
යන්තමින් අවුරුදු නැකත පහුවූවා පමණි. පළාත දෙවනත් කරමින්, කන් පසාරු කරන හඬක් නංවමින් දුම්රියක් තඹුත්තේගම දුම්රිය පොළ පසුකොට ගියේය. තඹුත්තේගම - ගල්නෑව දුම්රිය හරස් මඟ දෙපස එකම මිනිස් පොදියකි. යතුරු පැදි, පා පැදි, මෝටර් රථ, ත්‍රී රෝද රථ, ට්‍රැක්ටර් එක පෙළටය. අවුසදහාමි මාමා දුම්රිය මඟ අවුරා බැඳි හරස් පොලු දෙක ඉවත් කළේ මිනිසුන්ගේ තෙරපෙන නොඉවසිල්ල හමාර කරමිනි. අවුරුදු නැකතද, පෝය ද, දෙපෝය ද, අව්වද, වැස්ස ද කියා ඔහුට ගනිච්චියක් නැත. රැයක් දවාලක් නොමැතිව දුම්රිය එන අයුරුව බලා මඟ ඇහිරීම ඔහුගේ රාජකාරිය වී ඇත.
“අවුරුදු නැකතකටවත් ගෙදර ඉන්නැතිව අපි මේ රුපියල් සීයට හමාරට දුක් විඳින්නේ දුප්පත්කම හින්දා. නැත්නම් මේ රස්සාව එපාවෙලා තියෙන්නේ. පුදුම හදිසියක් තියෙන්නේ මේ සමහරුන්ට. පොඩ්ඩ බැරිවෙනකොට අපිවත් යට කරගෙන යන්නේ. එක විනාඩි පහක් දහයක් මෙතැන ඉන්ඩ තරම් ඉවසීමක් නෑ මේ මිනිස්සුන්ට. ඒත් හදිසියේ හරි අනතුරක් වුණොත් ඒකට වගකියන්ඩත් ඕන අපි. ගේට්ටුව වහන එක විනාඩි පහට වාහන සිය ගාණක් මෙතැන ගොඩගැහෙනවා. අපි හිටියේ නැත්නම් මොකද වෙන්නේ. ඒක තේරුම් ගන්නෑ කවුරුවත්. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක."
අවුසදහාමි මාමා උපේක්ෂාවෙන් වචන ගැලපීය. ඔහු නමින් එච්. අවුසදහාමිය. තඹුත්තේගම - ගල්නෑව ජයමාවත හරහා දිවෙන උතුරු දුම්රිය මාර්ගයේ රේල් ගේට්ටුවේ ඔහු සේවයේ නිරිතවන්නේ වසර පහළොවක පමණ සිටය. මේ මඟ රකිමින් ජීවිත අනතුරක් නොවීමට වග බලාගැනීම ඔහුගේ වගකීමය.
තඹුත්තේගම පොලිසිය මගින් පාලනය වන මේ ගේට්ටුවේ තිදෙනෙකු සිටිය යුතු වුවත් ඉන්නේ දෙදෙනෙකි. එක් අයෙකු අවුසදහාමි මාමාය. අනෙකා ඔහුගේ පුතු අසංක තෙන්නකෝන් ය. අවුසදහාමිට දැන් වයස අවුරුදු හැටතුනකි. අසංකට තිස්දෙකකි. තවමත් කසාදයක් කරගන්නට හෝ අසංකට ඉඩක් නැත්තේ මේ රස්සාවෙන් ලැබෙන සොච්චම් දීමනාවත්, එහි ඇති අවිනිශ්චිතභාවයත් හේතුවෙනි. දවසේ පැය විසිහතරම පියාත් පුතාත් මේ මඟ රැකීමට දහදිය, කදුළු හෙළනුයේ සතුටකින් නම් නොවේ. අතහැර යා නොහැකිකමටය. එය ඔවුනට කොටි වලිගය අල්ලා ගත්තාක්මෙන් වී ඇත. අවම වශයෙන් තරුණ අසංකට හෝ මෙයින් වගතුවක් වේය යන හැගීමෙන් ඔවුහු තුට්ටු දෙකට කඹුරති.
