
එෂාමා කාරියකරවන
ජේෂ්ඨ මනෝ උපදේශකා
වැරදීම මිනිස් ස්වභාවයකි. කිසි කලෙක වරදක් නොකළ ජීවිත සෙවීම නිෂ්ඵල ක්‍රියාවකි. අපට හමුවනු ඇත්තේ වැරදි අඩු ජීවිත පමණි. එම නිසා වරද සහ වැරදීම්, අපගේ ජීවිතවලට කරන බලපෑම් පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්නට අවැසි ඥානය අප වෙත ඇති නම් බොහෝ සැනසිලිදායක ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව අපට උදා වේ.
මිනිසුන් අතින් සිදු වන වැරදි දෙයාකාරයකට පෙන්වා දිය හැකිය. එනම්
1. වරදක් බව දැන දැන කරන වැරදි
2. වරදක් බව නොදැන කරන වැරදි යනුවෙනි
එම වැරදිද සිතාමතා සැලසුම් කර හෝ ක්ෂණිකව නොසිතා කරන වැරදි යනුවෙන් දෙයාකාරයකි. සමාජයක පුරවැසියන් අතින් එබඳු වැරදි සිදු වන විට එම සමාජය වියවුල් නොවී පවත්වාගැනීමට නීති පනවනු ලැබේ. එවිට නීති කඩන්නවුන්ට විනිශ්චයකින් පසු දඬුවම් ලබාදෙයි. එසේම පවුල, පාසල, සේවා ආදී සංස්ථාපිත ආයතනද ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට විනය හා ආචාර ධර්ම පද්ධතීන් පනවා ඇත. එම නීති උල්ලංඝනය කරන්නන් ඊට අදාළ දඬුවම්වලට මුහුණ පාති.
සමහරු දඬුවමෙන් පසු ද කළ වරද පිළිබඳ ඇති පසුතැවිල්ලෙන් දැඩි සේ පීඩා විඳිනු දක්නට ලැබෙයි. වරදකාරී හැඟීමෙන් ඔවුහු විවිධ දේ කරති. සමහර ක්‍රියාකාරකම් තවත් වරදක ආරම්භයකි. ඒ නිසා දිගින් දිගටම වැරදීම සහ වරද්දාගැනීම, බහුතර මිනිස් ස්වභාවයක් බවට පත් වෙයි. සමහරෙක් පසුතැවිල්ලෙන් මිදීම සඳහා යහපත් ක්‍රියා ජීවිතයට එක් කරගෙන ජීවිතය පවත්වාගෙන යයි.
නිදසුනක් ලෙස සතුන් දඩයම විනෝදාංශයක් කරගත් පුද්ගලයකු තමා කළ දඩයමකින් සතෙකු මහත් වේදනා විඳ මියයන අයුරු දැක පශ්චත්තාපයට පත් වෙයි. දඩයම් කිරීම අතහැර දමන ඔහු සතුන් සුරැකීමට ඉදිරි ජීවිතය කැප කරයි. විපතට පත් වන වනසතුන් සඳහා සත්ව රෝහලක් ඉදි කරයි. සතුන් දඩයම් කරමින් ලැබූ තෘප්තියට වඩා වැඩි සැනසීමක් ඔහු ලබාගනී.
කළ වරද පිළිබඳ සැබෑ ලෙස පසුතැවිලි වී වන්දි ගෙවනු වස් කරන ක්‍රියාව හඳුන්වන්නේ හානිපූරණය නමිනි. හානිපූරණය පොදුවේ පුද්ගලයාට, සමාජයේ අනෙක් පුද්ගලයන්ට සහ පරිසරයටත් සිදු කරන්නේ යහපතකි.
බෞද්ධ හානිපූරණය විචිත්‍රය. සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත්ය. බුදුසමය මඟින් පෙන්වා දෙන හානිපූරණය තුළ දඬුවම්, වන්දි ගෙවීම්, මරණ දණ්ඩනය වැනි කායික, මානසික හිංසාකාරී ප්‍රතිකර්ම නැත. එ් තුළ ඇත්තේ සංසිඳීමය. සමස්ත ලෝකය කෙරෙහි ඇති කරගන්නා සතර බ්‍රහ්ම විහරණයයි. සතර ආකාරයෙන් කෙරෙන සංග්‍රහයයි.
