මහ රෝහලේ මානුෂික මෙ‍ෙහයුම ඇසින් දුටුවෙමි | සිළුමිණ

මහ රෝහලේ මානුෂික මෙ‍ෙහයුම ඇසින් දුටුවෙමි

අතුරු සිදුරු නොමැතිව මහ ජනගඟක් නිරන්තර ගැවසෙන කොළොම්පුරයේ, පසුගිය සතිය පුරා රජ කළේ මහා ගුප්ත ස්වභාවයකි. නිහැඬියාවකි. සිංහල දෙමළ අලුත් අවුරුදු උණුසුම ද හරි හැටි නිමා වී නොතිබිණි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසය මත ජීවිතය පූජා කළ මහ සිකුරාදාව 19 දා ලෝ වැසි කිතුනුවන් සැමරුවේ මහත් සංවේගයෙනි. එහෙත් කිතු සමිඳාණන් මරණින් නැගිටීම හෙවත් උත්ථානය සමරමින් එළැඹෙන ප්‍රීතිමත් පාස්කු ඉරිදාව මහත් ලෝවැසි ජනතාවම භීතියෙන් ඇලැළෙන රුදුරු මරණයේ දවසක් වනු ඇතැයි ඒ කිසිවකුදු සිහිනයකින්වත් සිතුවේ නැතිවාට සැක නැත.

ඒ පාස්කු ඉරිදා‍වේ මා සිටියේ කොළඹ මාලිගාකන්ද මගේ නිවෙසේ දරුවන් සමඟිනි. මගේ සැමියා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටියේය‍. උදෑසන ගුවන් විදුලි නාලිකාවකින් කොටහේන පල්ලියේ බෝම්බ සිද්ධිය දැනගත් අතර, බස් හා ගිලන් රථ මඟින් තුවාලකරුවන් හදිසි අනතුරු අංශයට නොකඩවාම ගෙන එන බවත් හදිසි අනතුරු අංශය එකම ලේ විලක් බවත් සැමියා දැන්වූයේ ය.

එදින දවස පුරා මා සිටියේ කොළඹ මහ රෝහල භූමියේය. කොළඹ මහ රෝහලේ සෑම අස්සක් මුල්ලක්ම හොඳින් දන්නා නිසා, ඒ භීෂණකාරි අවස්ථාවේ හදිසි අනතුරු අංශයේ බොහෝ තැන්වලට රිසි සේ රිංගා සියල්ල නිරීක්ෂණය කළෙමි.

ඒ හදිසි අවස්ථාවට උචිත පරිදි කොළඹ මහ රෝහලේ ආරක්ෂක අංශ වෛද්‍යවරු සියලුම සේවක සේවිකාවන් ඉමහත් කැපවීමෙන් එකාවන්ව කටයුතු කිරීමට පෙළ ගැසී සිටියහ.

හදිසි අනතුරු අංශයට ඇතුළුවීමට මහා ජන ගංගාවක් පොදි කමින් සිටි අතර තම හිතෛෂීන් මිය ගොස් ඇති බව දැනගත් ඔවුන් තම පපුවලට දෑත්වලින් ගසා ගනිමින්, අහසට දෑත් දිගුකරමින් පොළොවේ පස් කමින්, බිම පෙරළෙමින් වැලපුණු අයුරු මහදේ තාමත් සිතුවමක් මෙන් ඇදී යන්නේ හද කකියවමිනි. කොච්චිකඩේ පල්ලියේ දේව මෙහෙයේ ගීතිකාවලට සහභාගිවූ තම දරුවන් මිය ගිය පුවත දැනගත් තරුණ මවුපිය දෙපළක් එකිනෙකා බදාගෙන විලාප දුන්හ. ඒ අතර රෝගීන් බැලීමට ඇතුළට යෑමට අවසර නුදුන් හෙයින් ඇතැම් පිරිස් ආරක්ෂක අංශය සමඟ දබර කරගත්හ.

මේ සිද්ධියේ දී ලක්වැසියන්ටත් වඩා අන්ත අසරණ වූයේ විදේශිකයෝය. පවුල් පිටින් ලංකාවට පැමිණි ඔවුන් පවුලේ අයෙක් දෙන්නෙක්, ඇතැම්විට පවුලේ සියල්ලෝම ජීවිතක්ෂයට පත් වූහ.

