
කාත්තන්කුඩි වැසියන් සුදු කොඩි දමා ඇත. කාත්තන්කුඩියේ මතු නොව රට පුරාම මේ ආකාරයට සුදු කොඩි දමන්නට සිදු වන බව මේ මිනිසුන් කීවේ මීට අවුරුදු දෙකකට කලිනි. ඒ වර්ෂ 2017 දීය. මුස්ලිම් අන්තවාදය කාන්තන්කුඩියේ අහිංසක මුස්ලිම් මිනිසුන්ගේ රුධිරයෙන් මරණයේ මුද්‍රා තබන්නට හැදුවේය. ඒ ආසන්න අතීත කතාව මෙසේය.
2017 මාර්තු මස 10 දා සිකුරාදා කාත්තන්කුඩියේ ම්ලේච්ඡ ගැටුමක් ඇති විය. එම ගැටුම ඇති වන්නේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතරය. සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් සහිත මුස්ලිම්වරුන්ගේ සුන්නතුල් නිකාය මුස්ලිම්වරුන් පල්ලියට එක් රොක් වන ආගමික දිනය වූ සිකුරාදා එක්තරා අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් දේශන කීපයක් සංවිධානය කර තිබිණි. ඔවුන් අයත්ව සිටියේ ජාතික තව්හිද් ජමාද් නැමැති සංවිධානයකටය. දේශන සංවිධායකයන් දේශනයට පෙර කඩු, යකඩපොලු, බයිසිකල් චේන් ඇතුළු ආයුධ ද රැස් කර තිබිණි.
මේ සංවිධානයේ නායකත්වය ගෙන සිටියේ මොහොමඩ් සහරාන් නැමැත්තෙකු බව පැවසිණි. මේ දේශනමාලාවට සාම්ප්‍රදායික මුස්ලිම්වරු විරුද්ධ වූහ. ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ බළකොටුව කාත්තන්කුඩිය බවත්, අනෙක් කිසිම නිකායකට එහි ඉඩක් නැති බවත් සිය ආගමික කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යන්නට ඉඩ නොලැබුණහොත් බරපතළ ප්‍රතිඵල අත්විය හැකි බවත් මොහොමඩ් සහරාන් නැමැත්තා අනතුරු ඇඟවූයේ මේ අතරය.
සාම්ප්‍රදායික මුස්ලිම්වරු එම අනතුරු හැඟවීම් නොසැලකූහ. ප්‍රතිඵලය වූයේ අන්තවාදී ම්ලේච්ඡයන්ගේ නිර්දය ප්‍රහාරයකට අසරණ මුස්ලිම්වරුන් පිරිසක් ලක්වීමය. පුද්ගලයෝ සිවු දෙනෙක් තුවාල ලදහ. එක් අයෙකුගේ තත්ත්වය බරපතළ විය. දෙපාර්ශ්වයේ දස දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
සහරාන්ට එරෙහි උද්ඝෝෂණය
සිද්ධිය වූ දාම දහවල් කාත්තන්කුඩි සුන්නිතුල් මුස්ලිම්වරු මහ මඟට බටහ. ඔවුන්ගේ අත්වල උද්ඝෝෂණ පුවරු තිබිණි. ඔවුන් විරොධතා දැක්වූයේ මොහොමඩ් සහාරාන් නැමැති ජාතික තව්හිද් ජමාද් කල්ලියේ නායකයා ප්‍රමුඛ මැරයන්යට. ඔවුන් අත තමනට පහර දීමට පැමිණි මැරයන්ගේ ඡායාරූප ද තිබිණි. එළියට බැසගත් කාත්තන්කුඩියේ සුන්නතුල් මුස්ලිම්වරුන් කීවේ කාත්තන්කුඩිය මුල් කරගෙන ඉස්ලාමීය අන්තවාදයේ බිහිසුණු පිළිකාවක් පැතිරෙන බවය. කාත්තන්කුඩිය හා කල්මුණේ ප්‍රදේශවල සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් හා මේ අන්තවාදී තව්හිද් ජමාද් උන් අතර නිරන්තර ගැටුම් ඇති වන බවය. මේ තව්හිද් ජමාද් අන්තවාදීන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ අදහස්වලට එකඟ නොවන බවත්, ඔවුන් පෙනී ඉන්නේ අයි.එස්. සංවිධානය වෙනුවෙන් බවත් කීවේය. ඔවුන් ඒ බව කීවේ වීඩියෝ සාක්ෂි සහිතව තමන්ට ඔප්පු කළ හැකි බව තහවුරු කරමිනි.
