බෞද්ධ දර්ශනයේ ගැඹුර ලෝකයට බෙදා දුන් සිංගප්පූරු වෙසක් උත්සවය | සිළුමිණ

බෞද්ධ දර්ශනයේ ගැඹුර ලෝකයට බෙදා දුන් සිංගප්පූරු වෙසක් උත්සවය

බෞද්ධාගම දියුණු කරලීම උදෙසා මහ මෙහෙයක් ඉටු කළ ජාත්‍යන්තරය දිනූ පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව අපේ ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී ඇත්තේ ය. ඉන් පළමු පුද්ගලයා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය. එතුමා ප්‍රථම වරට විදේශයක සිය හපන්කම් පෙන්වාලූයේ වර්ෂ 1893 දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පවත්වන ලද ලෝක ආගම් සම්මේලනයේදී බෞද්ධාගම පිළිබඳව සුවිශේෂ දේශනයක් කරමිනි. එහිදී පවත්වන ලද ‘වර්ල්ඩ් කොලම්බයින් එක්ස්ෂෝෂිෂන්’ නම්වූ ඇමෙරිකානු විජයග්‍රහණයේ ප්‍රදර්ශනයට අතිරේක අංගයක් වශයෙන් මෙසේ ලෝක ආගම් සම්මේලන‍යක් එක් කරන ලද්දේ එවකට ලෝකයේ දස අත බෙහෙවින් ම ප්‍රචලිතව පැවැති කතෝලික ධර්මයේ අගය සෙසු ලෝකයා හට ද පෙන්වන්නට ය.

එහෙත් බෞද්ධාගමේ නියෝජිතයා ලෙස එහි දේශනයක් පවත්වන්නට යෙදෙන්නේ ඕල්කොට් තුමන්ගේ ද පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ ද පූර්ණ අනුමැතිය ඇතිව එහි ගියේ එවකට ද සිය කථිකත්වයේ ජයග්‍රාහීව සිටි ධර්මපාල හේවාවිතාරණ තරුණයා ය. මේ වනවිට දෙකොපුල පුරා රැවුල ද වවා ගනිමින් සුදු ඇඳුමින් සැරසී සිටි මෙම හේවාවිතාරණ තරුණයා සෙසු නියෝජිතයන් කිහිප දෙනෙකු ද සමඟ නැවෙන් ඇමෙරිකාවට ගියේය. ඔහු එහි ගොඩබට අවස්ථාවේදී මේ තරුණ දේශකයාගේ විලාසය දුටු ඇමෙරිකානු පුවත්පත් වාර්තාකරුවෝ මවිතයට වූහ. එකල එතුමාගේ රූප විලාසය එවක ප්‍රකටව පැවැති ජේසුස් වහන්සේ චිත්‍රණය කළ සිතුවමකට බෙහෙවින්ම සමාන විය. එහිදී ඔවුන් කළේ මේ තරුණ දේශකයාණන්ගේ ඡායාරූපයක් ද ගෙන ‘යේසුස් වහන්සේ ඇමෙරිකා‍වට ගොඩ බැස ඇත’ යි වාර්තා සමඟ ඇමෙරිකානු පත්තරවල පළ කිරීමය. ඉන්පසුව ධර්මපාල දේශකයාණන් ගිය ගිය තැන ලද්දේ මහත්වූ ජනප්‍රසාදයකි.

මෙම මහා ප්‍රදර්ශනය දෙසතියක් පුරා චිකාගෝ නුවරදී පැවැත්වුණු හෙයින් ලෝකයේ දස අතින් ම අමුත්තන් එහි පැමිණ සිටිනු දක්නා ලද්දේ ය. ලෝක ආගම් පිළිබඳව සංකථන මණ්ඩපයක් පැවැත්වෙන බව කියැවී තිබුණු නිසාම ලෝකයේ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ද එහි පැමිණ සිටියේ ආගමික මත විමර්ශනය කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.

ආගම් සම්මේලනයේ තුන් වැනි දිනයේදී තම දේශනය පැවැත්වීමේ අවස්ථාව ධර්මපාල හේවාවිතාරණ දේශකයා වෙත උදා විය. එකල ශබ්දවාහිනී යන්ත්‍ර සොයා ගෙන ද නොතිබූ හෙයින් දහස් ගණනන් වූ මේ මහ සෙනඟ අමතා කතා කිරීමට දේශකයන්ට සිදුවිය.