සංචාරකයින්ගේ හොඳම ගමනාන්තය, සංචාරක පාරාදීසය ලෙස සැලකූ සිරිලක අසිරිය, සුන්දරත්වය නැරඹීමට පැමිණි විවිධ රටවලට අයත් විදේශිකයන් තිස් ගණනකට ජීවිත අහිමි වූ අතර තවත් විදේශිකයන් විසි ගණනක් තුවාල ලබා ප්‍රතිකාර ලබති.

බෝම්බ ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ පල්ලියේ බිම වැටී තිබුණු ජංගම දුරකථනයක් එක දිගට නාද වනු රූපවාහිනී කැමරාව ළං කරමින් රූපවාහිනියේ පෙන්වන ලදී. ඒ දුරකථනයේ අයිතිකාරිය රිගන් රූත් බවත් ඇමතුම් දී ඇත්තේ කනගලිංගම් රූබන් නැමැත්තෙක් බවත් සොයාගෙන ඇත. දරුවන් දෙදෙනා සමඟ දෙවියන් පුදන්නට ආ මේ බිරිය හා සැමියා තවමත් පසුවන්නේ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ මළ සිරුරු තැන්පත් කර ඇත්තේ කොළඹ පොලිස් මෝචරියේ ය. සිද්ධිය වනවිට හදිසි අනතුරු වාට්ටු කීපයේ ම නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. අසාධ්‍ය තත්ත්වයේ පසු නොවුණු සෑම රෝගියකුගේ ම ටිකට් කපා රෝහලින් ඉවත් කෙරුණු අතර පිපිරීම්වලට ලක්වූ බරපතළ රෝගීන් වහාම ශල්‍යකර්මවලට භාජනය කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කවුරුත් යුහුසුලු වූහ. ශල්‍ය කර්මවලට භාජනය කළ ද ඇතැමෙක් මිය ගියහ. තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ තාමත් ප්‍රතිකාර ලබති.

මළ සිරුරු රැසක් පොලිස් මෝචරියේ තැන්පත් කර ඇති අතර ඒ අතර කුඩා දරුවන්ගේ සිරුරු ද ඇත. මෙහිදී මෝචරිය ඇතුළත විදේශිකයන්ගේ සිරුරු තැන්පත් කළ අතර ඉඩ පහසුකම් මදි නිසා මෘත ශරීර රැසක් එළියේ කන්ටේනරයක ශීතාගාරයක තට්ටු ක්‍රමයට තැන්පත් කර තිබේ.

මහ රෝහලේ වෛද්‍ය පීඨයට පිටුපසින් ඇති පොලිස් මෝචරියේ මේ දිනවල එකම කලබලයකි. මෝචරියට ඇතුළුවන පාරේ පොලිස් කුටි 2 ක් ඉදි කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ පිපිරීම්වලින් මිය ගොස් ඇති අයගේ තොරතුරු ඥාතීන්ට ලබාදේ. එම තොරතුරුවලට අනුව මිය ගිය සිරුර හඳුනා ගැනීමට පහසු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මිය ගිය සියලුම අයගේ සිරුරු ඡායාරූපගත කර අංක යොදා එම ඡායාරූප පරිගණකගත කර තිබේ.

මුහුණු විකෘති වී ඇති මළ සිරුරු ඇඳුම්වලින් හෝ ශරීරයේ ස්වභාවය හා වෙනත් සුවිශේෂී ලක්ෂණවලින් හඳුනාගත හැකි ය.

මරණ පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ විවෘත කරන විට මළසිරුරුවලින් අප සිහිසුන් කරවන දුඟදක් හැමීය. තැන තැන නිල මැස්සන් පියෑඹූහ.

අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා හමුවීමට විදේශ මාධ්‍යවේදීන් පවා පැමිණ සිටියත් තමන් ඉතා කාර්යබහුල බැවින් ‍මාධ්‍ය ඇමතීමට වෙලාවක් නැතැයි පැවසීය. වෛද්‍ය කාමරයෙන් මෝචරියට යන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් මිය ගිය අයගේ නම් හා රටවල් ගැන විදේශ මාධ්‍යවේදියා විමසුවේ ය. “අපට එව්වෙ මිනී මිසක් නම් ලැයිස්තුවක් නෙමෙයි. තේරුම්ගන්නකෝ මට කථා කරන්න වෙලාවක් නෑ. තව මිනී 30 ක් විතර තියනවා. හඳුනාගෙන නැති. ඒ අතර විදේශිකයිනුත් ඉන්නවා‍. දරුවොත් ඉන්නවා” ඔහු පැවසුවේ ඉංග්‍රීසියෙනි.

