නිරිතදිග මෝසම සක්‍රීය වෙයි ස්වාභාවික විපත් වැඩි වෙයි | Page 3 | සිළුමිණ

නිරිතදිග මෝසම සක්‍රීය වෙයි ස්වාභාවික විපත් වැඩි වෙයි

පසුගිය වසරවල අත්දැකීම් අනුව මේ මැයි මාසයේත් ඉදිරි ජුනි මාසයේත් අපේ රටේ තෙත් කලාපයට ආපදා බහුලව ඇතිවෙයි. මේ කාලයේ නිරිතදිග මෝසම සක්‍රීය වීම ඊට ප්‍රධාන හේතුවයි. කැලණිය අවට මහ ගංවතුර, මාවනැල්ලේ සාමසර කන්ද නාය යාම වැනි ස්වාභාවික ආපදා රැසක් සිදුවූයේ පසුගිය වසරවල මැයි මාසයේදීය. මේ වසරේ නිරිතදිග ‍මෝසම ඉදිරි දිනවලදී සක්‍රීය වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙන මේ කාලයේ අපේ ආපදා කළමනාකරණ අංශ ඉදිරි ආපදාවලට මුහුණ දීමට සූදානම් විය යුතුව ඇත.

ඒ පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ප්‍ර‍ාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීවරුන්ද අවධානය යොමු කළ යුතුව තිබේ.

නමුත් පසුගිය සමයේ අපේ රටේ සිදුවූ මිනිසුන් විසින් කරන ලද ආපදා නිසා ඉදිරියේදී සිදුවීමට ඉඩකඩ ඇති ස්වාභාවික ආපදා පිළිබඳව පෙර සූදානමක් සිදුවූයේ නැති බව විද්වත්හු හා කාලගුණ විද්‍යාඥයෝ පවසති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අභයසිංහ මහතා පැවසුවේ පසුගිය දිනවල රටේ පැවති ආරක්ෂක ගැටලු නිසා ඉදිරියේ සිදුවිය හැකි ස්වාභාවික විපත් ගැන රජයේ හා ජනතාවගේ ඇති අවධානය අඩුවූ බවයි. විශේෂයෙන් ඉදිරි දිනවල පැමිණීමට නියමිත නිරිතදිග මෝසම් වැසි හා ඒ ආශ්‍රිත ආපදා පිළිබඳව හා ස්වාභාවික විපත් පිළිබඳව ආපදා කළමනාකරණ අංශ හා වගකිව යුතු ප්‍රාදේශීය පරිපාලන නිලධාරින් විසින් ජනතාවට මනා දැනුමක්, අවබෝධයක් ලබාදී නොමැති බවද අ‍භයසිංහ මහතා පෙන්වා දෙයි.

කේ.ආර්. අභයසිංහ මහතාගේ අදහස අනුව පසුගිය වසර හතර ඇතුළත අපේ රටේ බස්නාහිර, දකුණු, මධ්‍යම ප්‍රදේශවල බහුලවූ ස්වාභාවික ආපදා සිදුවූයේ මැයි හා ජුනි මාසවලයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටට මිනිස් ජීවිත සියගණනක් අහිමි වූ අතර රුපියල් කෝටි ගණනක චංචල නිශ්චල දේපළ විනාශයන් ද සිදුවිය. ඒ සමඟම සිදුවූ ආපදා සඳහා සහන සේවා ලෙස විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවිය. මෙතරම් හානියක් රටට සිදුවූයේ එකල මැයි මාසයේ ආපදාවලටය. ලක්වීමට ඉඩ ඇති ජනතාව ඊට පෙර සිටම දැනුම්වත් නොකිරීම නිසා ආපදා පිළිබඳව පෙර දැනුම්වත් කිරීම ආපදාවලින් සිදුවන හානි අවම කිරීමට ප්‍රධාන හේතුවක් වෙයි.

