කවුරුත් ඇහුවේ නැති දොස්තර සාෆිගේ කතාව | Page 2 | සිළුමිණ

කවුරුත් ඇහුවේ නැති දොස්තර සාෆිගේ කතාව

දැන් මේ සමාජයට සහරාන්ට එහා ගිය අපරාධකාරයෙක් සිටී. ඔහු සිංහල බෞද්ධ මවුවරුන් වඳ කළ දොස්තර සාෆි ය. දැන් අපරාධකාරයා මොනවා කීවත් වැඩක් නැත. මිනිස්සු ඔහු සම්බන්ධව තීන්දුව දී හමාරය. එහෙත් යුක්තිගරුක සමාජය අපරාධකාරයා කියන කතාවටත් ඇහුම්කන් දෙයි. මේ ඒ කතාවය.

වෛද්‍ය සාෆි කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගන්නේ සැකසහිත ලෙස වත්කම් උපයාගැනීමක් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට යැයි කියාය. වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වෙන කිසිදු පරීක්ෂණයක් කරන බවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකද නොකීවේය. පසුගිය 24 වැනිදා රාත්‍රියේ කුරුණෑගල වීරසිංහ මාවතේ පිහිටි නිවසේදී වෛද්‍ය සාෆි කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගන්නේ හදිසියේමය. ඒ ඊට පෙර දිනයේ පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහට ලක්වුණු සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කිරීමේ මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් පවත්වන බව කීමත් සමඟිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට බියට පත් වන්නේ කුරුණෑගල පොලිස් ලොක්කෙකි. ඒ මාධ්‍ය වාර්තාව පිටුපස සිටියේ ඔහු බැවිනි. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයේ සේවකයා අයි.එස්. ත්‍රස්තවාදියෙකු කළේත් සහරාන්ට නොතිබුණු පුහුණු කඳවුරක් කුරුණෑගල ඇති බව කීවේත් ඔහුය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් මේ වන විට කෙරී ඇති මූලික විමර්ශනවලින්ම පාර්ලිමේන්තු සේවකයාට කුරුණෑගලින් ඇලවූ අයි.එස්. ත්‍රස්තවාදී ලේබලය ගැලවී හමාරය.

වත්කම් පරීක්ෂණයක් සඳහා සාෆි අත්අඩංගුවට ගත්තේ යැයි කීවද කුරුණෑගල පොලිසිය ප්‍රශ්න කරන්නේ ඔහු කළ සැත්කම් ගැනය. විශේෂයෙන් සිසේරියන් සැත්කම් අතර මවුවරුන්ගේ පැලෝපීය නාළයට හානි කරමින් මවුවරුන්ව වඳ භාවයට පත් කළේ ඇයි දැයි කියායා. ඒ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණු පුවත්පත් වාර්තාව සැබෑවක් බවට පත් කරමිනි.

“මම මේ තාක් කල් වැරදි වැඩක් කරලා නැහැ. එල්.ආර්.ටී කරලා තියෙනවා නම් ඒ කළේ මවුවරුන්ගේ ඉල්ලීම්වලට අනුවයි. මුස්ලිම් මවුවරුන්ටත් මම එල්.ආර්.ටී. කරලා තියෙනවා. හැබැයි ඒ දේ දැනගෙන හිටියේ මමයි, ඒ මවුවරුනුයි විතරයි. මුස්ලිම් ආගමට අනුව ඒ අයට එල්.ආර්.ටී කරන්න බැහැ. ඒත් සානුකම්පිතව හිතලා ඇතැම් සැත්කම් මට කරන්න සිදු වුණා.“වෛද්‍ය සාෆි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය.

“අල්ලාහ් දෙවියන් පල්ලා... මම සිසේරියන් සැත්කම් අතර තුර කිසිම වේලාවක මවුවරුන්ගේ පැලෝපීය නාළයට හානි කර ඒ අය වඳ භාවයට පත් කළ බවට චෝදනා කරන ඔය අපරාධය කළේ නෑ...” දොස්තර සාෆි දිවුරා පවසා තිබිණි.