බෞද්ධාගම පිළිබඳව එතුමා විසින් කරන ලද විස්තරාර්ථ සහිත දේශනය අසන්නන් විසින් අසාගෙන සිටින ලද්දේ හිටිපියේ සිටගෙනය. තමන් මෙතෙක් නෑසූ විරූ ආගමික ධර්මතාවලින් හා සාරවත් අදහස්වලින් තම තමන්ගේ ජීවිතයට ආදර්ශ ගත යුතු - ගත හැකි ධර්මතා සරල ලෙස හෙළි කරමින් පැහැදිලි විචක්ෂණ ඉංග්‍රීසි බසින් බෞද්ධාගම පිළිබඳ මෙම දේශනය එහි සිටි වැඩි දෙනෙකුට නවමු අත්දැකීමක් ද වූ බව දක්නට ලැබිණ.

දේශනාව අවසානයේ අසන්නන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද දේශකයාගෙන් සාර්ථක පිළිතුරු ලැබිණ. එය අවසානයේදී එහි සිටි කතෝලික පූජකවරයකු එතුමාගෙන් අසන ලද්දේ කවුරුත් පුදුමයට පත් කළ ප්‍රශ්නයකි.

“මම මේ දේශකයාගෙන් අසන්න කැමැතියි. අපේ කතෝලික ආගම ලෝකයේ තව තවත් ප්‍රචාරය කිරීම උදෙසා අප කළයුතු දේ කුමක්ද කියා” යන්න එතුමාගේ ප්‍රශ්නය විය.

“එම කතෝලික පූජකතුමා ‍මගෙන් ඇසුවේ හොඳ වැදගත් ප්‍රශ්නයක්. එයට දෙන්නට මා වෙත ද වැදගත් උත්තරයක් තිබෙනවා. මම අසන්නට කැමැතියි ඔබතුමාගෙන් ඔබතුමාලගේ පූජකයෙක් ගම්බද හෝ නගරබද දේවස්ථානයකට අලුතෙන් පත්වෙලා ගිය විටදී පළමුවෙන් ම එතුමන් වට කරගන්නෙ කවුද? පළාතේම සිටින ධනවත් වැදගත් පිරිසයි. දුප්පතෙකුට එතුමාව දකින්නටවත් ඉඩක් තියන්නෙ නෑ. ඉන්පසුව ඔවුන් එතුමන් පාලනය කරනවා. මේ තත්ත්වය තමා හැම තැනම තියෙන්නෙ. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

එයට කළයුතු ප්‍රධාන දෙය නම් යළිත් ජේසුස් ස්වාමි දරුවාණන් මුලින් ම අනුගමනය කළ කටයුතු කිරීමයි. එතුමා මුලින් ම ගියේ දුගී දුප්පතුන් ළඟටයි. ගිහින් ඔවුන්ගේ දුක නැති කර ඔවුන්ට සැප ළඟා කරන්නට කටයුතු කරන්න උපදෙස් දුන් එකයි කළේ. ඔබ තුමන්ලාත් යේසුස් ස්වාමි දරුවාණන්ගේ එම පිළිවෙත යළිත් අනුගමනය කළහොත් ඔබේ ධර්මය තව තවත් ලෝක පූජිත කරගන්න පුළුවන්” යනුවෙන් ධර්මපාල හේවාවිතාරණ දේශකයාණන් පිළිතුරු දුන්නේ ය.

තමන්ගේ ආගමික දර්ශනයට විරුද්ධ මත ධාරියකුට වුව ද මෙවන් වැදගත් සාධාරණ පිළිතුරක් දීම පිළිබඳව එවේලේ එතැන සිටි සියල්ලන්ම ජය ඝෝෂා නැගූහ. එතුමාගේ සිතේ තිබෙන සාධාරණත්වය බුදු දහමින් ඔප් නැඟුණක් බව කාටත් වැටහිණි.

මෙහිදී අතිශයින් සතුටට පත් ‍කතෝලික දේව ගැතියෝ කිහිප දෙනෙකුම කළේ තම තමන්ගේ දේවස්ථානවලද දේශන පැවැත්වීමට ධර්මාපාල හේවාවිතාරණ දේශකයාණන්ට ආරාධනය කිරීමයි.

ඉන් අනතුරුව මේ වේලේ මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂ කාරණයක් නම් ජේම්ස් ටී ස්ට්‍රාවුස් නම් ජර්මන් කෝටිපතියා එහිදී ප්‍රසිද්ධියේ ම ධර්මපාල දේශකයාණන් ඉදිරියේ තිසරණ සහිත පංචශීලය සමාදන්වීමෙන් පසුව බෞද්ධයකු බවට පත්වීමය.

