
* නාන්න-උයන්න මග දිගට කඩ
* සුද්දන්ට මග පෙන්වන අවුරුදු 91 'ගයිඩ් ආච්චි'
* ෆෝන් චාර්ජ් කරන්න රු. 30යි
* ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10ක් දමා ගිහින්
නැඟලා බහින මේ නඩේට
සමන් දෙවිඳු කරුණාවයි
වඳින්න යන මේ නඩේට
සමන් දෙවිඳු කරුණාවයි
පුරා සය මසක් තිස්සේ දිවා රාත්‍රී නොබලා බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ උතුම් වූ ශ්‍රීපාද වන්දනා සමය ඊයෙන් අවසන් විය. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ එහි යන එන වන්දනාකරුවන් නිසා දිවි රැක ගන්නෝ ද තම ගම්රටවල් බලා පිටත් වී යති. පුද බිමට ගෙන යන පුජා භාණ්ඩ විකිණීමේ සිට දොදොල් පට්ටයේ තල කැරැල්ලේ සිට වතුර බෝතලය දක්වා ද, බත් පතේ සිට බුලත් විට දක්වා ද මාල මුදු ආදි තොරම්බල් බඩුවල වැනි එකි නොකී සියලු දෑ විකුණන එනිසාම දිවි රැකගන්නෝ නල්ලතන්නියේ සිට ගඟුලතැන්නත් ඉන් එහාට වන්නටත් බොහෝ සිටිති. සිරිපා වන්දනා සමයට පමණක් මෙහි පැමිණෙන්නෝ පුරා හය මසක් දුෂ්කරතා විදිමින් එහි වෙසෙති.
එක් අතකින් ඔවුන් කරන්නේ සේවාවකි. තවත් අතකින් එය ඔවුන්ගේ ජීවන වෘත්තියයි. සිරිපා සමයට පමණක් සිරිපාදේදී වන්දනා මාර්ගයේ දී, නල්ලතන්නියෙද්දී දකින්නට ලැබෙන මේ මිනිසුන් අතරින් විශේෂිත වූ කිහිප දෙනෙකු පිළිබඳ අපට තොරතුරු කීවේ නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතාය.
ඉකුත් දිනෙක අප නල්ලතන්නිය බලා පිටත් වූයේ ඉර නැඟෙන්නටත් පෙරය. නල්ලතන්නියට යන විට යාන්තම් ඉර එළිය වැටෙමින් තිබිණි. ඒ උදෑසන මාර්ගය පාළුය. තැන තැන බස් කිහිපයක්ම නතර කර තිබිණි. ‘කෑම පිසීම සඳහා ඉඩ ඇත, නෑමට සහ කෑම පිසීම සඳහා පහසුකම් ඇත‘ යනුවෙන් සඳහන් වූ දැන්වීම් පුවරු මඟ දිගට ගසා තිබිණි. ඒ උදෑසන ඒ ගැන විමසන්නට කෙනෙකු නැත.
අතරමඟ නතර නොවී අපි නල්ලතන්නියටම ගියෙමු. ඒ උදෑසනත් නල්ලතන්නිය නගරය කලබලකාරීය. සිරිපා කරුණාකර, ඉරසේවය ද නරඹා පැමිණෙන විඩාබර වන්දනාකරුවන් දිස්විණි. සිරිපා වඳින්නට යන මඟ දෙස දෑස් රිදෙන තුරු බලාහිඳින මඟ අයිනේ සිටි මවක් අප යන්නට ගිය ගමනට මඟ ඇහිරුවාය.
“අපි ඊයේ රෑ තමයි ශ්‍රිපාදේ කරුණා කෙරුවේ. මම ආවේ මගේ දරුවෝ එක්ක. තාම එයාලා පහළට ආවේ නැහැ. මං බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ එන තුරු. දැන් මගේ වයස අවුරුදු අසූවයි. සිරිපාදේ ආව වාර ගණන නම් මතක නැහැ. තවමත් මට සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදේ කරුණා කරන්න පුළුවන්. ” මහලු මව පවසන්නේ සන්සුන් ස්වරයෙනි.
