
ත්‍රස්තවාදී ක්‍රියා හා කැරලිකොලහාලවලින් සිදු වන විනාශයට රක්ෂණාවරණයක් ලබාගැනීම වැදගත් හා අවශ්‍ය එකකැයි අවධාරණය කළ යුතුව ඇත. එය, පාස්කු ඉරිදා රටේ තැන් තැන්වල සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු අපට අවබෝධ වූ දෙයකි.
ත්‍රස්තවාදී ක්‍රියා හා කැරලිකෝලාහලවලින් විනාශයට පත් වන ජීවිත හා දේපොළවලට හානිපූර්ණයක් ලෙස රක්ෂණාවරණයක් ලබාගැනීමට අවස්ථාවක් තිබේද? තිබේ නම් එය සිදු කරගත යුත්තේ කවුරුන් ගෙන්ද? කළ යුත්තේ කුමක්ද? පැහැදිලිව රටවැසි ජනතාව දැනුවත් කිරීම ඉතාම කාලෝචිත වූවකි. ඒ අනුව අපි පළමුව මේ ත්‍රස්තවාදී ක්‍රියා හා කැරලිකෝලාහාලවලින් සිදු වන හානිපූර්ණයට පවතින රක්ෂණ ක්‍රමය පිළිබඳ කතා කරමු.
ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රක්ෂණ සේවාවේ නියුතු ආයතනවලට ඉඩක් නොතිබිණි. ඒ අඩුව මකා දමමින් රජය රක්ෂණ ක්‍රමවේදයක් ඇරඹීම අත්‍යවශ්‍ය විය. 1983 රටේ මතු වූ කළු ජූලිය පදනම්ව මේ රක්ෂණාවරණය ඇරඹිණි. ඊට ප්‍රථම ත්‍රස්තවාදී ක්‍රියා හා කැරලිකෝලාහලවලින් විපතට පත්වූවන්ට රක්ෂණ පහසුකමක් ලබා ගැනීමට හැකි නොවිණි.
ත්‍රස්ත ක්‍රියා හා කැරලිකෝලාහලවලින් විපතට පත් වූවන්ට යළි නැඟී සිටීමට හානිපූර්ණ රක්ෂණාවරණයක් ලබාගෙන සිටී නම් විශාල අස්වැසිල්ලක් වනු ඇත. ඒ අනුව අද දවසේ පෙර කවරදාකටවත් වඩා වැඩි අවශ්‍යතාවක් මේ සම්බන්ධයෙන් පැන නැඟී ඇත. එබැවින් වසර 1983 සිට ක්‍රියාත්මක වූ මේ රක්ෂණ සේවාව ලබාදීම රක්ෂණ සමාගම් සිදු කළ අතර එම අරමුදල පරිපාලනය කිරීමේ බලය ගැසට් නිවේදනයක් මඟින් ජාතික රක්ෂණ භාරකාර අරමුදලට පවරා දී තිබේ. මේ වන විට මේ අරමුදල දැනට මුදල් අමාත්‍යාංශය යටතට පැවරී තිබේ.
ත්‍රස්ත ක්‍රියා සහ කැරලිකෝලාහල යනු කුමක්දැයි ඉතා සැකවින් විමසා බැලීම වටියි.
ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහය යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ 'ඒ' හා 'බී' වගන්ති අනුව මහජන සාමය කඩ කිරීම සම්බන්ධයෙන් හේතු වන අයුරින් නීති විරෝධී හෝ නීති විරෝධී නොවන ලෙස ආණ්ඩු පෙරළීමට ජනරාශිය, ප්‍රචණ්ඩත්වය මුදාහැරීම ඒ සමඟ ජීවිත හා දේපොළ හා විනාශ කිරීමක් සිදු වුවහොත් ඉන් විනාශයට පත් පිරිස් වෙත හානිපූර්ණයට මේ රක්ෂණ ක්‍රමයෙන් පහසුකම් සලසා ඇත.
ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථකතනය කරන්නේ පුද්ගලයන් එක් අයෙකුගේ හෝ පිරිසකගේ හෝ ජීවිත විනාශයට පත් කරවීමට ඉඩ ලබාදෙමින් ප්‍රචණ්ඩත්වය මුදාහැර ම්ලේච්ඡ හා කුරිරු ප්‍රහාර සිදු කොට රටේ සාමය බිඳ දැමීමට කරනු ලබන ක්‍රියා හා බැඳී තිබේ.
මේ අන්දමට විනාශයට පත් වන ජීවිත හා දේපොළ වෙනුවෙන් රක්ෂණ ක්‍රමවේදයක් මඟින් ලැබෙන සහනය අතිමහත්ය. ඒ සඳහා දැනට පවතින ක්‍රමවේදය නම් මෙරට ක්‍රියාත්මක රක්ෂණ සමාගම් සිය සාමාන්‍ය රක්ෂණ හෝ ජීවිත රක්ෂණ යෝජනා ක්‍රම හෝ යටතේ අතිරේක ආවරණ ලෙස ත්‍රස්ත ක්‍රියා හා කැරලිකෝලාහල වලින් වන හානි පූර්ණයට ඉඩකඩ සේවා පහසුකම් ලබාදී තිබීමය.
