දකුණ පුපුරා යද්දී බිඳවැටෙන උතුර | සිළුමිණ

දකුණ පුපුරා යද්දී බිඳවැටෙන උතුර

පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයක බෝම්බ පුපුරවන ලද අන්තගාමී පිරිස් පිළිබඳද බෝම්බ පිපිරවීමෙන් පසුව ආරක්ෂාව පතා උතුරට පැමිණ සිටින පිරිසක් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානයට ලක්විය. දැනට උතුරේදී එවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

අත්අඩංගුවට පත්වූවන්ගෙන් ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරු වලට අනුව බෝම්බ පිපිරුණු දකුණට වඩා දැඩි ආරක්ෂාවක් මේ දිනවල උතුරේදී දක්නට ලැබේ.

මේ දිනවල උතුරේ ආරක්ෂක තත්ත්වය මහා යුද්ධ කාලයේ තිබූ තත්ත්වයටම පත් වෙමින් පවතී. උතුරට ඇතුළු වන අනු නගරය වූ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී මහා මාර්ගයේ මුරපොළක් ක්‍රියාත්මකය. ඒ නවය මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේ එදා වසර ගණනාවක්ම ක්‍රියාත්මක වූ යුද හමුදාවේ හා පොලීසියේ ඒකාබද්ධ මුරපොල යළි ආරම්භ වී තිබේ.

බස් රථ වලට නඟින බහින සියලු දෙනාගේ ගමන් මලු යළි පරීක්ෂා වීමත් පෝලිමේ සිට ආරක්ෂක අංශවලට හැඳුනුම්පත පෙන්වීමටත් බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමත් සිදුවෙමින් පවතී.

උතුරේ රෝහලට, අධිකරණයට රජයේ කාර්යාලයට පමණක් නොව ආගමික ස්ථානයට වැදුම් පිදුම්වලට යන විටද පරීක්ෂා කිරීමවලට ලක් වීමට සිදු වී තිබේ.

උතුර කලබල වුණේ ඇයි?

බෝම්බ පිපිරී ගියේ කොළඹ ඇතුළු අට තැනක වූවත් උතුරට යළිත් යුද පසුබිමක් පැමිණියේ මන්ද යන්න සොයා බලන විට හෙළි වන තොරතුරුසුළුපටු නොවේ. කොළඹ බෝම්බ පිපිරීමෙන් පසුව ඒ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු උතුරේදී මුලින්ම අත් අඩංගුවට පත් වූයේ මන්නාරමේදීය. මන්නාරමට පැමිණ සැකකටයුතු ලෙස හැසිරුණු දෙදෙනෙකු පිළිබඳ මන්නාරමේම වැසියෝ පොලීසියට තොරතුරු ලබා දුන්හ.

දැන් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මන්නාරම යනු මුස්ලිම් වැසියන් ඉතා බහුලවම වෙසෙන උතුරු පළාතේ ප්‍රධාන නගර පහෙන් එකකි. අන්තවාදී මුස්ලිම් ජාතික ආගමික ම්ලේච්ඡයන් පොලිසියට කොටුකර දෙන්නේ සාමාන්‍ය මුස්ලිම් වැසියෝය. එය මේ රටේ පොදු මුසල්මානුවාගේ මනෝභාවයය.

මන්නාරමෙන් පසුව බෝම්බ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට විවිධ තරාතිරම්වල පිරිස් අත්අඩංගුවට ගැනුණේ යාපනයේදීය. මේ වන විට අවස්ථා කීපයකදීම යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස පහළොස් දෙනෙකුට අධිකය.

යාපනයෙන් මන්නාරමෙන් මෙන්ම මුලතිව් ධීවර වාඩිවලින්ද සැකකටයුතු පුද්ගලයෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමුවැන්න ඔවුන් උතුරේ කවර හෝ ප්‍රදේශයකට පැමිණ ඇත්තේ කොළඹ බෝම්බ පිපිරුණු දිනයට පසුදිනයේදී වීමයි.

දෙවන කාරණය වන්නේ ඔවුන් උතුරු පළාතට පැමිණ උතුරේ යම් යම් ස්ථානවල ලැගුම් ගෙන ඇත්තේ කිසිදු හේතුවක් නැතිව වීමය. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් උතුරට පැමිණියේ කුමන අවශ්‍යතාවකට දැයි පැහැදිලිව කරුණු දැක්වීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැත.

