
දිල්ශාන් මනෝජ් රාජපක්ෂ
කථිකාචාර්ය බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
අභියෝගාත්මක අවස්ථාවලදී පවා විමර්ශනාත්මක අභිරුචිය ජය ගැනීමට උපයෝගී වන බව බෝසත් චරිතයෙන් නිරූපණය කෙරෙන ආකාරය අපණ්ණක,ථේලපත්ථ හා වණ්ණුපථ ආදී ජාතක කතාවලින් පෙනේ. අතිශයින් සුන්දර උත්තර භාරතයේ සුප්‍රකට හිමාල ප්‍රදේශයෙහි පිහිටි කෝසල රාජ්‍යයෙහි ධනයෙන් හා වීර්යයයෙන් ආඪ්‍ය ජනපදයක උපන් සිදුහත් කුමරාගේ ගෝත්‍රය ‘ආදිච්ච’ වන අතර, හෙතෙම ශාක්‍ය හෙවත් ක්‍ෂත්‍රීය ජාතියටත්, ගෞතම ගෝත්‍රයටත් උරුමකම් කීවේ ය. රජ පෙළපතකට දාව උපන් සිදුහත් කුමරු අතිශය සුව පහසු ජීවිතයක් ගත කළේය. හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනට ගැළපෙන මාලිගා තුනක් පරිහරණය කළ එතුමා යෞවන මදයෙන් (යොබ්බනමදො), ආරෝග්‍ය මදයෙන් (ආරෝග්‍යමදො), ජීවිත මදයෙන් (ජීවිතමදො), යුක්තව වාසය කළේ ය.
කුඩා කල පටන් චතුර්වේදයෙන් හා මුල් උපනිෂදයන්ගෙන් යුත් බ්‍රාහ්මණ සාහිත්‍ය, ආගම, දර්ශනය, සමාජ හා දේශපාලන දර්ශනය, නිරුක්ති, ව්‍යාකරණ, ශබ්දාර්ථ විභාග ආදිය ඇතුළත් ෂඞ් වේදාංගයන් පිළිබඳ දැනුම ලැබූ හෙතෙම තරුණ වියේදී සිය පිය රජතුමාගේ අනුශාසකයා වූ අසිත කාලදේව වැනි අයගෙන් භාතරයේ අධ්‍යයන ක්‍රම ගැන අවබෝධයක් ලබාගත්තේ ය. සාම්ප්‍රදායික ශාස්ත්‍රීය දැනුම මෙන් ම වෘත්තීය දැනුමෙන් ද මනා වූ පරිචයක් ලැබීමෙන් නොනැවතුණු සිදුහත් කුමරු අධ්‍යාත්මය කෙරේ ද වැඩි නැඹුරුවකින් පසු වූ බව ධ්‍යාන කෙරේ යොමු වීමෙන් පෙනේ.
සිදුහත් තරුණයා සාම්ප්‍රදායික සමාජ රටාව නම් වූ තිමිර පටලයෙන් වසන් කර තිබූ මනුෂ්‍ය ජීවිතයෙහි ප්‍රායෝගික හරය පිළිබඳ ප්‍රශ්න කරමින් දැනගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවේ ය. සමාජ යථාර්ථය විනිවිද දැකීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වූයේ දියෙත්තක මසුන් මෙන් තෘෂ්ණාදියෙන් සැලෙන සත්ත්වයන් උනුන් හා ගැටෙමින් ජීවත් වන අයුරු දුටු සිදුහත් බියට පත්වීම ය. එබැවින් ජීවිතයෙහි පරමාර්ථය කෙරේ යථාර්ථවාදීව දැකීමේ බලවත් විමර්ශනාත්මක අභිරුචියෙන් සෑම දෙනා ම ජරාවටත්, රෝගාතුර භාවයටත්, මරණයටත් පත් වන ධර්මතා දැක තමන් ද එය නො ඉක්ම වූ තැනැත්තෙකු යැයි සිතුවේ ය.
