පාස්කු පිපිරීමෙන් පසු දුටු මිනිස්සු සහ තිරිසන්නු | Page 2 | සිළුමිණ

පාස්කු පිපිරීමෙන් පසු දුටු මිනිස්සු සහ තිරිසන්නු

සුනාමි ව්‍යසනයෙන් අනතුරුව අප අත්දුටු ලොකුම විපත්තිය මෙය යැයි පැවැසුවොත් එය නිවැරදි යැයි සිතේ. තවත් පැත්තකින් බලද්දී මෙහි ඇති බියකරු බව සුනාමිය පවා පරදන සුලුය. කතෝලික පල්ලි හා ප්‍රධාන සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් පසුගිය පාස්කු ඉරුදින එල්ල කළ මේ බිහිසුණු ප්‍රහාර මාලාවෙන් මේ වන විට සතියක් ඉක්ම ගොස් ඇත්තේය. එහෙත් සති අන්තය වන විටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන්ට නිවාඩුවක් ලැබී නැත්තේ මේ කටයුතු ලෝකයත් සමඟ එක් වී විධිමත්ව කළ යුතු වු බැවිනි. මේ ව්‍යසනයෙන් අනතුරුව පොලිස් මෝචරියේදී අත්විඳි අත්දැකීම් කිසිදා නොවූ ආකාරයෙන් මහේස්ත්‍රාත්වරුන් මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ද දැඩි ලෙස සංවේදි කරවන්නට සමත් වී ඇත්තේය.

ඉරුදින පිපිරුණු බෝම්බ මාලාව නිසා නිමේෂශයකින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් දැයට පමණක් නොව ලොවටම අහිමි වී ගියේය. ප්‍රහාරවලින් අනතුරුව අදාළ පිපිරීම් සිදුවූ ස්ථානවල සිදු කළ ස්ථානීය හා මරණ පරීක්ෂණවලින් අනතුරුව හඩා වැලපෙන සිය ඥෘතීන්ට සිරුරු බාර දීමේ කර්තව්‍යය ආරම්භ වූයේ එදිනම සවස් වරුවේය. මළ සිරුරු පැවැති එක් ස්ථානයක් වූ කොච්චිකඩේ දේවස්ථානයේදී ඒ සිරුරු බාර දීමේ කර්තව්‍යය ආරම්භ කරන්නට මහේස්ත්‍රාත්වරුන් මෙන්ම අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ද උත්සාහ ගත්තද, එය ඔවුන්ට සිතු පරිදි පහසුවෙන් කරගත හැකි දෙයක් නොවන බව පසක් වූයේ ඒ සඳහා සූදානම් වන අවස්ථාවේදිය. මේ වන විට බෝම්බ ප්‍රහාරයේ උණුසුම එලෙසමය. හඬා වැලපෙන ඥාතීහු, සිය දුක් අ‍ඳෝනා කියමින් අදාළ බලධාරීන් ඉදිරියේ හඩා වැලපෙන්නට වූහ. රාජකාරි පසෙක ලා ඒ නිලධාරීගේද නෙත් කඳුළින් තෙමුණු වාර අනන්තය. මේ අවස්ථාව කොතෙක් සිත ශක්තිමත් කරගත්තද බලධාරීන්ට සිය රාජකාරි කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි තරම් අතිශය සංවේග ජනක මොහොතක් විය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇතුළු අතිරේක මහේස්ත්‍රාත්වරුන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ අධීක්ෂණය යටතේ, කොළඹ ප්‍රදේශයේ සිරුරු සිය ඥාතීන්ට බාර දීමේ කටයුතු බෝම්බය පිපිරුණු ස්ථානයේ සිට කොළඹ පොලිස් මෝචරිය දක්වා ගෙන යෑමට සිදු විය. සිය ජීවිත අවදානම පවා නොතකමින් බොහෝ දෙනා ජීවිත ගොඩ ගන්නට උත්සාහ කළද ඒ අතරේ නොමිනිස්කමද ප්‍රදර්ශනය වු වාරද එමට බව සඳහන් කරන්නේ කණගාටුවෙනි. බෝම්බ පිපිරීමේ උණුසුම පහව යන්නට මත්තෙන්ම මේ සිරුරුවල රත්රන් බඩු කොල්ලකෑමට සූදානම් වූ අයද ඒ අතර නොසිටියා නොවේ. බොහෝ ඥාතින් සිය හිතවතුනගේ සිරුරුවල තිබු වටිනා රත්රන් බඩු එහි නැති බව අවබෝධ කරගත්තේ පසුවය. එය කොහේ, කෙසේ කවුරුන් අතින් සිදු වූවා දැයි දන්නේ ඔවුන්මය. නොමිනිස්කමට කලක් වේලාවක් නැති නිසා බොහෝ මරණ පරීක්ෂණද එනිසාවෙන් ප්‍රමාද කරන්නට බලධාරින්ට සිදු විය.

