
* මුස්ලිම් සමහර අය වාසගමයි නමයි දෙකටම සිංහල නම් දාගෙන
* නම් වෙනස් කිරීමේ පූර්ණ ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුතුයි
* සිංහල තරුණියන් මුස්ලිම් නම් දාගෙන
* ඉස්සර වැඩිපුර වුණේ දෙමළ අය සිංහල නම් දාගත්ත එක
* ආඥා පනත් හා චක්‍රලේඛ අනුව වැඩ නොකරන අය නිසා ගැටලු මතුවෙලා
* ජාතික හැඳුනුම්පතට ජාතිකත්වය ඇතුළත් කළ නොහැකිද?
නම වනාහි අපේ පෞද්ගලික අනන්‍යතාව ලොවටම හෙළි කරන කැඩපතක් බඳුය. ඒත් පසුගිය කාලයේ ප්‍රබල ප්‍රවණතාවක් වූ නම් වෙනස් කිරීම් නිසා රටේ පුද්ගලයන්ගේ නමින් පිළිබිඹු කරන ජාතිකත්වය නැති වී යන තත්ත්වයට වැටී ඇතැයි සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය කාලයේ නම් හා වාසගම් වෙනස් කිරීමේ පුවත්පත් දැන්වීම් දෙස බැලූවිට සමහර පුද්ගලයන් තම ජාතියට ආවේණික නම් හා වාසගම් වෙනස් කර වෙනත් ජාතියකට ආවේණික වූ නම් හා වාසගම් යොදා ගැනීමේ අවස්ථා බහුල බව සොයාගත හැකියි. මෙම නව ප්‍රවණතාව දිගටම පැවතීම ජාතික ආරක්ෂාවටද ප්‍රබල තර්ජනයක් විය හැකි බව ආරක්ෂක අංශ ද සඳහන් කරයි.
ඔවුන් එසේ සඳහන් කරන්නේ පසුගියදා අත්අඩංගුවට පත්වූ සමහර ත්‍රස්තවාදීන් තම මුල් මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් පාවිච්චි කළ බැවිනි. රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් චතුර ශ්‍රී විතානගේ මහතා පවසන පරිදි 1951 උප්පැන්න, මරණ ලියාපදිංචි ආඥා පනතේ 27 වැනි වගන්තිය අනුව අපේ රටේ පදිංචි ඕනෑම පුද්ගලයකුට තම අභිමතය පරිදි තම නම හා වාසගම වෙනස් කරගත හැකි ය. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන රැසක් සම්පූර්ණ කරගත යුතු ය. මෙය අද වැනි කාලයක තරමක් ගැටලු සහගත ක්‍රියාවකි.
නම් වෙනස් කිරීමක් සඳහා මුලින් ම පැවසූ 27 වැනි වගන්තිය අනුව නම් වෙනස් කිරීම සඳහා වන ප්‍රකාශ පත්‍රයක් තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා මගින් ලබාගත යුතු ය. ඒ අනුව අවුරුදු 21ට වඩා අඩු අයට එක ප්‍රකාශ පත්‍රයක් ඇති අතර 21ට වැඩි අයට වෙනත් ප්‍රකාශ පත්‍රයක් ඇත.
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසන පරිදි මේ වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයකු මේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නම් ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක්, අලුත් නම සහිතව නම් වෙනස් කරන බවට පුවත්පත් දැන්වීමක්, ග්‍රාම නිලධාරි මහතාගේ වසමේ පදිංචි බවට සහතිකයක් හා ඉල්ලා සිටින නම හා වාසගම වසරකට වඩා පාවිච්චි කළ බවට දැක්වෙන ලේඛන ද අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
කෙසේ වෙතත් මෙලෙස නම් හා වාසගම් වෙනස් කිරීම සම්පූර්ණයෙන් ම සිදු කිරීමේ පූර්ණ බලතල අපේ රටේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුයුක්ත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට තිබේ. ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ම පවසන පරිදි අලුත් නම වසරක් පාවිච්චි කළ බවට අදාළ ලේඛන නැති වුවත් අදාළ නම වෙනස් කිරීම අදාළ අයට සාධාරණ යුක්ති ගරුක බව පෙනී යන්නේ නම් හා සාමාජික ගැටලුවක් නිරාකරණය කිරීමක් වන්නේ නම් පුද්ගලයා ඉල්ලන පරිදි නම හා වාසගම වෙනස් කිරීමට අවසර දීමට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ අභිමතය පරිදි ක්‍රියා කළ හැකිය. එහෙත් සාධාරණ නොවන අවස්ථාවල එය ඉතා භයානක තත්ත්වයකි.