නව ලෝකය බෞද්ධාලෝකය විහිද වූ තවත් සිංහලයකු පිළිබඳව ද මෑත යුගයේදී කථිකාවක් ඇති විය. ඔහු පිළිබඳව ද යම් සංවාදයක් ඉපදවීම යහපත් ය.

මෙසේ මෑත යුගයේ එසේ බෞද්ධාලෝකය ලොව පුරා විහිදුවූ පුද්ගලයා වන්නේ දකුණු සිරිලක මාකඳුරේ කුල ගෙයක වැඩිමහල් දරුවා වශයෙන් උපන් සෑම් සමරසිංහ මහතා ය. ප්‍රථමයෙන් සිය පියාණන්ගේ ඇනවීම පරිදි හේ ගමේ පන්සලේ නායක හිමියන්ගේ ඇසුර කුඩා කළ සිටම ලබා ගත්තේ ය‍. අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව දකුණු සිරිලක මහා පඬිවරයකු වූ මාතර ජස්ටින් විජයවර්ධන ඥාතිවරයාගේ සෙවණ යට හැදී වැඩුණේ ය. මාතර රාහුල විද්‍යාලයේ ද ඉන්පසු කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ ද ද්විතියික අධ්‍යාපනය ලැබුවේ ය. පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඉංජිනේරු විභාගයෙන් ඉහළින් ම සමත් විය. සෑම් සමරසිංහ නම් මේ සිංහලයාගේ කතාව ද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ශාසනික සිද්ධිත් සමඟ සමාන්තරව කියැවෙන්නේ ය.

ඉංජිනේරුවරයෙකු ලෙස ඉහළින් ම සමත්වීමෙන් පසුව එංගලන්තයට යන සමරසිංහ මහතා එහිදී මුලින් ම මැලේසියාවේ ඉංජිනේරු කාර්ය භාරයකට යොමු කෙරෙන්නේ ය. මැලේසියාවේ හා ඉරාණයේදී ද හේ සිය වෘත්තීය කටයුතු කරන්නේ ය. සෑම් සමරසිංහ මහතා ඒ ගිය සෑම රටකදීම බෞද්ධ පුනරුදයක් වෙනුවෙන් කටයුතු අදද ශේෂව පවතින්නේ ය.

මෙහිදී එතුමෝ මැලේසියාවේ විහාරයේ පූජ්‍ය කිරින්දේ ධම්මානන්ද හිමියන් මෙහෙයවා කළ කටයුතු ගැන සිහි කරන්නේ මහත් අභිමානයේ යුතුව ය. ධම්මානන්ද හිමියන් ලවා බෞද්ධ ග්‍රන්ථයන් සංස්කරණය කරවීම මගින් ප්‍රධාන තැනක් ගත්තේ ය. සමරසිංහ මහතාගේ ආරාධනයෙන් නාහිමියන් ලියූ ‘වයි බුඩිසම්’ ග්‍රන්ථය පසුකලෙක භාෂා විසි හයකට පරිවර්තනය කෙරිණි. ඉන්පසුව ලද දිරිගැන්වීමෙන් ධම්මානන්ද හිමියන් වෙතින් බෞද්ධ ධර්ම ග්‍රන්ථ අසූ ගණනක් ලියවිණ. එවර එයින් බෞද්ධාලෝකය ලොව පුරා පැතිර ගියා ලෙස ම ඒවායින් සුවිසල් ධන සම්භාරයක් ද ලැබිණි.

මෙකල ‍ලංකාවේ සිටි තරුණ බුද්ධිමත් නාහිමිපාණන් වහන්සේලා කිහිප නමකට ද විදේශ ගත වන්නට අවස්ථාව සලසාදීමෙන් ද සෑම් සමරසිංහ මහතා ඉටු කළේ සුවිශේෂ මෙහෙවරකි. ඇමෙරිකාව, චීනය, සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල නව බෞද්ධාරාම ඉදි කෙරෙමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීම සඳහා එම නාහිමිපාණන් වහන්සේලාට අවස්ථාව සැලසිණි.