අනතුරු සිදු වූ දින සිට පැමිණි සිටි දහස් ගණනක ඥාතීන්ට සිය හිතමිතුරන්ගේ දේහයන් ලබා දුන්නේ ලංකාවේ පිළිගත් නීතිමය රාමුව ඔස්සේය. මියගිය සැම අයකුගේම සිරුරු එදින රාත්‍රියේ සිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිගණක පුවරුවක දිස් වන්නට විය. එසේ තමන්ගේ යැයි හඳුනාගත් සැම අයකුම මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ හඳුනාගැනීම් ලක්ෂණ ඉදිරිපත් කරමින් එය හඳුනාගත් අතර ඉන් අනතුරුව මේ සෑම සිරුරක්ම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන්ට බාර දීමට කටයුතු යොදා තිබිණි. මේ සැම සිරුරක්ම භුමිදාන කටයුතු සඳහා අවසර ලැබුණු අතර එහිදි සිය ඥාතියාගේ සිරුරවත් භූමිදාන කරගන්නට අවස්ථාව අහිමි බොහෝ දෙනකු නැවත පැමිණ අධිකරණ බලධාරින්ට සිය දුක ප්‍රකාශ කර සිටියේ සමහරත් සුසාන භූමිවල ඉඩකඩ නැති බව පවසමිනි. මෙවන් අවස්ථාවක නීති රාමුවෙන් ඔබ්බට ගොස් මිනිසත්කම් ප්‍රදර්ශනය කරන්නට ඔවුහු අපොහොසත් වූහ. කණගාටුදායක ලෙස ඔවුන්ට සුසාන භූමි පාලකවරුන්ගෙන් අසරණ වූ මේ අයට ලැබුණු පිළිතුරක් වූයේ සුසාන භූමියේ ඉඩම් අයිතිකරුවන් සිටින හෙයින් ඒ සඳහා අවස්ථාව ඇත්තේ ආදාහනය සඳහා පමණක් බවය. මෙසේ පීඩාවෙන් පීඩාවට පත් බොහෝ පිරිස්වලට අවසානයේ නීතියේ සරණ පතන්නට සිදු විය.