තව්හික් ජමාද් නැමැති අයි.එස්.අයි.එස් සම්බන්ධතා ඇති සංවිධානයකට සම්බන්ධ මොහොමඩ් සහරාන් නැමැත්තෙකු හා ඔහුගේ කාලකණ්ණි ලේ පිපාසිතයන් රට ලේ විලක් කරන්නට හදන ආකාරය සම්බන්ධව එදා කාත්තන්කුඩියේ මුස්ලිම් මිනිස්සු වැගිරෙන ලේ සහිතව රටට කීහ. ඔවුහු අයි.එස්. සංවිධානය සමඟ ඇති සම්බන්ධතාව ගැන කීහ. මේ ජාතික ව්‍යසනය නවත්වන ලෙස ඉල්ලා සිටියහ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස මුස්ලිම් දේශපාලකයෝ රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියහ. එහෙත් කිසිවක් සිදු වන්නේ නැත. අප සිටියේ කාත්තන්කුඩිය ලංකාවේ නොවන වෙනත් ඈතක ඇති කොදෙව්වක් සේ සලකාය.
අවසානයේ මොහොමඩ් සහරාන් හා ඔහුගේ ම්ලේච්ඡ උම්මන්තකයෝ නව දෙනෙක් අසරණ සිවිල් වැසියන් 356ක් මරා දමමින් සිය දිවි නසා ගත්හ. කාත්තන්කුඩියෙන් මේ කතාව ඇසෙන්නට පෙර සිටම මේ රටේ බුද්ධි අංශ මුස්ලිම් අන්තවාදී සංවිධාන රට තුළ ගොඩනැඟෙන ආකාරය ගැන වගකිවයුතු අංශ දැනුවත් කර තිබිණි.
මුල්ම තොරතුරු
සන්නද්ධ බුද්ධි රාජකාරිය පැවති යුද්ධය පවතින වකවානුවේ නාවික බුද්ධි අංශ මුස්ලිම් අන්තවාදය ගැන ඉතාම පැහැදිලි මූලික නිරීක්ෂණය කළහ. 2005 දී ඔවුන් විවිධ අරමුණු කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ අන්තවාදී අදහස් සහිත මුස්ලිම් කල්ලි 12ක් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජාතික බුද්ධි තොරතුරු ඒකකය අතට පත් කළේය.
ඒ වන විට රටේ බුද්ධි අංශවල පොදුවේ කටයුතු කළ වැඩි පිරිසක් මුස්ලිම්වරු වූහ. මේ පිරිසෙන් ඇතැම් කොටසක් මෙම අන්තවාදී පිරිස් වෙත එක්වීමේ ළැදියාවක් පවතින බව ඒ වන විට නිරීක්ෂණය වී තිබිණි. ඒ බුද්ධි තොරතුරු මේ රට සැලකිල්ලට ගත්තේ නැත.
යුද්ධයෙන් අනතුරු වකවානුවේදී හමුදා බුද්ධි අංශ ඉස්ලාමීය අන්තවාදයේ ව්‍යසනය පිළිබඳ දිගින් දිගටම කරුණු වාර්තා කළේය.
2015 දී ගලේවෙල ප්‍රදේශයේ හිටපු විදුහල්පතිවරයෙකු මෙන්ම සටන් පුහුණුකරුවෙකු වූ මූසල් ලිලම්දන් නැමැත්තෙක් සිරියාවේ යුද බිමකදී අයි.එස් සටන්කරුවෙකු ලෙස සටන් කරන අවස්ථාවේදී මිය ගියේය. සිරියා සටන්කරුවන් ඔහු හඳුන්වා තිබුණේ අබු ෂුරේහ් සයිලානි නමිනි. රට තුළ අයි.එස් ප්‍රහාරකයන් පිළිබඳ මුල්ම සැකය ඇති වන්නේ ඒ අවස්ථාවේදීය. 2015 ජූලි 23 දා ශ්‍රී ලංකා මුස්ලිම් සභාව, අන්ර්ජාතික ඉස්ලාමීය සාම සංවිධානය, ලෝක මුස්ලිම් තරුණයින්ගේ එකමුතුව, සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමය ඇතුළු සංවිධාන 10ක නියෝජිතයෝ සම්මේලනයක් පැවත්වූහ. ඔවුන් රට හමුවේ ශපථ වුණේ මින් ඉදිරියට එවැනි සිදු වීමකට කිසිම අවස්ථාවක් නොලැබෙන බවය.