පසුගිය දිනවල නම් වෙනස් කිරීමේ දැන් වීම් රැසක් පුවත්පත් වල පළවීය. ඒ අතර මුස්ලිම් පුද්ගලයන්ට අයත් මුස්ලිම් නම් හා වාසගම් සම්පූර්ණයෙන්ම සිංහල නම් හා වාසගම් බවට නම් වෙනස් කිරීම මඟින් වෙනස් කිරීමේ දැන්වීම් රැසක්ද විය.
මෙවැනි දැන්වීම්වල සඳහන් පරිදි මුස්ලිම් නම් හා වාසගම් සම්පූර්ණයෙන්ම සිංහල නම් හා වාසගම් බවට පත් කිරීමට උත්සාහ දැරීම මගින් එය අදාළ අයගේ ජාතික අනන්‍යතාවට හා අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිදැයි අදාළ අංශ අවධානයට ගත යුතුව ඇත. එලෙස නම් වෙනස් කරගත් පුද්ගලයන් පසුගිය දිනවල ආරක්ෂක අංශවලට අසුවී තිබිණ.
එමෙන් ම සිංහල අය මුස්ලිම් වාසගම් හා නම් දමා නම් වෙනස් කිරීමද සිදුවේ. එය සැක කටයුතු විය හැකි කරුණකි.
උප්පැන්න, මරණ ආඥා පනතේ 17 වැනි වගන්තිය අනුව නම් වෙනස් කිරීමේ ඉඩකඩ ලැබීම නිසා 2009–2013 වකවානුවේදී දෙමළ පුද්ගලයන් වැඩිපුර සිංහල නම් දමා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් තිබූ බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට පැහැදිලි විය.
ඒ අනුව ඒ ප්‍රවණතාව වැළැක්වීම පිණිස 2014 දී අංක 3 දරන අලුත් චක්‍ර ලේඛයක් නිකුත් කෙරිණි. ඒ අනුව හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල් ඊ.එම්. ගුණසේකර මහතා නිකුත් කළ 2014 අංක 3 දරන චක්‍රලේඛය අනුව නම් හා වාසගම් වෙනස් කිරීමේදී අදාළ නම් හා වාසගම වෙනස් කිරීම මගින් ඉල්ලුම් කරන ජාතිය වසන් කිරීමට හෝ වංචනික කටයුතු සඳහා උත්සාහ දරන බවට නිරීක්ෂණය වුවහොත් සැබෑම හේතුව අවධාරණය කරගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කර ඇත. එම චක්‍රලේඛයේ මෙසේද දක්වා ඇත.
“වයස අවුරුදු 07ට අඩු දරුවකුගේ නමක් වෙනස් කිරීමට අලුතෙන් ඇතුළත් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වන විට දී දෙමාපියන්ගේ ඉල්ලීම සමඟ දිවුරුම් ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 07ත් 21ත් අතර දරුවකුගේ නමක් වෙනස් කිරීමට ඉල්ලිම් ඉදිරිපත් වන විටදී ඉල්ලුම්කරුගේ දිවුරුම් ප්‍රකාශයක් සමඟ ග්‍රාම නිලධාරි මහතාගේ නිර්දේශයක් ද ලබාගැනීමට කටයුතු කළ යුතු අතර, යෝජිත නම භාවිතා කර ඇති බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි ලේඛනද ලබාගත යුතු ය.
වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයකුගේ නමක් වෙනස් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වන විටදී ඔහුගේ/ ඇයගේ දිවුරුම් ප්‍රකාශයක්, පුවත්පත් දැන්වීමක් සහ ග්‍රාම නිලධාරි මහතාගේ නිර්දේශයක් ද සමඟ අදාළ පුද්ගලයා වෙනස්කර ගැනීමට ඉල්ලා සිටින නම වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කර ඇති බවට වෙනත් පිළිගත හැකි සාක්ෂි ද ගොනුකර ගැනීම අනිවාර්ය වේ. ඉල්ලීම ඉදිරිපත් කරන පුද්ගලයාගේ වයස වැඩි වන තරමට ඔහුගෙන්/ ඇයගෙන් යෝජිත නම භාවිත කළ බවට සාක්ෂි ලේඛන වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අවශ්‍ය වේ.
