
රට හෙල්ලූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් දැන් සියල්ල වමාරන්නට පටන්ගෙන හමාරය. ඒ තමන්ට උදව් දුන් පොලිසියේ සහ දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක්ද දිග හරිමිනි. ඒ අය අතර මධුෂ්ට රැකවරණය දුන් අය ගැන පමණක් නොව, අවි ආයුධවලින් පෝෂණය කළ අය ගැන කියන්නද මධුෂ් කට ඇර ඇත.
කාලයක් තිස්සේම කියැවුණු කරුණක් වූයේ මධුෂ්ට අවි ආයුධ ලැබුණේ එල්.ටී.ටී.ඊ.යෙන් බවය. මධුෂ්ට එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධකම්ද පැවැති බවද කියැවිණි. එම සම්බන්ධකම් ඔහු අදටත් ප්‍රතිකේෂ කරන්නේද නැත.
“මට ආයුධ හම්බවුණේ එල්.ටී.ටී.ඊ යෙන් නෙමෙයි“ මධුෂ් ප්‍රතික්ෂේප කරන්නේ එය පමණි. තමන්ට ආයුධ ලැබුණු මාර්ග දෙකක් ගැන මධුෂ් මේ වන විටත් හෙළි කර හමාරය. එක් මාර්ගයක් වන්නේ දේශපාලනඥයන්ය. අනෙත් මාර්ගය වන්නේ ආරක්ෂක අංශය.
තමන්ට උදව් දුන් දේශපාලනඥයන් දෙතුන් දෙනෙකුගේ නම් පවා මධුෂ් වමාරා ඇත. ඒ අය අතර ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ අඩුවැඩි නැතිව සිටිති. මැතිවරණ වකවානුවල රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලකම පාහේ අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම මධුෂ් අතපය දිගහැර වියදම් කර තිබේ. අවි ආයුධ ඔහුට ලැබුණේ යැයි සඳහන් වන දේශපාලනඥයන් අතර දකුණේ දේශපාලනඥයෝද සිටිති. ඒ එක් අයෙකු විපක්ෂයෙන් නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයයි.
ඒත් එක්කම ඔහු විශේෂ පොලිස් කණ්ඩායමක් ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළිදරව්වක් කර තිබේ. ඒ තමන්ට අවි ආයුධ මෙන්ම අපරාධ සංවිධානය කරන්නට සහාය ලැබුණේ එම පොලිස් කණ්ඩායමෙන් බව සදහන් කරමිනි.
එම විශේෂ පොලිස් කණ්ඩායම ගැන මධුෂ් කරන හෙළිදරව්ව කොතෙක් දුරට සත්‍යදැයි විමසා බැලිය යුතුය. ඒ මධුෂ්ගේ බලය බිඳීමට පසුගිය වකවානුවේ වැඩිම මෙහෙයුම් ප්‍රමාණයක් කර තිබුණේ එම පොලිස් කණ්ඩායම වන බැවිනි. එසේම මධුෂ්ගේ ළගම ගෝලයින් රැසක්ම මරු වැලද ගත්තේද එම විශේෂ පොලිස් කණ්ඩායමේ ප්රහාරවලින්ය. එම කණ්ඩායමේ පරීක්ෂකවරයෙක් මධුෂ්ගේ ඝාතන ඉලක්කයක් බවටද පත් වී සිටියේය. එම නිලධාරියා ඝාතනය කරන්නට ඔහු කුලී ඝාතකයෙක්ද යොදවා සිටි බව කියැවිණි. මධුෂ් දැන් සූදානම් වන්නේ එම නිලධාරීයා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමෙන් පළි ගන්නට දැයි සැකයක් ඇති වෙයි.
මධුෂ් පවසන ආකාරයට අනුව 2015 වසරේ ජුනි 02 දා ඔහු ඩුබායි බලා යන්නේ මොහොමඩ් රිස්ඛාන් නැමැති ව්‍යාපාරිකයා සමඟිනි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී මධුෂ්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය අතින් ඝාතනය වන්නේ ඔහුය. මධුෂ් සිය කළු සල්ලි සුදු කරනු ලැබුවේ ඔහුගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරමිනි. ඩ්‍රොප් මී නමින් ආරම්භ කළ වාහන කුලී ආයතනයේ සැබෑ හිමිකරුවා වූයේද මධුෂ්ය. එම වාහන කුළි ආයතනයේ වැලිසර ප්‍රධාන කාර්යාලය පසුගිය වසරේදී විවෘත කෙරෙන්නේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙනි.