විශේෂත්වය වන්නේ රට තුළ නැවත එවැනි මුස්ලිම් අන්තවාදී අන්තර්ජාතික සංවිධානවල නැඟිටීමක් සිදු වන්නට ඉඩ නොතබන බවට ශපථ කළ මුස්ලිම් කණ්ඩායම් අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ක්‍රියාත්මක කළ ජාතික තව්හිද් ජමාද් සංවිධානය ද වීමය.
මේ අතර හමුදා බුද්ධි අංශ විශේෂ වාර්තාවක් ජාතික බුද්ධි තොරතුරු ඒකකය අතට පත් කළේය. ඒ 2015 දීය. ඉන් ඉදිරිපත් කර තිබුණේ අයි.එස්. ඇතුළු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධකම් පවත්වන බවට හඳුනාගත් පුද්ගලයන් 137 දෙනෙකුගේ සවිස්තර ලයිස්තුවකි. ඒ අතර නිවාස අත්හැර දමා සිරියාව බලා පිටත් වූ බව කියන දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයන් කීප දෙනෙක් ගැන තොරතුරුද විය.
ඒ දීර්ඝ වාර්තාව සම්බන්ධ ඉදිරි සොයාබැලීම් සිදු වී නැත. මේ සියලු වාර්තා නොසලකා හැරියත් මුස්ලිම් ප්‍රජාව රට ඉදිරියට පැමිණ තමන්ගේ සමාජය තුළ අයි.එස් අන්තවාදීන් සක්‍රීය බවත්, ඔවුන් මේ පොළොව මත ක්‍රියාත්මක බව කියන විටවත් ඒ අත්දුටු සත්‍යයට ආණ්ඩුව ඇහුම් කන් දී තිබුණේ නැත. අප සිටියේ කිසිවකට සංවේදී නැති මළමිනී සේය.
මාවනැල්ල හා වනාතවිල්ලුව
මාවනැල්ලේ බුදුපිළිම විනාශය ආරම්භ වන්නේ පසුගිය දෙසැම්බර 24 දාය. දෙසැම්බර් 26 දා අලුයම මාවනැල්ල බුදුපිළිම විනාශ කිරීම සඳහා පැමිණි අන්තවාදී මුස්ලිම් තරුණයෝ දෙදෙනෙක් ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ලක් වූහ. ඔවුහු පොලිස් භාරයට පත් කරනු ලැබූහ. මේ විනාශය කළ බවට සැක කෙරෙන සංවිධානාත්මක කල්ලියක් ගැන තොරතුරු ප්‍රශ්න කිරීමේදී පොලිසියට හෙළි විය. ඒ ඔස්සේ කළ විමර්ශනවලදී මේ අපරාධය කළ තවත් තරුණයෝ 7 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
අතිශය බිහිසුණු හෙළිදරව්ව වූයේ ඒ පුද්ගලයන් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව විශේෂ රහසිගත පුහුණුවීම් ලබා තිබුණ වගය. ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව පුත්තලම වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ අක්කර 60ක ප්‍රදේශයක පොල්වත්තක් තුළ වළලා දමා තිබූ කිලෝ ග්‍රෑම් සියයකට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක්, ඩෙටනේටර් 100 ක්, නයිට්‍රේට් ඇසිඩ් ලීටර 120ක් සහිත කෑන් හයක්, පතොරොම් තුවක්කුවක්, පතොරොම් තොගයක්, වියළි ආහාර, කූඩාරම් දෙකක්, ලැප්ටොප් පරිගණකයක් හා විද්‍යුත් උපකරණ කිහිපයක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය.
ඒ ස්ථානයේ මුස්ලිම් තරුණයන් 80ක් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ පුහුණුවීම් කර තිබුණු බවත් අත්හදාබැලීම් කර තිබුණු බවත් තහවුරු විය. රට තුළ බිහිසුණු තත්ත්වයක් වර්ධනය වන ආකාරය ආරක්ෂක අංශවල ඇස්පනාපිටම තහවුරු විය.