බුදුදහම තුළ වැරදි යනුවෙන් යමක් නැත. එහි ඇත්තේ අකුසල් හෙවත් පාපක්‍රියාය. පුද්ගලයා එම ක්‍රියාවට යොමු කරවන්නේ පුද්ගල සන්තානයේ ඇති වන කෙලෙස් මගිනි. එම කෙලෙස් සඳහා අරමුණු පුද්ගලයා තුළ ඇති කරවන්නේ ඇස , කන , නාසය , දිව , ශරීරය සහ මනස යන ඉන්ද්‍රියයන් මඟින් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ සහ ධම්ම (සිතුවිලි) මඟිනි. ඒ සැම මඟින් ඇති කරන ක්ලේශයෝ
සිත
කය
වචනය යන තුන් දොරින් ක්‍රියාවට නැඟෙයි.
එම තිදොරින් සිදු වන අකුසල් ලෝකයාට විවෘතව හෝ රහසේ ද කළ හැකිය. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට පෙන්වා දෙනු ලබන්නේ
“කෙතරම් කුඩා වුවද පවට විපාක ඇති බව“ ය.
“ අකුසලයකින් විපාක ලැබීමෙන් වැළකී සිටීම සඳහා සැඟවිය හැකි තැනක් මුළු මහත් විශ්වයේම නැති බව” ය.
පවින් වැළකී සිටීම, සත්ත්වයා විමුක්තිය ලබන තෙක් ඔහුට අත් කර දෙන්නේ යහපතකි.
පූර්ව කර්ම නිසා ඇති වී තිබෙන පීඩා මෙන්ම යහපත පිළිබඳ අවබෝධයක් තිබේ නම්, අපගේ ජීවිතය අපටත් අනුන්ටත් සුවදායී ආකාරයෙන් පැවැත්විය හැකිය. එම පීඩාකාරී දිවිය නැවත නොලබනු පිණිසත් ලැබූ යහපත වර්ධනය කරගනු පිණිසත් කළ යුතු ප්‍රතිකර්ම අනුගමනය කර සැනසීමක් ලද හැකිය.
හානිපූරණය යනු සෑම දඬුවමක්ම අබිබවා ගියා වූ උත්තම පරිවර්තනයකි. තමා විසින්ම තමාව නිවැරදි මාර්ගයට යොමු කරගැනීමකි. විමුක්තිය උදෙසා යන මාවතට පිවිසීමට බාධා ඇති කරන කටුකොහොල් ඉවත ලන පිළිවෙතකි. එය පුද්ගලයා ආධ්‍යාත්මික සංවර්ධනයකට යොමු කරන්නා වූ චර්යා හා ප්‍රජානන පරිවර්තනයකි. අංගුලිමාල තෙරුන්ගේ සහ අජාසත් රජුගේ ජීවිත කතාව ඇසුරෙන් අපට හානිපූරණය උගත හැකිය. අංගුලිමාල පිරිත බිහි වූයේ හානිපූරණය සත්‍යක්‍රියාවක් බවට පත් කරමිනි. හානිපූරණය පිළිබඳ මනා අවබෝධයක් මජ්ඣිම නිකායේ විභඞ්ගවග්ගයට අයත් චූලකම්ම විභංග සූත්‍රයෙන් ලැබිය හැකිය. බුදුරජාණන්වහන්සේ සුභ මානවකයා විමසූ පැනයකට දුන් පිළිතුර එහි දැක් වේ.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්බව ලැබ උපන්නාවූ මනුෂ්‍යයන්ගේම උස්පහත්කම් දක්නට ඇත. ස්වල්ප ආයුෂ ඇත්තෝද, දීර්ඝායුෂ ඇත්තෝද, බොහෝ රෝගාබාධ ඇත්තෝද, ස්වල්ප රෝගාබාධ ඇත්තෝද, අවලක්ෂණ පෙනුම ඇත්තෝද, ලක්ෂණ පෙනුම ඇත්තෝද, බොහෝ පිරිස් ඇත්තෝද, අල්ප වූ පිරිස් ඇත්තෝද, අල්ප සම්පත් ඇත්තෝද, බොහෝ සම්පත් ඇත්තෝද, උසස් කුළ උපන් ඇත්තෝද, පහත් කුළ උපන් ඇත්තෝද, නුවණැති ඇත්තෝද, නුවණ නැත්තෝද දක්නට ලැබෙත්. මෙයට හේතු කවරේද?“
බුදුරජාණන් වහන්සේ මෙයට දුන් පිළිතුර වූයේ
“මානවකය, සත්ත්වයෝ කර්මයම තමා අයත් කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ, කර්මයම කරණය කොට ඇත්තාහ, කර්මයම නෑයන් කොට ඇත්තාහ, කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්ත්වයා බෙදන්නේය. “ යනුවෙනි.