පොලීසිය මේ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි කරයි.

''බෝම්බ පිපිරවීමේ සිද්ධීන් සමඟම කොළඹ මීගමුව පළාත්වල සිට විශාල පිරිසක් උතුරට පැමිණ තිබෙනවා. තොරතුරු ලැබුණු පසුව පොලීසිය ගොස් ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කරනවා.

මේ අය හදිසියේම උතුරට ආවේ ඇයි කියන ප්‍රශ්නයට ඔවුන්ට සාධාරණ උත්තරයක් නෑ. ඔවුන් කියන්නේ එක් එක් අය හමුවීමට පැමිණියා කියන කාරණයයි. ඒත් ඒ අයත් මේ අයත් අඳුනන අය නොවෙයි. ඇවිත් නවාතැනක් සොයා ගන්න යෑමේදී ඇති වුණු හැඳුනුම්කමක් විතරයි ඔවුන් අතරේ තියෙන්නේ.

යාපනයේදී අත්අඩංගුවට පත් වුණු මුස්ලිම් තරුණයෙකු සිටිනවා. ඔහු පැමිණ තිබෙන්නේ මීගමුවේ සිටයි. ඔහු යාපනයට පැමිණ තිබෙන්නේ බෝම්බ පිපිරුණු දිනයට පසු දිනයේදීයි. ඔහුගේ ගම අනුරාධපුර කැකිරාවේ මරදන්කඩවලයි. ඉතින් ඔහු මීගමුවේ සිට මරදන්කඩවලට නොගොස් යාපනයට පැමිණෙන්නට තරම් ඔහුට ඉතා විශාල වුවමනාවකුත් නෑ. ඔහුට ඒ ගැන ඉදිරිපත් කිරීමට තරම් පිළිගත හැකි හේතුවකුත් නැහැ.

ඔහුගේ ස්ථිර ලිපිනයට අනුව ඔහු ඒ පළාතේ කාලයක්ම පදිංචි වෙලා ඉඳලත් නැහැ. මේවා විශාල ප්‍රශ්න හා සැකයට භාජනය වන හේතු නිසා පොලීසිය රඳවාගෙන ප්‍රශන කරගෙන යනවා.

අනෙක් කාරණය තමයි මේ සියලුම දෙනා උතුරට පැමිණ තිබෙන්නේ බෝම්බ පිපිරුණු දාට පසු දිනයේ වීමයි. ඒ දක්වා සිටි තැනක් කළ දෙයක් ගැන හරියට නිවැරදි විස්තරයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. ඔවුන් කවුරුන්ද කුමන දේවල් වලටද සම්බන්ධ වී ඇත්තේ යන තොරතුරු සොයාගන්නා තුරු ඔවුන් නිදහස් කිරීම කළ නොහැකියි. ඒ දක්වාම පොලීසිය ඔවුන් දකින්නේ සැකකරුවන් විදිහටයි.''

යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මුස්ලිම් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් වූයේය. ඔහු අත්අඩංගුවට පත් වන්නේ වරු ගණනක දුරකතන ඇමතුමක් ඉතා රහසිගතව සැකයක් උපදින ආකාරයට ගැනීම නිසාය. යාපනයට පැමිණි කාරණය විස්තර කිරීමට ඔහුටද පුළුවන්කමක් තිබුණේ නැත. දැන් ඔහු පොලිස් අත්අඩංගුවේය.

ආරක්ෂක අංශ දැනට හෙළිදරව් කරගෙන ඇති කාරණා අනුව බෝම්බ පිපිරවීමේ සිද්ධිය එක් සිද්ධියකින් හෝ සිද්ධීන් අටකින් නිමා වන්නේ නැති ආකාරය ය. නැඟෙනහිර පිපිරවූවා සේ උතුර පිපිරවීම සඳහා යම් කණ්ඩායමක් පැමිණියේ නම් ඔවුන් තවම සක්‍රීය ය. උතුරේ ආරක්ෂක අංශ කියන්නේ මේ තත්වය ඉතාම භයානක බවය. එසේ නම් මේ බෝම්බකරුවන් බෝම්බත් සමඟම උතුරේ කොතැනක හෝ සැඟවී සිටිය යුතුය. උතුරේ තැනක ඔවුන් බෝම්බයක් පුපුරවා හැර මහා විනාශයක් සිදු කරයිද?, එසේත් නැති නම් රැගෙන එන ලද බෝම්බත් රැගෙන මරාගෙන මැරෙන බෝම්බ කරුවා ආපසු කොළඹට යයිද යන්න කිසිවෙකු දන්නේ නැත. මේ දිනවල මුළු උතුරු ප්‍රදේශයම මහා යුද සමයේදී දිස් වූ ආකාරයටම පරීක්ෂා කිරීම් මෙහෙයුම්වලින් පිරී ඇත්තේ ඒ නිසාය.