මේ සියල්ල හෙළිදරව් වෙද්දී මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෝ පවුල් පිටින් පලා ගියෝය. සිද්ධිය සම්බන්ධව විමසීමේදී අන්තවාදී අදහස් දැරූ රාශිඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැත්තෙකු ගැනත්, ඒ වන විට පවුල් පිටින් අතුරුදන් වී සිටින ඔහුගේ අනත්වාදී දරුවන් ගැනත් බී.බී.සී. සිංහල සේවයට මාවනැල්ලේ පූජකවරයෙක් හෙළිදරව්වක් කළේය.
“ රාශිඩ් මොහොමඩ් ඊබ්‍රහීම් අන්තවාදී අදහස් දැරූ පුද්ගලයෙක්. ඔහුත් ඔහුගේ අන්තවාදී අදහස් දැරූ එක පුතෙකුත් ප්‍රදේශයේ මුස්ලිම් සංවිධානවලින් පවා ඉවත් කළා. මේ මිනිස්සු අන්තවාදී දේශන පවත්වලා තමයි මේ තරුණ ළමයින් වැරැදි වැඩවලට යොමු කරගෙන තිබෙන්නෙ. ව්‍යනසයකට පෙර ඔවුන්ව නීතිය හමුවට ගෙන්වන්න. ”
මහා ව්‍යසනයක නිමිත්ත යළිත් මුස්ලිම් සමාජය අපට කියුවේය. එහෙත් අප එයත් නොසලකා හැරියේය.
අවසාන ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ කාත්න්කුඩියෙනි. ඒ පාස්කු ඉරිදාට දින හතරකට පෙරය.
මඩකලපුව කාත්තන්කුඩියේදි තවත් අභිරහස් පිපිරුමක් සිදුවිය. එය සිදුවූයේ කාත්න්කුඩිය පානමුනේ තිරුකෝන වලව්ව පිහිටි අක්කර 43 ක් විශාල පොල් ඉඩමකදීය. කල්මුණ කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයෙන් දකුණ පසට වන්නට මුහුදු වෙරළ දෙසට කිලෝමිටර් 03ක් එපිටින් පිහිටි මෙම ඉඩමේ හිමිකරු වූයේ මොහමඩ් මුස්තාපා හෂනන් පස්රි නම් අයෙකි. පැවතියේ මද වැසි තත්වයකි. පිපිරීම ගැන කිසිවෙක් විශේෂ අවධානය යොමු කර තිබුණේ නැත.මේ පිපිරීම පිළිබඳ ඊට පසුදා, එනම් 17 වනදා සවස පොලිසියට පැමිණිලි කරන්නේ මෙම ඉඩම බලා ගන්නා පුද්ගලයා විසිනි. සිදුවූයේ පූර්ව පරීක්ෂණ පිපිරවීමක් විය හැකි බව පසුගිය සිකුරාදා (19) ආරක්ෂක නිලධාරීහුම අපට කීහ. අප මවිත වන්නේ මහසිකුරාදා කතෝලික පල්ලි ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාරය සම්බන්ධව ඉන්දීය බුද්ධි අංශ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නේ මේ බුද්ධි අංශයට වීමය.
ඒ බිහිසුණු නොසලකා හැරීමේ යථාර්ථය කුමක් ද?. එම බුද්ධි තොරතුර ගැන ආරක්ෂක මණ්ඩලය දන්නේ නැත. ඒ තබා රටේ සේනාධි නායකයාවූත්, ආරක්ෂක අමාත්‍යවරයා වූත් රටේ ජනාධිපතිවරයා දන්නේ නැතැයි ඔහුම කියයි. ඒ තොරතුර රටේ අගමැතිවරයා දන්නේ නැත. ත්‍රිවිධ හමුදාවේ කිසිම ප්‍රධානියෙකු දන්නේ නැත. විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණු බව කීවත් ඒ පිළිබඳ අවධානය යොමු වන්නේ නැත.
ආරක්ෂක බුද්ධි අංශ මෙහෙයවන්නේ අසීමාන්තික මන්දබුද්ධිකයන් විසින් යැයි උපකල්පනය කළත් මෙවැනි තිරශ්චීන කාලකණ්ණිකමකට ඉඩක් ලැබෙතැයි අප විශ්වාස කරන්නේ නැත.