රිස්ඛාන් ඝාතනය වීම මධුෂ්ගේ මෙරට ව්‍යාපාරවලට වැදුණු මරු පහරකි. රිෂ්කාන් මධුෂ් දැන හඳුනා ගන්නේද කංජිපානි ඉම්රාන් මඟිනි. රිස්ඛාන් ඝාතනය වන්නේ මධුෂ් සමඟ ඔහු ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධව සිටි බැවිනි. ඒ නිසා ඊට ඔහු පළිගන්නේ රිස්ඛාන්ගේ ඝාතකයාව මරා ඔහුගේ හිස රිස්ඛාන් මරා දැමූ තැනටම ගෙනවිත් දමාය.
“කොස් මල්ලිව මම මැරෙව්ව තමයි. ඒත් පත්තරවල තිබුණු විදිහට මම කොස්මල්ලි මරන කොට වීඩියෝ කෝල් එකකින් බලාගෙන නම් හිටියේ නැහැ“ තමා ලේ පිපාසිතයෙකු වූවත් මෘර්ගයෙක් නොවන බව මධුෂ් කියන්නට උත්සහ ගන්නේ එසේය.
මධුෂ් එසේ කීවත් කොස් මල්ලීගේ ඝාතනයට අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ගෝලබාලයන් නම් පවසා තිබුණේ මධුෂ් වීඩියෝ ඇමතුමකින් සියල්ල නැරඹූ බවය. ඒ බව කංජිපානි ඉම්රාන්ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තහවුරු කර සිටියේය.
“ඩුබායිවල මට ගරාජ් එකක් තියෙනවා. ඉන්දියන් අයයි වැඩ කරන්නේ. හය හත් දෙනෙක් මා ගාව වැඩ කරනවා“ ඩුබායි ආයෝජනයන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මධුෂ් පවසා ඇත්තේ එවැන්නකි. ඊට අමතරව මධුෂ් ඔහුට ඇති වත්කම් ගැන බොහෝ තොරතුරු හමාරා ඇත. ඒ අතර කෝටි ප්‍රකෝටි ගණනින් වටිනාකම් ඇති දේපොළ ගොන්නක්ම රට වටේත් පිට රටවල්ත් ඇති බව සඳහන්ය.
කළුතර එතනමඩලේදී කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරය ගැන ද මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අමතක කර නැත.
“ඒ වැඩේට මගේ කිසිම සම්බන්ධ කමක් නැහැ. අංගොඩ ලොක්කගේ වැඩක්. ඒ අයගේ පාවිච්චියට මම වෑන් එකක් දුන්න විතරයි.“ පාතාල කල්ලි නායක සමයං ඇතුළු හත් දෙනෙක් ඝාතනය කරමින් එල්ල කළ පාතාලයේ කමාන්ඩෝ ප්‍රහාරය ගැන මධුෂ් අද කියන්නේ එවන් කතාවකි. එහෙත් පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබුණේ මධුෂ්ගේ ගෝල බාලයන් කිහිප දෙනෙකුද එම ප්‍රහාරයට සම්බන්ධව සිටි බවය. අදටත් ඒ අය කවුරුන්දැයි සොයා ගන්නට නැත. එදා එම ප්‍රහාරයට යන්නට පෙර අංගොඩ ලොක්කා ඇතුළු පිරිසකට වීඩියෝ දුරකතන ඇමතුමකින් මධුෂ් සුබ පැතූ බවද කියැවිණි. එහෙත් අද ඔහු ඒ සියල්ලක්ම ප්රතිකේෂප කරමින් සිටින්නේ නීතියෙන් රිංගා බේරෙන්නට සිතාගෙන වන්නට පුළුවන.
මධුෂ්ට නීතීඥ මිතුරන්ද සිටිති. ඒ එක් නීතීඥ මිතුරෙකු මධුෂ් දැන හඳුනාගෙන ඇත්තේ මැගසින් බන්ධනාගාරයේදීය. තමා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම නීතීඥ මිතුරා තමන්ට ලොකු හයියක් වූ බව මධුෂ් පවසා ඇත.
“අමල් මම කාලයක් තිස්සේ දන්නවා. අමල්ගෙන් තමයි මම රයන් අඳුනාගත්තේ.“ ගායක අමල් පෙරේරා ගැනද කියන්නට මධුෂ් අමතක කර නැත.