සත්ත්වයා විසින් කරන ලද කර්ම ඔහුගේ උපතට සහ ඉන්පසු ලබන ජීවිතයට තීරණාත්මක බලපෑමක් කරන බව මෙයින් ගම්‍ය වෙයි.
පරපණ නැසීම සහ ඉන් වැළකුණු විට ලැබෙන කර්ම විපාක පිළිබඳ උන්වහන්සේ සුබ මානවකයාට පැහැදිලි කරති.
“මානවකය... මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍ර වූයේ ලේ තැවරුණු අත් ඇත්තේ, නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියේ, සතුන් මරන්නේ වේද, හෙතෙම එසේ සම්පූර්ණ කළාවූ ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථාන වූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදී. නිරයෙහි නූපදීද මිනිසත් බවට පැමිණියේද, යම් යම් තැනක පසුව උපදීද ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි.“
“මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, බහා තබන ලද දඬුමුගුරු ආයුධ ඇත්තේ වේද, පරපණ නැසීමෙහි ලැජ්ජාභය ඇත්තේ වේද, කරුණාවට පැමිණියේ වේද, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, එසේ සම්පූර්ණ කරන ලද කර්මය හේතුකොට ගෙන මරණින් මතු සැපයෙන් යුක්තව දිව්‍ය ලෝකයෙහි උපදියි. මිනිසත් බවට පැමිණියේ වේද යම්යම් තැන පසුව උපදීද දීර්ඝායුෂ ඇත්තේ වේ“
මේ අනුව පුද්ගලයකු දීර්ඝායුෂ වැලඳීමට නම් ප්‍රාණඝාත අකුසලයෙන් බැහැර විය යුතු බව ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. බෞද්ධයන් විවිධ අභය දාන පූජාවන් සිදු කිරීමට හේතුව මේ අනුව පැහැදිලිය.
අපගේ සමාජය ජ්‍යොතිෂ පිළිබඳ විශ්වාසය ඇතිව වෙසෙන සමාජයකි. එහිදී ආයුෂ අඩු හෝ අනතුරුදායක කාලවකවානු ඇතැයි හෝ කිසිවෙකු සම්බන්ධව ජෝතීර්වේදීන් පෙන්වා දුන් විටදී ඊට පිළියම් ලෙස මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, සිර කරගෙන සිටින සතුන් නිදහස් කර හැරීම, ආබාධිතව අසරණව වෙසෙන්නන් හට පහසුකම් සැපයීම ආදිය පිළියම් ලෙස කරති. මෙය අතීතයේ පටන් බුදුදහමේ හානිපූරණය පිළිබඳ බෞද්ධයන් දැනුවත්ව සිටි බවට සාධකයකි.
ඉපදුණු සෑම පුද්ගලයෙකුම දීර්ඝායුෂ විඳීමට ප්‍රිය කරන බව රහසක් නොවේ. ඉහත සඳහන් අනුශාසනාවට අනුව සසර ගමනේදී සුවපත් වූ දීර්ඝායුෂ වළඳනු කැමැති යමෙකු වේ නම් ඔහු විසින් ප්‍රාණඝාතනයෙන් වැළකිය යුතු බව අවබෝධ කරගත යුතුව ඇත. අපගේ නිත්‍ය ශීලය වූ පන්සිල්වල ප්‍රාණඝාතයෙන් වැළකීම පළමු ශීලය දෙස දක්වා ඇත්තේ පුද්ගලයකුගේ ආයුෂය ඔහුගේ විමුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රබල අවශ්‍යතාවක් වන බැවිනි. ඉපදෙන වාරයක් පාසා නිරයේ ඉපදෙමින් හෝ මනුලොව අල්පායුෂ ඇතිව ඉපදෙමින් දුක්ඛිත ජීවිත සහිතව හෝ සසර සැරි සරන විට විමුක්ති මාර්ගය ඇහිරී යයි.