රට අනාරක්ෂිත කළ මේ ජාතික අපරාධය නිර්මාණය වන්නේ වෙනත් මානයකින්දැයි යළි යළිත් විමසිය යුතුව ඇත්තේ ඒ නිසාය.
රටේ බුද්ධි අංශ
කිසිම අන්තර්ජාතික බුද්ධි සේවයකට නොදෙවෙනි බුද්ධි අංශයක් අප රටේ තිබිණි. වසර තිහක් තිස්සේ පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසාන සාර්ථකත්වය දක්වා රැගෙන ගිය නොපෙනුණ යෝධ පදනම නිර්මාණය වූයේ ඒ මතය.
ඒ බුද්ධි මෙහෙයුම් විශිෂ්ටත්වයට ළඟා වූයේ ලබාදුන් න්‍යායාත්මක දැනුම මතම නොව, තිස්වසරක යුදබිමේ ලද අප්‍රමාණ ප්‍රායෝගික දැනුම් සම්භාරය තුළය. මේ දැනුම අන්තර්ජාතික පාඨමාලා දහස් ගණනකින් ලබාගත හැකි ඒවා නොවේ. බුද්ධි තොරතුරක් ලද විට එය විශ්ලේෂණය කර භූමියේ ක්‍රියාත්මක වීම සම්බන්ධ විශේෂඥ දැනුමක් මේ පිරිසට විය. එහෙත් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් කටයුතු කළේ නැත.
එදා යුද්ධයට ඇස් දුන් ප්‍රවීණ බුද්ධි නිලධාරීන් මේ වන විට පාලන අංශයේ ක්ලාක් වැඩවලය. සමහරු අතාර්කික නඩු හබවලය. ඔවුන් බොහෝමයක් අවිචාරවත් දේශපාලන කියැවීම් මත විතැන් වීය.
සංහිඳියාව ලෙස ක්‍රියාත්මක වී තිබුණේ මේ පොළොවට නොගැළපෙන දේශපාලන විපරීත්යක් බව ඒත්තු යන්නට අහිසංක මිනිස් ජීවිත 356ක් බිලිගන්නා තුරු අපට සිටින්නට සිදු විය.
දැන් රටම මළගෙයකි. මේ ප්‍රහාරයෙන් සමාජය බිහිසුණු කම්පනයකය. මුස්ලිම් ප්‍රජාව මහා සමාජය තුළ සහමුලින්ම නන්ත්තාර වී සිටී. අප තවමත් මේ ඛේදවාචකයෙන් නැඟී සිටින්නට සාධනීය පියවරක් ගෙන නැත. රට තිගැස්මෙනි. ඒ අතර විදේශික විශේෂඥ බුද්ධි නිලධාරීන් ගෙන්වීම පිළිබඳ කතා ඇසේ.
අනතර්ජාතික ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු දැනගෙන සිටියත් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි නීති රීති මේ රටේ නැති බව ආණ්ඩු පක්ෂයෙන්ම කියැවේ. මේ හතරබීරි කතා අසමින් ජීවත් වීම බෝම්බ ප්‍රහාරයකින් මිය යෑමට වඩා වේදනාකාරීය.
නීති නැති නම් නීති හැදිය යුත්තේ ගමේ ජෙමාලා නොව රටේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කර යැවූ නියෝජිතයන් කියන අයයි. මේ රටේ මිනිසුන් ආණ්ඩුවකට ලබාදෙන බලයේ අර්ථය ආරක්ෂිත යුක්තිගරුක සමාජයක්ය. රටේ මෙතෙක් පැවති දේශපාලන විසංවාදය නිර්දය ලෙස හෙළිදරව් වී අවසානය.
ඉන් ඉපදුණ අනාරක්ෂිතබව හෙළිදරව් වී අවසානය. අප හැම අතින්ම අසමත් අවාසනාවන්ත මිනිස්සුය. ඇති එකම වාසනාව මේ මාරක ආවේශය සමාජයේ සහෝදර ජනකොටස් මත මුදා නොහැරීමේ ශික්ෂණය අපේ මිනිසුන් තුළ තවමත් ශේෂ වී තිබීම පමණකි. මේ මොහොතේ රටේ එකම ප්‍රාර්ථනාව මේ ලේ විලේ මල් නෙළන්නේ නැති දේශපාලන හැසිරීමක් පමණකි.