අභයසිංහ මහතා තවදුරටත් පවසන පරිදි ඉදිරියේදී සිදුවීමට ඉඩකඩ ඇති ස්වභාවික ආපදා සඳහා මුහුණදීමට පුළුල් දීප ව්‍යාප්ත පෙර සූදානම් ආරක්ෂක වැඩපිළිවෙලක් සංවිධානය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. ස්වාභාවික ආපදා සඳහා විශේෂයෙන් ආපදාවට පෙර සූදානම් වීම වැදගත්ය.

සෑම වසරකම සාමාන්‍යයෙන් මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම ක්‍රියාත්මක වෙයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය අපේ රටට උතුරු දෙසින් ක්‍රියාත්මක වන කාලය වන මේ කාලයේ ශ්‍රී ලංකාවට අවට ප්‍රදේශ බටහිරින් හෝ නිරිතදිගින් හමා එන සුළං ප්‍රවාහවල බලපෑමට ලක්වෙයි.

එම කාලය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණය මෙම නිරිතදිග සුළං වල පවතින භෞතික ලක්ෂණ මත රඳා පවතින බව කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසයි.

මාස පහක් තරම් දීර්ඝ වන කාල සීමාවක් තුළ බල පැවැත්වෙන මෙම මෝසම් කාලයේ වැඩි වශයෙන්ම වැසි ඇති වන්නේ දිවයිනේ නිරිතදිග කොටසේය. ස්ථිර මායිමක් ලෙස සැලකීම අපහසු වුවත් බටහිරින් පුත්තලම ප්‍රදේශයෙන් ද දිවයිනේ මධ්‍යම ප්‍රදේශ වන ගල්ගමුව බකමූණ, බිබිලේ, බදුල්ල, ඇඹිලිපිටිය යන ප්‍රදේශ වලින්ද දකුණු දෙසින් රිදීගම සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලින් ද සීමාවන මායිමකින් වෙන් වන ශ්‍රී ලංකාවේ නිරිතදිගට පිහිටන ප්‍රදේශය මෙම වැසි ලැබෙන කොටස සේ සැලකිය හැකිය.

නිරිතදිග මෝසම් වැසි ඇති කිරීමට වැඩි වශයෙන්ම දායක වන්නේ පහළසහ මධ්‍යම වලාකුළු වුවද සමහර වාතාවරණ ය‍ටතේ දී කැටි වැහි වලාකුළු වර්ධනය වී ධාරානිපාත අකුණු වැසි පවා ඇතිවේ. කඳුකර ආවරණය කැටි වැහි වලාවල වර්ධනයට මහත් රුකුලක් වන හෙයින් මෝසම් සමයේ වැඩි වශයෙන් අකුණු වැහි ඇති වන්නේ මුහුදු මට්ටමින් මීටර් 300 ට වඩා උසින් පිහිටි කඳුකර ප්‍රදේශ වලය.

නිරිතදිග මෝසම් වැසි දවසේ ඕනෑම මොහොතක ඇති විය හැකි වුවද, පෙරවරු (උදය) සහ සවස් කාලයේ වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව පෙනේ. මීට ප්‍රධාන හේතුව උදය සහ සවස් කාලයේදී පහළ වායු ගෝලයේ පවතින පහත් උෂ්ණත්වය නිසා, මෝසම් ප්‍රවාහ ජල වාෂ්පයෙන් සන්තෘප්ත තත්ත්වයට පත් වී පහසුවෙන් ජලබිංදු වර්ධනය වීම විය හැකිය. පහළ වලාකුළු වලින් ලැබෙන තරමක් තද මෝසම් වැසි විනාඩි 15 කට 20 කට සීමාවන අතර, අතරින් පතරට වැසි රහිත කාලාන්තර ඇතිව කඩින් කඩ වැසි ඇද හැලීම සාමාන්‍ය තත්ත්වයකි. මධ්‍යම වලාකුළුලින් ලැබෙන වැස්ස දිගුකාලීන (පැය කීපයක් තුළම ඇද හැලෙන) සිරි සිරි වැසි වලට සීමාවේ. බොහෝ විට පැය 3 - 4 ක් තිස්සේ වුවද කුඩා වැසි බිංදු සහිත වැසි ඇති වන්නේ මධ්‍යම වලාකුළු වලින් ය. මේ අතරේ ඇති විය හැකි අකුණු වැසි ඉතා තීව්‍ර වුව ද බොහෝ විට විනාඩි 20ක් පමණ කෙටි කාලයකට සීමාවෙයි.