චූලකම්ම විභංග සූත්‍රයෙන් තව දුරටත් බුදුරජාණන් වහන්සේ කරුණු දක්වති. ඒ කරුණු සැකෙවින් මෙසේය.
1. අතින් ආයුධයකින් හෝ කිනම් අයුරකින් සතුනට හිංසා කරන්නා වූ පුද්ගලයන් මරණින් මතු නිරයේ උපදී. මනුලොව උපත ලදහොත් රෝග බහුල වේ.
කිසිම අයුරකින් සතුන්ට හිංසා නොකරන කරුණාවෙන් අහිංසාවෙන් යුතු වූවෝ මරණින් මතු දිව්‍ය ලෝකවල උපදිති. මනුලොව උපත ලදහොත් ස්වල්ප වූ රෝග ඇත්තෙකු බවට පත් වේ.
ඒ අනුව නිතර නිතර රෝගාබාධයන්ට ගොදුරු වන, රෝග බහුල වූ අය සතුන් කෙරේ දයාකරුණා ගුණය ඇති කරගැනීම, ඔවුන්ට සංග්‍රහ කිරීම, ඔවුන්ගේ පහසුව සැලකීම හානිපූරණය ලෙස කළ හැකි පිළිවෙත බව තේරුම්ගැනීම වැදගත්ය.
2. ද්වේශය බහුල, නිතර කිපිම් ගැටීම් ඇති, විරුද්ධ අදහස් ඇති, කෝපය ද්වේශ සහිතව නොසතුටු බව පළ කරන්නෝ මරණින් මතු නිරයේ නොවැටිණි නම් අවලක්ෂණ රූප සහිතව මනුලොව උපත ලබති.
ද්වේශ නැති, කිපීම් ගැටීම්, කෝප, විරුද්ධ අදහස් සහ ද්වේශයෙන් යුතු නොසතුටු බව නැති අය මරණින් මතු දෙව්ලොව උපත නොලදහොත් ඉතා ලක්ෂණ රූපයක් සහිතව මනුලොව උපත ලබති.
ඒ අනුව ද්වේශය, ගැටීම්, කෝප ආදී දුර්ගුණයන් වෙනුවට මෛත්‍රී කරුණා ඉවසීම් ආදී ගුණයෙන් යුතුව ජීවිතය පවත්වාගැනීම, පියකරුබව ඇතිවීමට හේතුවත් අවලක්ෂණ බව නැති කරගැනීමට කළ හැකි හානිපූණය බවත් සැලකිය යුතුය. නිරතුරු මෛත්‍රීය වඩන්නවුන්ගේ මුහුණ පියකරු වන දහමෙහි දැක්වේ.
3. අනුන්ට ලැබෙන උපභෝග පරිභෝග, සත්කාර, ගරුබුහුමන්, වැඳීම් පිදීම් කෙරෙහි ඊර්ෂ්‍යා සහගතවීම, ඊර්ෂ්‍යාවෙන් කිපීම, ඊර්ෂ්‍යා බැඳගෙන සිටීම නිරයට යෑමට හෝ මනුලොවදී අල්පෙශාඛ්‍ය උපතක් ලැබීමට හේතු වේ.
අනුන්ට ලැබෙන ලාභ සත්කාර, ගරුබහුමන්, වැඳුම්පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොවී සතුටු සිත් ඇත්තේ වේද මරණින් මතු දෙව්ලොව හෝ මනුලොව ලබන උපත මහත් පිරිවර සහිත මහේශාක්‍ය එකක් වේ.
මෙලොව සමහරු නෑ මිතුරන් නැති, හිතවතුන් නැති, විපතකදී පීඩාවකදී උදව් උපකාර නැති, අසරණ ජීවිත අපට දක්නට ලැබෙයි. ඔවුනුත් අද මහේශාක්‍ය ජීවිත ලබා ඇති අයත් අනුන්ගේ ලැබීම් කෙරෙහි ප්‍රසන්න සහගත සිත් ඇතිව ඒවාට සහයෝගීව ජීවත් වීමෙන් තමන්ගේ පූර්ව අකුසල්වලින් මිදීමටත් ලැබුණු යහපත වර්ධනය වීමටත් හේතු වන බව තේරුම් ගත යුතුය.
5. පැවිද්දන් සඳහා සතුටින් යුතුව සිවුපසයෙන් සංග්‍රහ කරන්නාවූ පුද්ගලයන් මිනිසත් බව ලබන විට මහත් වූ සම්පත් ඇතිව උපත ලබයි. එසේ නොදෙන්නන් මනුලොවදී ස්වල්ප වූ සම්පත් ඇතිව උපදී.
