ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් වෙසක් පින්කම් කරන්න හැබැයි ආරක්ෂාව ඉතා වැදගත් | Page 2 | සිළුමිණ

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් වෙසක් පින්කම් කරන්න හැබැයි ආරක්ෂාව ඉතා වැදගත්

ලබන 18 වැනිදා වෙසක් පුර පසළොස්වක දිනයයි. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම සිදුවූ මේ දිනයේ පින්කම් දන්සල් දාන ශීල ආදී පුණ්‍ය කටයුතුවල යෙදෙමින් කටයුතු කිරීම බෞද්ධයන්ගේ අපේක්ෂාවයි.

එසේ වුවත් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් නිසාත් තවමත් වැටලීම්වලදී හසුවන ත්‍රස්තවාදීන් හා උපකරණ ආදිය නිසාත් මෙවර වෙසක් උත්සවය වෙනත් දිනවල මෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට විවිධ බාධා ද බිය සැක ද මතුවී තිබේ.

මෙවන් තත්ත්වයක් යටතේ මෙවර වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සමඟ අපි සාකච්ඡා කළෙමු. ඉදිරි වෙසක් සතිය වෙනුවෙන් විවිධ ආමිස හා ප්‍රතිපත්ති පූජා ලෙස පුණ්‍ය කටයුතු රැසක් සිදු කිරීමට සූදානම්වී සිටින ජනතාවට මෙන් ම පන්සලේ සිල් සමාදන් වීමට යෑමට සිටින අපේ උපාසක උපාසිකාවන්ටත් වැදගත් වන එම සාකච්ඡාවේදී හෙළිවූ කරුණු රැසක් මෙලෙස අපි ඉදිරිපත් කරමු.

මේ සැරේ වෙසක් උත්සවය පසුගිය වසරවල මෙන් පවත්වන්නට අපහසු වෙයිද?

රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය අනුව පසුගිය වසරවල මෙන් උත්සවශ්‍රීයෙන් මෙවර වෙසක් උත්සවය පවත්වන්න අපහසුයි. ඒ පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නිකුත් කළ නිවේදනය අනුව අප කටයුතු කරන්නයි අදහස.

ඒ අනුව පාස්කු ඉරුදින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ බිය ජනක ඡායාවලින් පීඩිතව සිටින ශ්‍රී ලංකාවාසීන්ට චිත්ත ශාන්තිය උදා කිරීමත් අරමුණක් කරගෙන මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කිරීම අප සැමගේ යුතුකම බව ත්‍රෛනිකායික මහානාහිමිවරු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වෙසක් පුර පසළොස්වක දිනයේ ආධ්‍යාත්මික සුපෝෂණය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතාව ඒකරාශි කරන උත්සව ආදියෙන් වැළැකීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව ද මහානායක හිමිවරු පෙන්වා දුන්නා. ඒ අනුව අපි කටයුතු කරනවා.

ඒ අනුව 18 වැනිදා වෙසක් පසළොස්වක වෙනුවෙන් වෙසක් උත්සව නොව පුණ්‍යොත්සව සංවිධානය කරන්න පුළුවන්. අපි මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කිසිම පින්කමක් තහනම් කරලා නැහැ. ඒත් සෙනඟ එක්කරන දේවල් කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. පින්කම් සීල ව්‍යාපාරවලදිත් ළඟම පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කළ යුතුයි.

වත්මන් තත්ත්වය යටතේ පන්සල්වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකද?

මෙවර වෙසක් උත්සවය පිළිබඳව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය අප සමඟ එක්වී සාකච්ඡා කළා. දිස්ත්‍රික්වල හා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වන සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලවල නියෝජිතයන්ගෙන් මේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සමන්විත වනවා. එහි විධායක මණ්ඩලයේදී වෙසක් උත්සවය පිළිබඳව ඉතා වැදගත් කරුණු කීපයක් තීරණය කළා.