අපි ඒ උදෑසන අවට සිරි නරඹන්නට වීමු. සිරිපා කරුණා කර පැමිණි වන්දනාකරුවෝ තැන තැන ගිමන් හරිති. නල්ලතන්නියේ සිට හැටන් දක්වා මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක් දක්වා ගමන් ගන්නා බස් රථ කිහිපයක්ම නවතා තිබුණේ නල්ලතන්නි පොලිසිය ඉදිරිපිටය. ඒ වන විට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ හැටන් බසය පිරෙන්නටම සෙනඟය. තවත් කෙනෙකුට එහි නඟින්නට ඉඩක් නැති සේය.
ගමන් මලු කරේ දමාගත් සුදු ජාතික තරුණියන් දෙදෙනෙකු සමඟ පැමිණි මහලු කාන්තාවක් බස් රථයේ සිටි මඟීන්ට මොන මොනවාදෝ කියා තරුණයක් කිහිපදෙනකුම රථයෙන් බිමට බැස්සුවාය. අවසානයේ ඇය සුදු තරුණියන් දෙදෙනාට එහි නඟින්නට ඉඩ පාදා දුන්නාය. ඉන් පසු බස් රථයේ අනෙක් පසින් ගොස් තරුණියන් දෙදෙනාට ඇතුළේ ඉඩකඩ හදා දුන්නාය . අපි මේ සියල්ල බලා සිටියේ පොලිසිය ඉදිරියේ සිටය. ඒ වන විටත් රුවන් ඇගේ ඡායාරූප කිහිපයක්ම ගෙන තිබිණි.
“කවුද ඒ ආච්චි.”
“ඒ තමයි සිරිපාදේ යන විදේශිකයන්ට මඟ පෙන්වන ආච්චි.” කුලසිරි මහතා ඇය ගැන අපට මූලික හැඳින්වීමක් කළේය.
සිනහමුසුව අප ඉදිරියට ආ ගයිඩ් ආච්චි තේවරා තන්ත්රිලාගේ ප්රේමාවතීය. ඇගේ වයස අවුරුදු අනූ එකකි.
මගේ නම ප්‍රේමාවති කිව්වට සුද්දෝ මට කතා කරන්නේ බිරෙන්ඩා කියලා. මම උපන්නේ එක්දහස් නවසිය විසි අටේ දෙසැම්බර් දාසය වැනිදා. අපේ පවුලේ ඔක්කෝම දාහතර දෙනයි. මම තමයි වැඩිමලා. මගේ තාත්තා පාණදුරේ . මම ඉගෙන ගත්තේ පහේ පන්තියට විතරයි.” ගයිඩ් ආච්චි තමන් පිළිබඳ විස්තර කියන්නේ සතුටෙනි.
“කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ” අම්මා සුද්දන්ගේ බංගලාවක වැඩ කළා. මමත් අම්මා එක්ක බංගලාවට ගියා. ඒ කාලේ තේ වතුවල හිටියේ එංගලන්ත සුද්දෝ. මමත් පොඩි පොඩි වැඩ කළා. එහෙම ඉන්න අතරේ ඉංග්‍රිසි කතා කරන්න හුරු වුණා. ඒත් මට ලියන්න කියවන්න බැහැ. කසාද බැන්ඳට පස්සෙත් මම බංගලාවල වැඩ කෙරුවා. මගේ ලොකු පුතාගේ හෝටලයක් තිබුණා. ඒකේ නතර වෙන්න සුදු මහත්තයෙක් ආවා. ඒ සුදු මහත්තයාගේ නම හාන්ස්. මම ඔහුව ගයිඩ් කළා. එතැන් පටන් මම සුද්දන් අරගෙන සිරිපාදේ ගියා. මා එක්ක යන සුද්දන්ට වටපිට පෙන්වමින් ඔවුන් අහන අහන දේ විස්තර ඇතිව කියලා දෙනවා. මහන්සිය නිවා ගන්න මම කවි කියනවා.