නමක් වෙනස් කරගැනීමට ඉල්ලීමක් ලැබෙන විට, එම ඉල්ලීමට හේතුව හා ඉල්ලුම්කරුගේ අනන්‍යතාවද තහවුරු කරගැනීම අනිවාර්ය වේ. යෝජිත නම භාවිත කර ඇති බවට ඉදිරිපත් කරන ලිඛිත සාක්ෂි ලේඛනවල නිර්ව්‍යාජ භාවය පිළිබඳව ද සොයා බැලිය යුතු ය. ඉල්ලුම්කරු නම වෙනස් කරන්නේ ජාතිය වසන් කිරීමේ අදහසින් හෝ වෙනත් වංචනික හේතු සඳහා බවට නිරීක්ෂණය වේ නම් සැබෑම හේතුව අනාවරණය කර ගැනීම සඳහා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.
එවැනි අවස්ථාවල නම වෙනස් කර භාවිත කළ බවට ලියවිලිවලින් පමණක් සෑහීමට පත් නොවී ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, ඔහුගේ/ ඇයගේ මවුපියන් සහ වෙනත් අදාළ කරගත හැකි සාක්ෂිකරුවන්ද ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත යුතුය.
එමඟින් ඉල්ලුම්කරු නම වෙනස් කරන්නේ ජාතිය වසන් කිරීමේ අදහසින් හෝ වෙනත් වංචනික හේතු සඳහා නොවන බවට සනාථ වන්නේ නම් පමණක් එවැනි ඉල්ලීම්වලට අනුමැතිය දිය හැකිය. ඉදිරිපත් කර තිබෙන කරුණු ගැන යම් සැකයක් තිබේ නම්, ප්‍රකාශය අනුමත කර ප්‍රමාද දෝෂයක් ඇතිවීමට ඉඩ හරිනවාට වඩා, ප්‍රකාශය අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම උචිතය.”
චක්‍රලේඛන ගත කරුණු මෙසේ වුවත් මේ නීති රීති නොසලකා නම් වෙනස් කිරීමට සමහර අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් හෝ නිලධාරීන් කටයුතු කරන බව අනාවරණ වී තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කරන සමාජ ක්‍රියාකාරිකයන් පවසන්නේ මේ නම් වෙනස් කිරීමේ ක්‍රියාදාමය දැනට වඩා ස්වදේශීය කටයුතු ඇමැතිවරයා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු බවයි.
එමෙන්ම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ට මේ කටයුතු කිරීමේදී දැනට වඩා ගවේෂණාත්මක ලෙස එම කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දිය යුතුව ඇත. මේ අයුරින් නමක් හා වාසගම වෙනස් කරගත් පසු ලබාගන්නා නව උප්පැන්න සහතිකයේ 13 වැනි කොටසේ සංශෝධිත නම සහ වාසගම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සඳහන් කරනු ලැබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතිරේක කොමසාරිස් ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පවසන්නේ නම් වෙනස් කිරීමක් සිදුකළ අයකුගේ හැඳුනුම්පතට අනිවාර්යයෙන් ම ඇතුළත් කරන්නේ නව උප්පැන්න සහතිකයේ සංශෝධිත නම් හා වාසගම් ඇතුළත් කරන 13 කොටසේ සඳහන් දේ පමණක් බවයි.
පොදුවේ සලකා බැලීමේදී නම් හා වාසගම් සම්පූර්ණයෙන් වෙනස් කිරීම නිසා යම් යම් ජන පිරිස්වලට අසාධාරණයක් වීම ද එම අදාළ නව නම් හා වාසගම් මඟින් අදාළ පුද්ගලයාගේ නියම ජාතිකත්වය වෙනස්ව පෙන්නුම් කිරීමක් ද සිදු විය හැකි ය.
මේ අනුව අලුත් නමක් සහ වාසගමක් දමා ගැනීමෙන් පසු හදන අලුත් හැඳුනුම්පතේ ඒ නම සහ වාසගම ඇතුළත් කරනු ලැබේ. එවිට අදාළ පුද්ගලයාගේ නියම ජාතිකත්වය ඉන් පෙන්නුම් නොකෙරේ නම් එම හැඳුනුම්පත අනුව එම පුද්ගලයන්ට යම් යම් ස්ථානවලදී වාසි ගැනීමට අවස්ථාව ඇත. ඊට ප්‍රධාන හේතුව ජාතික හැඳුනුම්පතේ ජාතිය සඳහන් නොවීමයි.
මුස්ලිම් අය තම නම සිංහල නමක් ලෙස වෙනස් කළත් සිංහල අයකු තම නම මුස්ලිම් අයකු ලෙස වෙනස් කළත් දෙමළ අයකු තම නම සිංහල නමක් ලෙස වෙනස් කළත් මේ තත්ත්වය ඇති වීමට පුළුවන.