වෛද්‍ය සාෆිගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම කළ පොලිස් ලොක්කාය. අනතුරුව මේ පොලිස් ලොක්කා මහා රෑම ඔහු රැගෙන යන්නේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක හමුවටය. එවිට ඔහුද සාෆිගෙන් ප්‍රශ්න කරන්නේ සිසේරියන් සැත්කම් කීයක් කර තිබේදැයි කියාය. ඒ අනුව පෙනී යන්නේ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයාද කල්තියා දැන සිට ඇති බවය. රෝහල් අධ්‍යක්ෂකවරයා ඇසූ ඒ පැනයට වෛද්‍ය සාෆිගෙන් ලැබුණු පිළිතුර කුමක්දැයි රෝහල් අධ්‍යක්ෂකවරයා පසුදින රෝහල් පරිශ්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටටම කීවේය.

“ වෛද්‍යවරයා කළ සැත්කම් ප්‍රමාණය 8000කට වැඩියි කියලා ඔහුම කියනවා.” රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

සැබෑ ලෙසම වෛද්‍ය සාෆි සැත්කම් කීයක් කර තිබේදැයි තවමත් රෝහල් බලධාරීන්වත් දන්නේ නැත. දැන ගන්නට ඇති ආකාරයට අනුව ඔවුන් රෝහල් ලේඛනාගාරය අවුස්සමින් ඒ තොරතුරු සොයන්නේ දැන්ය.

බුද්ධි අංශයට වාර්තා වූ තොරතුර

වෛද්‍ය සාෆි සිසේරියස් සැත්කම් කරන අතර තුර පැලෝපීය නාළයට හානි කරමින් මවුවරුන් වඳභාවයට පත් කරන බව කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් අතර කතාබහක් පැවත ඇත්තේ කාලයක සිටය. එහෙත් ඒ සම්බන්ධයෙන් සිසේරියන් සැත්කමකට භාජනය වූ කිසිදු මවකගෙන් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැත.

වෛද්‍ය සාෆි කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ජනප්‍රියතම වෛද්‍යවරයෙකි.

බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව හතලිස් දෙහැවිරිදි සාෆි වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද වෛද්‍ය සේවා කටයුතු ගැන රෝහල් බලධාරීන්ටද නිසි අවබෝධයක් තවමත් නැත. සිසේරියන් සැත්කම් පමණක් නොව, ඊට වඩා දෙතුන් ගුණයක් ස්වාභාවික දරුඋපත් ඔහු අතින් සිදුව ඇත. කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් කරන එකම ප්‍රසව හා නාරි වෛද්‍යවරයා වන්නේද ඔහු නොවේ.

බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව වෛද්‍ය සාෆිට ඉහළින් විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියි. සියලු සිසේරියන් සැත්කම් කරන්නේ එම විශේෂඥ වෙද්‍යවරයාගේ අධික්ෂණයෙනි. එය එසේ වූවත් අධික තදබදයක් ඇති අවස්ථාවවලදී විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙසින් ඔහුගේ අධික්ෂණයෙන් තොරව වෛද්‍ය සාෆි සැත්කම් කරන අවස්ථාද වාර්තා වී ඇත. විශේෂඥ වෛද්‍යවරයාට සාෆි ගැන තිබී ඇත්තේ එවන් විශ්වාසයකි.

වෛද්‍ය සාෆි සිය වැඩිම සේවා කාලයක් ගත කර ඇත්තේ කුරුණෑගල රෝහලේය. 2015 වසරේ පැවැති මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන්නට ඔහු රජයේ වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස් වන විට සේවයේ නිරතව සිටින්නේද කුරුණෑගල රෝහලේය. මහා මැතිවරණයට ඔහු තරග කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. එම අවස්ථාව ඔහුට ලැබෙන්නේ රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වය යටතේ ඇති පක්ෂයේ කෝටාවෙනි. මැතිවරණයෙන් ඔහු 50000 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කරගත්තේය. කුරුණෑගල දිස්ත්‍රිකයේ එජාප මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති වුවහොත් ඊළඟට පාර්ලිමේන්තුවට යන්නට සිටින්නේද ඔහුය.