සමහරුන්ට සිංහල වචන කියන්න අමාරුයි. ඒත් මම කවි කියනකොට ඒගොල්ලොත් අමාරුවෙන් හරි ඒවා කියනවා. හැම අවුරුද්දකම එන අය ඉන්නවා. ඔවුන් මා එක්කම තමයි යන්නේ. මම හැමදාම නල්ලතන්නියට එනවා. මගෙත් එක්ක සිරිපා කරුණා කරපු සුදු ජාතිකයෝ මට ලියුම් එවලා තියෙනවා. සුදු ජාතිකයො හඳුන්කූරු ගෙනිහිල්ලා පූජා කරනවා. සමහර දවස්වලට මම විදේශිකයන් නැතත් සිරිපාදේ නඟිනවා. මේ අවුරුදු ගානට මම කී වතාවක් සිරිපාදේ ගියාද කියලා මතක නැහැ.
මට මෙච්චර දෙන්න කියලා එයාලගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. දෙන ගානක් ගන්නවා. සමහරු මට රුපියල් තුන් හාරදාහ දෙනවා. අර දැන් ආව තරුණියෝ දෙන්නා ආවේ හැටන් යන්න. මම ඒ විදිහට බස් එකට නැග්ගුවේ නැති නම් ඒ දෙන්නට ලේසියෙන් යන්න වෙන්නේ නැහැ. මේ අඩවියේ කවුරුත් මාව දන්නවා. ඒකයි අර දෙතුන් දෙනෙක් බස්සලා ඒ අයව බස් එකට නැග්ගුවේ. ඔවුන් අපේ රටට ආගන්තුකයෝ. හොඳට සැලකුවොත් තමයි ඔවුන් ආයෙත් අපේ රටට එන්නේ.”
ගයිඩ් ආච්චි කියන්නේ ඇත්තකි. ඇය මේ කිසිවක් කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් ඇය ජීවත් වන්නේද සිරිපා සමයට විදේශීය වන්දනා නඩ සිරිපාදේ වන්දනාවේ ගෙන යෑමෙනි. අද වන විට තවත් අය ගයිඩ්ලා ලෙස කටයුතු කළ ද දැනටත් සිරිපාදේ සිටින එකම ගයිඩ් කාන්තාව බ්රෙන්ඩා පමණි.
ඇතැම් විට සිරිපා වන්දනාකරුවෝ සිරිපාදයේදී අතරමං වෙති. ඒ වන්දනාකරුවන් වැඩි කාලයටය. එසේ අතරමං වන්නේ එක්කෝ වන්දනා නඩ මඟහැරීමෙනි. එවිට ඔවුන්ගේ සහායට සිටින්නේ ශ්‍රී ලංකා පොලිසියයි. නල්ලතන්නි පොලිසිය ආසන්නයේ ම ඇති ගුවන්විදුලි මධ්‍යස්ථානය සිරිපා සමය තුළදී ඉටු කරන සේවය අතිමහත්ය.
සමන්ගිර වන්දනා ගුවන් විදුලි සේවාව නල්ලතන්නියේ සිට කිලෝමීටර තුනහමාරක් දුරට හොඳින් ඇසේ. වසර ගණනාවක් තිස්සේ මෙහි නිවේදන කටයුතු කරන්නේ ප්‍රේමදාස පී. ගමගේ මහතාය. ඔහු පදිංචි වී සිටින්නේ දෙහිවලය.
“නල්ලතන්නිය පොලිසිය මේ වැඩපිළිවෙළ පටන් අරගෙන අවුරුදු හතක් වෙනවා. මොරටුවේ නිමල් සවුන්ඩ් ආයතනයයි ඒ සඳහා පිරිවැය දරන්නේ. මාස හයට රුපියල් ලක්ෂ අසූවකට වැඩි මුදලක් වැය වෙනවා. නිමල් සවුන්ඩ් ආයතනයේ නිමල් ප්‍රනාන්දු මහතා හා ලතා ප්‍රනාන්දු මහත්මිය තමයි අනුග්‍රහය දක්වන්නේ.
