ලංකාවට 'වැදගත්' නොවූ ඉන්දියාවේ අනතුරු ඇඟවීම! | Page 2 | සිළුමිණ

ලංකාවට 'වැදගත්' නොවූ ඉන්දියාවේ අනතුරු ඇඟවීම!

ඉකුත් පාස්කු ඉරිදාවේ ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව ලෝකයේම අනුකම්පාවේ දෑත් අප වෙත දිගු කරවීමට සමත් විය. ලෝකය ඇතැර ගිය අපේ මිනිසුන් වෙනුවෙන් කඳුළු සැලීමට ලෝකයම එක් වූයේ ජාති-ආගම් ඈ කිසිදු භේදයකින් තොරවය.

පාස්කු ඉරිදා අරුණෝදයේ උදෑසන කොටහේන කොච්චිකඩේ දේවස්ථානයටත්, මඩකලපුවේ සියෝන් දේවස්ථානයටත්, කටුවාපිටියේ දේවස්ථානයටත් රැස් වූ ප්‍රර්ථනා පුරවාගත් කිතුනුවෝද, කොළඹ කිංස්බරි කෝට්, සිනමන් ග්රෑන්ඩ්, ෂැංග්‍රිල්ලා යන තරු පන්තියේ හෝටල් තුනෙහි සිය පාතරාසය ගනිමින් සිටි දෙස්-විදෙස් පිරිසක්ද අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වැළට ගොදුරව සිටියහ.

ඉන්දීය බුද්ධි කටයුතු පිළිබඳ ඒජන්සියෙන් අප වෙත මුල්ම අනතුරු ඇඟවීම එවා ඇත්තේ පසුගිය අප්‍රේල් 4 වැනිදාය. ඔවුන් ඒ අනතුරු ඇඟවීම සිදු කරන්නේ ඉන්දීය ජාතික විඅර්ශන ඒජන්සිය විසින් 2018 වසරේ දෙසැම්බර් මස සිදු කරනු ලැබූ විමර්ශනයක් පසුබිම් කරගනිමිනි. 'ජාතික තව්හිත් ජමාද්' නායක මව්ලවි සහරාන් බින් හසීම් 'ඉස්ලාමීය රාජ්‍යය' හෙවත් 'අයිඑස්අයිඑස්' අනුග්‍රහයෙන් පළ කළ වීඩියෝවක්ද මේ විමර්ශන ඒජන්සියේ අවධානයට ලක්ව තිබී ඇත. අප්‍රේල් 4 වනදා ශ්‍රී ලංකා පොලිස්පතිවරයා දැනුවත් කරමින් එවා ඇති අනතුරු ඇඟවීමෙන් මෙරට ප්‍රධාන පෙළේ කිතුනු දේවස්ථාන සේම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක් ඇති බව පෙන්වා දී තිබිණි.

අප්‍රේල් 4 වන විට නිශ්චිතවම හඳුනා නොගෙන තිබුණු අන්තවාදීන්ගේ ඉලක්ක පිළිබඳ තොරතුරු අප්‍රේල් 20 වනදා විට වඩා නිශ්චිතව තහවුරු කරගැනීමට ඉන්දීය බුද්ධි ඒජන්සිය සමත්ව තිබුණේය. තොරතුරු තහවුරු කරගත් සැණින් මෙරට බුද්ධි අංශ වෙත දෙවැනි අනතුරු ඇඟවීම දන්වන්නට ඔවුන් කටයුතු කර තිබුණේ යුහුසුලුවය. ඒ දෙවන අනතුරු ඇඟවීමෙහි කිතුණු දේවස්ථාන අන්තවාදීන්ගේ ප්‍රහාරය ලකවිය හැකි බව පහදිලිව සදහන් කර තිබිණි. ඉන්දීය බුද්ධි ඒජන්සිය විසින් මෙරට බුද්ධි ප්‍රධානීන් වෙත එවූ මේ අනතුරු ඇඟවීම් දෙක අතරතුර කාලයේ අපේ පොලිස්පතිවරයා අදාළ අනතුරු ඇඟවීම ගැන අංශ කිහිපයක අවධානය යොමු කර තිබුණු නමුත් ඒ අවධානය යොමු කිරීම් ලිපිවලට පමණක් සීමා වී ඇත. තමා යැවූ ලිපිවල සඳහන් කරුණු ගැන අනුගමය කළ ක්‍රියාමාර්ග මොනවාදැයි පොලිස්පතිවරයා විසින් පසු විපරමක් කළ බවට සාධකයක් නැත.