අමල් මඟින් මධුෂ් දැන හඳුනාගත් බව කියන පිරිසක් ගැනම මධුෂ් වමාරා ඇත. ඒ අය අතර රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙක් ද සිටී. මධුෂ්ගේ ඩුබායි සාදයට ආරාධනා ලැබූවන් අතරද ඔහු සිටියෙකි. එදා ඔහුට සාදයට සහභාගිවන්නට නොහැකි වන්නේ ගුවන්යානාවට ගොඩ වීමට ගුවන්තොටුපොළට එන්නට වූ ප්‍රමාද නිසාය. මධුෂ් ඒත් එක්කම පවසා ඇත්තේ අමල් පෙරේරා යනු හිත හොඳ පුද්ගලයෙකු මිස නරක පුද්ගලයෙකු නොවන බවය.
“නාකොටික් එකේ රංගජීවට ගැහුවේ ලාලිතට වෙඩි තියලා මරපු එකට පළිගන්නයි“ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබා ඝාතනය කරන්නට උත්සහ ගැනීම ගැන මධුෂ් එසේ කියන්නට වූයේ මෙතෙක් එළියට නොපැමිණි අලුත් කතාවකි.
ලාලිත යනු කොළඹ සිටි අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. පදිංචිව සිටියේ මාලිගාවත්තේය. පොලිසියේ මෙන්ම ඉහළ දේශපාලනඥයන් සමඟ ලාලිතට තිබුණේ දැවැන්ත සම්බන්ධකම්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයේ ප්‍රධාන චූදිතයෙකු වූ අම්බිකා නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු ලෙස මුලින්ම ගංජා ජාවාරමේ නිරතව සිටි ඔහු මත්කුඩු ජාවාරමට පිවිසෙන්නේ තොටළඟ ජපන් චූටි සහ දෙමටගොඩ මර්වින් යන මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්වය. 2011 වසරේ රංගජීව ඔහුව හංවැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝ 08ක් සහ රුපියල් ලක්ෂ 50ක් සමඟිනි.
වෙලේ සුදා සමඟි සම්බන්ධකම් ඔහුට ඇති වන්නේ බන්ධනාගාරයේදීය. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස ලාලිත කරළියට එන්නේ ඒත් එක්කමය. ඔහු මධුෂ් සමඟ සම්බන්ධකම් ඇති කරගන්නේ බන්ධනාගාරයේදීය. මධුෂ් මෙන්ම ලාලිතද ඇපමත නිදහස ලබන්නේ 2014 වසරේදීය. ඇප ලැබී එතරම් කාලයක් ලාලිතට ජීවත් වන්නට වාසනාවක් නොවීය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අතුරුගිරියේදී කළ වැටලීමකදී මහා දවල් දොනෝදහක් බලා සිටියදී රංගජීවගේ වෙඩි පහරකින් ලාලිත මරු වැලදගත්තේය. රංගජීව ඝාතනය කරන්නට ලාලිත කල සැලසුමක් හෙළි වන්නේද ඒත් එක්කමය. ඒ හෝමාගම පැත්තේ පදිංචිව සිටි පාතාල අපරාධකරුවෙකුට කොන්ත්‍රාත්තුවක් දෙමිනි. ඔහු කුංෆු සංජීවය. රංගජීව ඝාතනයට එදා කුංෆු සංජීවට ටී 56 අවියක් සහ පිස්තෝල දෙකක් දී තිබුණේ මධුෂ්ය.
“රංගජීව ගැන ඔත්තු දුන්නේ නවාස්. දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේ තමයි නවාස් මට කතා කරලා කිව්වේ රංගජීව බඩු ඉල්ලනවා, මොකද කියන්නේ කියලා. ඒ වෙලාවේ මම කිව්වා, බඩු දෙන්නම් කියන්න කියලා. රංගජීව ඒකට අහුවුණා. අපිට ඕනෙ තැනටම ගෙනල්ල රංගජීවට ගැහුවා“ ඒ ගැන මධුෂ් කියන්නේ කිසිදු චකිතයකින් හෝ බියකින් තොරවය. බඩු දෙන්නම් යැයි කීවේ මත්කුඩු තොගයක් අල්ලා ගන්නට ඔත්තුවක් දෙන්නම් යැයි කියාය.
