිදාව

දෙස් විදෙස් ජනතාවගේ නෙත් සිත් පැහැරගත් සුන්දර පාරාදීසයක් බඳු මීගමුව නගරය අද පාළුවට ගොසිනි. නගරයේ කඩසාප්පු වසා දමා තිබේ. ජනාකීර්ණ මංමාවත් ජනශුන්‍ය වී ඇත. ශෝක ප්‍රකාශ සහිත බැනර් සහ සුදු කොඩි ලෙළ දෙන මුළු නගරයම අද මළවුන්ගේ නගරයක සිරි උසුලයි. ඒ, පසුගිය පාස්කු ඉරිදා (21) මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන්ගේ දේවස්ථානයේදී පුපුරා ගිය බෝම්බයෙන් 200කට වැඩි සංඛ්‍යාවක් මරු වැලඳ ගැනීමේ බිහිසුණු ඛේදවාචකය නිසා ය. මහ සයුර පවා අද මීගමු වෙරළේ හැපෙමින් හඬා වැටෙන්නේ වාවාගත නොහැකි ශෝකයෙනි. අහස් කුස ද විටින් විට කඳුළු සලන්නේ මෙම රුදුරු ව්‍යසනයෙන් සොබා දහම පවා කම්පාවට පත් වී ඇති බව කියා පෑමටය.

“අපිත් එක්ක වැඩ කරන කෙනෙකුගේ අම්මා කටුව­ාපිටිය බෝම්බයෙන් නැති වෙලා. අද ගොඩාක් දෙනා මළ ගෙදර ගිහින්.” නගරයේ බැංකුවකට ගිය විට මගේ සවනත වැකුණේ එසේය. මා බන්දුල මාර්කට්ටුවට ගිය විට එය ද පාළුවට ගොසිනි. එහි රැඳී හුන් වෙළෙන්දන් දෙදෙනා ද ලහි ලහියේ එළවළු අස්පස් කර දමන්නේ ඔවුන් සමඟ එළවළු විකුණමින් සිටි සගයකුගේ අවමංගල්‍යයට සහභාගී වීමේ අරමුණෙනි. බසයේදී අහම්බෙන් මුණ ගැසුණු මීගමුව රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් මගේ මිතුරියකට මා සමඟ කතා කිරීමට ඉස්පාසුවක් තිබුණේ නැත. ඊට හේතුව ඈ සමඟ සේවය කරන භෞත චිකිත්සකවරියකගේ සැමියාගේත් මවගේත් මුනුපුරාගේත් මෘතදේහයන්ට අවසාන ගෞරව දැක්වීම සඳහා ඈ යන නිසාය. එදා මිලේච්ඡ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් වැඩි වශයෙන් මරණයට පත් වූයේ කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව බව සැබෑවකි. එහෙත් ඔවුන් කාගේ හෝ සහෝදරයෙකි. ස‍හෝදරියකි. ඥාතියෙකි. මුළු මහත් මීගමුව ප්‍රදේශයම කම්පාවට පත් වී සිටින්නේ එබැවිනි.

කොළඹ - හලාවත ප්‍රධාන පාරේ බාල්දි හංදියේ සිට කටුවාපිටිය දේවස්ථානය කරා පැමිණෙන මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර තිබෙන ශෝක ප්‍රකාශ සහිත බැනර් ප්‍රමාණය බේදවාචකයෙන් විපතට පත් අය පිළිබඳව තොරතුරු කියාපාන කදිම සාක්ෂියකි. කටුවාපිටිය, තිඹිරිගස්කටුව, මහහුණුපිටිය, අක්කරපනහ, උතුරු කදිරාන, නුගවැල හංදිය, රුක්අත්තන හංදිය වැනි ප්‍රදේශවල ජනතාව අතර ද බෝම්බයට ගොදුරු වූ අය සිටිති. මේ අතරින් වැඩිම පිරිසක් මරණයට පත් වී තිබෙන්නේ කටුවාපිටියෙ සාන්ත සෙබස්තියන් මාවතෙනි. සෙබස්තියන් මාවතේ පමණක් මිය ගිය ගණන 18කි. සාන්ත ජූඩ් මාවත, ඩේවිඩ් මාවත, දුටුගැමුණු මාවත, හල්ගස්මුල්ල පාර වැනි මංමාවත්වලද මිය ගිය පිරිස වැඩි වශයෙන් දැක ගත හැකි විය.

