පාස්කු ඉරිදාවේ මාරකයට පාර හැදුණු හැටි | සිළුමිණ

පාස්කු ඉරිදාවේ මාරකයට පාර හැදුණු හැටි

සමස්ත ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කරමින් මෙරට දේවස්ථාන සහ ප්‍රමුඛතම සංචාරක හෝටල් තුනකට එල්ල වුණු අන්තවාදි ත්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය. එහෙත් මූලික විමර්ශනවලින්ම පෙනී ගොස් ඇත්තේ වළක්වාගන්නට හැකියාව තිබුණු මේ ප්‍රහාර වළක්වාගන්නට ආරක්ෂක බලධාරීන් තුළ කිසිදු උනන්දුවක් නොතිබුණු බවය. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නට සිදු වන්නේ ඒ නිසාය. ඒ සිය වගකීම නිසි ලෙස ඉටු කිරීමට ඔහු අසමත් වීම හේතුවෙනි.

වගකීම නිසි ලෙස ඉටු නොකළේ හේමසිරි ප්‍රනාන්දු පමණක් නොවන අතර, පෙනී ගොස් ඇති ආකාරයට පොලිස්පති පූජිත් ජයසුන්දරද ප්‍රධාන චුදිතයෙකි. එසේම තවත් චුදිතයකු බවට පත් වන්නේ රාජ්‍ය ආරක්ෂක බුද්ධි ප්‍රධානියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ය. මේ අය සිය තනතුරුවල වගකීම නිසි ලෙස වටහා නොගැනීම මේ මහා ඛේදවාචකයට මුල්වී ඇතැයි දැන් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව හමාරය.

මේ කථාව ආරම්භය සටහන් වන්නේ ඉන්දියාවෙනි. එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ ‘අයිඑස්අයිඑස්‘ ත්‍රස්ත සාමාජිකයකුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීමකදී හෙළිව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිදුවන්නට නියමිත අයිඑස්අයිඑස් ප්‍රහාරයක් ගැනය. ඒත් එ සමඟම රෝ ඔත්තු සේවය ඒ සම්බන්ධ කරුණු අධ්‍යයනය කරමින් ඒ බව ඔවුන් දැනුම් දෙන්නේ මෙරට ඔත්තු අංශය වන රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්) වෙතය. ඒ ඉකුත් 04 වැනිදාය.

ඒ තොරතුරෙන් රෝ ඔත්තු සේවාව මෙරටට දැනුම් දුන් ආකාරයට කතෝලික දේවස්ථාන සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහරාන් කාසීම් නමැත්තාගේ නායකත්වයෙන් ජාතික තවුහිද් ජමාත් නමැති අන්තවාදි සංවිධානය විසින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානමක් තිබිණි. මේ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර ලෙසින්, වෙඩි ප්‍රහාර මඟින් හෝ කැපෙන ආයුධවලින් හෝ වාහනයක ඇටවූ බොම්බයක් මඟින් එල්ල කරන්නට නියමිත බව රෝ ඔත්තු සේවයේ අනතුරු ඇඟවීමේ සඳහන් විය. මේ අනතුරු ඇඟවීමත් සමඟ ප්‍රහාරවලට සූදානම්ව සිටින බවට සඳහන් පුද්ගල නම් 6ක්ද රෝ ඔත්තු සේවය විසින් රාජ්‍ය බුද්ධි සේවයට ඉදිරිපත් කර තිබිණි.

රෝ ඔත්තු සේවයේ මේ අනතුරු ඇඟවීමේ රහස් තොරතුර සියතට ලද වහා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ඒජන්තවරුන් මඟින් සොයා බලන්නේ මේ තොරතුරුවල සත්‍ය-අසත්‍යතාව ගැනය. එහිදීද පෙනී යන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය යම් ප්‍රහාරයකට ඒ වන විටත් රහසිගතව අරඇඳීමක නිරතව සිටින බවයි.

රාජ්‍ය බුද්ධි සේවය විසින් රෝ ඔත්තුවේ සඳහන් කරුණු තවදුරටත් තහවුරුකරමින් ඒ තොරතුර ගැන අතිශය රහසිගත පණිවිඩයක් ලෙස එය ඉකුත් 09 වැනිදා යොමු කෙරෙන්නේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස්ටය. සිදු විය යුත්තේ මේ තොරතුරේ ජාතික වැදගත්කම ගැන මෙන්ම රාජ්‍ය ආරක්ෂාව ගැන සලකා වහා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමය. සිසිර මෙන්ඩිස් මෙහිදී ඒ තොරතුර සම්බන්ධයෙන් කොතරම් අවධානයක් යොමු කළේදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඔහු ඒ තොරතුර පිළිබඳ රටේ ආරක්ෂක ප්‍රධානියා වන ජනාධිපති මෙන්ම අගමැතිවරයා දැනුවත් කළේදැයි මේ වන විට සැබැවින්ම ගැටලුවකි. එසේම ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් නොසලකමින් මේ තොරතුර ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගන්නැයි දැනුම් දෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දරට පමණි. ඒ ඔහු මේ ප්‍රහාර තොරතුර සැහැල්ලුවෙන් සිතූ නිසාදැයි ඇත්තේ දන්නේ ඔහුම පමණි.

