අන්තවාදීන් මඬින්න හමුදා මෙහෙයුම් | සිළුමිණ

අන්තවාදීන් මඬින්න හමුදා මෙහෙයුම්

දස වසරකට පසු දිවයින පුරා ජනතාවට යළිත් බෝම්බ බිය දැනුණේ ඉකුත් පාස්කු ඉරිදාය. එදා පටන් අද මේ වන තුරුත් ජනතාව මහමඟට බසින්නේ අත්‍යවශ්‍ය කරුණකට පමණි. වෙනදා දුම්රිය බස් රථවල පාපුවරුවල එක පොදියට එල්ලී ගිය මඟීන් අද නැත.

පාස්කු ඉරිදා සිදුකළ මේ පිළිකුල් ප්‍රහාරයෙන් පසු මේ වන විට ආරක්ෂක අංශ විසින් දිවයින පුරා ආවරණය වන පරිදි වැටලීම් හා ක්‍රියාන්විත ආරම්භ කර ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිම කාර්යයක් මේ වන විට පැවරී ඇත්තේ යුද හමුදාව වෙතය.

මේ මෙහෙයුම්වලින් වැඩි මෙහෙයුම් සංඛ්‍යාවක් සිදු කෙරුණේ නැඟෙනහිර පළාතම කේන්ද්‍ර කරගනිමිනි. විශේෂයෙන්ම කාත්තන්කුඩිය, සයින්දමරුන්දු, සමන්තුරේ, නින්දවූර්, පොතුවිල්, කලවංචිකුඩි හා මඩකලපුව කල්මුණේ, ආවරණය වන පරිදි දිනපතා මේ මෙහෙයුම් සිදු කෙරේ. ඒ සඳහා නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ උපදෙස් පරිදි 24 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාගේ මෙහෙයවීමෙන් 241 බළසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරිගේ මූලිකත්වයෙන් මේ කටයුතු සිදු කෙරේ.

එමෙන්ම ත්‍රිකුණාමලයේ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, විශේෂයෙන්ම ‘ජමාත්‘ සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීමට මෙරටට පැමිණ ඇති විදේශීය අන්තවාදීන් සොයාබැලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධව සිදු කළ මෙහෙයුමකදී මේ වන විට ඉන්දීය ජාතිකයකු හා පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියානු ජාතිකයා කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමඟ ‘තව්හිත් ජමාත්‘ නමින් හඳුන්වන මෙරට අන්තවාදීන් තිදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මූතූර් ප්‍රදේශයේදී වන අතර ඔහු ‘සුන්නදූල් ජමාත්‘ නම් සංවිධානයක සාමාජිකයකු බව දැනගන්නට ඇත. පුල්මුඩේහිදී සිලෝන් ජමාත් නම් සංවිධානය නියෝජනය කරන හය දෙනකුද ත්‍රිකුණාමලයේදීද ‘තබ්ලික් ජමාත්‘ නමින් පෙනී සිටි තිදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කාත්තන්කුඩිය ප්‍රදේශයේදී මෙන්ම මේ අන්තවාදීන් වැඩිපුරම ගැවෙසන බව පැවසෙන බවට සැක කෙරෙන සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මේ කටයුතු සිදු කෙරෙන අතර, එහිදී අත්අඩංගුවට ගන්නා ලද අවි-ආයුධ හා හමුදාවට සමාන නිල ඇඳුම් පැහැදිලිවම ත්‍රස්තවාදී කාර්යයක් සඳහා භාවිත කිරීම සඳහා සූදානම් කර ඇති බව දැනගන්නට ඇතැයි ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බව මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා කීය.

“නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සාමකාමීව වාසය කළත් අන්තවාදී සුළු පිරිසක් ඇතැම් තරුණ පිරිස් ඉලක්ක කරගෙන මේ අන්තවාදී ආගමික කටයුතු මෙහෙයවා තිබෙනවා. එම නිසයි මේ කනගාටුදායක තත්ත්වය ඇති වුණේ. සමන්තුරේ අවි ගබඩාව ගැන ඔත්තුව හමු වුණේ මුස්ලිම් ජනතාවගෙන්මයි. ඒ ඔත්තුව ඔස්සේ ගොස් තමයි පසුව සහරාන්ගේ බිරිය හා දරුවා ඇතුළු පිරිස සිටි නිවෙස සොයාගන්න හැකි වුණේ. එහෙත් ඔවුන් බෝම්බ පුපුරවාගත්තා. අපට නින්දවූර් ප්‍රදේශය වටලා ඒ පිරිස් වෙත ප්‍රහාර එල්ල කරන්න සිදු වුණේ ඔවුන් පළමුව හමුදාව, විශේෂ කාර්ය බළකාය හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කළ නිසයි.

දැන් ඒ අයගේ ජන ජීවිත අවුල් වෙලා තියෙන්නේ. ඒ අන්තවාදීන් සුළු පිරිසක් නිසා බව ඔවුන් දන්නවා. එනිසයි ඔවුන් විසින්ම හමුදාවට ඔත්තු සපයන්නේ. කොහොමත් ආරක්ෂක වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. එහිදී සෝදිසි මෙහෙයුම් වැඩි කර තිබෙනවා. අප සියලු ස්ථාන පරීක්ෂාවට ලක් කරනවා. එහිදී ආගමික ස්ථාන හෝ වෙනත් විශේෂ ස්ථාන යනුවෙන් වර්ගීකරණයක් නැහැ.

එමෙන්ම පාසල් විවෘත කිරීමට අවශ්‍ය වටපිටාවත් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ අනුව පොලොන්නරුවේ සිට නැඟෙනහිර පළාතේ ආරක්ෂාව වැඩි වශයෙන් යෙදවීමටත් මේ වන විට පියවර ගෙන තිබෙනවාෙ. එමෙන්ම මේ වන විට ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නැඟෙනහිර ප්‍රදේශය පුරාම හමුදා අනුඛන්ඩ හා කඳවුරු අවශ්‍ය පරිදි ස්ථානගත කෙරෙනවා. ආරක්ෂක අංශ පැය 24 පුරාම සියලු සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.“

බුද්ධි අංශ වාර්තා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අවධාන‍ෙ නිසාද මේ පිරිස් ගැන තොරතුරු වාර්තා වන බවත් නැඟෙනහිර පළාත සාමකාමී තත්ත්වයට ගෙන ඒමට කඩිනමින් කටයුතු සිදු කරන බවත් 24 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා පවසයි. මේ අන්තවාදීන් වනගතව වෙසෙන බවට තොරතුරු ලැබී නැතත් යාල හා කුමන ඇතුළු අභයභූමි වෙතද මේ වන විට ආරක්ෂක හමුදා අවධානය යොමු කර ඇති බවද ඔහු පැවසීය. විශේෂයෙන්ම ලියාපදිංචි නොකළ වාහන මෙන්ම යම් යම් අපරාධවලට යොදාගත් බවට සැකකෙරෙන වාහනද මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වන විට නැඟෙනහිර පළාතෙන් අඩංගුවට ගත් EP KS 5059 මෝටර් රථය ලේ පැල්ලම්ද සහිත වීම නිසා ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතී.

පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයකුගේ නිවෙසේ තිබී ඩෙටනේටර් 89ක්, සේවා නූල් 32ක්, ‍වෝටර් ජෙල් කියුබ් 8ක් සහ ඩෙටනේටර් චාර්ජස් 2ක් ඇතුළුව බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් සොයාගෙන ඇත.

සෝදිසි කිරීම්වලදී සිදු වූ විශේෂිතව සිදුවීම වාර්තා වූයේ මහනුවර අකුරණදීය. මහනුවර මහ රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුගේ වත්තේ වළ දමා තිබූ බෝර 12 තුවක්කු 2ක් හා තවත් ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම දෙල්තොටදී බස්නාහිර පළාතේ ලියාපදිංචි යතුරු පැදි 4ක් අත්අඩංගුවට ගනු ලැබුවේ කඩකාමරයක සඟවා තිබියදී වන අතර ඒවායේ හිමිකරුවන් පිළිබඳව විස්තර ලබා දීමට කඩහිමියා අපොහොසත්වීම නිසා ඔහුද අත්අඩංගුවට ගෙන ඇත. සහරාන්ගේ ඉතා සමීපතමයකු පසුගිය බ්‍රහස්පතින්දා කැකිරාවේදී අත්අඩංගුවට ගත් අතර, කුරුණෑගල වැල්ලව කදිරවලාන ප්‍රදේශයේදී එම ප්‍රදේශයේ ජමාත් නායකයා සහ තවත් 14 දෙනකු ආරක්ෂක හමුදා මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරාබි භාෂාවෙන් සඳහන් අයිඑස් අයිඑස් ලේඛනද සමඟින්ය.