බදාදා උදෑසන කටුවාපිටිය ප්‍රදේශයේ කළ සංචාරයේදී එකම පවුලේ 7 දෙනෙකුගේ මෘතදේහයන් රැගත් අවමංගල්‍ය පෙරහැරක් ඩේවිඩ් මාවතට නුදුරුව මුණ ගැසිණි. “රාලහාමි, කටුවාපිටියෙ පල්ලියේ බෝම්බ තියෙනවා. ගිහිල්ලා පරීක්ෂා කරන්නකො.... මගේ පවුලෙ හත්දෙනෙක් මේ එකට යන්නේ” යනුවෙන් කෑගසමින් විලාප දෙන මවක් වත්තන් කරගෙන යන අයුරු දකින විට මට පට‍ාචාරාව සිහියට නැඟුණේ නිරායාසයෙනි.

“මගේ අම්මා මාස 9ක් නවසීලන්තයේ අපි එක්ක එකට ජීවත් වුණා. වෛද්‍ය පරීක්ෂණ කීපයක් කරලා වාර්තා ලබා ගන්න කියලා ලංකාවට ආවේ. අපි අම්මාව නැවතත් නවසීලන්තයට ගෙන්වා ගැනීමට වාර්තා පි‍ළියෙල කරන අතරේ තමයි අම්මාට මේ විපත සිද්ධ වුණේ. මම පවුලෙ එකම දරුවා. තාත්තා 2014 දී නැති වුණා. අම්මා එක්ක නවසීලන්තයේ ජීවත් වෙන්න අපේ අහිංසක හීන වගයක් තිබුණා. ඒ සේරම නැති වුණා.” යැයි පවසමින් නිල්නි පෙරේරා හඬා වැටුණාය. ඇගේ මව වන මේරි එලිසබෙත් පීරිස් සමඟ මවගේ වැඩිමහල් සොයුරිය වන සෙලින් පීරිස් සහ ඇගේ දියණිය වන හෙලන් මාරි ප්‍රනාන්දු ද මරණයට පත් වූහ. තිදෙනාගේ ම මෘතදේහයන් එකම වහලක් යට තබා තිබුණේ ඥාතින්ගේ පහසුව උදෙසා ය.

“මේ බෝම්බයෙන් මගේ අම්මයි තාත්තායි දෙන්නාම නැති වුණා. ලොකු අම්මා නැති වුණා. අහල පහළ දන්න කියන හිතවතුන් නැතිවුණා. අපේ අම්මාගෙයි තාත්තාගෙයි අවසන් කටයුතු නිසා අපිට ලොකු අම්මාගේ මළගෙදරටවත් යන්න බැරි වුණා. අහල පහල ඒවාට යන්න වෙලාවක් තිබුණේ නැහැ.” යනුවෙන් මලිත් විමාන පැවසුවේ කනස්සල්ලෙනි. ඔහුගේ පියා රොහාන් මාසලස් විමාන ය. මේරි නෝමන් ශාන්ති ඔහුගේ මව ය. එදා ඔවුන් දෙදෙනා දේව මෙහෙයට සහභාගි වී තිබුණේ බාරයක් ඔප්පු කිරීමේ අරමුණ ඇතිවය. එනම් මේරි නෝමන් ශාන්තිගේ පාදයේ ආබාධයකට සැත්කමක් කර තිබිණි. මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් දේව මෙහෙයෙන් අනතුරුව පැවැත්වෙන විදී සංචාරයට ඈ සහභාගි වන බවට බාර වී තිබිණි. ඔවුන් දෙදෙනා එදා දේව මෙහෙයට සහභාගි වූයේ මෙම බාරය ඔප්පු කිරීමේ බලාපොරොත්තුවෙනි.

