මේ විපත සිදු කළේ නොමඟ ගිය පිරිසක් | සිළුමිණ

මේ විපත සිදු කළේ නොමඟ ගිය පිරිසක්

පසුගිය ඉරිදා සිදු වූ ඛේදවාචකයෙන් සමස්ත ශ්‍රී ලංකාවාසීන් මෙන්ම ලොව පුරා රටවල් රැසක්ම දැඩි ශෝකයට පත් වූ බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. සංවේගජනක මේ අවස්ථාවේ අප කටයුතු කළ යුත්තේ බුද්ධිය අවදි කරමින්.

අප මනා අවබෝධයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක්, කාලයක් එළැඹ තිබෙන්නේ. අගරදගුරු හිමිපාණන් ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ ක්‍රිස්තියානි ජනතාව ලෙස අප සිදු වූ සිදුවීම් හමුවේ උරණ වීමෙන්, එසේත් නැත් නම් කෑගැසීමෙන් බැණ-අඬගැසීමෙන් කිසිදු විටෙක පලක් වන්නේ නැහැ. තවත් ආගමකට, ජාතියකට දොස් පැවරීමෙන් හෝ ඔවුන්ට වෛර කිරීමෙන් හෝ මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැහැ.

අප පැහැදිලිව තේරුම් ගත යුතුයි සියලු දෙනා ත්‍රස්තවාදීන් නොවන බව. එහෙත් අප පසුගිය ඉරිදා සිදු වූ ක්‍රියාව හෙළා දකිමින් සියලු දෙනා එකතුව ජාතියක් ලෙස රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කළ යුතුයි. සියලු දෙනා එකතුව මේ ප්‍රශ්නයට විසඳුම් සොයාගත යුතුයි. එහිදී බුද්ධිමත් ලෙස අනෙක් ජනතාවත් සමඟ, අනෙක් ආගමිකයන් සමඟ සුහදව කටයුතු කළ යුතු වෙනවා.

ක්‍රිස්තියානි ආගමේ කියන්නේ නැහැ කිසිම විටෙක තවත් අයකු ඝාතනය කරන්න කියා. ඒ වගේම ඉස්ලාම් දහමේ කියන්නෙත් නැහැ එවන් දෙයක් ගැන. හැම විටම තවත් අයකු ජීවත් කිරීමටයි සියලු ආගම්වල උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අයුරින් කටයුතු කරන්නේ අන්තවාදි අදහස් දරන ඉතා සුළුතර පිරිසක් පමණයි. ඇත්තෙන්ම ඔවුන් නොමඟ ගිය පිරිසක් යනුවෙන් හැඳින්වීමත් නිවැරැදියි.

යුද්ධයෙන් පීඩා විඳි අපට ශ්‍රී ලාංකික කියන ජාතිය ලෙස එකිනෙකාට සංවේදිව කටයුතු කිරීමෙන්, සැමට සාමය කරුණාව දයාව පෙන්වීමෙන් මේ ගැටලුව විසඳාගන්න පුළුවන්. මේ අන්තවාදි ත්‍රස්තවාදි කණ්ඩායම්වල අරමුණ වී ඇත්තේ ජනතාව සමූලඝාතනය කිරීමයි. එයින් ඔවුන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වන බව පැහැදිලියි.

මීට පෙර වසර 30ක් පමණ රට පුරා පැවතුණු ත්‍රස්තවාදි යුද්ධය රට බෙදා වෙන් කරගැන්මට ඇති වූ යුද්ධයක්. එහෙත් මේ අන්තවාදීන් එවන් කරුණක් උදෙසා නොවෙයි මේ කටයුතු කරන්නේ. මොකක්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ දෙව්මැඳුරක ආගම අදහන යාච්ඤා කරන ජනතාව ඝාතනය කිරීමෙන්? ඒ තරමට ම්ලේච්ඡ වුණු අන්තවාදි කණ්ඩායම් හමුවේ අප කල්පනාකාරිව මෙන්ම අවබෝධයෙන් කටයුතු කිරීමයි මෙහිදී වැදගත් වන්නේ. මේ අවස්ථාවේ අප පළමුවෙන්මබ කළ යුත්තේ තුවාල ලබා සිටින රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි උපරිම සත්කාරය කිරීමයි; ඔවුන් සැනසීමට අපට හැකි උපරිම දේ සිදු කිරීමයි. ඒ සඳහා සියලු ආගම් එක්ව කටයුතු කිරීමත් වැදගත්.

මීට පෙර අවස්ථා දෙකකදී මේ රට දේව මෑණියන්ට බාර කළා. දෙවන ලෝක යුද සමයේදී මෙන්ම පසුගිය තිස් වසරක යුද සමයේදී. ඒ අයුරින්ම අප මේ රට දේව මෑණියන්ට බාර කරනවා මේ අවස්ථාවේ රට රැක දෙන ලෙසින්. අප විශ්වාස කරනවා දේව මෑණියන් වෙනුවෙන් කරනු ලබන යාච්ඤාවෙන් අපට රට රැකගන්න ලැබෙයි කියා. සාමය, සහජීවනය සියලු රටවැසියන්ට උදා කර දෙන්නැයි අප ඉල්ලා සිටිනවා.

ඒ වගේම අප රජයෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ සියලු රට වැසියන්ගේ ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙසයි. දේශපාලන වශයෙන් අර පක්ෂය මේ පක්ෂයටත්, මේ පක්ෂය අර පක්ෂයටත් ඇඟිලි දිගු නොකර, පත්ව ඇති මේ ව්‍යසනයෙන් රට මුදාගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා. එහිදී පොලීසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සහාය ඇතිව ජනතාවට බියෙන් සැකෙන් තොරව තම කටයුතු කරගැන්මට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම මෙවන් අන්තවාදි සංවිධාන කුමන ක්‍රමයෙන් හෝ ඉවත් කිරීමට වහා පියවර ගත යුතු වෙනවා. මේ සංවිධාන නීතියෙන් තහනම් කළ යුතුය.

ජනතාවත් විශේෂයෙන්ම මේ අවස්ථාවේ තමන් දන්නා තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දී සහාය දැක්වීම ඉතා වැදගත් බව පෙන්වා දිය යුතුයි. ජනතා සහාය නැතිව මේ වගේ අන්තවාදි පිරිස් මෙල්ල කරන්න බැහැ.

Comments