අධිකරණ වෛද්‍ය කාර්යාලය අසල හඬමින් සිටි තරුණ යුවළකි. නැතිවී තිබුණේ ඔවුන්ගේ දරුවන් ය. “අපේ දරුවෝ අපිට නැති වුණා. මාධ්‍යයට කථා කරන්න අපි කැමැති නෑ. දැන් සේරම වෙලා ඉවරයි. ඒ ගැන කථා කරලා වැඩක් නෑ” ඔවුන් ඉංග්‍රීසියෙන් පැවසුවෝ ය.

සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජනක පොලොන්වල මහතා, මුඛවාඩමක් බැඳ පරිගණක මඟින් ඥාතීන්ට මිය ගිය අයගේ සිරුරු පෙන්වමින් සිටියේ ය.

“මිය ගි‍හින් පොලිස් මෝචරියට ගෙනාව සියලුම මළ සිරුරුවල ඡායාරූප අපි අරගෙන තියෙන්නේ. ඥාතීන් ඇවිත් වයස හැඩ හුරුකම කීවාම පරිගණකයේ ඡායාරූප පෙන්වනවා. මුහුණ නැති මළ සිරුරුවල ඇඳුම්වලින්, අත්පාවල පාටින් වෙනත් විශේෂ සලකුණුවලින් මළ සිරුරු හඳුනාගන්නවා. සමහර සිරුරු මුළුමනින් ම පිච්චිලා. අපි පළවැනි දවසෙ රෑ එළිවෙනකම්ම වැඩ කළා. දෙවැනි දවසෙත් වැඩි කාලයක් වැඩ කළා. මළ සිරුරු ඥාතීන්ට ඉක්මනින් දෙන්න ඕනෑ. සිරුරු පරිගණකයෙන් හඳුනාගත්තාම අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මගින් මළසිරුරු හඳුනා ගන්නවා. මරණ පරීක්ෂණ කටයුතු කරලා මරණ ලියාපදිංචි කරලා ඥාතීන්ට භාර දෙන්නේ ඉන් පසුවයි. සියල්ලන්ගේම කටයුතු එකම තැනකින් කරන්න පහසුවෙන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්, විදේශ සේවා, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ සේවය, පොලිසි, කොළඹ කච්චේරිය ආදියේ නිලධාරීන් මෙතනට ඇවිත් ඉන්නවා. හඳුනාගත නොහැකි මිනී හඳුනාගැනීමට DNA පරීක්ෂණත් ඉක්මනින් සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරු පවා පැමිණ සිටිනවා. මියගිය ඥාතීන්ගේ සිත් හදන්නට. ඊයේ ඉන්දියානු ජාතිකයන් කීපදෙනෙකුගේ මළ සිරුරු අරන් ගියා. තවත් විදේශිකයන් කිහිප දෙනෙකුගේ මළසිරුරු තියෙනවා. ලංකාවෙ අයගේ හා දරුවන්ගේ මිනීත් තියෙනවා. විදේශීය තානාපති කාර්යාලවලින් ඇවිත් විදේශීය ජාතිකයන්ගේ සිරුරු භාරගත්තා. මිනී 10 -20 අතර ප්‍රමාණයක් හඳුනාගන්න DNA පරීක්ෂණ කරන්න සිදුවුණා.

මිනී 20 ක් පමණ තියනවා ඥාතීන් පැමිණියේ නැති ඒවා. ඩෙන්මාර්ක්, චීන, ස්විඩන්, ඇමෙරිකා, බංග්ලාදේශ්, ඉන්දියාව වගේ රටවලට අයත් විදේශිකයින්ගේ මිනී තිබුණා. සමහර අය මියගිය අයගේ ඡායාරූප ගේනවා. තවත් අය මියගිය අයගේ රෙදි හා වෙනත් දේවල් ගෙනාවා. මළ සිරුරක් හඳුනා ගැනීමෙන් පසුව පැය 3 ක් වගේ කාලයක් තුළ අනිකුත් සියලු කටයුතු කරලා මළ සිරුරු ඥාතීන්ට භාරදීමට අපි කටයුතු කරනවා.”

අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ පොලිස් නිලධාරීන් 60 පමණ ප්‍රමාණයක් රැඳී තිබුණේ කාගේත් පහසුව පිණිසය. මිය ගිය අයගේ අනනතාව තහවුරු කරගැනීමට පොත් පෙරළීමෙන් තොරතුරු සොයනු දක්නට ලැබුණි. තවමත් පවුල් පිටින් පැමිණ මිය ගිය අය අතර තම ඥාතියා සිටී දැයි සොයන පිරිසකි. තේ විවේකය, කෑම පැය නොතකමින් ඔවුන්ට එක දිගටම උදව් කරන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, රජයේ අධිකරණ වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයින්, කාර්ය මණ්ඩලය, පොලිසිය, හමුදාව, ගිලන් රථ සේවකයින් කඩිමුඩියේ එහාට මෙහාට දුවමින් තම රාජකාරිය වැටුපට පමණක් සීමා නොවී කැපවීමෙන් සිදු කරනු දක්නට ලැබිණි.

“දැන් ඇති නේද මෙතන ඉන්න බෑනෙ‍. කලන්තෙ හැදෙයි” ඡායාරූප ශිල්පී සරත් පීරිස් සමඟ ආපසු පැමිණි මා හට සිහි වූයේ ‍මීට මාසයකට පෙර, මියගිය හිටපු සුබසෙත කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජයතිලක අඹුවන්ගල මහතා කියූ අනාවැකියකි. “2019 අවුරුද්දේ මහා ජන සංහාරයක් සිදුවෙලා සිය ගණනක් මිනිස්සු මැරෙනවා. බස්නාහිර පළාත විශේෂයි.”

කිතුනු බැතිමතුන්ගේ දේව මෙහෙය අතරතුර සිදුවූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය බෞද්ධයන් වශයෙන් අපිද පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.


මරණය අතරේ බැබළුණු මනුස්සකම

අතොරක් නැතිව හඬ නැගෙන ගිලන් රථ හඬ ,ගිනි නිවන හමුදා වාහන වලින් නැගෙන හඬ මීට කලකට පෙර නම් අපට අරුමයක් නොවේ. එකල රටේ පැවැති යුද වාතාවරණයත් සමඟ අප ඒ සියල්ලට හුරුව සිටියෙමු. බෝම්බ පිළිබඳ තිබූ බිය සැක පහව ගොස් තිබූ කළක රටේ සාමකාමී බවට බරපතල තරජනයක් එල්ල කළ පාස්කු ඉරිදා තැන තැන පිපිරුණු බෝම්බ ප්‍රහාරය යළිත් මිනිස් හිත් නොසන්සුන් කරන්නට සමත් විය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවීමත් සමඟ තුවාල ලැබූවන් මෙන් මිය ගිය පුද්ගලයන් ආසන්න රෝහල් වෙත යැවීම කඩිනමින් සිදුවිය. දවසේ විසිහතර පැයේම තම සේවාව ලබාදීමට සැදී පැහැදී සිටින කොළඹ ජාතික රෝහල ඇතුළු අනිකුත් රෝහල් මෙම අවස්ථාවේ කඩිනමින් තම සේවාව ලබාදීම අගය කළ යුත්තකි.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ මොහොත වන විට 253 ක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් දැක්වේ. තුවාල ලැබූවන් පිරිස 485 කි. රෝහල් ගත කළ පසු මියගිය සංඛ්‍යාව හයදෙනෙකි.

කොහොම වුණත් මෙවන් අපරාධයක් සිදු වේයැයි සිහිනයකින්වත් නොසිතූ මොහොතක තුවාල කරුවන් සම්බන්ධව අදාල රෝහල්වලින් සිදු කරන ලද කාර්යයභාරය සුවිශාලය.

හදිසි ආපදා තත්වයකදි හදිසි අනතුරු ඒකකය කටයුතු කරන්නේ කෙසේද , මේ පිළිබඳ වාර්ෂික පුහුණුව කෙරුණේ මාර්තු 29 දාය. මෙවර පුහුණු කෙරුණේ බස්රථයක බෝම්බයක් පිපිරුණු අවස්ථාවකදි රෝහලේ හදිසි අනතුරු ඒකකය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවය. පොලිසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය මේ සඳහා කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට සහාය විණි.

එසේ පෙර පුහුණුව ලැබුණ ද කිසිවෙක් බලා පොරොත්තු නොවු අවස්ථාවක සිදුවූ ප්‍රහාරයේදී රෝහල් කටයුතු කළේ කෙසේද?. යුද්ද කාලයේත් ඉන් පසුත් ව්‍යසන අවස්ථාවල කටයුතු කර මනා පළපුරුද්දක් ඇති ජාතික රෝහලේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යයභාර නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවියගෙන් අප ඒ පිළිබඳ විමසුවෙමු.