එය එතැනින් හමාර වන්නේ නැත. පූජිත් ජයසුන්දරගේ මේසය මතට ආ එම අතිශය රහසිගත ලියැවිල්ලට ඔහු ප්‍රතිචාර දක්වන්නේ අවශ්‍ය පියවර ගන්නා ලෙස සටහනක් තබමින් එය පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ්, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ‍්, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන අයට පමණක් යොමු කරමිනි. ඒ ජාතික ආරක්ෂාව අනතුරේ බවට සඳහන් ඒ අනතුරු ඇඟවීමට කසිප්පු වැටලීම්වලට දක්වන තරමේ උනන්දුවක් වත් යොමු නොකරමිනි. අඩුම තරමින් පොලිස්පතිවරයා ඉහළ නිලධාරීන් සමඟ හෝ මේ ගැන වචනයක් වත් කථා කර නොතිබිණි. මේ අනතුරු ඇඟවීම ඔහු දකින්නේ එය හුදෙක් සාමාන්‍ය බුද්ධි ලියැවිල්ලක් ලෙසිනි. මුළු ජාතියම අනතුරේ හෙළමින් බිහිසුණු ප්‍රහාරයකට රට මුහුණ දෙන්නේ එබැවිනි.

පොලිස්පතිවරයාගෙන් ලද ඒ අනතුරු ඇඟවීමට පොලිස් විශේෂ කාර්ය බලළකා ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් වහාම ක්‍රියාත්මක වෙමින් විශේෂ කාර්ය බළකායට ගත හැකි සියලු ආරක්ෂක පියවර ගෙන තිබුණේය. නන්දන මුණසිංහද තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක, බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, බස්නාහිර දකුණු දිසා නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි. නියෝජ්‍ය පොලිස්පති පියලාල් දසනායක මහතා තමා යටතේ ඇති හිටපු ජනාධිපවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේත්, මහින්ද රාජපක්ෂ මහතාගේත් ආරක්ෂක අංශ අධ්‍යක්ෂකවරුන් සහ ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාටත්, තානාපති සහ විනිසුරු ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් දැනුම් දෙන්නේ වහා ඒ සම්බන්ධව අවධානය යොමු කර, ප්‍රභූ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙසය.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා ක්‍රියාත්මක වන්නේ ඒ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් වහා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සිය නිලධාරීන් දැනුම්වත් කරමින් මෙහෙයුමක් දියත් කරමිනි. සහරාන් කාත්තන්කුඩියේ පදිංචිකරුවකු බැවින් කල්මුණේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ශාඛාවට දැනුම් දෙන්නේ වහා සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් ගැන සොයා බලන ලෙසය. පොලිස්පතිවරයාගෙන් එකී ලිපිය සියතට ලැබී පැය 24ක් යන්නටත් මත්තෙන් ඔහු සහරාන් අන්තවාදය පතුරවමින් සිටි ෆේස්බුක් ගිණුමද අත්හිටුවීමට පියවර ගත්තේය. ඒ ඉකුත් 10 වැනිදා ෆේස්බුක් මූලස්ථානයට දැනුම්දීමක් කරමිනි. සහරාන් එක් ෆේස්බුක් ගිණුමක් පමණක් පවත්වාගෙන ගිය අයෙක් නොවීය. ඔහුගේ තවත් ෆේස්බුක් ගිණුමක් ඉකුත් දෙසැම්බරයේදීද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්හිටුවා තිබිණි. 2018 වසරේදී ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබිණි. ෆේස්බුක් මඟින් ඔහු අන්තවාදය පැතිරවීම මුල් කරගනිමින් ආගම් අතර සහජීවනය බිඳවට්ටන බවට ඉකුත් වසරේ ජනවාරියේදී ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමක්ද කර තිබිණි. ඒ අනුව ඔහුට එරෙහිව වරෙන්තුවක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ලබාගෙන තිබිණි.

මෙසේ පොලීසියේ කිහිප දෙනකුට පමණක් මේ ප්‍රහාරය ගැන දැනුම් දීමකින් කිසිදු පලක් නොවීය. සහරාන් සිය අරමුණ ඉටු කරගත්තේය. ඒ රටේ ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිවරයාටත් ඉල්ලා අස්වන්නට ඉඩ සලසමිනි.

පෙනී යන ආකාරයට ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද බුද්ධි අංශයේ මේ අනතුරු ඇගයීම ගැන සිය අවධානය යොමු කර ඇත්තේ සැහැල්ලුවෙනි. කාත්තන්කුඩියේදී යතුරුපැදියක ඇටවූ අධිබලැති බොම්බයක් පුපුරා යන්නේද මේ අනතුරුඇඟවීම නිකුත්ව තිබුණු පසුබිමකය.