එදා රංගජීව මාරයා සමීපයට රැගෙන ගිය නවාස් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඒ සිය බිරිය සමඟ බෝට්ටුවක නැඟී පලාගිය බැවිනි. රංගජීවට වෙඩි තැබූ වෙඩික්කරු වන ආමි අසිතද තවමත් සිටින්නේ නිදැල්ලේය. ඒ ඔහුත් ඉන්දියාවේ සිටින බැවිනි.
රංගජීවට වෙඩි තැබීම ලාලිත ඝාතනයට පළිගැනීමක් යැයි මධුෂ් කීවත් සැබෑව වන්නේ එය නොව. රංගජීවට වෙඩි තබන්නේ සිය අනියම් බිරිය වන දිලිනි ඉෂාරාගේ දොළදුක සංසිදුවන්නටය. ඒ ඇගේ විවහාක සැමියා වූ කළු තුෂාරගේ මරණයට පළිගන්නටය. මධුෂ් දැන් ඒ ඇත්ත සඟවන්නේ වෙන කිසිවක් නිසා නොව, රංගජීවට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරීමත් එම වෙඩි ප්‍රහාරයේදී පොලිස් නිලධාරියෙකු සහ අහිංසක දැරියක් මිය යෑමේ චෝදනාවෙන් කොටසක් දිලිනි ඉෂාරාටද එල්ල වන බැවින් ඇය එයින් ගලවාගන්නටය.
මධුෂ්ගේ විවාහක බිරිදගේ දරුවත් මධුෂ්ට දාව ඇයට උපන් දියණියත් දැන් සිටින්නේ ඩුබායි හීය. ඒ අයට තවදුරටත් ඩුබායි හී ජීවත් වන්නට බැරිය. ඒ ඩුබායි රටේ මුදල් නැතිව ජීවත්වන්නට නොහැකි වන නිසාය. එබැවින් දිලිනි දරුවන් දෙදෙනා සමඟ මෙරටට ආ යුතුය. රංගජීව ඝාතනයෙන් ඇය මුදාහරිමින් ඒ කතාව ලාලිතගේ ඝාතනය හා ගැට ගසන්නේ ඒ නිසාය.
ඒ බව සනාත වන්නේ සිය දරුවන් දෙදෙනා මෙරටට ගෙනවිත් දෙන ලෙස ඔහුගෙන් දැනටමත් ලැබී ඇති ඉල්ලීමක් නිසාය. දරු දුකින් ඔහු වරෙක සිර මැදිරියේ බිත්තියේ හිස තදින් ගසාගෙනද ඇති බව සදහන්ය.
“අද මම මේ තැනට වැටුණේ ඩී. අයි. ජී. අනුර සේනානායකයි, ඩැනී හිත්තැටියයි නිසා.“ පාතාල ලෝකයට තමන් වැටුණු හැටි කියන්නට ප්‍රශ්න කිරීම් හමුවේ මධුෂ් මුලපුරා ඇත්තේ එසේය.
“ඩැනීලාගේ බලපුළුවන්කාරකම් නිසා ලොකු අසාධාරණකම් සිද්ධ වුණා. දවසක් මිනිහා මට ටවුමේදී කනේ පාරක් ගැහුවා. එයාගේ මස්සිනා එක්ක තිබ්බ ඉඩම් ප්‍රශ්නයකට“ මධුෂ්ගේ ජීවිතය මුළු මනින්ම වෙනස් වන්නට බලපාන්නේ එම කම්මුල් පහරය. ඊට ඔහු පළිය ගන්නේ පාතාලයට වැටී ඩැනීගෙන් පමණක් නොව, එම කම්මුල් පහරට මුල්වූ ඩැනීගේ මස්සිනාගේද ජීවිතය බිලිගනිමිනි.
“අනුර සේනානායක මට බොරු නඩුවක් පැටලෙව්වා, කොටි ලේබලයක් ගැහුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මරන්න හැදුවා කියල බොරු ගෙතුවා. අන්තිමට මගේ අහිංසක මල්ලිවත් සුදු වෑන් එකකින් උස්සන් ගිහින් මැරුවා.“ මධුෂ් පවසන්නේ තමාව වළටම ඇද වැටුණේ ඒ දේවල් නිසා බවය.
මධුෂ් තවත් බොහෝ දේවල් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැනත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැනත් බොහෝ දේවල් ඒ අතර ඇත. වැඩි කල් නොගොස් ඒ සියල්ල දිගහැරෙනු ඇත්තේ අධිකරණයේදිය.