පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බිමට සමතලා වූ කොළඹ වෙ‍ෙළඳාම ක්‍රමයෙන් හොඳ අතට | සිළුමිණ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බිමට සමතලා වූ කොළඹ වෙ‍ෙළඳාම ක්‍රමයෙන් හොඳ අතට

කිතුනු දේවස්ථාන හා සුපිරි සංචාරක හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින සිදු වූ අන්තවාදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් මෙරට ආර්ථිකය පමණක් නොව ජන ජීවිතය ද පුපුරා ගියහ. දශකයකට ආසන්න කාලයක් මෙරට ජන ජීවිතය හා හා වූ සාමය, සමගිය, සහජීවනය මේ බෝම්බ ප්‍රහාරය නිසා සුනුවිසුනු වී ගොස් තිබියදී මෙරට ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානය වන කොළඹ වෙළෙඳ නගරය ද දින කීපයක් යන තුරු පාළු මුඩුබිමක් සේ අපි දුටිමු.

එහෙත් කොළඹ වෙළෙඳ නගරයේ ජන ජීවිතය දැන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව තොග හා සිල්ලර වෙළෙන්දෝ දැන් නම් තම සුපුරුදු දින චරියාවේ ය. දින ගණනාවක් පුරා සිය දෛනික ආදායම අහිමි වී ගොස් තිබුණු වෙ‍ෙළඳ සේවකයින්, නාට්ටාමිලා, අත්උදව්කරුවන්, කුලී කරුවන් දැන් යළිත් සිය ජීවිතය ගැටගසා ගැනීමේ දෛනික යුද්ධය ආරම්භ කර තිබේ.

ක්‍රමයෙන් සාමාන්‍යය තත්ත්වයට හැරෙමින් තිබෙන කොළඹ නගරය පුරා පසුගියදා අපි සැරිසැරුවෙමු. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයත් සමඟ කොළඹ වෙළෙඳ ආර්ථිකය පුපුරා ගිය අන්දම ගැන ඔබට කියන්නට ය.

මේ ඔවුන්ගේ හඬයි.....

කඩසාප්පු සුපුරුදු විදිහට විවෘතව තබනවා - සැරසිලි තොග ව්‍යාපාරික සෙල්වදොරේ ගජන්

තාම මිනිස්සු බයෙන් ඉන්නේ. තොග කඩ හිමි ව්‍යාපාරිකයින් පවා තාම යථා තත්ත්වයට පත්ව නැහැ. වෙනදා තරම් බිස්නස් නැති වුණත් අපි හැමදාම කඩසාප්පු සුපුරුදු විදිහට විවෘතව තබනවා. මේ දවස්වල වෙනදට නම් පිට පළාත්වලින් කට්ටිය එනවා වෙසක් සැරසිලි මිලදී ගන්න. එත් දැන් ඒ පිරිසේ අඩුවක් තියෙනවා.

පාරේ පවා වෙනදා තරම් වාහන හා සෙනඟ ගැවසෙන්නේ නැහැ. ඒ නිසා තදබඳය අඩුයි. ඇතිවූ අනපේක්ෂිත සිද්ධිය නිසා ගොඩාක් දෙනා බයෙන් සැකෙන් තමයි ඉන්නේ. මේ තත්ත්වය ඉක්මනින් වෙනස් විය යුතුයි. නැත්නම් අපේ ව්‍යාපාරවලට විශාල හානියක් වෙන්න පුළුවන්.

ලබන සතියෙ වෙද්දී මේ තත්ත්වය හරියයි - පීපල්ස්පාක්හී විදුලි බල්බ අලෙවි ව්‍යාපාරික ප්‍රසාල්

බිස්නස්වල අඩුවක් මේ දවස්වල තිබෙනවා. වෙන දවස්වල නම් මේ වෙසක් සමයේදී තොග මිලදී ගන්නා අයගෙන් කඩසාප්පු පිරිලා ගිහින්. මේ දිනවල අඩුවක් තිබෙනවා.