නිරිතදිග මෝසම් කාලය පුරාම නොකඩවා වර්ෂාව ඇති නොවන බවට පැරණි කාලගුණ (වර්ෂාපතන) දත්ත සාක්ෂි දරන අතර බොහෝ දෙනෙකු එය අත්දැක ඇතිවාට සැක නැත. එම වකවානුවේ වුවද සමහර දිනයන්හි හෝ සතියක් දෙකක් දීර්ඝ වූ කාලපරිච්ඡේද හෝ උණුසුම් වියළි සහ වැසි රහිත කාලගුණයක් පවතින අවස්ථා පවතී. ශ්‍රී ලංකාව අවට ප්‍රදේශයේ සුළං රටාවේ වෙනස්වීම් මීට බලපායි. නිරිතදිග හෝ බටහිට සුළං ප්‍රවාහය මැදපෙරදිග වියළි භූමි භාගය හරහා එන සුළං ධාරා වලින් හෝ ආරම්භ වී නම්, පහළ වායු ගෝලය අප බලාපොරොත්තු වන තරම් ආර්ද්‍ර නොවීමට අවකාශ ඇත. ‍

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූයේ ඉදිරි සතිය ඇතුළත නිරිතදිග මෝසම සක්‍රීය වනු ඇති බවයි. එමඟින් අපේ රටේ බස්නාහිර, දකුණු, මධ්‍යම පළාත්වලට වැසි සමඟ ගංවතුර, නායයාම් වැනි ස්වාභාවික විපත් ඇති වීමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

ආපදාවලට පෙර සූදානම වැදගත් බවත් ඒ අනුව විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ, නුවරඑළිය, මහනුවර වැනි දිස්ත්‍රික්කවලට වැඩි අවධානය යොමු කළ යුතු බවත් අතුල කරුණානායක මහතා පවසයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පූර්ව අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ ඉදිරි සතිය ආපදා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු සතියක් වන බවයි. පසුගිය බදාදා වන විට රටේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ලැබුණු බවත් ඉදිරි සතිවලදීත් අධික වැස්ස සමඟ අකුණු හා දැඩි සුළං පැමිණීමට ඉඩ ඇති බවත් එපමණක් නොව ටොනේඩෝ පවා ඇතිවීමට ඉඩකඩ ඇති බවත් ඇය සඳහන් කරන්නීය. මේ නිසා දැන් සිටම ඒ පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීම හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදනවලට ඇහුම්කන් දීම සුදුසු බවද ඇය පෙන්වා දෙන්නීය.

සෑම වසරකම මැයි මාසය හා ජුනි මාසය ඇතුළත මෙරට නායයාම් බහුලව සිදුවී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ නිරිතදිග මෝසම් වැසි වැඩි වුවහොත් තෙත් කලාපයේ නායයාම් බහුල විය හැකි බවද ඔහු අනතුරු අඟවයි. විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කළුතර, කොළඹ යන දිස්ත්‍රික්කවල ජනතාව හා රාජ්‍ය නිලධාරින් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කියයි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ නායයෑමක් එක්වරම සිදුවන්නේ නැති බවයි. නායයාමකට පෙර එහි පූර්ව ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ අනුව පොළොවේ ඉරිතැලීම්, ගැඹුරට සිදුවූ පැලීම්, හිටිඅඩියේ සිදුවන ගිලා බැසීම්, බෑවුම්වල ඇති ගොඩනැඟිලිවල පොළොවේ හා බිත්තිවල පැලුම් ඇති වීම් හා ඒවා විශාල වීම් නායයාමේ පූර්ව ලක්ෂණ ලෙස මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඊට අමතරව ක්‍රමයෙන් ඇලවී යන ගස්, කුළුණු හා කනු දක්නට ලැබීම, ගල් පෙරළීම, පස් තට්ටු එක්වරම තල්ලුවීම, හිටිඅඩියේ ජල උල්පත් මතුවීම, මඩ සහිත ජල උල්පත් මතුවීම, තිබූ ජල උල්පත් එක්වරම සිඳී යාම යනාදියද නායයාමේ පූර්ව ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකිය.