එහෙත් මලිත් සහ ඔහුගේ සොයුරිය ඉරිදා උදෑසන පාස්කු දේව මෙහෙයට සහභාගි වූයේ නැත. ඔවුන් දෙදෙනා සෙනසුරාදා රාත්‍රියේ පැවැති දේව මෙහෙයට සහභාගි වූයේ නිවෙස ඉදිරිපිටින් වීදි සංචාරය කරන විට මඟ දෙපස සැරසීමේ කටයුත්ත ඉරිදා උදෑසන සිදු කළ යුතු නිසාය.

“පල්ලියේ බෝම්බය පුපුරපු සද්දෙ ගෙදරට ඇහුණා. ඒ වෙලාවෙම මම පල්ලියට දුවගෙන ගියා. මම අම්මගෙයි තාත්තිගෙයි මළ සිරුරු හඳුනා ගත්තා. බරපතළ විදිහට හානි වෙලා තිබුණා. මම ඒ දෙන්නා ළඟම හිටියා. ඒ වෙලාවේ. කුඩුකාරයෝ පල්ලියට ඇවිත් මාල, මුදු ගලවන්න පටන් ගත්තා. ඊ‍ට පස්සේ පොලිසියට සිද්ධ වුණා. පල්ලියට එන අයව නවත්වන්න.” යනුවෙන් නොමිනිසුන්ගේ මිලේච්ඡ ක්‍රියා හමුවේ සිදු වන නොමිනිසුන්ගේ තවත් පහත් ක්‍රියාවක් මලිත් විස්තර කළේය.

මවත් පියාත් අහිමි වූ මලිත්, රොෂිකා සහ ෂෙරෝන් වැනි දරුවෝ කටුව­ාපිටිය ප්‍රදේශයේ තවත් සිටිති. කටාන ප්‍ර‍ාදේශීය සභා මන්ත්‍රීවරයකු, දේශීය වෛද්‍ය සහ සාම විනිසුරුවරයකු වන සනත් ‍රෝහන් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිය වේල්ස් ඉන්දිරා ප්‍රනාන්දු මරු වැලඳ ගත්තේ ඔවු‍න් දෙදෙනා අතරට මැදි වී සිටි දරුවා මේ ලෝකයේ තනි කරමිනි. ඔවුන් දෙපළගේ තවත් දරුවෙකු ආශිර්වාද පැන් සඳහා ඇති ජල ටැංකියක පියන වැසීමට දේවස්ථානයෙන් බැහැරට ගිය බැවින් දිවි ගලවා ගෙන තිබිණි.

“මගේ මහත්තයායි දුවයි මමයි තුන්දෙනාම එකට හිටියේ. පූජාව ඉවරවෙලා ගුණකථනයක් පැවැත්වෙනවා. අපි ඒ වෙලාවේ ඒකට සවන් දීගෙන හිටියේ. අනේ මගේ දුවටවත් මටවත් කිසිම සීරිමක් නැහැ. මගේ මහත්තයාගේ කන ළඟින් බෝම්බ කෑල්ලක් ගිහින් ඔළුව පිටිපස්සෙන් පසාරු වෙලා මහත්තයා නැති වුණා. අපි දෙන්නා මේ ලෝකේ තනි වුණා.” යැයි පවසමින් හඬා වැටුණේ දිලුක් ප්‍රනාන්දුගේ බිරිය චන්ද්‍රාණිය. දිලුක්ගේ වියෝවත් සමඟ ඔහුගේ බිරිය සහ දියණියට මුහුණදීමට සිදු වන්නේ තනිකමට පමණක් නොවේ. අසීරුතම ජීවන අරගලය සමඟ හුදකලාව පොර බැඳිමට ද සිදු වේ. මක්නිසාද දිලුක් ප්‍රනාන්දුගේ ජීවිකාව වඩු කාර්මිකයකු වන නිසාය. එදිනෙදා කීයක් හෝ සරි කර ගත් ඔහුගේ වෘත්තියෙන් පවුලට හිමි වන අර්ථසාධක මුදලක් හෝ විශ්‍රම වැටුපක් නැත. ඔවුන් වාසය කරන්නේ කුලී නිවසකය. බෝලවලාන කනිටු විදුහලේ 4වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලුක්ගේ දියණියට ඉගැන්විය යුතුය. චන්ද්‍රාණි රැකියාවක් කරන්නේ ද නැත. මේ අනුව දිලුක්ගේ මරණ‍යත් සමඟ චන්ද්‍රාණි විසඳා ගත යුතු ප්‍රශ්න රාශියකි.

