පාසල්වල ආරක්ෂාව යුද සමයටත් වඩා ශක්තිමත් | සිළුමිණ

පාසල්වල ආරක්ෂාව යුද සමයටත් වඩා ශක්තිමත්

පසුගිය සතියේ වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ අන් කවරදාටත් වඩා සැලකිලිමත් වීමට මවුපියෝ කටයුතු කරති. දෙවන පාසල් වාරයේ ඇරඹුමත් සමඟ පාසල් දරුවන්ගේ ආරක්ෂාව දැඩි සේ සහතික කළ යුතුය. ත්‍රස්තවාදීන්ට වැඩිහිටියා, දරුවා කියා සිතන්නට හිත්පිත් නැත. ලංකාවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන්නට අපි කටයුතු කළේ එබැවිනි. අධ්‍යපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පාසල් තුළ සහ අවට දරුවන් වෙනුවෙන් වි‍ශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.

“සිසු දරුදැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් එම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සියලුම ජාතික හා පළාත් පාසල්, පෞද්ගලික හා අන්තර්ජාතික පාසල්, පිරිවෙන් හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ සහභාගීත්වයෙන් විශේෂ ක්‍රියාන්විතයක් සිදු වන අතර එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා එම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී විජයබන්දු පවසා සිටින්නේ, අමාත්‍යතුමා අධ්‍යාපන බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානත්වයෙන් සාකච්ජා පවත්වා පාසල් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

“පසුගිය යුද සමයේ පාසල් දරුවන් හා පාසල් ආරක්ෂාව වෙනුවෙන් පැවැති වැඩසටහන් සියල්ල සක්‍රීය කරන්නට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාසලේ ආරක්ෂක කමිටු බලාත්මක කිරීමට සියලුම පාසල්වල විදුහල්පතිවරුනට උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් ආරම්භයට පෙර, පාසල් භූමිය සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගෙන තිබෙනවා.

පාසලට පැමිණෙන පාසල් දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂාව වගේම දරුවන් හඳුනාගැනීමට පාසල් මඟින් ලබා දී ඇති ඔවුන්ගේ ‍ජායාරූපය ඇතුළත් ශිෂ්‍ය වාර්තා පොත් පරීක්ෂාවට ලක් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ආරක්ෂක බලඇණිවලට අමතරව මවුපියන් කණ්ඩායම් යොදවා පාසල් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කරනවා. තම කලාපයේ පාසල් දරුවන්ගේ ආරක්ෂක අවශ්‍යතාව සඳහා හදිසි තීරණ ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා තීරණ ගැනීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුනට බලය ලබා දී තිබෙනවා“

අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ පාසල් වාරය ආරම්භයට පෙර සියලුම පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශ විශේෂ සෝදිසියකට ලක් කොට ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා විසින් පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර තිබේ.

පාසල් භුමිය හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවා භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇත. එම ආරක්ෂක වැඩපිළිවෙළ පාසල් ආරම්භ වීමෙන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පවසා සිටියේ, පාසලේ දැනටමත් ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමට පියවර ගත් බවයි. ත්‍රිවිධ හමුදාව ලබාදෙන ආරක්ෂාවට අමතරව පාසල ඉදිරිපිට දී පාසල් දරුවන් පැමිණෙන රථවාහන තදබදයක් ඇති වීම වැළැක්වීමට සැලැසුම් කර ඇති බව අබේරත්න මහතා කියයි.

“පාසල ඉදිරිපිට කිසිම විටෙක වාහන නවතා තැබීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට පාසල් රථවාහන වලට 'No parking - Drop and Go' සංකල්පය අපි හඳුන්වා දී තිබෙනවා. මේ වන විට රාජකීය පාසල් සංකීර්ණමය දැඩි පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා. ඒ සඳහා නිරන්තරව ක්‍රියාත්මක වෙන ආරක්ෂක උපක්‍රම යොදා තිබෙනවා. මේ වෙලාවේ මවුපියන්ට කියන්න දෙයක් තිබෙනවා. දරුවා පාසලට යොමු කළ පමණින් ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. වෙනදාට වඩා අවධානයෙන් ආරක්ෂක සැලැස්මට සහයෝගය අවශ්‍යයි.