අපි මේ ලයිට් බඩු ගෙන්වන්නේ චීනයෙන්. මේ දවස් වල බිස්නස් අඩු නිසා ගෙන්වන්නේත් නැහැ. ලබන සතියෙ වෙද්දී මේ තත්ත්වය හරියයි කියලා හිතනවා.

අපිට ඕන හැමෝම එක්ක සමාදානයෙන් ඉන්න. මුල් දවස්වලට වඩා දැන් තත්ත්වය හොඳයි. බයෙන් සැකෙන් පාරේ යන්න බැහැනේ. ටික ටික තමයි ජනතාවට මේ බය සැක නැති කර ගන්නට වෙන්නේ.

අපිට සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකයි - ගෑස් පහ හන්දියේ රසකැවිලි අලෙවි සේවක බදියුර්දීන්

අපේ බිස්නස් නම් අඩුයි. මිනිස්සු බයට එන්නේ නැහැ.තොග කඩ වෙළෙදුනුත් බයයි.රටේ ප්‍රශ්න අපි දන්නේ නැහැ. අපි එදාවේල හම්බකරගෙන කාල ජීවත්වන මිනිස්සු. ඉතිං මෙහෙම වුණාම අපිට මොකද වෙන්නේ. අපිට ඕන අපේ දරුපවුල් එක්ක සතුටින් ජීවත් වෙන්න. අපිට ඕන සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එක්ක මෙච්චර කල් හිටියා වගේ සමාදානයෙන් ජීවත් වෙන්න . අපේ දරු පවුල් රකින්න තියෙනවා ඒ නිසා අපි වෙළෙදාම් කරන්නත් ඕනැ

තව ටික දවසක් යනකොට හරියයි - භාණ්ඩ ප්‍රවාහන රථ හිමි කොළඹගේ

කොළඹින් තොග බඩු පටවන්න අපි ජාඇල ඉඳන් එන්නේ. මගේ ව්‍යාපාරයේ ලොරි 08ක් තියෙනවා. රටේ ආරක්ෂාව දැන් ටිකක් හොඳයි. බිස්නස් නම් ඒතරම් කියන්න හොඳක් නැහැ. වෙනදට කොළඹ මිනිස්සුන්ගෙන් පිරී ඉතිරිලා. ඒත් ඒ තත්ත්වයේ අඩුවක් දැන් පේනවා. කොහොම වුණත් තව ටික දවසක් යනකොට සියලු දේ සුභදායී වෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.

හමුදාවට පොලිසියට පිං සිද්ධ වෙන්න මේ වනවිට ඒ බයනම් අඩු වෙලා  - පලතුරු වෙළෙඳ ව්‍යාපාරික පී ඒ රේණුකා

කොළඹ වෙළෙදාම් කරන්න මම මල්වානෙ ඉඳන් තමයි එන්නේ. මගේ වයස අවුරුදු 07 ඉදන්ම මම කළේ පලතුරු වෙළෙඳාම් කරන එකයි. පසුගිය සති දෙකේම කොළඔ ආවේ නැහැ. ඒ නිසා ව්‍යාපාර කටයුතු නතර වුණා. දැන් ආයිත් පටන් ගත්තා. වෙනදා තරම් නම් බිස්නස් නැහැ. මිනිස්සු තාම කොළඹට එනවා අඩුයි.

පසුගිය දවස්වල ඇතිවූ ප්‍රශ්නය නිසා තවමත් ජනතාව බයෙන් ඉන්නේ. ඒත් හමුදාවට, පොලිසියට පිං සිද්ධ වෙන්න මේ වනවිට ඒ බය නම් අඩු වෙලා තියෙන්නේ. හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා රට වටේටම. ඒ නිසා මේ තියෙන බය, සැක නැති වෙලා ඉක්මනින් රට පෙර තත්ත්වයට එයි කියන විස්වාසය අපිට තියෙනවා.

