පිපිරුණු මඩකලපුවෙන් නැඟෙන කම්පනයේ දෝංකාරය | සිළුමිණ

පිපිරුණු මඩකලපුවෙන් නැඟෙන කම්පනයේ දෝංකාරය

නැඟෙනහිර යළිත් වරක් මර බියෙනි. මඩකලපුව රෝහල පාර ආසන්නයේ මධ්‍යම පාර පෙදෙස පිහිටා තිබුණ සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 28 දෙනෙකු මිය ගොස්ය. 69 දෙනෙකු තුවාල ලබාය. ප්‍රහාරය වී සතියක් ගත වී ඇත. තවමත් විශාල පිරිසක් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමිනි.

ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝමබකරුගේ සියලු විස්තර දැන් හෙළි වී හමාරය. ඔහු විශාල බෑගයක් එල්ලාගෙන ප්‍රහාරයට පැමිණෙන සී.සී.ටී.වී දර්ශන නිකුත් වී ඇත.

එදින ඉරිදා දහම් පාසල් දිනයකි. සියොන් දේවස්ථානයේ පුංචි දරු පැටවුන්ගෙන් පිරි ගොස් තිබිණි. ඒ වන විට වේලාව 8ට ආසන්නය. දේවස්ථානයේ පුජාව ආරම්භ වන්නේ 9ටය. ඒ සඳහා සහභාගී වීමට බොහෝ පිරිසක් ඒ වන විටත් දේවස්ථාන භූමියේ රැඳී සිටිති. තවත් පිරිස් ලහියේ රොක් වෙමිනි. පූජාව ආරම්භ කිරීමට තිබුණේ විනාඩි කිහිපයකි. දේවස්ථානය පුපුරා හැලුණේය. පුදබිම ලේ විලක් විය. අවට තිබූ වාහන සියල්ල ඒ ගින්නේ දැවී අළු වුණේය.

දේවස්ථානය තුළ රැස් වී සිටි පිරිස 450කට අධිකය. එහෙත් කොච්චිකඩේ පල්ලියේ හා කටුවාපිටිය පල්ලියේ සිදුවූ පුපුරා යෑම්වලට අනතුරුව සිදුවූ ව්‍යසනයන්ට සාපේක්ෂව ලියෝන් දේවස්ථානයේ වූ හානිය අඩුය. ඒ හානිය අවම කරමින් ජීවිතය පූජා කළ පුද්ගලයෙකු ගැන මඩකලපුව ලියෝන් දේවස්ථානයෙන් වාර්තා වන්නේය. මඩකලපුවේ මිනිසුන්ට වීරයෙකු වී සිටිනා ඔහු රමේෂ් රාජුය.

වීර රමේෂ්

රමේෂ් හතලිස් හැවිරිදිය. ඔහු කොන්ත්‍රාත්කරුවෙකි. රමේෂ්ගේ බිරිය ක්‍රිෂාන්තිය. ඇය ලියෝන් දේවස්ථාන දහම් පාසලේ ගුරුවරියකි. උදෑසන දේව මෙහෙයට පෙර ඇය දරුවන් කිහිපදෙනෙකු සමඟ දේවස්ථානයට නුදුරු කඩපිලකට ගොඩවන විට රමේෂ් දේවස්ථාන මිදුලේ සිටියේය. මරාගෙන මැරෙන බෝම්බකරු බරක් පිටේ බැඳගෙන දේවස්ථානය තුළට ඇතුළු වන්නට හදන්නේ ඒ අවස්ථාවේය.

රමේෂ්ලා යුද්ධය සමඟ ජීවත්වූ මිනිස්සුය. ක්‍රිෂාන්ති යුද්ධයේ කාලකණ්ණිකම නිසා මවුපියන් අහිමි අනාථ දැරියක් ලෙස අනාථ නිවාසයක හැදුණු ගැහැනියකි. මේ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිසා රමේෂ් ඔහු විමසුවේය. ඔහු පවසා තිබුණේ තමන් මේ දේව මෙහෙය වීඩියෝගත කරන්නට පැමිණි බවය. බෑගය තුළ ඇත්තේ මොනවාදැයි විමසන විට පවසා තිබුණේ කැමරාවක් ඇති බවය.

සැකය වඩාත් තීව්‍ර විය. බෝම්බකරු දේවස්ථානය තුළට යෑමට උත්සාහ කළේය. රමේෂ් ඒ ගමන මුළුමනින්ම වැළැක්වීමට කටයුතු කරමින් සිටියේය. අවසර නොගෙන දේවස්ථානයට ඇතුළු විය නොහැකි බව කී රමේෂ් හැකි උපරිම උත්සාහයෙන් බොම්බකරු එතැනින් ඉවත් කිරීමට උත්සාහ දැරුවේය. දේවස්ථානය තුළට යෑම කළ නොහැක්කක් බව තේරුම්ගත් බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත්තේය. රමේෂ්ගේ සුන්බුන් සිරුර ලියෝන් දේවස්ථානයේ මිය ගිය 24 දෙනාගේ සිරුරු අතර සැඟ වී තිබිණි.

බෝම්බ පිපිරීම ගැන පරීක්ෂා කරන්නට පර්යේෂණ කණ්ඩායම් පැමිණියේය. මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස මිටර් 30ක් දුරින් පිහිටි නිවසක වහලය මත තිබියදී හමුවිය. මරාගෙන මැරෙන බෝම්බකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අබ්දුල් මොහමඩ් උමාර් බව තහවුරු කර ගැනිණි.

නැඟෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ මුස්ලිම් සංවිධාන බිහි වන්නේ පසුගිය එල්.ටී. ටී. ඊ. සමයේදීය. එයට ආසන්න හේතුව වන්නේ කාත්තන්කුඩි පල්ලියට කොටින් ප්‍රහාර එල්ල කිරිමය. බණ්ඩා ගෲප්, සමිම් ගෲප් ආදි විවිධ නම්වලින් සංවිධාන 10කට ආසන්න ප්‍රමාණයක් එකල කොටින්ට එරෙහිව ආයුධ සන්නද්ධව සිටියේය.

නැඟෙනහිරි මුස්ලිම් අන්තවාදි සංවිධාන බිහි වන්නේ ඒ සන්නද්ධ කල්ලි පසුබිමේය. ජාතික තව්හිද් ජමාද් සංවිධානය සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් කාත්තන්කුඩියේ දී සක්‍රීය වන්නේ ඒ අතරය. ඔහු අතිශය අන්තවාදී ආකාරයෙන් එළිපිටම සිය ව්‍යාපෘති ගෙන ගියේය. පසු ගිය සමයේ අම්පාර මුස්ලිම් පල්ලියට සහ දිගන පල්ලිවලට වඳ පෙති කතාව නිසා එල්ලවු විරෝධය සමඟ සහරාන් හෂිස් වීඩියෝපටයක් අන්තර්ජාලයට මුදා හැරියේය. මෙය අල්ලාට කරන ලද අපහාසයක් බවත් ඊට සම්බන්ධ අයගෙන් පලිගන්නා බවත් සහරාන් එහිදී කීවේය.

පාස්කුවට පෙර කාත්තන්කුඩි පිපිරුම

පාස්කු ඉරිදා පිපිරුමට පෙර මඩකලපුව කාත්තන්කුඩියේදි තවත් අබිරහස් පිපිරුමක් සිදු විය. එය වූයේ ඉකුත් 16 වෙන දා රාත්‍රි 10ට පමණ කාත්තන්කුඩි පානමුනේ තිරුකෝන වලව්ව පිහිටි අක්කර 43ක විශාල පොල් ඉඩමකදීය. ඒ ඉඩම පිහිටියේ කල්මුණ කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයෙන් දකුණ පසට වන්නට මුහුදු වෙරළ දෙසට කිලෝමිටර් 03ක් එපිටිනි. මොහමඩ් මුස්තාපා හෂනන් පස්රි නම් අයට අයත් ඉඩම අලවි කිරීම සඳහා ඩම් කැබලි කොට තිබිණි. ඉඩම වටා තහඩුවලින් ආවරණයකරය.

එම ස්ථානයේ රාත්‍රී 10ට පමණ බෝම්බයක් සවි කළ යතුරු පැදියක් පුපුරවා හැර තිබිණි. යතුරුපැදියක් ගැනීමට එම පිරිස කටයුතු කරන්නේ උපක්‍රමශීලිවය. යතුරුපැදිය ගන්නේ හලාවත තලවිල දේවස්ථානයේ මංගල්‍යයයට පැමිණි අවස්ථාවේ මුදල් පසුම්බිය නැතිවූ පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කරමිනි. හැඳුනුම්පත හිමිකාරයා හසන්ත සිල්වා නැමැත්තෙකි. ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් යතුරු පැදිය මිලට ගනී. බෝම්බ සවි කර පර්යේෂණ පිපිරවීමක් කරන්නේ එම යතුරුපැදිය ය.

ඒ මොහොතේ එම ප්‍රදේශයේ පැවති මද වැසි තත්ත්වය සහ ඊට මඳක් දුරින් යුද හමුදා කඳවුරක් තිබීම නිසා එම පිපිරීම යුද හමුදා කදවුරේ සිදුවුණු පිපිරිමක් ලෙස ඇතැම්හු සැලකූහ. එම අබිරහස් පිපිරිම බොහෝ දෙනෙකුගෙන් වසන්ව යද්දි 17 වනදා සවස ඉඩම බලා ගන්නා අය ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළේය. එම පරික්ෂණ කටයුතු කරලියට එන්නේ නැත.

පිපිරුම වූ ස්ථානයේ සිට මීටර් 30ක් 40ක් වැනි දුරකට යතුරුපැදි කොටස් විහිදී තිබිණි. ඒ භූමිය වටා ගසා තිබුණ තහඩු පවා සිදුරු වී ගොසිනි. යතුරු පැදියේ කොටස් මුළුමනින්ම පිපිරි විනාශ වී තිබිණි. චැසිය පමණක් ඉතිරිව තිබිණි.

මීට පෙර එම ස්ථානයේ තවත් මේ ආකාරයෙන් යතුරු පැදියක් පුපුරවා තිබුණ ආකාරයක ලක්ෂණ තිබුණු බැවින් පර්යේෂණ කණ්ඩායම් එය මුල් කරගෙන පර්යේෂණ කළේය. එහෙත් පාස්කු පිපිරුම නවත්වා ගත නොහැකි විය.

පිපිරුමේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් මිනීමැරුම් චෝදනාවකට පොලිසියට අවශ්‍ය වී සිටි අයෙකි.

සතියකට වරක් පොලිසියේ පෙනී සිටින්නට නියමිත විය. එහෙත් ඔහු කවදාවත් ඒ නෛතික කොන්දේසි සපුරා තිබුණේ නැත. කාත්තන්කුඩියේ පදිංචි සහරාන්ගේ මව පියා නැඟණියන් දෙදෙනා සහ සහෝදරයන් දෙදෙනා මේ වන විට කාත්තන්කුඩිය හැරගොස්ය. එකිනෙකා අතර සැකය වර්ධනය වෙමින් ඇත. ඔවුන් බියපත්වය. එහෙත් මේ වන විට නැගෙනහිර පලාතේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විශිෂ්ට කැපකිරීමක නිරතව සිටිති. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කර තිබේ.

Comments