මේ අතිරේක සේවා පහසුකම් ලබාගෙන තිබෙන අයගේ රක්ෂණ වාරිකය ඒ ඒ රක්ෂණ සමාගම් විසින් අය කරගෙන ඒ මුදල් ජාතික රක්ෂණ භාරකාර අරමුදලට බැර කරනු ලබයි. ඒ අනුව මේ වන විට ත්‍රස්ත ක්‍රියා හා කැරලිකෝලාහල සම්බන්ධ රක්ෂණ අරමුදල රුපියල් කෝටි 700 ඉක්මවා තිබේ.
මේ අන්දමට රක්ෂණාවරණයේ පාලනය හිමි අප විසින් කිසියම් රක්ෂණ සමාගමකින් මේ රක්ෂණාවරණය ලබාගෙන ඇති අයෙකුට හිමිකම් ප්‍රදානය කිරීමේදී කටයුතු කරන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීම වටී. ඒ වන්දි ගෙවීම් පිළිබඳ නිර්දේශ කිරීමට ස්ථිර මණ්ඩල දෙකක් තිබේ.
රක්ෂණ වන්දි තීරණය කිරීමේ පළමු කමිටුවට රක්ෂණ සමාගම්වල නියෝජිතයන් හා ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සභාපතිත්වය උසුලනු ලබයි. මේ කමිටුවට ඉදිරිපත් වන රක්ෂණාවරණය ලබාගෙන ඇති හිමිකරුවන්ට වන්දි ලබාදිය යුතුයි යන ලියකියවිලි පරීක්ෂා කොට වන්දි ගෙවීමේ නිර්දේශ කමිටුව විසින් ලබා දේ.
දෙවැනි කමිටුව වන්නේ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ සභාපතිවරයා ප්‍රධානත්වය උසුලන රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළත් කමිටුවය. මේ කමිටු හා රක්ෂණ ක්‍රමවේදය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපාරයක ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ.
මේ රක්ෂණ ක්‍රමවේදය යටතේ කැරලිකෝලාහලවලට රුපියල් කෝටි 500ක උපරිමයකට යටත්ව ද ත්‍රස්ත ක්‍රියාවලට රුපියල් කෝටි 200ක උපරිමයකට යටත්වද රක්ෂණාවරණ ලබාගත හැකිය. ඒ අනුව ඉකුත් දා විනාශයට පත් කිංස්බරි හා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටල් දෙක රුපියල් මිලියන 250කට යටත්ව රක්ෂණාවරණ ලබා ගෙන තිබේ.
මේ ආයතන සඳහා රක්ෂණ හිමිකම් ගෙවීමට ජාතික රක්ෂණ භාරකාර අරමුදල වහාම කටයුතු කළේය. ඒ අනුව මේ හෝටල් දෙක වෙනුවෙන් තාවකාලික රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 25 බැගින් අත්තිකාරම් මුදල ගෙවා ඇත.
ත්‍රස්ත ක්‍රියා හා කැරලිකෝලාහල වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීමට ඉතා ඉක්මනින් ක්‍රියා කරන අතර ඕනෑම අයෙකුගේ ජීවිත හා දේපොළ සඳහා මේ අතිරේක ආවරණය ලබාගෙන තිබිය යුතුය. දැනට රක්ෂණාවරණය ලබාගෙන තිබෙන පිරිසගේ යතුරුපැදි රථවාහන හා වෙනත් දේපොළක් සැක සහිතව ආරක්ෂක අංශ විසින් විනාශය කළහොත් වන්දි ලබාදිය යුත්තේද? නැතිද? පිළිබඳව කතිකාවක් ද මතු වේ. මෙහිදී මේ රක්ෂණාවරණය ලබාගෙන තිබෙන එහෙත් සැකකටයුතු නිසා විනාශයට පත් කිරීමක් කළ දේපොළක නීත්‍යනුකූල නොවන දෙයක් සිදු වී නැති බවට ආරක්ෂක අංශ හා අපට නිරීක්ෂණය වුවහොත් ඊට අදාළ වන්දි මුදල් ගෙවීම සිදු කරනු ලැබේ.
එලෙස ත්‍රස්ත ක්‍රියා හා කැරලිකෝලාහලවලින් සිදු වන හානි පූර්ණයට රක්ෂණාවරණයක් ලබා ගන්නේ කෙසේද? එය ලබාගත යුත්තේ මෙරට ක්‍රියාත්මක රක්ෂණ සමාගම් මඟිනි. ඒ ඒ සමාගම් සාමාන්‍ය ජීවිත හා දේපොළ රක්ෂණ යෝජනා ක්‍රමවලට අතිරේක සේවා ලෙස මේ ආවරණයන් ලබාදීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව රක්ෂණ සමාගම්වලින් මේ සේවාව ලබාගත හැකි අතර ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ සාමාන්‍ය රක්ෂණ සේවාව මඟින් ද මෙය ලබාගත හැකිය.
අයිඑස්අයිඑස් සංවිධානය ඇතුළු ලොව පුරා ත්‍රස්ත සංවිධාන ගණනාවකින් වන හානිපූර්ණයට අප අරමුදල ඉදිරිපත් වී ඇත. රටේ ජනතාවට දේපොළවලට ත්‍රස්තවාදී හා කැරලිකෝලාහලවලින් සිදු වන විනාශයන්ට පසුව නැවත වරක් යථා තත්ත්වයට පත් කිරීමට මේ අරමුදල අස්වැසිල්ලක් වී ඇත.