යතුරුපැදි පිපුරුම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පෙනී යන්නේ පුත්තලම වනාතවිල්ලුවේ පවත්වාගෙන ගිය ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරේ පුහුණුව ලැබූවන් සහ යතුරු පැදිය අතර යම් සම්බන්ධයක් ඇතැයි හෙළි වීමත් සමගිනි. ඒ බව සාක්ෂි ඇතිව සානාථ වන්නේ වනාතවිල්ලුවේ පුහුණු කඳවුර පවත්වාගෙන ගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් භාවිත කළ ජංගම දුරකතන සිම්පත් කිහිපයක්ම මිල දී ගෙන තිබුණේ යතුරු පැදි දෙක මිලදී ගැනීමේදී ඉදිරිපත්කර තිබුණු ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔස්සේ නිසාය. ඒත් එක්කම යතුරුපැදි පිපුරුමේ පරීක්ෂණ පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ වනාතවිල්ලුවේ පුහුණු කදවුර ගැන පරීක්ෂණ පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වූ බැවිනි.

වනාතවිල්ලුවේ පුහුණු කදවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෙළි කරගන්නට හැකියාව ලැබෙන්නේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පිරිස් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදීය. ගම්වැසියන් විසින් 2018 වසරේ දෙසැම්බර් 26 වැනිදා පොලීසියට අල්ලා දෙන තරුණයකු මඟින් බුදු පිළිමවලට හානි කිරීම් ගැන බොහෝ තොරතුරු හෙළි වන අතර, ඒ ඔස්සේ පොලීසිය සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතුරින් හඳුනාගත් ප්‍රබල ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ මොහොමඩ් ඉබ්‍රයිම් ශාහිඩ් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවහයිම් සාදික් අබ්දුල්හක් යන දෙදෙනාය. මේ දෙදෙනා සහෝදරයෝය. මොවුන් අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලීසිය පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ඊට බලපෑම් එල්ල වන්නේ බස්නාහිර පළාතේ දේශපාලනඥයකුගෙනි. එකී දේශපාලනඥයා බලපෑම් කරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාටය. මේ වන විට රටේ බලගත තනතුරක් දරන එම දේශපානඥයා එම බලපෑම පොලිස්පතිවරයා හරහාද කර තිබුණේය.

ඒ ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවන විට බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂ පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ වන විට ශාහිඩ් සහ සාදික් සිටින්නේ සැඟවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ඔවුන් දෙදෙනා කොටු කරගන්නට දැඩි පරිශ්‍රමයක් දැරීය. වනාතවිල්ලුවේ පුහුණු කඳවුර ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගේ වැඩි දුර විමර්ශනවලින් හෙළි වන්නේ එහිදී අන්තවාදීන් 80 දෙනකු පමණ යුද පුහුණුව ලබා ඇති බවයි. පුහුණුව ලැබූවන්ගේ ලැයිස්තුවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු විය. ඒ අයගෙන් අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබෙන්නේ 18 දෙනකු පමණි. සෙසු අය ගැන බොහෝ තොරතුරු දැන සිටියේ මාවනැල්ලේ අයියා-මලෝ දෙදෙනාය. ඒ වන විට ඔවුන් දෙදෙනා පලාගොස් සැඟවී සිටියහ. රෝ ඔත්තුසේවය විසින් මෙරටට ලබාදුන් අනතුරු ඇඟවීමේ මේ අතුරුදන් ශාහිඩ්ගේ නමද වෙයි.

පිපිරුම් අටේදී මරුමුවට පත් අන්තවාදීන් අතර ඔහු නොවීය හෙළිව ඇති ආකාරයට අනුව මේ අන්තවාදීන්ගේ දෙවැනි පෙළ නායකයා වන්නේ ඔහුය. ගම්පොළ පැත්තේ පාසලක මනෝ විද්‍යා ගුරුවරයකු ලෙස සේවයේ නිරතව ඔහු ඇතුළු පිරිසක් තුර්කිය හරහා සිරියාවට ගොස් පුහුණුව ලබා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගත්තේය. ඒත් එක්කම කුරුණැගල නුවරඑළිය ආදි පැතිවල පිහිටි පුහුණු කඳවුරු කිහිපයක් ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි. ඒ කඳවුරුවලද සැලකිය යුතු තරුණයන් පිරිසක් පුහුණුව ලබා තිබිණි. රෝ ඔත්තු සේවය විසින් මෙරටට තොරතුරුවලට කුඩම්මාගේ සැලකිලි ආරක්ෂක බලධාරීන් යොමු කර ඇත්තේ මෙවන් තත්ත්වයක් රට තුළ ඇති බව පැහැදිලිවම දැන සිටියදීමය.

රෝ ඔත්තු සේවය අපට දුන් අනතුරු ඇඟවීමේ සඳහන් නම්වලින් මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත්තේ එක් අයකු පමණි. ඒ සහරාන්ය. ඉතිරි අය තවමත් ජීවතුන් අතරය.

Comments