අන්තර්ජාල ප්‍රකාශය

බෝම්බකරුවන් කොතැනක හෝ සැඟව සිටියදී වවුනියාවේ ඉස්ලාමීය මෞලවිවරයෙකු විසින් අන්තර් ජාලයට මුදාහරින ලද වීඩියෝවක් නිසා උතුර යළිත් කැලඹිණි.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වවුනියාවේ පට්ටානීචූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය බාර ප්‍රධාන මෞලවිවරයා වීඩියෝවක් මඟින් අදහස් දක්වමින් කියා සිටින්නේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව සාධාරණ බවය.

මුළු ලෝකයම ඉස්ලාමීය දහමක් බවට පත් කිරීමට රැගෙන යන මුස්ලිම්වරුන්ගේ උත්සාහය මේ වන විට සාර්ථක වී ඇති බවත් එය යුද්ධයක් බවට පත්වෙමින් පැමිණ අවසන් සන්ධිස්ථානයකට පත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ බෝම්බ ප්‍රහාරය සිදු වූ බවත් එම මෞලවිවරයා අර්ථකථනය කොට තිබේ.

මෙය තවත් තීව්‍ර වශයෙන් ඉදිරියට යා යුතු බවද මෞලවිවරයා විසින් අවධාරණය කොට තිබේ.

මෞලවිවරයාගේ මේ විශේෂ වීඩියෝව අන්තර්ජාලයේ දුටු සැණින් ඊට වවුනියාවේ දෙමළ සංවිධාන පමණක් නොව සෙසු මුස්ලිම් මෞලවිවරුද විරෝධය පළ කොට සිටියහ.

දෙමළ සංවිධාන ඒ බව ආරක්ෂක අංශවලට පැමිණිලි කළේය. ආරක්ෂක අංශ ඔහු සොයා ගියත් ඔහු දැනට මක්කමට ගොස් සිටීම නිසා මෞලවිවරයාගෙන් කිසිම දෙයක් දැනගැනීමට නොහැකි විය.

අදාළ මෞලවිවරයා වවුනියාවෙන් මුස්ලිම් පදනමක් යටතේ දේශපාලනයට ගොස් සිටින සියලුම දේශපාලනඥයන්ගේ ඥාතියෙකි. ඒ මෞලවිවරයා ලංකාවට පැමිණෙන තුරු ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වූවත් ඔහුට නීත්‍යනූකූල භාර්යාවන් හතර දෙනෙකුම සිටින නිසා ඒ උත්සාහයද අසාර්ථක විය.

එක් මෞලවිවරයෙකු අන්තවාදීන්ගේ බෝම්බ පිපිරවීම සාධාරණීකරණය කිරීමට යෑම නිසා වවුනියාවේ සෙසු මෞලවිවරු දැඩි අපහසුතාවයකට මෙන්ම දැඩි අනාරක්ෂිත බවකට මුහුණ පා සිටිති.

මෞලවිවරු වහාම වවුනියාව දිසාපති මොහෙමඩ් හනීෆා හමු වී ලිපියක් බාර දෙමින් එම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි සේ හෙළා දකිමින් මිය ගිය හා තුවාල ලද පිරිස් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටිති. එමෙන්ම අන්තවාදී නොවන ඉස්ලාමීය ජනතාවගේ හා ආගමික නායකයන්ගේ ජීවිත ආරක්ෂාව හා සමාජීය වටිනාකම ආරක්ෂා කොට දීමට රජයත් සෙසු සංවිධානත් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු බව ඔවුහු සිය ලිපියේ සඳහන් කරති.

රට අනාරක්ෂිත වී ඇත. සමස්ත ජීවිත රටාවම බිඳ වැටී ඇත. උතුරත් දකුණත් එක සේ වික්ෂිප්තවය. ඒ තිගැස්මෙන් මිදෙන දිනය එන තෙක් මේ රටේ මිනිස්සු බලාගෙන සිටිති.

Comments