කටුව­ාපිටියේ ඇන්ටනි ෂෙල්ටන් සහ සමාලි ප්‍රනාන්දු ද ත්‍රස්ත බෝම්බයෙන් දිවි ගලවාගෙන අසරණ වී සිටින යුවළකි. ඇන්ටනි ෂෙල්ටන් ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස සේවය කරයි. ඔහුගේ පාදයක් ආබාධයකට ලක් වී තිබීම නිසා බොහෝ කාලයක් ගත වන තුරු ඔහුට සිය වෘත්තිය කරගෙන යෑමට නොහැකි වනු ඇත. ඔහුගේ බිරිය ද පල්ලියේ වහලයේ උළු කැටයක් හිසට වැටීමෙන් ශල්‍යකර්මයකට භාජනය වී සිටියි. එම ශල්‍යකර්මයත් සමඟ ඇගේ අතක් අප්‍රාණික වී ඇත. එබැවින් ඇයට ද කිසිවක් කර කියා ගැනීමට හැකියාවක් නැත. මේ අනුව ඔවුන්ට ජීවත් වීමේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ කෙසේදැයි සිතා ගත නොහැකි බව ඔවුහු පවසති.

“කටුවාපිටියේ පල්ලියේ බෝම්බයක් පිපිරුණා කිව්වාම අපි කඳානේ ඉඳලා අයියාව බලන්න මීගමුව රෝහලට ආවා. රෝහලේදී අයියාව හම්බවුණා. ඊට පස්සේ අපි අක්කාව හෙව්වා. අක්කා මීගමුවේ හිටියේ නැහැ. ඇත්තටම අපි හිතුවෙ අක්කා නැති වෙලා කියලා. ඒත් අයියා දිගින් දිගටම කිව්වා එයා අක්කාව වත්තං කරගෙන මිනී උඩින් ඇදගෙන ආවා කියලා. අපි සීදුව විජය කුමාරතුංග රෝහලට රාගමට එහෙම ගියා. එදා රෑ 7.00 ට විතර තමයි දැනගත්තේ අක්කාව කොළඹ හදිසි අනතුරු වාට්ටුවට ගෙනිහින් ඔපරේෂන් කරලා කියලා.” යනුවෙන් ඇන්ටන් ෂෙල්ටන්ගේ බාල සොයුරිය සඳහන් කළාය.

නැති වූ අයව සොයන අය තවමත් ගමේ සිටින බව පැවසූ ගම්වාසීන් සමහර විට ඔවුන් රෝහල්වල සිටිය හැකි බවත් නැතහොත් මළසිරුරු සුන්බුන් අතර විය හැකි බවත් පැවසුවේ දැඩි සංවේගයෙනි. මීට අමතරව ඇතැම් සුවිශාල නිවාස තුළ හුදකලාව ජීවත් වූ අය එම නිවෙස් තුළ තවමත් ජීවත් වෙනවා ද මිය ගියා ද යනුවෙන් කිසිවකු නොදන්නා බව මා සමඟ ත්‍රිරෝද රියදුරෙක් සඳහන් කළේය. ඔවුන් ගැන සොයා බැලීමට කිසිවකුට වේලාවක් නැත. ඔවුන් ගැන සොයා බැලිය යුත්තේ විදේශ රටවල පදිංචි ඥාතීන්ය.