දැන් මගේ වයස අවුරුදු හැත්තෑ තුනයි. මම ඉතාම කැමැත්තෙන් තමයි මේ කාරිය ඉටු කරන්නේ. සිරිපා සමයේ සැමදාම උදේ හයට මේ සේවාව පටන් ගන්නවා. නැවත සවස තුනට පටන් ගත්තාම රෑ දහය වන තුරු ගුවන් විදුලි සේවාව ක්‍රියාත්මක වෙනවා. එයින් විශාල සේවාවක් වෙනවා අතරමං වන අයට තමන්ගේ ඥාති මිත්‍රයන් සොයා ගැනීමට උදව් කරනවා වගේම ගමන් මලු නැතිවෙලා ගමට යන්න බැරිව ඉන්න අයට අන් අයගේ උදව් ලබාදීමත් කරනවා” ප්‍රේමදාස මහතා කියයි. ඔහු මේ සය මස තුළ එක දිගට සමන් ගිර ගුවන්විදුලි සේවාව වෙනුවෙන් කැප වී කටයුතු කරන්නේය.
සිරිපා වන්දනා සමය ඊයෙන් අවසන් විය. එහි සියලු කටයුතු කෙරෙන්නේ පිළිවෙළකටය. සිරිපා වන්දනා සමයට නල්ලතන්නියේ සිට සිරිපාදයට යන මඟෙහි කෑම කඩ මෙන්ම විසිතුරු දෑ විකුණන අලෙවිසල් ඕනෑ තරම්ය. ඇතැම් කඩවල ජංගම දුරකතන චාර්ජ් කර දීමද සිදු කැරේ. ඒ සදහා රුපියල් තිහක මුදලක් අය කරනු ඇත. අතීතයේ නම් ගැමියෝ සිරිපා වන්දනාවේ පැමිණියේ තමන්ට අයත් ගේ දොර ඉඩකඩම් තවත් කාට හෝ පවරාය. එකල සිරිපා වන්දනාගමන ඒ තරමටම අවදානම් විය. නමුදු දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දැන් නල්ලතන්නියේ සිට යන මගෙහි අතර මඟ සුපිරි හෝටල් ද ඉදි වී ඇත. මේ හෝටල්වල විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයෝද නතරව සිටිති. එමෙන්ම සුපිරි පන්නයේ අවන්හල් මෙන්ම සාමාන්‍ය ජනයාට කෑම ගැනීමට පුළුවන් අවන්හල් ද ඇත. මේ සියල්ලටම වඩා එදා මෙන්ම අදද වන්දනා නඩ පැමිණෙන්නේ අතරමඟදී කෑම උයාගැනීමට සියල්ල ලකලැහැස්ති කරගෙනය. ඔවුන් නතර වන්නේ එවැනි පහසුකම් ඇති තැනකය.
පොල් අතුවලින් හෝ තහඩුවලින් ආවරණය කළ කුඩා මඩු ඇතුළත ඇත්තේ දර ළිප්ය. පැමිණෙන වන්දනාකරුවෝ දර ළිප් ඇති මඩු ළඟ නතර වී ආහාර පිළියෙල කරගනිති. පාන්දර අප දුටු කෑම පිසීමට නෑමට පහසුකම් ඇතැයි සඳහන් බෝඩ් ලෑලිවල තේරුම වැටහුණේ නල්ලතන්නියේ සිට යළිත් එන ගමනේදීය. බොහෝ වන්දනා නඩ අප මුලින් කී පුංචි මඩුවල නතර වී කෑම පිසිමින් සිටියහ.