අප්‍රේල් 20 සෙනසුරාදා ඉන්දීය බුද්ධි අංශ දන්වා එවූ දෙවැනි අනතුරු ඇඟවීමේ තොරතුරු වඩාත් නිශ්චිතව තහවුරු කරගන්නට ඉන්දීය බුද්ධි අංශවලට පැය විසිහතරක් වත් ගත වී තිබුණේ නැත. දේවස්ථාන සහ හෝටල් ප්‍රහාරයට ලක් වන්නට පැය දෙකකට පමණ පෙර ඉන්දීය බුද්ධි අංශ නැවත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබිණි. අප්‍රේල් 4 වැනිදා අනතුරු ඇඟවීමට හා 20 වැනිදා අනතුරු ඇඟවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් මෙරට වගකිව යුත්තෝ ප්‍රහාරයට පැය දෙකකට පමණ පෙර ලැබුණු අනතුරු ඇඟවීම කෙරෙහිද සැලකිල්ලක් නොදැක්වීම අර්ථ ගැන්විය යුත්තේ කෙසේද?

"අප ශ්‍රී ලංකාවට දන්වා එවූ අනතුරු ඇඟවීම් අප විසින් සිදු කරනු ලැබුවේ ඉතා සවිස්තරාතමක තොරතුරු අධ්‍යයනයකින් අනතුරුවයි. අප ඒ විමර්ශන සිදු කළේ තාක්ෂණික උපක්‍රම සහ මානව සම්පත් භාවිත කරමින් ගොනු කරගත් තොරතුරු පදනම කරගෙනයි" ඉන්දීය බුද්ධි ප්‍රධානියකු ශ්‍රී ලංකාවට දන්වා එවූ තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කරමින් කියා තිබිණි.

"ඉන්දීය බුද්ධි අංශ මඟින් අපට මේ තොරතුරු ලබා දුන්නා. එහෙත් ඒ තොරතුරු අනුව කටයුතු නොකිරීමේ ප්‍රමාද දෝෂය අප අතින් සිදුව තිබෙනවා. ඒ තොරතුරු අදාළ නිලධාරීන් වෙත ගලා යෑමේ අඩුවක් සිදුව තිබෙනවා." එන්ඩීටීවී නාළිකාව සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මේ අනතුරු ඇඟවීම් ලැබුණු බව තහවුරු කර තිබුණේ එසේය.

ඉන්දීය බුද්ධි තොරතුරු ඒජන්සිය මඟින් මෙරටට දන්වා එවූ තොරතුරු ඉන්දීය රහස් ඔත්තු සේවාව වන 'රෝ' මඟින්ද තහවුරු කර තිබුණේ 2018 දෙසැම්බර් මස ඉන්දියාවේ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් 'අයිඑස්අයිඑස්' සංවිධානයට සම්බන්ධ අන්තවාදි කල්ලි සාමාජිකයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුවය. බින් හසීම්ගේ කතාව ඇතුළත් වීඩියෝ පටය අලු‍තින්ම නිකුත් වූවක් බව තහවුරු කරගත් රෝ ඔත්තු සේවය බින් හසිම්ගේ දුරකතන තොරතුරු මඟින් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබුනේ ඔහු 'ඉස්ලාමීය රාජ්‍යය' හෙවත් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූවකු බවයි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තරුණයන් තව්හිත් ජමාද් සමඟ එකතු කරගැනීමට බින් හසීම් වෙත වගකීම් පැවරී තිබුණු බවත්, ඉස්ලාමීය රාජ්‍යය වෙත තරුණ පිරිස් එකතු කරගැනීම අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ අරමුණ වූ බවත් 'රෝ' ඔත්තු සේවාව අනාවරණය කරගෙන තිබිණි. ඔවුන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් නිකුත් කළේ මේ සියලු‍ විමර්ශන ඔස්සේ හෙළි කරගත් තොරතුරු අනුවය. එහෙත් ඉන්දීය බුද්ධි නිලධාරීන්ම පවසන ආකාරයට මේ අනතුරු ඇඟවීම් ශ්‍රී ලංකාවේ වගකිව යුත්තන් ගෙන ඇත්තේ සැහැල්ලු‍වටය.

එක්වර ස්ථාන හයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ පසු ඉහමොළ රත් වූ අපේ වගකිව යුත්තන් ඉන්දියාවෙන් එවූ අනතුරු ඇඟවීම් ගැන බැලු‍වේ අශ්වයා පැන ගිය පසුවය! ඔවුන් ඉහ-මොළ රත් වී, ඉස්තාලට වසන්නට සැරසෙද්දී පැන ගිය අශ්වයා කිසිවක් නොදත් නිරායුධ මිනිසුන් 300කට ආසන්න ගණනකගේ ජීවිත බිලි ගෙන තිබිණි. දැන් කළ යුත්තේ ඉස්තාලය ඉබි යතුරු දැමීමට අඳුරේ අත-පත ගෑම නොව, පැන ගිය අශ්වයා අල්ලාගැනීමට සියලු‍ ශක්තීන් යෙදවීමය.

Comments