බදුල්ලේ බන්ධනාගාරය අසල නිවාස දෙකක් පොළොව යට බංකර් තනා තිබියදී එම නිවැසියන්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉස්ලාම් බෝරා නිකායට අයත් ආගමික නායකයකුට අයත් බණ්ඩාරවෙල පිහිටි සුපිරි නිවෙසක හෙලිකොප්ටර පවා ගොඩබැස්විය හැකි අංගණයක්ද මෙහි ස්ථාපිත අතර නවීනතම ඩ්‍රෝන කැමරා 4ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අයුරින් දිගින් දිගටම මෙහෙයුම් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි සිදු කෙරෙන අතර, මහා නගර ලෙසින් සලකනු ලබන කොළඹ ඇතුළු නගර හා ඒකාබද්ධ කර විශේෂිත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම උදෙසා බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය ඒකාබද්ධව, එනම් කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම යන දිස්ත්‍රික්ක 4 ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ අණ දෙන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එහි අණදෙන නිලධාරි ලෙස පත් කර ඇත්තේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාය.

ඔහු පවසන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් කොළඹ අග නගරය මෙන්ම අනෙක් ප්‍රධාන නගරද යම් හෝ අකාර්යක්ෂමතාවක් හෝ අඩපණ වීමක් වුව හොත් එය සමස්ත දිවයිනටම බලපාන බවයි. එසේම මෙරට ජාතික ආරක්ෂාවට විශේෂයෙන්ම වැදගත් වන පුත්තලම දිස්ත්‍රික්කයද ඒ සදහා ඇතුළත් කර ඇති බවද ඔහු පවසයි.

“පුත්තලම දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම බත්තලංගුණ්ඩුව, කල්පිටියෙන් ඔබ්බට වන්නට ඇති දූපත් හරහා ජාතික ආරක්ෂාවට තර්ජන වන යම් යම් දේ සිදු වන්න පුළුවන්. ඒ වගේම විල්පත්තුව හෝ මන්නාරමට කෙටි මාර්ග සකසා ඇති ස්ථානයක් ලෙසත් පුත්තලම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දිස්ත්‍රික්කයේ ජන අනුපාතය, එසේම යුද හමුදාවේ බල ප්‍රදේශ වර්ගීකරණය අනුව බටහිර ආඥාපතිවරයාට අයත් ප්‍රදේශයක් ලෙස පුත්තලම පෙන්වා දෙන්න පුළුවන්. මේ සියල්ල සැලකිල්ලට ගෙනයි බස්නාහිර හා පුත්තලම ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කර තිබෙන්නේ. මේ ඒකාබද්ධ කටයුතු සිදු කෙරෙන්නේ යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම විශේෂ කාර්ය බළකායත් එමෙන්ම පොලීසියේ සහයෝගයත් ඇතිවයි.

විශේෂයෙන්ම ආරක්ෂක කටයුතුවලදී අණ සහ පාලනය එක් ස්ථානයක් මුල් කරගෙන සිදු වන්නේ නම් එය ඉතා පහසු මෙන්ම කාර්යක්ෂම බවට පත් වනවා. ඒ සදහා තමයි මෙසේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙන්නේ. එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ පවතින්නේ.

මේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා මේ වන විට බෝම්බ ප්‍රහාර නිසා සිදු වූ විපතට ගත යුතු පළමු පියවර ගෙන අවසන්. දෙවන පියවර වන එයින් තුවාල ලැබූ අය වෙනුවෙන් හා හානියට පත් වූ දේ වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් කළ යුතු කරුණු සම්බන්ව අවධානය යොමු කර තිබෙනවා. එසේම ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මීට අමතරව ඉදිරියේදී තවත් විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න බලාපොරොත්තු වනවා. ඒවා කටයුතු මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

මේ වන විට හඳුනාගත් ප්‍රදේශවල සිදු කරනු ලබන ක්‍රියාන්විතයන් මෙන්ම ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කිරීමත් තොරතුරු ලැබීම් මත පරීක්ෂාවත් සිදු කරනවා. එමෙන්ම හදිසි වැටලීම් පවා අප විසින් සිදු කරනු ලබනවා. පෙර සඳහන් කළාක් මෙන් පාලනය පහසුවීම පිණිස මේ කලාපය විශේෂිත කලාප 22කට වෙන් කර තිබෙනවා. කොළඹ පමණක් එවන් කලාප 5ක් තිබෙනවා. ඒ කලාප 22ටම එක් අණ දෙන නිලධාරියකු බැගින් ස්ථාපිත කර තිබෙනවා. ඔවුන් යුද, ගුවන්, නාවික හෝ විශේෂ කර්ය බළකායේ හෝ විය හැකියි.

ඒ කලාප අණදෙන නිලදාරීන් පත් කිරීම මඟින් අපට පහළ සිට ඉහළට ඕනෑම තොරතුරක් කඩිනමින් ලබා ගැනීම පහසු වී තිබෙනවා.

මේ වන විට අප විශේෂ විමසුම් හා තොරතුරු ලබා දීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එයට ඉහත දිස්ත්‍රික්ක 4හිම ඕනෑම තොරතුරක් ඕනෑම වේලාවක තොරතුරු දිය හැකියි. ඒ සඳහා දුරකතන අංක 0763155331 හෝ 0765307346 අංක භාවිත කළ හැකි අතර විද්යුත් ලිපිනය ලෙස [email protected] යන්න භාවිත කළ හැකියි. මේ වන විට මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බළකාය මෙන්ම පොලීසිය ඒකාබද්ධව කටයුතු කරනවා.

ඒවා සුදුසු පරිදි භූමියට අදාළ වන හා අත්දැකීම් බහුල ලෙස ප්‍රයෝජනයට ගෙනයි අප කටයුතු කරන්නේ. උදාහරණයක් ලෙස පෙන්වනවා නම් කොළඹ වරාය හා පුත්තලම ප්‍රදේශය මීගමුව වෙරළ තීරය වැනි ස්ථානවලට නාවික හමුදාව ස්ථානගත කර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ගුවන් හමුදාව ස්ථාපිත කර තිබෙනවා. මේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දැනටමත් විශේෂ කාර්ය බළකාය ස්ථානගතවයි ඉන්නේ. ඒ ප්‍රදේශ ඔවුන්ටම ආරක්ෂක කටයුතු මෙහෙයවීමට බාර දී තිබෙනවා. යුද හමුදාවත් අවශ්‍ය අනෙක් සියලු ස්ථානවලට යොමු කර තිබෙනවා. ඒත් යම් විශේෂ අවශ්‍යතාවක් වුවහොත් මේ සියලු හමුදාවන් හෝ ක්ෂණයකින් අදාළ ස්ථානයන්ට යොමු කිරීමේ ක්‍රමවේදයන් සකස් කර තිබෙන්නේ.

එමෙන්ම මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් මෙන්ම වැටලීම් සිදු කර කරනු ලබන මෙහෙයුම් ආදියටත් ක්ෂණික පරීක්ෂා කිරීම් වැනි කටයුතු සඳහා පොලීසිය යොදාගැනෙනවා.

අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පියවර අප ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශ ඒ කාර්යය කරනවා. එමෙන්ම පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්ත විමර්ශන අංශයටත් අවශ්‍ය අය බාර දෙනවා. ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ කුමන අංශයද යන්න තීරණය කරන්නේ අදාළ පුද්ගලයා කවුද, ඔහුගේ ක්‍රියාව කුමක්ද යන්න තීරණය කිරීමෙන් පසුවයි.“

මේජර් ජනරාල්වරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කටකතා විශ්වාස නොකර පසුගිය ත්‍රස්තවාදී යුද්ධයේදී ලබා දුන් සහාය දෙන ලෙසයි. යම් තොරතුරක් ලද හොත් එය කිසි ලෙසකින් බැහැර නොකරන බවත් අවම වශයෙන් සැක කටයුතු පුද්ගලයකු හෝ පාර්සලයක් ඇති බව දැන්වුව හොත් වහා ඒ පිළිබඳ ක්‍රියාකාරිව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මෙහිදී තවත් විශේෂ කරුණක් පෙන්වා දිය යුතු වෙයි. මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදාවේ බටහිර ආඥාපතිවරයා වන නිසා ඔහුට දිවයිනේ පළාත් 4ක හා දිස්ත්‍රික්ක 9ක ආරක්ෂක කලාපයක් යුද හමුදා සංග්‍රාමික වර්ගීකරණ භූමිය අනුව හිමි වේ. ඒ අනුව දකුණ, බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත් 4හිම ආරක්ෂක හමුදා ඔහු යටතේ පවතී.

එනිසා වර්තමානයේ ස්ථාපිත කර ඇති ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පෙර සඳහන් කළ දිස්ත්‍රික්ක 4හිම ඒකාබද්ධ මෙහෙයුම් ලෙස සිදු කෙරෙද්දී ඉතිරි දිස්ත්‍රික්ක 8හිම යුද හමුදාවන් විශේෂ මෙහෙයුම් ඔහු යටතේම සිදු කරනවා. උදාහරණ ලෙස පසුගියදා රත්නපුර, කෑගල්ල වැනි ප්‍රදේශවලත් වයඹ පළාතේ සිදු කළ යුද හමුදා මෙහෙයුම් ඒ අනුව සිදු වූ බව පෙන්වා දිය යුතුයි.

පසුගියදා කොළඹ සිදු කළ ප්‍රහාරයන්ට අනුබල දුන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ කුලියාපිටියේ නිවෙසක සැඟව තිබේ. ඔවුන් පැමිණි යතුරුපැදිය කුලියාපිටිය ඒදණ්ඩාවල ප්‍රදේශයේ ඇළකට තල්ලු කර දමා ගොස් තිබූ අතර යතුරුපැදියේ අංක තහඩුව අසල ගල්වළකට විසි කර ඇත්තේ කුඩා කැබැලිවලට කැඩීමෙන් අනතුරුවයි. ඒ සියල්ල පසුගිය 2 වැනිදා සොයා ගන්නා ලදි. සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට පත් වූවේ මේ ඒකාබද්ධ මෙහෙයුම්හි ප්‍රතිඵලයන් නිසාය. එමෙන්ම කුලියාපිටිය ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයක තිබී සිවුරුවලට සමානකමක් දක්වන රෙදි තොගයක්ද සොයාගනු ලැබීය. එහිදී කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

යුද හමුදාව භාවිත කරන බර අවි උණ්ඩ හා හිස් පතොරම් කොපු විශාල ප්‍රමාණයක් ජා-ඇළ උදම්මිට ප්‍රදේශයේ යකඩ කම්හලක තිබී සොයා ගත්තේද පසුගිය 2 වැනිදාය. එසේම තිහාරියේ සිට අනුරාධපුරය දක්වා සුදු රෙදි ප්‍රවාහනය කළ වෑන් රථයක්ද මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු සමඟ 2 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේද මේ ඒකාබද්ධ මෙහෙයුමේ සාර්ථකත්වය කියා පාමිනි. මේ ඒකාබද්ධ මෙහෙයුම්හි ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ ආදුරුප්පුවීදියේ සිදු කළ පරීක්ෂාවකදී ට්‍රැමඩෝල් පෙති 62,000ක් හා ගබ්සා පෙති 1000ක් සැකකරුවන්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදි.