විදේශිකයන්ගේ සිරුරු සියල්ල සිය ඥාතීන්ට බාර දීම් සිදු වූයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීය. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවියගේ අධීක්ෂණය යටතේ සියලු දෙස්-විදෙස් සංචාරකයන්ගේ සිරුරු බාර දීම සිදුවු අතර, මීගමුවේ හා මඩකලපුවේ එම සිරුරු බාර දීමේ කටයුතු අදාළ පළාතේ මහේස්ත්‍රාත්වරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය. මේ ලිපිය ලියන මොහොත වන විටත් විදේශකයන්ගේ හඳුනා නොගත් මල සිරුරු 17ක් පමණ කොළඹ පොලිස් මෝචරියේ මරණ පරීක්ෂණ කටයුතු විභාග වෙමින් තිබිණි. බොහෝ විදේශ රටවල්, සිය රටවැසියන්ගේ සිරුරු හඳුනාගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සිදු කරන පරීක්ෂණ ඍජුව පිළිගැනීමට මැළි වීය. මෙසේ හෙයින් බොහෝ විදේශීය තානාතිපතිවරුන් ඉල්ලා සිටියේ ඒ සිරුරු තම රටට ගෙන යෑමට පෙර තම රටේදී සිරුරු හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. මේ අනුව පසුගිය සතියේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය අදාළ රටවල මරණ පරීෂකවරුන් මෙන්ම ඒ ඒ රටවල විදේශීය වෛද්‍ය පිරිස් ලංකාවට පැමිණ අධිකරණ මහේස්ත්‍රාත්වරුන්ගෙන් අවසර ගෙන එම සිරුරු කොටස් පමණක් ලංකාවෙන් ගෙන ගියේ සිය රටේදී සිරුරු හඳුනාගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණ සඳහාය. එහෙත් එවන් ඉල්ලීමක් කළ පමණින් ලංකාවේ නීතියට අනුව මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් එසේ දිය නොහැකි බවත්, අවශ්‍ය නම් ඒ රටේ සිටින ඥාතීන්ගේ ඉල්ලීම පරිදි එවන් අවසරයක් ලබා දිය හැකි බවත් මහේස්ත්‍රාත්වරුන් පවසා සිටියදී ලංකාවේ නීතියට ගරු කරමින් ඒ විදේශිය දුත පිරිස් කිසිදු විරෝධයකින් තොරව ඒ කටයුතු කරන්නට පොරොන්දු වූහ.

කලබලකාරී වාතාවරණය හමුවේ විදේශීය සිරුරු හඳුනා ගැනීමේදී අදාළ විදෙස් තානාතිපති කාර්යාලවල ප්‍රධානම නිලධාරීන්ට මුහුණ දෙන්නට වූයේ ප්‍රශ්න එකකට දෙකකට නොවේ. ඔවුන් බොහෝමයක් සිය රටේ අතුරුදන් වු හා මිය ගියායැයි විස්වාස කරන අයගේ විදෙස් ගමන් බලපත්‍ර ගෙන එය පෙන්වමින් සිරුරු හඳුනාගන්නට උත්සාහ කළද බහුතරයකට එය සාර්ථක වූයේ නැත. එසේම සිරුරු හඳුනාගත් අය ගේ සිරුරු සිය රටට ගෙන යෑමට ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ මරණ සහතිකය අනිවාර්ය විය. ඒ ගුවන් අවසරය ලබාගැනීමටය. සාමාන්‍යයෙන් කලාතුරකින් එවැනි අවසර ලැබුණද එකවර විශාල පිරිසක් වෙනුවෙන් මේ කටයුතු මෙහෙයවීම මින් පෙර සිදු කර තිබුණේ නැත. එහෙත් ෂැංග්‍රිල්ලා, සිනමන් ග්රෑන්ඩ් හා කිංස්බරි යන හෝටල් අයත්ව තිබු පළාත් අනුව මරණ සහතික නිකුත් කිරිම් සිදු වන්නේ ලංකාවේ ඒ ඒ පැතිවලිනි. මෙහිදී විදේශිකයන් මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳමින් ඒ සියල්ල එකම ස්ථානයකට එක්රොක් කර සියල්ල විධිමත්ව කිසිදු ගැටලුවකින් තොරව ලබා දෙන්නට බලධාරීන් කටයුතු කර තිබිණි. රටේ වූ ව්‍යසනය මොහොතකට අමතක කරමින් මේ නිලධාරීන්ට ස්තුතිය පුද කරන්නට මේ විදේශිකයෝ අමතක නොකළහ.

බැලූ බැල්මට පරිසරය සන්සුන්ව ඇත. ඒත් අවිනිශ්චිත ස්වභ‍ාවය තවමත් පහව ගොස් නැත. ජීවිතයේ අනියත බව කියා පාමින් බොහෝ දෙනකු අප අතරින් සදහටම වෙන්ව ගොසිනි. ප්‍රීතිමත් පාස්කු ඉරිදාවේ මෙවන් ශෝචනීයත්වයක් ගෙන දුන්නේ ඇයිද යන්න තවමත් ගැටලුවකි.

සුභාෂිණි

Comments