ශ්‍රී ලංකාව වරින්වර රටට ඔරොත්තු දිය නොහැකි මට්ටමේ සුනාමිය, ගංවතුර, සුළි සුළං, මහා නියඟ ආදියට මුහුණපා ඇත. මේවා ස්වභාවධර්මයෙන් ඇතිකරනු ලැබූ ව්‍යසන ය. මීට අමතර ව මිනිසා විසින් සිදුකරන ලද මහ ව්‍යසනයන්ට ද රටට මුහුණ පාන්නට සිදු විය. ඒවා අතර තිස් අවුරුදු කුරිරු යුද්ධය 1971 - 88 - 89 තරුණ කෝලාහල, 1956 ගණන්වල, 60 - 70 දශකයේ වරින්වර ඇතිවූ ජාතිවාදී කලබලය මේ සැම එකකින් ම රටේ සමස්ත ප්‍රගතිය පහළට ඇද දමන ලදී.
මෙකී මහා ව්‍යසනයන්ට දේශපාලකයන් ද, පූජ්‍ය පක්ෂය ද, ජාතිවාදීන් ද, බාහිර අතපෙවීම් ද යනාදී මේ සියල්ල ම අඩුවෙන් හෝ වැඩියෙන් හෝ වගකීම් බාරගත යුතුය.
මෙකී රැල්ලට අලුතින් ම එක් වූයේ, මුස්ලිම් අන්තවාදී සංවිධානයයි. එයින් ද විය හැකිවී තිබූ ව්‍යසනය ඉවත් කර ගැනීමට හෝ අඩුකර ගැනීමට අපි අපොහොසත් වූවෙමු. දැන් චෝදනාවලින්, අපවාදවලින් මිත්‍යා හැඟීම්වලින් ප්‍රයෝජනයක් නැත. එසේම මෙකී මහා ව්‍යසනයන්ගෙන් දේශපාලන වාසි ලබාගැනීමට විවිධ පාර්ශ්වයන් විසින් ගන්නා වූ අමනෝඥ ක්‍රියාවන් ද පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. දැන් සියල්ලෝ ම එකට එකතු වී කළ යුතු වන්නේ රටේ අභ්‍යන්තර සාමකාමී වාතාවරණයක්, විවිධ ජනකොටස් අතර සමඟිය හා සහජීවනය වඩා වර්ධනය කර ගැනීමය.; පෙර පරිදි අන්තර්ජාතික වශයෙන් ගත් කල්හි විනාශයට පත් වූ බාහිර ප්‍රතිපත්තිය නැවත වතාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීම ය. අභ්‍යන්තරික වශයෙන් සාමාන්‍ය මට්ටමට රට පරිවර්තනය කිරීමේදී පූජ්‍ය - පූජක පක්ෂයටත්, දේශපාලනඥයන්ටත්, සිවිල් සංවිධානවලටත්, ජනමාධ්‍යයටත් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය.
පෑරුණු තුවාල සුව කර ගැනීමේදී නැවත වතාවක් ජාතිවාදී අදහස් උදහස් ප්‍රවර්ධනය වීම වැළැක්විය යුතුය. නිදහසේ සිට ම රටේ දේශපාලනඥයන් අතිමහත් බහුතරයක් තමන්ගේ පටු වාසි අරමුණු කරගෙන බොහෝ වේලාවට රහසිගත කටයුතු කරයි. ඒවා බොහෝමයකින් තමන්ට, තම පවුලේ අයට, තම පාක්ෂිකයන්ට තමන්ගේ කුලයට ආදී වශයෙන් පොදු දේපළ, ඉඩ ප්‍රස්ථා බෙදාගැනීමක් රහසිගතව සිදු විය. තවදුරටත් එය සිදු වෙමින් පවතියි. මේ නිසා ආණ්ඩුවේ සියලු ම කටයුතු හා පළාත් පාලන සහ පළාත් සභා කටයුතු විනිවිදභාවයෙන් සිදුවිය යුතුය. මේ නිසා විනිවිදභාවය මේ රජය පත්විම්, ණය ගැනීම්, කොන්ත්‍රාත් පිරිනැමීම්, මැති ඇමැතිකම් ලබාදීම් ආදියේදී රටේ සංස්කෘතියක් බවට පත්විය යුතුය.
