කවි මඩල | Page 2 | සිළුමිණ

කවි මඩල

21, පාස්කු ඉරිදා...

දේව පාමුල
කුරුසියට
ලේ හලා
කිළිටිකළ හෝරාව

රත්නසිරි පතිරණ

-----------------

කුලය

රෑන ගිරව්
රෑන් පිටින්
එක රෑනට පියාඹති....

මාල ගිරව්
කූඩු පිටින්
තටු පුම්බා ඔළු වනති.....

බෝදාගම සුමන හිමි

--------------

ගිරා පොඩිත්තෝ

ගිරා පොඩිත්තෝ ගිරා පොඩිත්තෝ
කොහෙන්ද නුඹ ආවේ
අම්මට අප්පට හොරෙන් ඇවිල්ලද කපුටු රෑන කෙටුවේ
පූරුවෙ පිනකට මල්ලී දැකලා නුඹ ව අරන් ආවේ
මගෙ අම්මයි අප්පයි දෙන්නත් අපහට හොඳටම බැන්නේ....
බැනුම් අසාගෙන ඔයාට අපි අඹ ඇපල් ගෙනත් දුන්නේ
කපුටු කොටාලා තුවාල වී නුඹ අපා දුකක් වින්දේ
බෙහෙත් දාලා නුඹ ළඟ ම ඉදින්නයි
අපටත් ඕනෑ වූයේ
ඒ නිසාම අපි බැනුනුත් ඇහුවයි
ඒවත් ගාණක් නෑනේ....
අපි පාසල් ගොස් ගෙදර දුවන්නේ
නුඹට කවන්නටයි
අපි දෙන ඒවා ළඟකදි ඉඳලා
නුඹ කන්නෙත් නෑනෙ
වැඩියෙන් දුක් වුණේ මල්ලි තමයි
නුඹ නොකා ඉන්න ගානේ
අපි වාගෙම නුඹෙ අම්මත් නුඹට ආදරේ නොවෙදෝ
අප එන්නට කලියෙන් අවුදින් ඇය
නුඹට කෑම දෙයිලු...

ජානකී ප්‍රියංකර

 

 

--------------------

සතුරන් වෙත

සසර වෙර බැඳි ඔබට මා විය නයා හට මෙන් කොළ අඳු
තබන පියවර නෑර අැටවිය මුවා හට මෙන් නෙක මදු
නේක අපහස මැද නිතර හෙළුවෙමි සහස් කඳුළැලි බිඳු
සැලෙන හදවත එයින් දුරුවිය පිනෙන් ලද සිතුවිලි මුදු

ගමන අවුරා සදොස් කරවා නොනැවතී තව එතකුදු
වැරෙන් තිර එඩි සිතට කැඳවා ශිල්ප මග පා නැගු මුදු
ගමන අතරෙහි ගමන් මග වේ යැයි සිතා වෙත හිරු සඳු
තරු ගණන් කොට නැකත් තනවා කරති උන් කොඩිවින කඳු

නමට වෙර බැඳ මුවට හිනැහී දසන් පා රවටන රුදු
ඔබයි සවි දුන් දේවතාවා දිවි මගේ සැනසුම් සිඳූ
සසරෙ කිසිදින එපාමයි ඔබ වන් එවුන් කිසිවෙකු රුදු
හුදු තවදු රුදු නැතිදු ඔබ මෙන් මා තවදු සිත පිරිසිදු

චතුරි ගවේෂිකා සමරකෝන්

----------------------

ගිලන් යහන මත

ගොඩමඩ සරුකළා අව් වැසි දෙක නොබලා
හේනෙන් ලියද්දට මඩ ගාගෙන බැහැලා
හැඩි දැඩි අද ඇතුවා කටු ගැහිලා
එදවස දැරූ රජ කම අටුවන් බැහැලා

පෙරදා පැල් රකින කල මැදියම් යාමේ
නිදි මරමින් යෙදුණි ඔහු පැල් කවි කීමේ
වෙනසක් දැනුණෙ නෑ වූවද පිනි බෑමේ
හේතුව එයයි ගමරට පළ බර වීමේ

යගදා බඳුව තිබු දෑතම අද දුබලයි
ළය ඇට බේරෙනා වත ඉපලකට සමයි
දවසම ගෙවී යන්නේ ලණු යහන මතයි
ඉවසා ගන්න බැරි දැනෙනා තනිය තමයි

දූ දරුවනට නොහැකිය තනි රකින්නට
උන්ටත් තිබේ උන්ගේ වැඩ කරන්නට
දූපුතුනගෙත් දරුවන් ගැන බලන්නට
නැත අහවරක් මවුපියො ගැන සොයන්නට

කෙලෙසින් ඇතිද වෙල්යායේ ඇළ වේලී
මතකයි වරක් වැව් බිම ගියහැටි වේළී
දියකා රෑන දණ්ඩින් හට හරි ලෝලී
තාමත් හොරොව්වට එනවද පෙළපාළී

හුරු වූ සුවඳ නැහැයට පෙර ඉපනැල්ලේ
කුප්පියෙ බෙහෙත් සුවඳයි අද ඒක එල්ලේ
ඈතින් ඇසෙයි හඬ අම්බරු ගැනවිල්ලේ
වික්කල් ගසයි මතකය වැව් තාවල්ලේ

කලාභූෂණ ගාමිණි ලිවේරා

-----------------------

නබීෂා, මේ නුඹමද?