ඉන් ප්‍රධාන දේ තමයි විහාරස්ථානවල ආරක්ෂාව පිළිබඳව කරන ක්‍රියාදාමය. ඒ අනුව විහාරස්ථානවල දායක සභාව ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු ප්‍රදේශයේ පොලිස් ස්ථානය, හමුදා කඳවුර, ස්වේච්ඡා සමිති සම්බන්ධ කරගෙන සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස සියලු විහාරස්ථානවල විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ ලිපිය අපි සියලු පන්සල්වලට යවලා තිබෙනවා.

ඊට අමතරව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවැති බෞද්ධ උපදේශන සභාවේ තීන්දු තීරණ අනුව සියලු පන්සල්වලින් බෞද්ධ සංවිධානවලින් හැකිතාක් දුරට මහජනතාව රැස් කරන වෙසක් උත්සව පැවැත්වීමෙන් වැළකෙන්න කියා ඉල්ලීම් කළා.

මෙම බෞද්ධ උපදේශක සභාවට මහානායක ස්වාමීන් වහන්සේ නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඊට අමතරව විදිමත් ගිහි පැවිදි පිරිසක් මෙයට සහභාගි වුණා.

මේ අනුව ඔබතුමා කියන්නේ මෙවර තොරණ වෙසක් කූඩු ප්‍රදර්ශන වෙසක් කලාප තියන්න එපා කියලද?

එහෙම නෙවේ. බුද්ධශාසන ඇමැති තුමන් පවසන පරිදි වත්මන් තත්ත්වය මත තොරණ ඉදිකිරීම දන්සල් පැවැත්වීම පිළිබඳව කිසිම වගකීමක් බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දරන්න බැහැ. ඒකට හේතුව දැනටමත් එවැනි දේ සිදු කිරීමෙන් වළකින්න කියලා අපි දන්වා තිබෙන නිසයි.

ඊට අමතරව යම් ආකාරයකට ප්‍රාදේශීය විහාරස්ථානවල නගරබද ප්‍රදේශවල තොරණ හා දන්සල් වගේ ඒවා කරනවා නම් ආරක්ෂක සංවිධානවල පොලිසියේ අවසරය මත හා ඔවුන්ගේ උ‍පදෙස් මත ඒවා සිදුකිරීමයි කළ යුත්තේ. ඒ අනුව වගකීම ඒ අයම දරන්න ඕන.

දැන් සමහර දන්සල්වලට හා තොරණවලට සල්ලි එකතු කරලාත් අවසන්. තොරණ ඇඳලා ඉවරයි. ඒවාට මොකද කරන්නේ?

අපි දැනට සති කිහිපයකට පෙර සෙනඟ එකතු කරන වෙසක් උත්සව නවත්වන්න කියලා ඉල්ලීම් කළා. ඒ සමඟම ජනතාවත් මේ තිබෙන තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් සියලු පින්කම් උත්සව දන්සල් හා තොරණ ප්‍රදර්ශනය කිරීම් සිදුකිරීම හෝ නොකිරීම කළ යුතුයි. යමක් සිදුවුණොත් බෞද්ධයන්ට ප්‍රධාන ලෙසින් එය බලපානවා. වෙසක් සැමරුමටත් එය හානියක් වෙයි.

මෙවර වෙසක් උත්සවයත් වෙනදා මෙන් රාජ්‍ය වෙසක් උත්සවයක් ලෙස උත්සවශ්‍රීයෙන් ම පවත්වන්න ද අදහස?

නැහැ. එහෙම කරන්න අමාරුයි. ත්‍රෛනිකායික මහ නායක හිමිපාණන්ගේ උපදෙස් පරිදි මෙවර වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් ම පවත්වන්න බැහැ. එය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් වෙසක් පුණ්‍යොත්සවයක් ලෙස තමයි පවත්වන්න අපේක්ෂා කරන්නේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ සිටි ගාල්ල තෙල්වත්ත තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය 17, 18 දිනවලට පමණක් සීමා වෙනවා. විහාරස්ථානවල පමණක් 17 – 18 දිනවලදී වෙසක් පින්කම් හා සුළු පරිමාණයේ දන්සල් පවත්වන්නට පුළුවන්. ඒත් ඒවාට අදාළ පොලිසිවල අවසරය ඇතිව ආරක්ෂාව ඇතිව පමණයි. එමෙන් ම 17 – 18 දිනවලදී රටපුරාම නිවාසවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මෙවර වෙසක් ‍උත්සවය පැවැත්වීමට සමගාමීව රටේ ජාතික එකමුතුකම රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම උචිතයි නේද?

