මොනවද මේ මද්‍රසා? | සිළුමිණ

මොනවද මේ මද්‍රසා?

සිය ගණනකගේ ජීවිත අහිමි කරමින් මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රටම කතා කරන මාතෘකා කීපයක් කරළියට ආවේය. ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන අපරාධකාරයා වන සහරාන් සහ තවුහිද් ජමාත් සංවිධානය සේම මේ දිනවල සමාජයේ කා අතරත් කතාබහට ලක්වන තවත් මාතෘකාවක් වන්නේ අරාබි පාසල් ලෙසින් හඳුන්වන මද්‍රසා (පාසල්) ගැනයි.

ඉස්ලාම් ආගම මූලිකකොට ඉගැන්වීම් සිදුවන මද්‍රසා ගැන සිදුවූ විනාශයත් සමඟින් පුළුල් ලෙස සොයා බැලීමක් සිදුකළ යුතු බව මුලින්ම පැවසුවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකාරයා වන සහරාන්ද කලක් කාතන්කුඩිහි අරාබි පාසලක ඉගෙනගෙන ඇති බවත්, ඔහු එහි ඉගෙනීම් සම්පූර්ණ කිරීමට පෙර ඉන් ඉවත්කර ඇති බවත් වාර්තා විය.

අධ්‍යාපන අමාත්‍යාංශයට වගකීමක් නෑ

අධ්‍යාපන අමාත්‍යාංශය මද්‍රසා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ එම පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් නොමැති බවයි. එහෙත් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය හා එක්ව ඉදිරියේදී මද්‍රසා නියාමනයට ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කරන බවද සඳහන් විය.

මුස්ලිම් ජාතිකයන් පවසන පරිදි මද්‍රසා අනාදිමත් කලෙක සිට පැවැතෙන්නකි. 1982 මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව මද්‍රසා ලියාපදිංචිය ආරම්භ කර තිබේ. මේ වන විට රටපුරා මද්‍රසා 317 කි. ඉන් වැඩි ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේය. ගණනින් 42 කි. හම්බන්තොට, යාපනය සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි එක බැගින් පිහිටා ඇත්තේය.

එසේම අහදියා හෙවත් මුස්ලිම් දහම් පාසල්ද රටපුරා 583ක් තිබෙන අතර ඉන් 277ක් ක්‍රියාත්මක මට්ටමේ පවතින වන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම ඇතැම් මද්‍රසා, ආගමික ස්ථානවල සේම ඉන් බාහිරවද පිහිටා තිබේ.

මද්‍රසා යනු කවරෙක් ද?

මද්‍රසා යනු සිංහල භාෂාවෙන් පාසල යන අර්ථයයි. අනිවාර්යයෙන්ම ඉස්ලාම් පූජකවරයෙක් හෝ මවුලවි කෙනෙකු වීමට මද්‍රසාවක ඉගෙනීම් කළ යුතුම වේ. අවුරුදු හතක පමණ කලක් ඉගෙනීම් කටයුතු කිරීමෙන් පසු ඉන් ලැබෙන සහතිකය අනුව ඔහුට හෝ ඇයට මුස්ලිම් ආගමික ස්ථානයක මවුලවි කෙනෙකු ලෙස දේශන පැවැත්වීමට වරමක් ලැබේ. එම ඉගෙනීම රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් හා සමානය. ලබාදෙන සහතිකයත් සමඟ ‘තමන් දැන් දැනුමෙන් පෝෂණය වී සිටින බවත්, එහෙත් දැනුම ලැබුණද ඉන් ආඩම්බර නොවිය යුතුයි. සැම විටම දෙවියන් වහන්සේට අවනත විය යුතුයි. ඉස්ලාම් ධර්මයට පටහැනි කිසිවක් නොකළ යුතුයි’ ආදි ලෙසින් ප්‍රතිඥාවක්ද ලබා දෙති.