මේ අතරවාරයේදි කටුවාපිටිය දේවස්ථානයේ පුපුරා ගිය බෝම්බයට ගොදුරු වූ මුළු පවුලක් ගැන පහළ කදිරාන ප්‍රදේශයෙන් වාර්තා විය. කදිරාන දේවාලය අසල පදිංචි රංග ප්‍රනාන්දු, ධාරා කුරුප්පුආරච්චි යුවළ සමඟ 6 හැවිරිදි ෆ්බියොලා, සිවු හැවිරිදි ලියෝනා සහ මාස 11ක් වයසැති සෙත් මස්ති යන දරු තිදෙනා මෙසේ ජීවිතක්ෂයට පත් වූ අය වෙති. ඒ හැර එම නිවසේ සේවය කළ පිලමිනා නමැති කාන්තාව ද ඔවුන් සමඟ මරු වැළැඳ ගත්තාය.

මීට අමතරව කටුවාපිටිය බෝම්බයට ගොදුරු වීමෙන් සිය බිරිය සහ දරුවන් මිය යෑමේ වේදනාවෙන් පෙළුණු තරුණයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගත් පුවතක් ලැව් ගින්නක් සේ පැතිර ගිය ද එහි සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.

අවට ප්‍රදේශවල සැරිසරන විට අපට පසක් වූයේ කටුවාපිටිය බෝම්බයට ගොදුරු වී මිය ගිය හෝ තුවාල ලැබූ අය සිටින නිවසක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම තරම් අසීරු බව ය. කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට සිට ලයිට් මෝල හංදිය දක්වා වැටී ඇති හල්ගස්මුල්ල පාරේ පිය නඟන විට අත් එල්ලාගත් පාද වෙළා ගත් තුවාලකරුවන් සිටින අයුරු දැක ගත හැකි විය.

“බෝම්බයෙන් තුවාල ලැබූ මගේ අම්මා දැන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. අම්මාගේ පිට ප්‍රදේශයේ බෝම්බ කෑලි 8ක් තියෙනවා කිව්වා. ඔළුවෙත් එකක් තියෙනවා කිව්වා. පිට ප්‍රදේශයෙන් කෑලි 4ක් ගන්නවා කිව්වා. හැබැයි ඔළුවෙ කෑල්ල අරං දාන්න බැහැ කිව්වා. අම්මාගේ අතත් උරහිස ළඟින් කැඩිලා. අපි හැමෝම මේ දවස්වල අම්මාගේ රෝගි තත්ත්වය එක්ක ඔට්ටු වෙන නිසා අපිට අහල පහල කිසිම කෙනෙකුට උදව්වක් කරන්න වෙලාවක් නැහැ. ගේ ඉස්සරහ මළ ගෙවල් දෙකකට විතර ගියා. එච්චරයි. අපි ගමම හඳුනනවා. ඒත් ගමේ ම මළ ගෙවල්වලට යන්න විදිහක් නැහැ. මේ ගමේ හුඟ දෙනෙක් මුහුණ දීලා තියෙන්නේ ඒ විදිහ තත්ත්වයකට.” යනුවෙන් පැවසුවේ කටුවාපිටියේ පදිංචි සුජීව අප්පුහාමි ය. සුජීවගේ මව සිහියෙන් පසු වන නමුත් රෝහලේ ඇ‍ඳේ සිට තවමත් යාච්ඥා කරන්නේ ඇයට ඇති වූ කම්පනය නිසා විය හැකිය.