පූජ්‍ය - පූජක ජාතිවාදී අදහස් දරන අය තේරුම්ගත යුතු කාරණයක් වන්නේ අපි තාමත් රජ කාලයේ ජීවත් නොවන බව ය. මේ අය බහුතරයක් වෛරී අදහස් සමාජයට වපුරති. නමුත් ඔවුන්ගේ රාජකාරිය එය නොවේ. සමාජයට ඉටුවිය යුතු සේවය ඔවුන් ඉෂ්ට කරන්නේ නැත. ඒ වෙනුවට වෛරය වපුරමින් සමාජය භේද බින්න කිරීමට ක්‍රියා කිරීම අනුමත කළ නොහැකිය. එය ශිෂ්ට සමාජය විසින් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව කිව යුතුය.
අද සමාජයේ විය යුත්තේ ආගමික මධ්‍යස්ථානවලින් ඉටුවන සේවා ජනතාවාදී ව එකිනෙකාට ගරු කරමින් සිදුකිරීම ය. එය රට අගාධයෙන් ගොඩ ඒමට ඉටු කළ යුතු අනිවාර්ය සාධකයකි.
අපේ රට නඟා සිටුවීමට නම් මේ මොහොතේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දේශීය කර්මාන්තකරුවන්, දේශීය නිෂ්පාදකයන්, සේවා සම්පාදකයන් ප්‍රවර්ධනය කළ යුතුය. කෘෂිකර්මාන්තය මහා පරිමාණයෙන් සිදු කළ යුතුය. කුඩා ගොවීන්ට, ඒ අයගේ දූ දරුවන්ට නගරවල ඉහළ වැටුප් සහිත රැකියා බිහි කරදිය යුතුයි. එසේම ඒ අයට අඩු නිවාස කුලී පහසුකම් සහිතව නාගරික ප්‍රදේශවලින් නිවාස ලබාදිය යුතුයි. එවිට සමහර ජනකොට්ඨාස පමණක් නගරවල ආධිපත්‍ය පතුරුවන්නේ නැත. එය දිගුකාලීන වශයෙන් ජාතික සමගියට හා සෞභාග්‍යයට අත්‍යවශ්‍ය වූවකි.
අභාග්‍යයකට මෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් තවමත් වර්ධනය කරනුයේ දුප්පතුන් බෝ කරන ග්‍රාමීය කුඩා ගොවිපළවල් ය. ශ්‍රී ලංකාවේ දුප්පතුන්ගෙන් සියයට 80 මේවායේ වාසය කරති.
ශ්‍රී ලාංකික වැසියන් ද විශේෂයෙන් ම සිංහල හා දෙමළ වැසියන් ගම්බද හුදෙකලා හිඟන ජීවිතයෙන් ඉවත් වී ඉහළ ආදායම් සහිත වෙනස්වන ලෝකය සමඟ ඉදිරියට සහ නාගරික ජීවිතයට හුරුවිය යුතුය. නැතිනම් තවත් ශතවර්ෂ ගණනාවක් ගියත් ඔවුන්ට දිළිඳුකමේ දුෂ්ට චක්‍රයෙන් ගොඩ එන්නට ඉඩ ලැබෙන්නේ නැත.
ශ්‍රී ලංකාව තමන්ගේ විනාශ වූ අන්තර්ජාතික ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගත යුතුය. යුද්ධය පැවැතුණ අවස්ථාවල පවා සංචාරකයන් මෙරටට පැමිණුනි. ඒ නිසා කලබල සහිත රටවලට ද යෑමට කැමැති සංචාරකයන් ද ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ සංචාරක හෝටල් මිල පාලනය ඉවත් කළ යුතුය.
සංචාරක හෝටල්වල නවාතැන් ගාස්තු, ඉඳුම් හිටුම් ගාස්තු ඇතුළු ඒවායෙන් ලබාගන්නා සේවා සඳහා ගෙවන මිල ගණන් වෙළඳපොළ තරඟකාරීත්වය අනුව තීරණය වීමට ඉඩදිය යුතුය.