තමාගේ ශක්ති ප්‍රමාණයෙන් පැවිදි උතුමන්හට සිවුපසයෙන් සංග්‍රහ කිරීම, එම සංග්‍රහයන් සතුටින් කිරීම සසර ගමනේදී සැපවත් ජීවිතයක් ලැබීමට හේතු වන බව මෙයින් වැටහේ. දස පුණ්‍ය ක්‍රියා අතර දානය පළමු පින්කම ලෙස දක්වා ඇත්තේ සත්ත්වයාට එය කෙතරම් මහිමාන්විත බවක් ඇති කරන්නේද යන්න පෙන්වා දීමටය.
6. අධික වූ මානයෙන් යුතුව ගරු කළ යුතු බුහුමන් කළ යුතු සත්කාර කළ යුතු, පිදිය යුතු අය නොසලකා හරීද, අසුන් දිය යුත්තාට ආසනයද, මාර්ගය ඉඩ දියුත්තාට මාර්ගයද නොදේද එවන් අය මනුලොවදී පහත් යැයි සම්මත කුලයන්හි උපත ලබයි.
මෘදු සිත් ඇති, මානයෙන් තොරවූ ස්ත්‍රී පුරුෂයන් ගරු කළ යුතු බුහුමන් කළ යුතු සත්කාර කළ යුතු, පිදිය යුතු අයට නිසි අයුරින් සලකාද, අසුන් දිය යුත්තාට ආසනයද, මාර්ගය ඉඩ දියුත්තාට මාර්ගයද දේද එවන් අය මනු ලොවදී උසස් යැයි සම්මත කුලයන්හි උපත ලබයි.
පුද්ගලයා අධික මානයෙන් යුතු වීම සහ අනතිමානී වීම, ඔහුට විපාක ලබාදෙන අන්දම තේරුම් ගෙන සුගතියට හේතු නොවන මානය ඉවත ලා ජීවත් වීම, තමාට සුවය සලසන බව තේරුම් ගත යුතුය.
ඉහත ධර්මතා අනුව තේරුම් ගත යුත්තේ මෙම ජීවිතයේදී අප ලබා ඇති ගුණාගුණ සියල්ල අප පෙර කරන ලද කර්මයන්හි විපාක බවය. අද අප තුළ ඇති ගුණාගුණ අපගේ මතු ජීවිතය තීරණය කරන බවය. බුදුරජාණන් වහන්සේ වැපිරූ බීජ අනුව අස්වැන්න නෙළාගන්නා බව දේශනා කළේ එහෙයිනි.
එහෙත් උන්වහන්සේ පෙන්වා දුන් තවත් වැදගත් කාරණයක් වූයේ කර්මය නියතියක් නම් ලෝකයට බුදුවරු පහළ වීමේ අර්ථයක් නැති බවය. කර්මය වෙනස් කිරීම හෝ අනිසි කර්ම විපාක දීම පසුපසට දැමීමේ මාර්ගය උන්වහන්සේ පෙන්වා දුන් සේක. හානිපූරණය කර්මය වෙනස් කිරීමට හෝ පසුපසට දැමීමට හැකියාව ඇත්තකි. අපිරිසුදු ජල බඳුනකට නොනවත්වා පිරිසුදු දිය වක් කිරීමෙන් එම ජලබඳුන යම් දිනයක පිරිසුදු ජලයෙන් පිරී යාද ඒ අයුරින් හානිපූරණය මඟින් රැස් කෙරෙන කුසල් මඟින් අකුසල් විපාක යටපත් කිරීම හෝ විපාක දීමෙන් බැහැර කළ හැකි වෙයි.
එහෙත් එමඟින් ඔබට අනුශාසනා කරන්නේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, කීර්ති සහිතව සසර සැරිසරමින් සිටින ලෙස නොවේ. නිවන් අවබෝධය ලබන තෙක් දුගතියක නොඉපිද සුවපත්ව සසර ගමන පවත්වාගැනීමය. කුමන සුවයක් ලැබුවද සසරේදී ජාති ජරා මරණ ව්‍යාධි සහිත දසවිධ දුක්ඛයන්ට අප යටත් බව තේරුම් ගත යුතුය.