එහෙයින් ම එතෙක් පැවති යෞවන මදය, ආරෝග්‍ය මදය හා ජීවිත මදය දුරු කිරීමට එතුමා සිතුවේ ය. ජීවිතයේ හරය, ලෝකයේ සත්‍යය සොයා තවුස් ජීවිත ගත කළ නිගණ්ඨ, ආජීවක, පරිබ්‍රාජක, ආදී බොහෝ පිරිස් ද, එතුමාට දක්නට ලැබුණු අතර ඔවුන්ගේ ඉගැන්වීම් හා විමුක්ති මාර්ග පිළිබඳ ද ප්‍රමාණවත් අවබෝධයක් ලැබගත්තේ ය. මේ අනුව ගිහිගෙය සම්බාධක සහිත බවත්, කෙලෙස්වලට ආයතනයක් බවත්, පැවිද්ද හිස් අභ්‍යාවකාශය මෙන් නිදහස් බවත් දැක ස්වකීය ප්‍රධාන උත්සාහය සදහා අභිනිෂ්ක්‍රමණයෙහි වැදගත්කම අවබෝධ කරගත්තේ ය.
එබැවින් භද්‍ර යෞවනයේ පසු වූ සිදුහත් තරුණයා ලෞකික සම්පත්, ධන ධාන්‍ය යනාදි සියල්ල අතහැර, මවුපියන් හඬා වැලපෙද්දී ඔවුන්ගේ දෑත් ගසා දමා, කෙස් රැවුල් කපා දමා කසාවත හැඳගත්තේ ය. සිදුහත් තවුසාගේ මූලික අභිප්‍රාය වුයේ යහපත කුමක්ද? යන්න ගවේෂණය කිරීම (කිං කුසල ගවේසී) හෙවත් අනුත්තර උතුම් ශාන්තියට මඟ සෙවීමකි. (අනුත්තරං සන්නිවරපදං පරියෙසමානො) ජීවිතයේ පරමාර්ථය ගවේෂණය කිරිමෙහි සිද්ධාර්ථ තවුසාණන්ගේ එම ව්‍යායාමය උතුම් පර්යේෂණය නොහොත් ආර්ය පර්යේෂණය (අරිය පරියේසනා) නම් විය. ඒ සඳහා සිදුහත් තවුසා, ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර යනාදී එවකට සුප්‍රකට ගුරුවරු වෙත ගියේ ය. නේවසඤ්ඤා නාසඤ්ඤා ධ්‍යානය දක්වා සිත දියුණු කරගැනීමට හැකි වුවත් වෙනස් නොවන, පරම සැපතක් එහි නොවූ බැවින් උග්‍ර තපස් රැකීමෙන් හෝ පරම ශාන්තිය සාක්‍ෂාත් කරගැනීමෙහි විමර්ශනය අත්නොහළේ ය.
දුෂ්කර ක්‍රියාවලින් විමුක්තිය ගවේෂණය කළ සිදුහත් තවුසා අධිෂ්ඨාන පූර්ව වූ විර්යය පෙරදැරි කොටගෙන අප්‍රාණික ධ්‍යානය වැඩීමට යොමු වූවේ ය. ශරීරයට දැනෙන අධික වේදනා ඉවසමින් මුවින්, නහයෙන් හා කනින් ආශ්වාස ප්‍රශ්වාස වළකා දමා කුසල් සිතින් අකුසල් මැඩ පැවැත්වීමට කටයුතු කළේ යටි දතෙහි උඩු දත තබා, දිවින් තලු මැඩගෙන ය.