“මේ ගමේ බෝම්බයෙන් තුවාල වුණු අය ඉස්පිරිතාලවල ඉන්නවා. සමහරුන්ට නම් දරුවන් නෑයන් බලනවා. ඒත් සමහරුන්ට ළඟ ඉන්නවත් කෙනෙක් නැහැ. ඉන්න නෑදෑයින්ගේ ගෙවල්වලත් මරණ, තුවාලකරුවන්. ඉතින් කොහොමද තව කාටවත් බලන්නේ.” යනුවෙන් මා සමඟ සඳහන් කළේ සාන්ත සෙබස්තියන් මාවතේ කුඩා වෙළෙඳසැලක් පවත්වා ගෙන යන රසිකා ය.

එහෙත් අවමංගල්‍යයක් පිහිටි සෑම නිවසකටම සත්කාර සහ සංග්‍රහ නොඅඩුව ලැබී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔවුන් පවසන්නේ ඔවුන් නොදන්නා පිට ප්‍රදේශවාසීන් විසින් කෑම බීම, වතුර බෝත‍ල් සියල්ලම සැපයු බවය. මක් නිසාද සාමාන්‍ය සම්ප්‍රදායට අනුව මරණ ගෙදරක සංග්‍රහ කිරීමේ කටයුතු අසල්වාසීන් විසින් සිදු කරනු ලැබුවත් මුළු ගම ම මළ ගෙයක් වී තිබියදී සම්ප්‍රදාය රැකීම ගම්වාසින්ට කළ නොහැකි බැවිනි. ෂෙරෝන් විමාන පැවසුවේ මීගොඩ පන්සලක ස්වාමින්වහන්සේ නමක් සහල්, සීනි, වතුර බෝතල් ඇතුළු වියළි ද්‍රව්‍ය රැසක් පරිත්‍යාග කර ගිය බවය. ඇතැම් අවස්ථාවලදී පිසූ ආහාර රැගෙන එන විට ප්‍රමාණවත් තරම් ආහාර ඇති බව දැන් වූ විට ඒවා පුටු මත තබා යන බව ඈ සඳහන් කළේ නොමිනිසුන්ගේ තුච්ඡ ක්‍රියා හමුවේ මිනිසත්කම ඉහ වහා යන පිරිසක් තවමත් ජීවත් වන බව සිහිපත් කරමිනි. මිනිසත්කමට ජාතියක් ජන්මයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මනුස්සකම පමණි. එමෙන්ම නොමිනිසුන්ට ද කිරිසප්පයන්, දරුවන්, ගැහැනුන්, පිරිමින් කියා වගක් නැත. ආගමක් ජාතියක් අවශ්‍ය නැත. පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට පැමිණ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගන්නේ එබැවිනි.

පාස්කු ඉරු දින (21) ස්ථාන කීපයක සිදු වූ ප්‍රහාර අතරින් දරුණුතම ප්‍රහාරය එල්ල වූයේ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයට ය. මෙම ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් මරණයට පත් වූහ. එයින් 183 දෙනෙකුම සෙල්ලකන්ද, කටුවාපිටිය, බටහිර මහ හුණුපිටිය, නැගෙනහිර මහ හුණුපිටිය, අක්කර පනහ සහ පහළ කදිරාන යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවල පදිංචිකරුවන්ය. අතුරුදන් වූ අයගේ ගණන 06කි. දරුණු ගණයේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 75-90 අතර බව විමර්ශනවලින් අනාවරණය විය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ අය කටුවාපිටිය ග්‍රාමයේ විශේෂයෙන් සකස් කළ ඩේවිඩ් වත්ත සුසාන භූමියේත්, සෙල්ල කන්ද සුසාන භූමියේත් සදාකාලික නින්දේ සැතපෙති. අදට ඔවුන්ගේ සත් දවසේ පින්කම් යෙදී තිබේ. ඔවුන්ට මොක් සුව ප්‍රාර්ථනා කරමු.

ඡායාරූප - මීගමුව සමූහ එච්. ප්‍රනාන්දු
ඡායාරූපය - රොහාන් කරුණාරත්න

Comments