“යම් අනතුරක් පිළිබ අපට තොරතුරක් ලැබුණම මුලින්ම අප කරන්නේ ඒ තොරතුර සත්‍ය දැයි කියා තහවුරු කර ගැනීම. ඉන් පසු හැමටම මේ ගැන දැනුවත් කරනවා. මේ වෙලාවේ අපට ඇමතුමක් ආවා පිපිරුම ගැන. අපේ මිස් කෙනෙක් එය තහවුරු කර ගැන්මට ඇමතුමක් ගන්න යන විටත් ලෙඩුන් ගෙනෙන්න පටන් අරන්. විනාඩි පහළොවක් යන විට කොච්චිකඩේ පල්ලිය තුළ වු පිපිරුමෙන් හා කොළඹ හෝටල්වල පිපුරුමෙන් අනතුරට පත් රෝගීන් තමයි මෙහෙට ගෙනාවේ.

අපි ඒ වන විට සුදානමින් සිටියේ. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තියෙන්නේ පහක් හයක් පමණයි.

ඒවා සුදානම් කර තිබුණේ. ශල්‍යාගාර හදිසි සැත්කම් සඳහා සුදානමින් තිබුණේ. හැම විටම රෝගීන් සඳහා ලිපිගොනුවක් සුදානමින් තියෙන්නේ. රෝගියා ගෙනා විට රෝගියාගේ තත්වය බලා ඔහුව වර්ගීකරණය කර වාට්ටුවලට යොමු කරන්නේ මෙතැනදි. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය අටදහසක් පමණ සිටිනවා. හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියා කෙරුවා. රෝහලට ඇතුළත් කළ පසු මිය ගියේ හතරදෙනෙක් පමණයි.

මට මතක හැටියට යුද්ධකාලයේ ගලදාරි හෝටලය අසල බෝම්බ ප්‍රහාරයෙන් පසු විදේශිකයන් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අනෙක් අවස්ථාව මේ. තම බිරිය මියගිය දුක හිතේ තද කරගෙන ආව හාන්ස් කියන විදේශික මහතා මා ළඟට ඇවිත් කිව්වා තම බිරිය මිය ගියා කියලා. ඔහු එක කදුළක්වත් නොහෙළා ඒ දුක දරාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඔහුගේ ඒ දසුන මා සිත සංවේදි කළා. මෙවන් අවස්ථාවල අප කළ යුත්තේ විලාප දී හැඩීම නොවෙයි. මේවා දරාගෙන ඒ අවස්ථාවට මුහුණ දීමට හුරු වීමයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ, හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමින්දි සමරකෝන්, විශේෂඥ වෛද්‍ය මිහිර බණ්ඩාර, විකලාංග වෛද්‍ය සුරියආරච්චි, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි දිපානි කරුණාරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලයම එදින නිවාඩු දිනයක් වුණත් බොහෝ කැපවීමෙන් වැඩ කළා.“ කාර්යභාර නිලධාරිනිය පවසන්නීය.

ප්‍රධාන වශයෙන් ජාතික රෝහල පමණක් නොව මීගමුව රෝහල, රාගම රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල මෙන්ම මඩකළපුව රෝහල ළමා රෝහල ආදි රෝහල් වල වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද තම සේවාව මැනැවින් ඉටු කළහ.

මීගමු රෝහලේ ඇත්තේ කුඩා මෘත ශරීරාගාරයකි. එහි බොහෝ මළ සිරුරු ප්‍රමාණයක් තැන්පත් කිරීමට තරම් ඉඩක් නොතිබුණි. නමුදු ඒ අවස්ථාවට මුහුණ දෙමින් වෛද්‍යවරු ඇතුළු කාර්යය මණඩලය රෝහලේ ගරාජය මිනී තැන්පත් කිරීම සඳහා තහඩු සහ ඉටි රෙදි වලින් ආවරණය කර සකසා ගන්නා ලදි.

එමෙන්ම පිපිරුම සිදු වූ අවස්ථාවේදි මඩකළපු රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් වෙනුවෙන් සේවය ලබා දීමට වෙනත් රෝහල්වල සේවය කරන නිවාඩු ලබා නිවෙස්වලට පැමිණ සිටි රෝහල් සේවකයන් පිරිසක් රෝහලට ගොස් තම සේවාව ලබා දුන්හ.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත් වූවන් සඳහා රෝහල් සේවය එසේ කටයුතු කරද්දි රටේ මහජනතාව ද ජාති ආගම් කුල භේදයෙන් තොරව රුධිරය පරිත්‍යාග කිරිමට පෙළ ගැසුණහ.

ඉසවි
සේයාරූ - සරත් පීරිස්

Comments