අපිට ඕනැ රටට ඉස්සර වගේම සාමය තියෙන්න. හැමෝම එකා වගේ සාමයෙන් ජීවත් වෙන්නයි ඕනෑ. එතකොට අපේ ව්‍යාපාරත් දියුණු වෙයි.

අපි මේ තත්ත්වයට මුහුණ දී කටයුතු කල යුතුයි - රෙදි ව්‍යාපාරික ෂාම්

ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතිනවා. වෙනදා තරම් බිස්නස් නැති වුනත් ඉදිරියේදී වෙනස් වෙයි. හදිසියේ ඇති වූ තත්ත්වය ගැන විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අපි මේ තත්ත්වයට මුහුණ දී කටයුතු කළ යුතුයි.

අපි ඉල්ලන්නේ සෝදිසි කරන්න කියලා - මැනිං වෙළඳපළ, තොග එළවළු ව්‍යාපාරික නිහාල් ශාන්ත

තවම හරියට සෙනග නැහැ. අපි උදේ 4 වෙනකොට මෙහාට ඇවිත් බිස්නස් පටන් ගන්නවා. අලුත් එළවළු එන්නේ උදේ පාන්දර. වෙනදට නම් උදේ ඉදන් බිස්නස් තියෙනවා. මේ සිදුවීමත් සමග එළවළු ගන්න එන පිරිස් අඩු වෙලා. මේ දවස් වල එළවළු මිලත් අඩුයි. හැම අතින්ම අපිට පාඩු සිදු වී තිබෙනවා.

මේ ප්‍රශ්න විසදගන්න ආරක්ෂක අංශවලින් ලැබෙන සහය වැදගත්. මැනින් වෙළෙඳපොළේ ආරක්ෂාව ගැනත් වෙනදාට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද අපි මේ කඩ වහලා ගියහම මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා නිරන්තරයෙන් සෝදිසි කිරීම් සිදු කරන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලනවා.

මේ දිනවල නම් ව්‍යාපාර  කටයුතු හොඳයි කියන්න බැහැ - එළවළු වෙළෙද ව්‍යාපාරික මුරලිදරන්

මම හැටන් ඉදන් ඇවිත් ව්‍යාපාරය කරන්නේ.හවස 6 වෙනකන් බිස්නස් එක කරනවා.මේ දිනවල නම් ව්‍යාපාර කටයුතු හොඳයි කියන්න බැහැ. ඒත් ඉදිරියේදී තත්ත්වය සාමාන්‍ය අතට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආරක්ෂාව නම් උපරිමයට තියෙනවා ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ රෙදි - වෙළෙඳ ව්‍යාපාරික ඉන්දික

සෙනඟ එනවා නම් අඩුයි. නමුත් ආරක්ෂාව නම් උපරිමයට තියෙනවා. අපිට ඕන රටේ මේ ප්‍රශ්න ඉක්මනින් විසදිලා වෙනදා වගේ අපේ ව්‍යාපාර සාමාන්‍ය පරිදි කරගෙන යන්නයි. ඒ තත්ත්වය ඉක්මනින් උදාකර ගැනීමට ආරක්ෂක අංශ සදහා අපි උපරිමයෙන් සහය ලබා දෙනවා.

අනපේක්ෂිත දෙයක්නෙ මේ වුණේ. - ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ රෙදි වෙළෙඳ ව්‍යාපාරික කුමාර

දැන් නම් බිස්නස් ගොඩක් අඩුවෙලා. අනපේක්ෂිත දෙයක්නෙ මේ වුණේ. ඒ නිසා රෙදිපිළි මිලට ගන්න එන ජනතාවගේ පැහැදිළි අඩුවීමක් පෙනෙන්නට තියෙනවා. මිනිස්සු බයට එන්නේ නැහැ. ඒ බය ටික දවසක් යනකොට දුරුවෙලා යාවි. දැන් ආරක්ෂාවත් තහවුරු වෙන නිසා අපේ බිස්නස් තව ටික දවසක් යනවිට යථා තත්ත්වයට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඡායාරූප විමල් කරුණාතිලක

Comments