ඇත්තටම නබීෂා,
අකුණු වදින ඔය නෙත්සර
පුපුරු විසිවෙයි දස අත
මයිනහමකි අසංවර හුළඟ
තැළෙයි මා ෂරියා සිත
චන්ද්‍රවංකය කිණිහිර මතග
ෆර්දා පොරෝනය යට
හයියෙන් හුස්ම ගන්න
අත්තාර් පුසුඹ හමන
මුදු උස් කඳු අතර
හිතින් සඟවා මගෙ මූණ
කුරානය කියවන සිත
පැටලුණි ධම්ම පදයක...
කියාදියන් මට නබීෂාල
පෙම් කවි ලියන හැටි
තේරෙන බසකින්
මේ රට ඉඳි ගස්යටග
නබීෂා, මේ නුඹමද?
මේ මමමද?

නයනසේන වන්නිනායක

------------------

අල්තීනායි මං...

නොනැවතී වැසි වැටෙන කල
සැඩ පහර මැඩ ගෙන
උඩු ගම් බලා පිහිනුවෙමි
ආදරය උතුරන ගඟක
ඉවුරු දෑලම අඬගසත්දී
පතුලටම කිමිදුණෙමි
පය වැරදුණේ එතැනද?
මාරුවට පසු
මේඝ පණිවිඩ නෑ
ඉරිතළා ඔත්පළයි
ඉවුරු බඳද
ඉතිරි දිය කඩිත්තක
බුහුටි නිල් ඇස් දෙකක්
අහස හොයනවා
දුයිෂෙන් ඔබ කොහිද?
අයිලය නොවෙයි මේ
කොලනියයි
අල්තීනායි මං
ඔබට දුන් ගුරු පඬුරු මදිද?

වින්යා ජයසේකර

-------------

පැංචියේ අදත් හිතුණා

පහළ වැව් කණ්ඩියේ දෙවට පාරේ
සීත උඩුදුම්බරයද මුමුණාවී
පැංචියේ නුඹ අදවත්
ඉදීවිද දෙවට පාරේ
මල් පොකුරු තට්ටු පිටින්
බයිසිකල් රෝදේ පා අසුර අසුර
එස් එම් එස් පණිවිඩයක්
ක්‍රීං ක්‍රීං නාද ආවේ
ඇති යන්තම් මයේ මැණිකේ
මතක් වෙලා ෆොන් කට්ටේ
අතට ගත්තේ පැංචියේ
නුඹේද හසුන කියා කීරී
ගෑවා ළැමදේ
ප්‍රේම කොබෙයියන්ට මල්ගොමු
දිගහැර අතින් අතට දී
නුබේ මල්පොකුරු සගවා
හැමදිනේ රැක්කේ
අද දිනවත් නුඹ ඒවී
කියා ගුවනේ
ෆොන් කට්ටේ හසුන දැක්කාම
පැංචියේ අදත් හිතුණා
මල් පොකුරු සඟවන්න
ගුවනේ....

අනූෂිකා

 

------------------

ජීවිතය

ජීවිතයෙන් බිඳක්
විඳිනව ටික දොහක්
දැනුනට මහ කලක්
නැහැ ගත යුතු දෙයක්
මිනිසත් බවයෙක
මහිමයෙනි පෙර පිනක
ඒ බව වත් නොදැක
කරන විගඩම් කොතෙක
පැතුම් මහ සයුරකි
ලබන්නේ ඉන් බිඳකි
නොලද හැම දුකකි
එය සොබා දහමෙකි
ලද දෙයින් සැනසෙමු
නොලද දේ ගැන නොසිතමු
සැප දුක පිළිගනිමු
තතු ඇති ලෙසට දකිමු
සිතින් සිත දකිමු
සිතට වහලෙක් නොවෙමු
වැනසෙන දේට නොබැඳෙමු
සසර කතරේ ඉමක් දකිමු

ජයසේන කොඩිතුවක්කු

-------------------

එල්ලෙන්න අතු නැතුව

වැලක් වෙළිලා රුකක සියොලඟ
මුදුන් අත්තෙහි කෙළවරට ගොස්
දල්ල යොමුකර වැනි වැනී බලනවා
තව තව එල්ලෙන්න අතු නැතිද කියලා....

සුසිල් හෙට්ටිආරච්චි

සබරගමුව විශ්වවිද්‍යාලය 

Comments