ඉන් පසුව ආහාර ගැනීමෙන් වැළකීමට ද හෙතෙම යොමු වූවේ ය. අල්පාහාර වීම නිසා අඟපසඟ ‘ආසිතික පබ්බ’, ‘කාළ පබ්බ’ යන වැල් වර්ගවල පුරුක් බඳු වූවේ ය. පිටුපස ඔටුවෙකුගේ පා සටහන් මෙන් වූවේ ය. ඉළ ඇට දිරා ගිය වහලයක පරාල මෙන් පිටතට නෙරා ගියේ ය. ගැඹුරු ළිඳක දිය බුබුළු මෙන් ඇස් කුහරවල අක්ෂිය මතු වූවේ ය. අමුවෙන් කඩාගත් කරවිල ගෙඩියක් සුළඟින් හා අව්වෙන් ඉරි තැළී මැලවී ගිය ආකාරයට හිසේ සම මැලවී ගියේ ය. ආමාශයේ සම පිරිමදින විට කොඳු ඇට පෙළ අසුවූවේ ය. කොඳු ඇට පිරිමදින විට ආමාශයේ සම අසුවූවේ ය. ආමාශයේ සම කොඳු ඇටය හා ඇලී ගියේ ය. මල මුත්‍ර බැහැර කිරීමට නැමෙන විට මුණින් අතට ඇද වැටුණේ ය. රිදුම් දෙන ගාත්‍රා අස්වැසීමට පිරිමදින විට කුණු වූ දිරාගිය ලොම් සිරුරෙන් වැටුණේ ය. ඡවි වර්ණය ද අතුරුදහන් වූවේ ය.
මිනිසුන් බිය ජනක සේ සලකන දිනවල හා ඒ රාත්‍රී කාලවල බියජනක ආරාම චෛත්‍ය ආදී තැන්වල වාසය කරමින් තැතිගැනීම් හා බිහිසුණු අරමුණු කවරේදැයි සොයාබැලීමට සිදුහත් තවුසාට අවශ්‍ය විය. එබඳු ස්ථානවලට ගොස් කාලය ගත කළ ආකාරය බුදුරදහු මෙසේ දක්වති.
“එහි වාසය කරන්නා වූ මා වෙතට මුවෙක් හෝ පැමිණෙයි. මොනරෙක් දර කඩක් හෝ හෙළයි. සුළඟ හෝ පරඬැලාවක් සලයි. ඒ මට ඒකාන්තයෙන් මේ එන්නේ බියජනක අරමුණක් යැයි සිතෙයි.”
තමන් සිටි ඉරියව්වෙන් ම ඊට ප්‍රතිචාර දක්වා එබඳු බියජනක අරමුණු පලවා හැරි බව දක්වන බුදුරදුන්, බෝසතුන්ව සිටියදී සිතට බිය ගෙන දෙන අකුසල සිතිවිලි රැසක් හඳුනාගත් බවත්, එම සිතුවිලි තමන්ට නුවූයෙන්, බියක් තැතිගැනීමක් ඇති නොවූ බවත් දක්වා ඇත.
මෙතරම් තීව්‍ර (තිප්ප), කටුක (කටුකා), දුක් වේදනා විඳිමින් (වේදනා වේදයන්ති) දුෂ්කර ක්‍රියාවල නිරතවුව ද උත්තරීතර මනුෂ්‍ය ධර්මය වන ආර්යභාවය ගෙනදීමට සමර්ථ ඥාන දර්ශනයක් නැති බවත්, සම්බෝධිය පිණිස වෙනත් මඟක් ඇති බවත් සිය විමර්ශනයෙන් ම අවබෝධ කරගත් සිදුහත් තවුසා නැවතත් ශරීර ශක්තිය නඟා ධ්‍යාන කෙරේ අවධානය යොමු කළේ ය. එහිදී පුබ්බේනිවාසානුස්සති ඥානයත්, දිබ්බ චක්ඛු ඥානයත්, ආසවක්ඛය ඥානයත් පෙර නොඇසූ විරූ ලෙස (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු) තමන් විසින් ම දැන (සයං අභිඤ්ඤා සච්ඡිකත්වා) සිය ආර්ය පර්යේෂණය නම් වූ දැවැන්ත උත්සාහයේ ප්‍රතිඵලය වන ආර්ය සත්‍ය අවබෝධ කර ගත්තේ ය. ඒ බව බුදුන්වහන්සේ සිය උදාන වාක්‍යයකින් මෙසේ ගෙනහැර දැක්වූහ.
“පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි”
සියලු දුක් නැති කර දැමීමේ ඒකායන මාර්ගය වෙත පිය නැඟීමට අප්‍රතිහත ධෛර්යයකින් විමර්ශනය මෙහෙයවූ බුදුරදුන් තමන් වහන්සේ අනාවරණය කරගත් විමුක්තිය හෙවත් නිර්වාණය සියලු දෙනාගේ හිත සුව පිණිස දේශනා කළහ.