මෙවැනි ජාතිකත්වය වෙනස් ලෙස පෙනෙන අයුරින් නම් වෙනස් කළ පුද්ගලයකු අලුත් නම භාවිත කර විවාහ වී නව නමට අදාළ ජාතිය විවාහ සහතිකයේ ජාතිය ලෙස සඳහන් කිරීමට ද පුළුවන. ජාතික හැඳුනුම්පතේ ජාතිය සඳහන් නැති නිසා මේ කටයුත්ත සිදුකළ හැකිය.
උදාහරණයක් ලෙස මුස්ලිම් අයකු සිංහල නමක් ලෙස නම වෙනස් කරගත් පසු සිංහල නම සහිත හැඳුනුම්පත විවාහ රෙජිස්ට්‍රාර්වරයකුට පෙන්වා තමන් ගේ ජාතිය සිංහල ලෙස සඳහන් කර විවාහ වීමට අවස්ථාව තිබේ.
එය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව මෑතකාලයේදී බලවත් කතා බහට ලක්වී ඇත.
කෙසේ වුවත් මේ තත්ත්වය මැඩ පැවැත්වීමට විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට 2010 දී රෙජිස්ට්‍රාර් ජනරාල් එවූ විවාහ සිදු කරන විට උප්පැන්න බැලිය යුතු බව දැක්වෙන චක්‍රලේඛනය ද යළි බලගැන්විය යුතුව ඇත.
කෙසේ වුවත් මූලික මානව අයිතිවාසිකම් අනුව හා සංහිඳියාව අනුව මෙවැනි කටයුතු කිරීමට පසුගිය සමයේ ඉහළම ඉඩකඩ ලැබුණි.
ආරක්ෂක බලධාරීන් පවසන පරිදි මේ නම් වෙනස් කිරීමේ ක්‍රියාදාමය දැන් දැන් ඉතා සූක්ෂ්ම ලෙස අධීක්ෂණයකට ලක් විය යුතුව ඇත. වෙනත් ජාතියක පුද්ගලයකු සමඟ විවාහ වීම වැනි අවස්ථාවල නම් වෙනස් කිරීම යුක්ති සහගතය.
මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ රෙජිස්ට්‍රාර් ජනරාල් විතාන මහතා පැවසුවේ පසුගිය කාලයේ වැඩිපුර දක්නට ලැබුණේ සිංහල තරුණියන් මුස්ලිම් නම් දමා ගැනීමේ ප්‍රවණතාවක් බවයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ජාතිය වසන් වන පරිදි නම් වෙනස් කිරීම සිදු කිරීම බොහෝ විට තම දෙපාර්තමේන්තුව හරහා සිදු නොවන බවත් ඒවා නීති විරෝධී ක්‍රම මගින් සිදුවීමට ඉඩ ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පෙන්වා දෙයි.
“අපි මේ දවස්වල නම් වෙනස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානය යොමු කරනවා. 2014 අංක 3 චක්‍රලේඛය බල ගැන්වීමටද කටයුතු කරනවා. ඒ සමඟම දැන් අපි ආරම්භ කර තිබෙන අලුත් උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මෙවැනි අක්‍රමිකතා සිදු වීමට ඉඩක් නැහැ. රටේ හැම පුද්ගලයකුට ම අපි ජීව අනන්‍යතා අංකයක් ලබාදෙනවා. උප්පැන්න, විවාහ හා මරණ සහතිකවලත් හැඳුනුම්පතේත් රියැදුරු බලපත්‍රවලත් මින් පසු මේ අංකය සඳහන් කරනවා. ඒ අනුව එමඟින් අදාළ පුද්ගලයා ගැන පූර්ණ විස්තර ලබාගැනීමට පුළුවන්. ජාතිය, ආගම දෙමාපියන්ගේ නම් එමඟින් සොයා ගැනීමට පුළුවන්...” රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කියයි.
අප කළ ගවේෂණය අනුව පැහැදිලි වූයේ නම් වෙනස් කිරීමට 1951 උප්පැන්න හා මරණ ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ ඇති බලතල හා 2014 අංක 3 දරන චක්‍රලේඛයට අනුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ට ඇති බලතල යාවත්කාලීන වීම කාලීන අවශ්‍යතාවක් බවයි.
විශේෂයෙන් ජාතිය වසන් කිරීම සිදු කරන අයුරින් නම් හා වාසගම වෙනස් කිරීම පිළිබඳව හා මෙම නම් වෙනස් කිරීමේ සමස්ත ක්‍රියාදාමය දැඩි අධීක්ෂණයකින් යුතුව කාලීනව වෙනස් කිරීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
එමෙන්ම ජාතික හැඳුනුම්පතේ ජාතිකත්වය සඳහන් කිරීමද මේ යම් යම් ගැටලුවලට විසඳුමක් වනු ඇතැයි සමාජ ගවේෂකයෝ කියති.