මෙසේ මෙම රටවල් කිහිපයේම බෞද්ධාගමික කටයුතු ඉටු කරමින් සිටින අතරේ සෑම් සමරසිංහ මහතා දුටු එක් සිද්ධියක් නම් එතෙක් බෞද්ධ රාජ්‍යයක් ලෙස ප්‍රචලිතව තිබූ සිංගප්පූරුව ක්‍රමයෙන් අන්‍යාගමිකකරණයට ලක් වෙමින් පවතින බව ය. නොයෙකුත් සංවිධාන මගින් බෞද්ධයන් බිලිගෙන තම ආගම්වලට යටත් කර ගැනීම නිසා සිංගප්පූරුවේ බෞද්ධ ප්‍රතිශතය බෙහෙවින් පහළට යමින් පවතිද්දී ඒ ගැන සන්තාපයට පත් සෑම් සමරසිංහ මහතා කළේ එය වෙනස් කිරීමේ සැලසුමක් සම්පාදනය කිරීමය. ඒ රටේ සහ අවට රාජ්‍යවල ජනතාවට බුදු දහම ගැනත් බුදුරජාණන් වහන්සේ ගැනත් මනා වැටහීමට ලබාදීම උදෙසා කිසියම් විධිමත් පියවරක් ක්‍රියාත්මක කිරීමට සෑම් සමරසිංහයන් කටයුතු කළේ ය. ඒ අනුව වර්ෂ 1983 නේ වෙසක්දා සහ පසුවදා සිංගප්පූරුවේ මහා බෞද්ධ ප්‍රදර්ශනයක් පැවැත්වීම උදෙසා කටයුතු සම්පාදනය විය‍. මුලින් ම සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ ප්‍රදර්ශනය පැවැත්වීමට ස‍ූදානම් කළ ද එහිදී බෞද්ධාගම බෞද්ධ දර්ශනයත් සෙස්සනට විදහා දැක්වීම උදෙසා එතැන ඉඩ මදි බව පෙනුණු හෙයින් සිංගප්ප‍ූරුවේ මහායාන විහාරයක් ව‍ූ පෝර්කාක්සි විහාරය තෝරා ගැනිණි.

එකල සිංගප්ප‍ූරුවේ වැඩ වාසය කළ පූජ්‍ය ‍ඕමල්පේ සෝභිත හිමියන්, පූජ්‍ය වෙහෙරගොඩ සාරද හිමියන්, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්, පූජ්‍ය රඹුකේවෙල ඥානසිංහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද මෙහිදී සමරසිංහ මහතාගේ මෙම බෞද්ධාගමික ප්‍රයත්නයේ උපරිම සහයෝග දුන්හ.‍

මෙම මහා බෞද්ධ ප්‍රදර්ශනයට සහභාගි වන අමුත්තන්ට දීම සඳහා කුඩා අත්පොතක පිටපත් දෙලක්ෂයක් සමරසිංහ මහතා මුද්‍රණය කරගත්තේ එම සංවිධායක මණ්ඩලයට නොකියා ය. එහෙත් පසුව ඒ ගැන කියා සිටි අවස්ථාවේදී කිහිප දෙනෙකුම කියා සිටියේ එතරම් සෙනඟක් එයිදැයි අවිශ්වාස බවත් ලක්ෂයක් වුව ද පැමිණීම අවිශ්වාස බවත් මේ නිසා මෙසේ එම පොත් පිටපත්දෙලක්ෂයක් මුද්‍රණය කරවීම අනවශ්‍ය වියදමක් බවත් ය.

මුලින් සමහරුන්ගේ සහයෝගය නොලැබුණත් පසුව සිංගප්ප‍ූරු ජාතිකයන් වැඩි පිරිසකගේ සහයෝගය ද ඔහු හට ලැබිණි.

අන්තිම ප්‍රදර්ශනය පිළිබඳව රටේ ජනමාධ්‍ය මගින් ද පිටරට ජනමාධ්‍ය මගින් ද අතිවිශාල ප්‍රචාරයක් ලැබී තිබිණි. මිල මුදලින් මෙන්ම වෙනත් අන්දමේ කාර්යයක් මගින් ද ඔවුනට ලැබුණේ කිසි දිනෙක බලාපො‍රොත්තු නොවූ සහයෝගයකි.

එම මහා බෞද්ධ ප්‍රදර්ශනය විවෘත කරනු ලැබුවේ සිංගප්පූරු ජනාධිපති දේවනායර් මහතා ය.

දින දෙක ඇතුළත මහජනතාව තුන් ලක්ෂය ද ඉක්මවීය. ඔවුන්ගේ වැඩි දෙනෙකු බෞද්ධාගම පිළිබඳව කිසිත් නොදන්නා වූ නිසා එවන් පිරිසකට බුදුහිමියන් පිළිබඳවත් බෞද්ධාගමේ ප්‍රතිපත්ති පිළිබඳවත් මනා වැටහීමක් ලැබිණ. ඔවුන් අතට බෞද්ධ අත්පොතක් වශයෙන් ලබාදුන් එම අත්පොත තව තවත් මුද්‍රණය කිරීමට ද සිදුවිය.