“අපි ආවේ මොනරාගල ඉඳලා. අපි එක්ක ආව හැමෝම වඳින්න ගියා. දැන් එයාලා එන්න කිට්ටුයි. අපි ඔවුන්ට දවල් කෑම තමයි මේ හදන්නේ. අපි තමයි වන්දනා නඩය අරගෙන ආවේ. හැමදාම ආවාම මෙතැන නතර වෙන්නේ. කෑම උයලා ඉවර වුණාම කුණු ටික බෑග්වල දාලා තියනවා. කඩේ අයිති කෙනාට රුපියල් තුන්සියක් දෙනවා. උයාගන්න වතුර තියෙනවා. නාන්න, කැසිකිළි වැසිකිළි පහසුකම් තියෙනවා. ”
තරුණයකු පැවැසුවේ දවල් කෑමට වම්බොටු කපන අතරේය. පොල් ගාන අතරේය. මඟ අසල ඇති මඩු සියල්ලකම පාහේ කෑම පිසින වන්දනාකරුවෝය.
වසර ගණනාවක් තිස්සේ එවැනි කඩ කරගෙන යන ආරියදාස මාමාගේ කඩයට අපි ගොඩ වුණෙමු.
“අවුරුදු දාහතක් වෙනවා මේ කඩය කරන්න අරගෙන. මේ හරියට කියන්නේ රිකාටන් කියලා. අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා පුරුදු අය තමයි එන්නේ. කුස්සියේ උයන අය කැමති ගානක් දෙනවා. මේච්චරක් ඕන කියලා මම ගානක් කියන්නේ නෑ. අපි බස් එකේ ඩ්‍රැයිවර්ටයි ගෝලයාටයි කෑම එක තේ එක දෙනවා. ඉස්සර මම මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. රස්සාවෙන් අයින් වුණාට පස්සේ තමයි මේක පටන් ගත්තේ. මම තේ, බුලත් විට විකුණනවා. කුණු ලොරිය එනවා. ඒ ආවාම මේ අය ගොඩගහලා යන කුණූ ඒකට පටවනවා.
“ආරියදාස මාමා කහට පදමට යෙදු තේ කෝප්ප ගණනාවක් සාදන අතරේ පැවසීය.
සිරිපා වන්දනා සමය නිමා වී නල්ලතන්නි නගරය හුදකලා වුවද නල්ලතන්නි පොලිසියට නම් විවේකයක් ලැබෙන්නේ නැත. එ් ඔවුන්ට තම වසමට අයත් ජනතාව පිළිබඳ සොයා බලන්නට සිදු වන බැවිනි. වාරයේ සිරිපා වන්දනා කරන්නෝ මෙන්ම අවාරේ සිරිපා වන්දනාවේ යෑමටද පිරිස් සුදානම් වී සිටිති. එහෙත් මෙවර සිරිපාදය පිළිබඳ තීන්දු තීරණ ගත හැකි බලධාරීන් පවසා ඇත්තේ අවාරේ සිරිපාදේ නොයන ලෙසය.
බුදු පා පහස ලද සිරිපා බිම යළිත් වනේ වන සතුන්ට, ගහකොළට පමණක් මෙතැන් සිට අයිති වනු ඇත. එකදිගට වසින අනෝරා වැස්සෙන් ඒ බිම යළිත් සේදී පිරිසුදු වනු ඇත. එළැඹෙන දෙසැම්බර් මාසයේ සිරිපා වන්දනා සමය එන තුරු බලාහිඳින වන්දනාකරුවන්ට කියන්නට දෙයක් ඇත. මෙවර වන්දනා සමයේදී සිරිපා අඩවියේ එකතු වූ ප්ලාස්ටික් බෝතල් ගණන ලක්ෂ දහයකට වැඩිය. වන්දනාකරුවන් විසින් ගෙන ගිය ප්ලාස්ටික් පොලිතින් ආදි අපද්‍රව්‍ය යළිත් ගෙන ඒමට තරම් කාරුණික නොවීම පිළිබඳ අපි කනගාටු වෙමු. ඊළඟ වාරයේදි ඔබ ඒ පුරුද්ද ඇති කරගන්නේ නම් කොතරම් වටින්නේද?
ඡායාරූප- රුවන් ද සිල්වා