“අපිට ලැබෙන සොච්චමෙන් මොනව කරන්නද. ජීවත්වෙන එක දැන් යුද්ධයක් වෙලා තියෙන්නේ. පුළුවන් කල් වැඩකරලා අවසානේ ගෙදර යනකොට අඩුම ගාණේ වන්දි මුදලක්වත් නෑ. දැන් මේ ගේට්ටුවේ වැඩ කරන්නේ මායි, පුතයි විතරයි. මේ ගාණට හරි වැඩ කරන්න මෙතනට තුන්දෙනෙක් ඕන. ඒත් දැන් වෙලා තියෙන්නේ මුළු දවසම රැයක් දවාලක් නැතිව අපි දෙන්නට මුරකරන්ඩ වුණු එක. එහෙම කරලත් මාසේ අන්තිමට හම්බවෙන්නේ දෙන්නෙක්ගේ පඩිය. අඩුම ගාණේ වැඩියෙන් වැඩකරන එකට දීමනාවක් හදලා දෙන්ඩ කිව්වා. ඒක කෙරෙන්නෙත් නෑ. මෙහෙම සලකන්න ගියොත් අපෙන් පස්සේ මේ රස්සාව කරන්න මිනිස්සු හොයාගන්න ලේසි වෙන්නෑ. කාටද මේ දුක කියන්නේ. අඩුම ගාණේ පුතාට හරි මොනව හරි දෙයක් කරයි කියලයි බලාගෙන ඉන්නේ. ඒත් දැන් ඒකත් හීනයක් වෙලා”
දුමිරිය හරස් මාර්ග හරහා දමා ඇති රේල් ගේට්ටුවල මුර සේවයේ නියුතුවූවන්ගේ මාසික දීමනාව ප්‍රමාණවත් නොවීමෙන් ජීවිතය පවත්වා ගැනීම අසීරු වී ඇති බව ඔවුන් පවසනුයේ කලක සිටය. දිනකට රුපියල් 250ක් වනසේ මසකට රුපියල් 7500 ක උපරිමයකට යටත් මුදලක් පමණක් දීමනාවක් ලෙස ඔවුන් වෙත ලැබේ. මේ රුපියල් දෙසිය පනහට නැහෙන ඔවුන් අතපය වාරු නැතිවූ කල්හි සේවයට සමුදිය යුතුව ඇත්තේ කිසිවක්ම නොමැතිව හිස් අතිනි. විශ්‍රාම වැටුප්, අර්ථ සාධක තබා කිසිදු වන්දි මුදලක් හෝ ඔවුනට හිමි නැත. පැය අටක සේවා මුරයකට අවනතව සේවයේ නියුතු මේ බොහෝ දෙනෙකුගේ ඒකායන ආදායම ද මෙය පමණි.
වගකීම් සහගත කාර්යක නියැළීම හේතුවෙන් තමන් වෙත සාධාරණයක් ඉල්ලා ඔවුන් විවිධ අරගල දියත් කළද මෙතෙක් සිදුවු යහපතක් නැත.
දාහයත් සීතලත් එකසේ දරමින් ගේට්ටු මුරපොළේ, පොල් අතු මඩුවේ තාරුණ්‍යය දියකර හරින අසංක තෙන්නකෝන් ද අප හා සිය වේදනාව මුදාහළේය.
“අඩුම ගානේ මාසෙට රුපියල් පහළොස්දාහක්වත් ලැබෙනව නම් යන්තන් හරි සහනයක් ලැබෙයි. දැන් මේ ලැබෙන ගාණත් එක්ක කොහොමද ජීවිතේ ගෙනියන්නේ. ජීවත් වෙන්න ඕන හින්දා වැඩට ආපු මං අද හොඳවෙයි හෙට හොඳවෙයි කියලා බලන් ඉන්නවා. මේ යන විදිහටනම් කවදාවත්ම සැනසීමක් ලැබෙන පාටක් නෑ. අපිට දැන් වෙලා තියෙන්නේ කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ වැඩක්. මට මෙතැන තාත්තා තනියම දාලා වෙනදේකට යන්ඩත් බෑ. මේ සොච්චමට නැහෙන්ඩත් බෑ. දැන් අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉන්නවා. එත් තාමත් කාගෙන්වත් පිහිටක් නෑ. අපි ගැන කිසිම කිසිම කෙනෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑ.”
රටපුරා මතුවූ දුම්රිය හරස් මාර්ගවල අනතුරු රැල්ලට කඩිනම් පිළියමක් ලෙස 80 දශකය අග භාගයේ දී උණ බම්බු දුම්රිය ගේට්ටු ඉදිකිරීම ඇරැඹෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවය. ඒ අනුව ජනසවිලාභීන් දුම්රිය ගේට්ටු මුරකරුවන් සේ යොදවනුයේ රුපියල් දහසක දීමනාවකටය. එවක හැටියට එය සැලකිය යුතු මුදලකි. එහෙත් ප්‍රේමදාස මහතාගේ අකල් වියෝවත් සමඟ ගේට්ටු රකින මිනිසුන් ගැන සානුකම්පිතව බලන්නට කෙනෙක් නැතිවිය. රටපුරා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව පවත්වාගෙන යන ගේට්ටු ගණන අද වන විට 1450 ක් පමණවේ. ඉන් ගේට්ටු 700 ක් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන බවත්, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තවත් ගේට්ටු 750 ක් පමණ ඇති බවත් හෙළිවේ.
දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ඇති ගේට්ටුවල සේවයේ නියුතුවුවන්ගෙන් තෝරාගත් පිරිසක් ස්ථිර සේවයට අන්තර්ගහනය කරනුයේ 1996 වර්ෂයේදී ය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රජය යටතේ පීලික්ස් පෙරේරා මහතා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටියදීය. එතෙක් මෙතෙක් දුම්රිය ගේට්ටු මුරකරුවන් කෙරෙහි සානුකම්පිත බැලු කවරෙකු හෝ නැතිතරම්ය. එහෙත් මේ වෙද්දී දුම්රිය හරස් මාර්ග ගේට්ටු ගණනාවක් අලුතින් එකතු වී ඇත. ඒ බොහෝ ගේට්ටුවල ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඇත්තේ පොලිසිය වෙතය. කෙරනුයේ සොච්චමකට කවරකු හෝ ගේට්ටුවට මාට්ටු කොට අත පිසදාගැනීමය. ඉන් ඔබ්බට යමක් කරන්නට තරම් මෙරට පොලිසිය මානුෂීය නැත. ප්‍රායෝගික ද නැත.
දුමිරිය හරස් මාර්ග හරහා ආවරණ ගේට්ටු නොවීමෙන් ඉකුත් වකවානුවේ අහිමි වු ජීවිත ගණන එකක් දෙකක් නම් නොවේ. සිය ගණනකි. ගම්මැදි දුම්රිය හරස් මාර්ග රකිමින් මේ මිනිසුන් නොහිටියේ නම් එම ගණන තවදුරටත් ඉහළ නොයාවි යැයි කාටනම් පැවසිය හැකිද? එහෙයින්ම මොවුනට සාධාරණයක් ඉටුවිය යුතුව තිබේ. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මෙපිට අන් සරණක් කවරදාක මේ ජීවිත වෙත ළඟාවේද යන්න තවමත් කිව නොහැක්කකි.
අනුරාධපුර, තලාව, පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ග මුරපොළේ සේවයේ නියුතු ඩබ්ලිව්. සෙනෙවිරත්න මහතා පැවසුවේ සිත කම්පාකරන කතාවකි.
“අපි රැයක් දවාලක් නැතිව ගේට්ටු රැකගෙන හිටියට අපට අව්වකට වැස්සකට කියලා ඉන්ඩ තැනක් නෑ. බැරිම තැන අපි අතින් වියදම් කරලා පොඩියට පොල් අතු මඩු හදාගෙන තියෙනවා. අපෙන් පස්සේ එන කෙනෙකුට හරි මේවා පිළිවෙළකට හදලා දෙනවා නම් ලොකු දෙයක්. අපේ මේ කතාව වැඩිය කවුරුවත් හරියට දන්නෑ. සමහරු හිතන්නේ අපි මේ තැන්වලට වෙලා නිකං ඉන්නවා කියලා. එහෙම එකක් නෑනේ. දවසකට කෝච්චි විස්සක් විසිපහක් රෑ දවල් දෙකේ එහෙට මෙහෙට යනවා. මහ රෑ, අව්ව, වැස්ස කියලා නෑ ඔය හැම වෙලාවකම අපි මේ පාර රැකගෙන ඉන්ඩ ඕන. පොඩ්ඩක් හරි එහේ මෙහේ වෙලා මොකක් හරි අනතුරක් වුනොත් ඒකේ දෝසෙත් අපිට. අනතුරු ගාණක් නවත්වගෙන ඉන්න අපට කාගෙන්වත් හොඳක් නෑ.”
තේ, කෝපි කන්ද උඩරට සිට කොළඹට ප්‍රවාහනය කිරීමේ පහසුව සලකා බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට දුම්රිය සේවාව හඳුන්වා දෙනුයේ 1864 වර්ෂයේදී ය. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් වූ මාර්ගය ඉදිකොට තිබේ.