ඔව්. අපි පසුගිය පාස්කු ඉරිදා බෝම්බයෙන් ජීවිත අහිමිවූ අයට පිං පැමිණවීමටත් තුවාල වූ අයට ඉක්මනින් සුවය ලැබෙන්ටත් ප්‍රාර්ථනා කරමින් වෙසක් දිනයේදී බෝධි පූජා පවත්වන්න කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුව සහජීවනය හා සංහිඳියාව පිළිබඳවත් පෙන්වාදී තිබෙනවා. ඒ අනුව අපිත් කටයුතු කර සැවොම එක්වී රටේ සාමය සමෘද්ධිය දියුණුව ඇති කිරීමට කටයුතු කළ යුතුයි.

වෙසක් දිනවල ප්‍රධාන පුණ්‍ය භූමිවල ආරක්ෂාව පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳව තවදුරටත් පැහැදිලි කළොත්?

වෙසක් උත්සව දිනවල ප්‍රධාන පුණ්‍ය භූමිවල ආරක්ෂාව පිළිබඳව දැනටමත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් තුමා ආරක්ෂක ලේකම් තුමාට ලිපියක් යවා තිබෙනවා. මහජනතාව වැඩියෙන් ගැවසෙන ශ්‍රී දළදා මාළිගාව, අනුරාධපුරය, කතරගම, කැලණිය, බෙල්ලන්විල වැනි ප්‍රදේශවල දැඩි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබෙනවා. අනුරාධපුරයේ අටමස්ථානය ආශ්‍රිතවත් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

ඉදිරියේදී උතුරු නැගෙනහිර ඇති පන්සල් හා විහාරාරාම සුරැකීමට ගෙන ඇති පියවර පිළිබඳව විස්තර කළොත්?

ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා යුද හමුදාව සමඟ පොලිසිය දැඩි ආරක්ෂාව හා දැඩි අවධානය යොමු කර කටයුතු කරනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් ද මේ සඳහා උදව් කරනවා.

වෙසක් කලාප - වෙසක් කූඩු ප්‍රදර්ශන ආදිය මෙවර පවත්වන්න පුළුවන්ද?

බුද්ධශාසන කමිටුවේ ගත් තීරණ අනුව වෙසක් කලාප හා වෙසක් කූඩු ප්‍රද‍ර්ශන තරග පැවැත්වීමට මෙවර අවසර දෙන්න අමාරුයි. ඒ වගේ ම පසුගිය වසරවල මෙන් වෙසක් සතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. රාජ්‍ය වෙසක් උත්සවය ක්‍රියාත්මක වුණත් රජයෙන්වත් මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක කරන්නේ නෑ. බුද්ධ ශාසන උපදේශක කමිටුවේ අදහස පරිදි වෙසක් සංදර්ශන පවත්වන්නේත් නැහැ. ඔළුබක්කන් නැටීම හා නුසුදුසු නාට්‍ය ප්‍රදර්ශනය කරන්නත් බැහැ.

17 වැනිදා වෙසක් පුණ්‍යෝත්සවය ක්‍රියාත්මක වෙනවා. 18 වැනිදා පුන් පොහෝ දින ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. වෙසක් කලාප, ප්‍රදර්ශන තරග, සෙනඟ ගැවසෙන උත්සව ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයට ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වගකීම් ගන්නත් බැහැ.

කෙසේ වුවත් සියලු වෙසක් සංදර්ශන, ප්‍රදර්ශන, පින්කම් උත්සව පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කළ යුත්තේ ආරක්ෂක උපදෙස් අනුව පමණක් බව කිවයුතුයි.

මේ අවස්ථාවේදී ඔබ ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?

වෙසක් දිනය ආගමානුකූලව ගත කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආගමික සංහිඳියාව අපි අගය කළ යුතුයි. බෞද්ධ ආගමික ප්‍රතිපත්ති අනුව වෙසක් දිනය සමරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

සේයාරුව - සිරිපාල හල්වල

Comments