ප්‍රධාන ලෙසට දෙමළ භාෂාවෙන් හැදෑරීම් සිදුකරන මද්‍රසාවල විෂයන් ලෙස අරාබි භාෂාව හා ව්‍යාකරණ, ඉස්ලාම් නීති පද්ධති මාලාව, ඉස්ලාම් ඉතිහාසය, වෙනත් සංස්කෘතීන් හා ඉස්ලාම් ධර්මය ගමන් කරන ආකාරය, නබිතුමාගේ වදන් හා කුරානය ගැන විශ්ලේෂණාත්මක හැදෑරීම් මූලික ලෙස සැලැකේ. ඉංග්‍රිසි මාධ්‍යයෙන්ද හැදෑරීම් සිදුකරන මද්‍රසා ඇති අතර කොළඹ සහ තිහාරිය පෙදෙස්වල සිංහල බසින්ද ඉගැන්වීම් සිදුවන මද්‍රසා වෙයි.

රජයේ පාසලක හත හෝ අට ශ්‍රේණියට ඉගෙනීමෙන් පසු මද්‍රසාවට ඇතුළත් කෙරේ. එහෙත් ඇතැමකු රජයේ පාසලින් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා ඉගෙන මද්‍රසාවට ඇතුළත් වන අවස්ථාද ඇත. සතියේ දින පහ පුරාම පැවැතෙන බොහොමයක් මද්‍රසාවල සිසුන්ට නවාතැන් පහසුකම්ද සපයයි. මසකට රුපියල් හාරපන්දහසේ සිට විවිධ මිල ගණන් යටතේ ඉගෙනීම සඳහා මුදල් අය කරන මද්‍රසාවන්හි දුප්පත් දරුවන්ගේ ඉගෙනීම වෙනුවෙන් ධනවත් මුස්ලිම් ජනයා පරිත්‍යාග ලබා දෙති. ඇතැම් මද්‍රසාවල රජයේ විෂය නිර්දේශද උගන්වන අතර සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට බාහිර අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමටද අවස්ථා සලසා ඇත. ඊට අමතරව බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා කටයුතුවලද නියැළිය හැකි මද්‍රසා පිහිටා තිබේ. මද්‍රසා ඉගෙනීම සාර්ථක ලෙස අවසන් කළ අයකුට මවුලවි කෙනෙක් නොවි අවැසිනම් වෙනත් රැකියාවකටද යොමුවිය හැකි වේ.

පැරැණිම මද්‍රසා ගාල්ලේ

මෙරට පැරැණිම මද්‍රසා ගාල්ල කොටුවේ තිබෙන මක්කියා සහ බහජින් යන මද්‍රසාවන්ය.

එසේ පැවැතුණු මෙරට අරාබි පාසල් හෙවත් ඇතැම් මද්‍රසා දශකයකට දෙකකට පෙර මෙරටින් මතුවූ අන්තවාදී, මූලධර්මවාදී මුස්ලිම් සංවිධාන හරහා ගොඩනැඟුණු මුස්ලිම් ආගමික ස්ථාන විසින් අන්තවාදය, මූලධර්මවාදය පමණක් නොව ත්‍රස්තවාදය පතුරුවන මද්‍රසා බවට මේ වනවිට පත්ව ඇති බවට මුස්ලිම් සමාජයෙන්ම පැවැසේ.

එවැනි මද්‍රසාවලින් ලෝකයේ බොහෝ රටවල තහනම් පොත්පත් ඉගැන්වීම්වලට යොදාගන්නා බවට ඇතැම්හු චෝදනා කරති.