අද වන විට කිලෝ මීටර් 1508 ක් දක්වා මෙරට දුම්රිය ගමන් මඟ දිගුය. දුම්රිය ස්ථාන 320 කි. මෑතකදී බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිවීමත් සමඟ එය තවදුරටත් පුළුල් වෙමින් තිබේ. උතුරු දුම්රිය මාර්ගය, මන්නාරම දුම්රිය මාර්ගය, මඩකලපුව දුම්රිය මාර්ගය, ත්‍රීකුණාමලය දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය, කැලණි වැලි දුම්රිය මාර්ගය, පුත්තලම දුම්රිය මාර්ගය යනාදි වශයෙන් මෙරට දුම්රිය ධාවන ගමන් මඟ විහිද පැතිර තිබේ. රජරට රැජන, යාල් දේවි, උත්තර දේවි, දැයට කිරුළ නගරාන්තර දුම්රිය, උදය දේවි, මීනගයා, රුහුණු කුමාරි, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, මුතු කුමාරි, සාගරිකා, රජරට රැජිණ, මුතු කුමාරි, උඩරට මැණිකේ, සෙංකඩගල මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, ආදි ලෙසින් දුම්රිය ගණනාවක් මේ මාර්ග දිගේ දිවෙන්නේ දුම්රිය හරස් මාර්ග දහස් ගණනක් පසුකරමිනි.
ඒ හැම හරස් මඟක්ම රැකීමට අසංක, අවුසදහාමි වැන්නෝ දිවා රෑ නොමැතිව වෙහෙසති. ඉකුත් වකවානුවේ මේ දෛනික දීමනාව අවම වශයෙන් රුපියල් 500 ක් දක්වා වැඩි කරගැනීමට මොවුහු න් විවිධ සටන්වල යෙදුණහ. එහෙත් මෙතෙක් සිදුවූ යහපතක් නැත. විවිධ යෝජනා මැද තවමත් ඔවුහු සිහින දකිමින් සිටිති. සියලු සිහින සමතලා කරමින් වගේ වගක් නොමැතිව දිවා රෑ දෙකෙහි දුමිරිය පමණක් ඔවුන් පසුකොට යයි.
තලාව, පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ සේවයේ නියුතු ඩබ්ලිව්. උපතිස්ස මහතා ද මේ දුකට කරගැසුවෙකි.
“අපි මේ වැඩකරන තැන පහුකරගෙන දවසකට වාහන සිය ගාණක් එහේ මෙහේ යනවා. දැන් මේ හරස් පාර අලුතින් හැදුවා හින්දා දවසට සිය ගාණක් වාහන එහාට මෙහාට යනවා.
බස් පහ හයක් වැඩකරනවා. එතකොට මේ තියෙන අවදානම වගේම වගකීමත් තව වැඩිවෙනවා. ඒත් අපේ සොච්චම් දීමනාව කවදාවත්ම වැඩිවීමක් නෑ. අපි කිව්වා අඩුම ගානේ අපිට දවසකට රුපියල් පන්සීයක් දෙන්න කියලා. එහෙම බැරිනම් අඩුම ගානේ මාසෙකට රුපියල් දොළොස්දාස් පන්සීයක් දෙන්න කියලා. ඒත් කිසිම දෙයක් කෙරුණේ නෑ. පහුගිය දවස්වල පෑවිල්ල හින්දා සහනාධාර වැඩ කෙරුණා. ඒත් අපි මෙතැන ගේට්ටු මුරකරනවා කියලා ගෙදර කෙනෙකුටවත් සහනාධාර ලැබුණේ නෑ. එහෙම තැන්වලදිත් අපට වෙන්නේ අසාධාරණයක්. ඒ අතට එන එකත් කැපෙන්නේ මේ සොච්චමට රැයක්, දවාලක් නැතිව නැහෙන හින්දයි.”
අනෙකුත් රටවලට සාපේක්ෂව ලොව විචිත්‍රවත්ම දුමිරිය ගමන් මාර්ග ඇත්තේ අප රටේය. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුවම සදහන් කරන අන්දමට 1943 වර්ෂයෙන් පසුව ශුද්ධ ලාභයක් උපයා ගැනීමට මෙරට දුම්රිය සේවාව සමත් වී නැත. 14500 කට ආසන්න සේවක පිරිසක් ද එහි සේවයේ නිරතව සිටිති. කරුණු එසේ වුවද පහළම ස්ථරයේ සිටින දුම්රිය ගේට්ටු රකින්නන් පමණක් මේ සියලු පව් ගෙවිය යුත්තේ ඇයිදැයි අපි නොදනිමු. මොවුනට ලැබෙන සොච්චමෙන් කාබී, බෙහෙත්හේත් ගෙන, දරුවන්ට ද උගන්වා යන්තමින් හෝ ජීවිතය ගැටගසා ගත නොහැකි වග වැටහෙන කවර හෝ වගකිවයුත්තෙකු වේනම් හෙට මේ මිනිසුන්ට සැනසීමක් ලැබෙනු නොඅනුමානය. අඩුම තරමින් ගේට්ටු වෙතම දියවී යන තරුණ ජීවිත වෙත හෝ යම් සාධාරණයක් ඉටු වනු ඇත.