පාසලට පැමිණෙන මවුපියන්ගේ ඇදුම් පැලඳුම් වගේම රැගෙන එන පාර්සල් බෑග් ආදිය ගැනත් සැලකිලිමත් වෙනවා. නොහඳුනන කිසිවකු පාසල තුළ හෝ අවට නොරැඳිය යුතුයි.

විශේෂයෙන්ම කතෝලික පාසල්වල ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳත් අපි විමසා බලන්නට කටයුතු කළෙමු. කතෝලික ජනසන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමා පවසා සිටියේ, කතෝලික පාසල් සඳහා ද අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, ඊට අමතරව කතෝලික සභාවේ සාකච්ජා අනුව ද ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිරෝහණ මහතා පවසා සිටියේ, පාසල් අවට අධික රථවාහන තදබදය වැළැක්වීමට සහ පාසල් අවට රථවාහන නැවැත්වීම වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි. රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන් සැකකටයුතු වාහන පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන අතර සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මක කරයි.

“වාහන පාර අයින්වල නවත්වල යන්න එපා කියලා මවුපියන්ගෙන් ඉල්ලනවා. එහෙම නවත්තලා ගිහින් තිබුණොත් එම වාහන ළඟම තියෙන පොලිස් ස්ථානයට ඇදගෙන යෑමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් දඩ මුදලකුත් නියම කරනවා. ඊට අමතරව ඇදගෙන යෑමට වැය වූ මුදලත් ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම යම් වාහනයක් හෝ යතුරු පැදියක් සැකකටයුතු නම් ඒ වාහන පුපුරුවා හරින්නට කටයුතු කරනවා. මේ නිසා ඉතා සැලකිලිමත්ව ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් මත කටයුතු කරන්න කියලා පාසල් වෑන්රථ හා බස්රථ රියැදුරන්ගෙන් සහ මවුපියන්ගෙන් ඉල්ලාසිටිනවා“

පාසල් පද්ධතියට වගේම විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන විශ්ව විද්‍යාල පද්ධතියේ ද ආරක්ෂාව සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන් සිල්වා මහතා පවසා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

“විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නේවාසිකාගාර පරිශ්‍ර විවෘත කර තිබුණත් කැමැති දරුවෙකුට තම නිවෙස්වලට යෑමට අවසර ලබා දී තිබෙනවා. නමුත් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අපි නිවාඩු ලබා දී නැහැ. විශ්වවිද්‍යාල අතුළත හා පිටත ආරක්ෂාව සඳහා අපි රජයේ ආරක්ෂක ආයතනවල ආරක්ෂාව ලබාගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුනට ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව ඔවුන් අදාළ අංශවලට ඉල්ලීම් කර පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව විශ්ව විද්‍යාලවලට ලබාගන්නට කටයුතු කරනවා.“

රටේ ඇති වී තිබෙන තත්ත්වය පාසල් දරුවන්ගේ මනසට බලපාන්නේ කොහොමද ඊට පිළියම් මොනවාද යන්න පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසන්නේ මෙවැන්නකි.

“වයස ‍අවුරුදු දොළහෙන් පහළ ළමයින්ට රූපවාහිනිය ඔස්සේ මේ ත්‍රස්තවාදී ක්‍රියා නැරඹීම අවම කළ යුතුයි. යෞවනයේ දරුවනට වෛරය නොදනවන ලෙස කරුණු කාරණා වටහා දිය යුතුයි. ඒ කාර්යය සඳහා පාසලෙන් පදනම මෙන්ම බර දැමීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. අගමික හා ජාතිවාදී ආකල්ප යෞවන මනසේ පැළපදියම් නොකිරීම වගබලාගැනීම ජාතික වගකීමක් යනුවෙනි.“

Comments