තහනම් පොත් පරිශීලනය

වහබ්වාදය හෙවත් මූලධර්මවාදයේ පියා ලෙස හඳුන්වන මොහොමද් බින් අබ්දුල් වහබ් නමැත්තාගේ පොත්පත් රැසක්ම මෙරට ඇතැම් මද්‍රසාවල පරිශීලනය කරන බවද පැවසේ. ඔහුගේ එම පොත් ඊජිප්තුව, මැලේසියාව හා බෘෘනායි ආදී බො‍හොමයක් රටවල තහනම්ය. එසේම අබ්දුල් වහබ්ගේ සිතුම් පැතුම්වලට සමානව අන්තවාදය පතුරන තවත් කතුවරුන් බොහෝ දෙනෙකුගේ, ලෝකයේ වෙනත් රටවල තහනම් වූ පොතපතද මෙරට ඇතැම් මද්‍රසාවල පරිශීලනය වන බවටද වාර්තා වේ. අන්තවාදය පතුරුවන පොත් පනහකට ආසන්න ප්‍රමාණයක් එසේ මෙරට ඇතැම් මද්‍රසාවල භාවිත වන බවද අනාවරණය වේ. ඊජිප්තුව, මැලේසියාව වැනි රටවල අබ්දුල් වහාබ් නමැත්තාගේ නාමය ප්‍රසිද්ධ වේදිකාවක පැවැසීමද දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මුස්ලිම් ජනතාව පවසති. ලොව භයානකම ත්‍රස්ත සංවිධානය වන අයිඑස්ලාද අබ්දුල් වහබ් වැනි අයගේ පොත් මුද්‍රණය කරමින් ඉරාකය පුරා පසුගිය කාලයේ බෙදා හැර තිබේ.

“බොහොමයක් මද්‍රසා ඉතාම නිවැරැදිව ඉගැන්වීම් සිදුකරනවා. එහෙත් මද්‍රසා ගැන රජය නියාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. එහෙත් මද්‍රසාවලට වඩා අන්තවාදී මූලබීජ වපුරන්නේ අන්තර්ජාලයයි” යනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ (ජම්ඉයියතුල් උලමා) නුස්රත් මවුලවි පවසයි.

මේ වන විට අන්තවාදී මද්‍රසාවලින් මෙන්ම ඉස්ලාම් භක්තිකයන් හැදෑරීම් කරන ඇතැම් ඉස්ලාම් ජාත්‍යන්තර පාසල්වලින්ද රටට මහත් ව්‍යසනයක් සිදු කරන ආකාරයේ ඉගැන්වීම් සිදුකරන බවක්ද වාර්තා වේ.

නාරාහේන්පිට පිහිටි එක්තරා ජාත්‍යන්තර මුස්ලිම් කාන්තා පාසලක අන්තවාදී ඉගැන්වීම් කරන අතරේ ජාතික ගීය ගායනය අනවශ්‍ය බවත්, ඊට ගරු කරමින් නැගිටීම අනවශ්‍ය බවටද පවසමින් ශිෂ්‍යාවන්ගේ මනස විකෘති කරන බවද සැලවිය.

එවන් උදාහරණ සමඟ අන්තවාදය වපුරන ස්ථාන ලෙස ඇතැම් ජාත්‍යන්තර පාසල් සැලැකිය හැකි බවට තවත් ගම්‍ය වනුයේ ප්‍රහාරය එල්ල කළ බොහෝ දෙනෙකු ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගත් අය බවද හෙළිවූ හෙයිනි.

එක් එක් මුස්ලිම් සංවිධාන සහ පල්ලි මඟින් හතු පිපෙන්නාක් මෙන් මෑත කාලයේ තැනින් තැන බිහිකරන මද්‍රසා ගැන රජය ඉදිරියේදී පුළුල් ලෙස නිරීක්ෂණය කළ යුතුය. එසේම එම පාසල්වල උගන්වන විෂයන්, පාවිච්චි කරන පොතපත මෙන්ම මද්‍රසාවලට බරපැන ලැබෙන ආකාරයද සොයා බැලීම අත්‍යවශ්‍යය. ඒලෙසම යම් ප්‍රදේශයකට, කලාපයකට තිබිය යුතු මද්‍රසා සංඛ්‍යාව නියාමනයද රජය මගින් කළ යුතුය.

Comments