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා පිටකොටුවේ බස් නැවතුම්පොළේ අවට ඇති හෝටල්වල කියා වෙනසක් නැත. ඇතැම් විට පිටකොටුව අවට හෝටල්වල හොඳක් තිබේ. එනම් කෑමට බීමට ඒ හෝටල්වල ආහාරපාන රාශියක් තිබේ. නමුත් කටුනායක ඇත්තේ එක් හෝටලයකි. එහි මිල ගණන් ගැන යන එන අය දන්නවා ඇත. වෙනත් රටවල මෙසේ නැත. එසේම ගුවන් තොටුපළේ සියලු ම මිල ගණන් අනෙකුත් රටවල්වලට වඩා වැඩි ය; පහසුකම් අඩුය. අපගේ අකාර්යක්ෂමතාවයන් ඉහළ මිල ගණන්වලින් මනාව පෙන්නුම් කරයි.
රටේ ප්‍රතිරූපය ගොඩනැංවීමෙහිලා දේශීය හා විදේශීය ජනමාධ්‍යයන්ට ලොකු කාර්යභාරයක් ඇත. ඒ සදහා දේශීය ජනමාධ්‍ය ධනාත්මක ආකාරයට අදහස් හුවමාරු කළ යුතුය. විදේශීය මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණීමට ආරාධනා කළ යුතුය; ඒ සඳහා පහසුකම් සලසා දිය යුතුය. ඔවුන් විනාශ වූ ප්‍රතිරූපය නැවත ගොඩනංවනු ඇත. දිගුකාලීන වශයෙන් සාමය හා සෞභාග්‍ය ප්‍රවර්ධනය කිරීමට එක පොදු නීතියක් සැමටම තිබිය යුතුය. එක් එක් ජාතීන්ට, එක් එක් ආගම්වලට , උඩරට හා පහතරට කියා කිසිම නීතියක් නොපැවැතිය යුතුය. එසේම නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුය. කුමන වරදක් කළත් මෙරට දේශපාලනඥයන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. මෙය ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයකි.
කැමැති කැමැති කෙනාට රටේ ජාතිවාදය වැපිරීමට ඉඩදීම නරත කළ යුතුය. ජාතීන් නමින් තිබෙන ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, පාසල්, විවිධ පහසුකම් මධ්‍යස්ථාන ජාතික මට්ටමේ ඒවා විය යුතුය.
අවුරුදු 10 තරම් කෙටි සාමකාමී වාතාවරණයක් තුළ සෑම පඳුරක් ගානේම විවිධ වීරයන්, විවිධ සංවිධාන පිහිටුවාගෙන කෑගසන ලදී.
එකී වීරයන් දැන් නැත. අවුරුද්ද පුරාම අන්ධානුකරණයෙන් යුතුව කොළඹ පුරා පෙළපාලි ගිය අයත් නැත. මෙකී නොකී විවිධ කටයුතුවල යෙදුණු මහා වීරයන්ගෙන් සමහරක් අද සමාජ ජාලවලට සැඟවී බොරු පුරසාරම් දොඩවති. රටේ කිසිම ප්‍රදේශයක්, කිසිම ජාතියකට, කිසිම ආගමකට ලියා නොදිය යුතුය. එසේම රටේ සැමට සමානව සැලකිය යුතුය. කිසිම හේතුවක් නිසා කිසිම ආගමක දේශකයන් මෙරටට නොගෙන්වා අපේ රටේ ඕනෑම ආගමක් දේශනා කිරීමට සමර්ථ උගත් අය සිටිති. පිට අය කෙසේවත් මෙරටට අවශ්‍ය නොවේ.
ශ්‍රී ලංකාවේ ආගමන විගමන කටයුතු පිළිබඳ සොයා බැලීමට වෙනම පරිපාලන ඒකකයක් තිබිය යුතුය. පැමිණීම ඕනෑවට වඩා සීමා නොකළ යුතුය. එහෙත්! නියමිත කාලසීමාව ඉක්මවා සිටින අය වහා අත්අඩංගුවට ගත යුතුය. ඒ ගැන පවතිනුයේ පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ව දුර්වලතාවකි. එය මැනැවින් හඳුනාගත යුතුය. එසේ නොමැතිව පැමිණීම සීමා කිරීම අතීසාරයට අමුඩයක් ඇන්දවීම හා සමාන ය.