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි යම් ප්‍රදේශයකට දිගටම මිලිමීටර් 75ක වර්ෂාපතනයක් පැයක කාලයක් තුළ ලැබුණොත් නායයාම් ඇති වීමට ඉඩකඩ ඇත.

නිරිතදිග මෝසමෙන් එන වැස්සට දැන් රජයේ නිලධාරිනුත්, රාජ්‍ය ආයතනත්, පොදු ජනතාවත් සූදානම් විය යුතුය. ගංවතුර, ජල ගැලීම් ආදිය වැළැක්වීමට නම් මුලින්ම අපේ ගෙවත්තේ හා ගමේ කානු පද්ධතිය ශුද්ධ කර පුළුල් කිරීම කළ යුතුය. නාගරික ප්‍රදේශවල ඇති කානු ද ශුද්ධ කිරීම නගර සභා හා ප්‍රාදේශීය සභා මඟින් කළ යුතු කාර්යයකි. අනතුරට ලක්වීමට බොහෝ ඉඩකඩ ඇති ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති ජීවිත ආරක්ෂක උපකරණ ඔරු, බෝට්ටු හා ජල බෝතල්, වියළි ආහාර ආදිය සූදානම් කර ගත යුතුව තිබේ. එමෙන්ම පසුගිය වසරවල ආපදා වෙනුවෙන් ක්‍රියාත්මක කළ පෙර ආපදා සැලසුම් ද යළි ක්‍රියාවට නැංවීමත් පසු ආපදා සැලසුම් සකස් කිරීමත් කළ යුතුව ඇත. කවුරුන් කෙසේ කීවත් ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය ඉදිරි ස්වාභාවික ආපදා සඳහා මුහුණ දීමට සියල්ල සූදානම් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන ලෙස ඉදිරි ස්වාභාවික ආපදාවලට බහුලව ලක්වීමට ඉඩ ඇති ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, බදුල්ල, නුවරඑළියේ වැනි දිස්ත්‍රික්කවල දැනටමත් “ආපදාවට පෙර සූදානම” වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ඒ ප්‍රදේශවල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරින්ට මෙන්ම ආපදා කළමනාකරණ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරින්ටත් අවශ්‍ය පෙරහුරු හා දැනුම්වත් කිරීම් වැඩසටහන් දැනට පවත්වා ඇත. අවශ්‍ය උපකරණ හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමද දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකුටම ආපදා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක් මූලික ගෙවීමක් ලෙස දැනටම ලබාදී ඇත. එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලධාරින්ටත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් ආපදාවට මුහුණ දීමට පිළිබඳව දැනුම්වත් කිරීම් සිදුකර ඇතැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. එම සියලු වැඩකටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද සම්බන්ධ කරගෙන ඇත. මේ කටයුතු සඳහා මනා සැලසුම් දැනටම සකස් කර ඇති අතර ආපදාවලට මුහුණ දීමට ඒ සියලු දෙනා සූදානම්ව සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව හදිසි ස්වාභාවික ආපදාවලින් හානි වන නිවාස සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දියක් ද අහිමි වන ජන ජීවිත සඳහා ලක්ෂ 2 1/2 ක වන්දියක් ලබා දීමට ජාතික රක්ෂණ බාර අරමුදල සූදානම්ව සිටියි.

ඉදිරි ස්වාභාවික ආපදාවලට මුහුණ දීමටත් ඉන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීමටත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක දවසේ පැය 24ම පුරාම විවෘතව පවතියි. ආපදා පිළිබඳ පෙර සූදානම හා ආපදා පිළිබඳව සියලු ගැටලු 117 දුරකථනය අංකය මඟින් දැන ගැනීමට හැකිය.

Comments