එසේම ගල්කිස්සේදී පාකිස්නාන වැසියන් දෙදෙනකු හා මෙරට මුස්ලිම් වැසියකු එම ප්‍රදේශයට පැමිණ නවාතැන් ගත් හේතුව පිළිබඳ තොරතුරු සැපයීමට අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගෙන ඇත. රත්මලාන රූපලාවණ්‍යාගාරයක තිබී වෝකිටෝකි යන්ත්‍ර 14ක් හා අධිතාක්ෂණික යන්ත්‍ර රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව අපට පෙනී යන්නේ මේ ඒකාබද්ධ මෙහෙයුම් හරහා ජාතික ආරක්ෂාවට විශාල පිටුබලයක් ලැබී ඇති බවකි

එසේම මේ වන විට සියලු ජාතීන් අතර එකමුතුකම රැකෙන සේ මුස්ලිම් ආගමික නායකයන් හා අනෙක් ආගමික නායකයන් සමඟත් සුහදව කටයුතු කිරීමට මේ ආරක්ෂක අංශ සියලු කටයුතු යොදා ඇත. එනිසා මුස්ලිම් ජනතාව විසින්ද තොරතුරු ලබා දෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. රුපියල් 5000 නෝට්ටු විසි කර තිබියදීත් ඒවා නොසලකා හැර, ආරක්ෂක අංශ වෙත තොරතුරු සපයන්නට ඔවුන් පෙලඹී තිබුණේ එහෙයිනි.

මේ වන විට සියලු බුද්ධි අංශ තොරතුරු මේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබාගත හැකිව තිබේ. ඒ යුද, ගුවන් හා නාවික හමුදා මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය යන අංශ සියල්ල එක්ව මෙහෙයුම් සිදු කරනු ලබන හෙයිනි. බුද්ධි අංශ කිසිදු විටෙක අකර්මණ්‍ය වී නැති බව සත්‍යප්‍රිය ලියනගේ මහතා පෙන්වා දෙයි. බුද්ධි අංශ සැමවිටම ශක්තිමත් බවත්, යම් හේතු නිසා අසනීප වන එසේම ස්වාභාවිකව මිය යන හෝ යම් පාඨමාලා සඳහා එතෙර යන බුද්ධි අංශ නිලධාරීන් නිසා ඒවා අඩපණ නොවන සේ ක්‍රියාත්මක වන්නට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

පාසල් 3,000ක් පමණ ඔහු යටතේ ඇති ආරක්ෂක කලාපයේ ඇති හෙයින් ඒ සියලු පාසල් සඳහා මේ වන විටත් විධිමත් ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු කීවේය. එසේම යම් කිසි ආකාරයකින් ආගමික මධ්‍යස්ථානයක හෝ නිවෙසක කඩු තිබී අසු වනවා නම් ඒ සියල්ල යම් කිසි නීති විරෝධී කටයුත්තක් සඳහා විනා තණකොළ කැපීමට නම් නොවන බවද පෙන්වා දුන් ඔහු තණකොළ කැපීමට අවශ්‍ය තරම් උපකරණ ලංකාවේ ඇති බවත්, තමන්ට යම් කිසි ආරක්ෂක ගැටලුවක් ඇත් නම් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී කටයුතු කළ යුතු බවද කීවේය.

එමෙන්ම වසා ඇති ඕනෑම නිවෙසක් විවෘත කර පරීක්ෂාවට භාජන කිරීමේ හැකියාව ආරක්ෂක හමුදාවලට ඇති බවත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම කාර්යයක් සිදු කිරීමට හමුදාව වෙත බලය දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ආරක්ෂක අංශ මේ වන විට තම කාර්යයන් සිදු කරමින් පවතී. අප කළ යුත්තේ විමසිලිමත්ව කටයුතු කිරීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අංශවලට පවරා තමන් පුරවැසි යුතුකම ඉටු කරන්නට කටයුතු කරන්නේ නම් එය ආරක්ෂක අංශවලට ලබා දෙන ඉහළම සහයෝගය වනු ඇත. එසේම තමන්ට යම් හෝ සැක තොරතුරක් ලද හොත් වහා ඒ පිළිබඳ දැනුම් දීමට වගබලා ගත යුතුය.

සේයාරූ - රුක්මල් ගමගේ

Comments