අන්තිමේ මෙම පිරිස වෙසක් දින හා පසු දින ප්‍රදර්ශනය බලා බෞද්ධාගම පිළිබඳව මනා වැටහීමක් ලබාගත්හ. දහස් ගණන් පිරිස බෞද්ධයන් බවට පත්වූහ.

එයින් පසු සිංගප්පූරුවේ උපන් බෞද්ධ ප්‍රබෝධය කෙතරම් ද යත් එවකට බෞද්ධ විහාරාරාමත් පමණක් තිබූ සිංගප්පූරුවේ වෙහෙර විහාර දහ හතකගේ (17) ක් බිහි වීමෙනි.

බෞද්ධ දර්ශනයේ යශෝරාවය ලොව පුරා විහිද වූ එවන් වූ වෙනත් ප්‍රදර්ශනයක් ලොව කිසි තැනෙක දක්නට ලැබුණේ නැත.

වර්ෂ 1983 හේ ප්‍රදර්ශනයේ සෑම් සමරසිංහ මහත්මා ප්‍රමුඛ එයට මූලික වූ පැවිදි ගිහි පිරිස ධර්මපාලතුමාගේ කටයුත්තට පමණක් දෙවැනි වූ කාර්ය භාරයක් ඉටු කරන්නට මූලික වූහ.

එයින් ලද ප්‍රතිඵල වශයෙන් තවමත් ලංකාවේ වෙහෙර විහාර දියුණු කරලීම උදෙසා ද දුප්පත් ‍බෞද්ධයන්ගේ තත්ත්වය නගා සිටුවීම උදෙසා සිංගප්පූරුවෙන් මෙන් ම මැලේසියාවේ බෞද්ධ සංගම්වලින් ද චීන රජයේ බෞද්ධ සමිති සමාගම්වලින් ද මිලියන ගණන් ධන සම්භාරයක් ලංකාව වෙත ගලා එමින් පවතී.

තමන් විසින් ඉංජිනේරුමය දායකත්වයන් දී සිංගප්පූරුව බිහි කළ ලී ක්වාන් යූ අගමැතිතුමා යටතේ ද පසුව එතුමන් පුත්‍ර වර්තමානයේ අගමැතිවරයා යටතේ ද සෑම් සමරසිංහ මහතා කළ සේවයේ බැබළුණු වෙනත් රාජ්‍යයන්හි විද්වත්හු ද නායක කාරකාදීහු ද තවමත් කටයුතු කරන්නේ ලංකාවේ දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතාගේ සේවය අගය කරමින් මතකයට පත් කරමිනි.

විශේෂයෙන් ම මෙවන් වෙසක් සමයකදී එම සේවය යළි පාඨක මතකයට නංවාලන්නට අප අදහස් කළේ එදා එසේ හුරුවී පැවැති බෞද්ධයන්ගේ ප්‍රතිශතය ඉහළට පත්වී පසුකලෙක එනම් සමරසිංහ මහතා ප්‍රමුඛ පැවිදි ගිහි පිරිසගේ කටයුතු නිසා සියයට හතළිස් දෙකයි දශම පහ (42.05) දක්වා වැඩි කිරීමට ද සමත්වූ බව ද පසුකලෙක හෙළිවූ නිසා ය.

තමන් උපන් ණය දේශයට ගෙවා ලොවකට සේවාවන් ඉටු කළ දේශමාන්‍ය සෑම් සමරසිංහයෝ දැන් විවේක සුවයෙන් යුතුව සිය හැත්ත‍ෑ එක් වැනි වියේදී මව් බිමේ කාලය ගත කරන නමුදු දැනුදු විදේශීය රටවලින් පැමිණෙන පරිත්‍යාගශීලීන් සමඟ සුපුරුදු පරිදි පොදු ජනසේවයේ නිරතව කටයුතු කරන්නේ සිංහල බෞද්ධ ජානයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙවන් සද්කාර්යයන් උදෙසා සෑම් සමරසිංහ මහතාණන් ලියූ ග්‍රන්ථ කිහිපයක් ම තවමත් රටවල් කිහිපයකම පිටපත් ලක්ෂ ගණනින් අලෙවි වෙමින් පවත‍ී.

 

Comments