පාර්ලිමේන්තුවට තේරීපත් නොවීමත් සමඟ ඔහු නැවත රජයේ වෛද්‍ය සේවයට එන්නේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟිනි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතැයි පැවසෙන්නේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාය. ඒ අනුව වෛද්‍ය සාෆි නැවත රජයේ වෛද්‍ය සේවයට එන්නේ 2017 වසරේදීය. ඒ දඹුල්ල රෝහලෙනි. එහෙත් ඔහු වැඩි කල් දඹුල්ලේ සේවයේ නිරතව සිටියේ නැත. නැවතත් කුරුණෑගලටම ස්ථාන මාරුවීමක් ලබා පැමිණියේය. ඒ දේශපාලන අනුහසිනි.


සාෆි ප්‍රකෝටිපතියෙකු වුණේ කොහොම ද?

බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සාෆි කලාවැවේ පදිංචිකරුවෙකි. ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළට මුහුණ දෙන්නේ ගම්පොළ සහිරා විද්‍යාලයෙනි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 2004 වසරේ වෛද්‍ය උපාධිධාරියෙකු ලෙස පිටවන ඔහු විවාහ වන්නේ කුරුණෑගල පදිංචිව සිටි වෛද්‍යවරියක සමඟිනි. එතැන් සිට ඔහු ස්ථානගත වන්නේ කුරුණෑගලය.

බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව වෛද්‍ය වෘත්තියට පිවිසි මුල් වකවානුවේදී ගමන් බිමන් සඳහා මෝටර් රථයක්වත් ඔහු සතුව තිබී නැත. ඔහුට තිබී ඇත්තේ යතුරු පැදියක් පමණි. හිටි හැටියේ අසීමාන්තික ධනයක් ඔහුට ලැබී ඇතැයි පැවසෙන්නේ 2015 මහා මැතිවරණයට ඔහු ඉදිරිපත් කිරීමෙන් පසුවය.

බුද්ධි අංශ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඔහුටත් ඔහුගේ වෛද්‍ය බිරියටත් පරම්පරාවෙන් විශාල දේපළක් හිමිව නැති බවය. එහෙත් මෑතකදී ඔහු කුරුණෑගල නගරයෙන් ඉඩමක් මිලදී ගෙන තිබිණි. ඒ රුපියල් කෝටි 15කටය. ඒ පෞද්ගලික රෝහලක් ඉදි කරන්නටය. ඒ ගනුදෙනුවේ දී තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ඔහු සමඟ සිටින බවද සඳහන්ය.

බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට කුරුණෑගල නගරයේ ඔහුට අයත් ගොඩනැගිලි රාශියකි. එහෙත් ඒ කිසිදු ගොඩනැගිල්ලක් ඔහුගේ නමින් ලියාපදිංචිව නැත. ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ නම් වලිනි. විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ගේ වෛද්‍ය වාර්තා ලබාදෙන ඔහුට අයත් වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක්ද කුරුණෑගල ස්ථාපිතය.

එම වෛද්‍ය මධ්‍යස්ථානවලින් පමණක් ඔහුට ලැබෙන දෛනික ආදායම රුපියල් ලක්ෂ 05 ඉක්මවයි. එම වෛද්‍ය මධ්‍යස්ථානද ඇත්තේ වෙනත් පුද්ගල නම්වලිනි.

ඊට අමතරව ඔහු වැනල් සේවයේද නිරත වේ. විශේෂඥ නොවන සාමාන්‍ය වෛද්‍යවරයෙකුට චැනල් සේවාවක් ලබාදීමට වෛද්‍ය වෘත්තීය රාමුව තුළ ඉඩක් නැත. එහෙත් මේ චැනල් සේවාවෙන් ඔහු පැයකදී උපයන බව සඳහන් ආදායම රුපියල් විසි දහසකි. කුරුණෑගල රෝහල කිට්ටුව පාත ඇති චැනල් සේවා පවත්වන ගොඩනැගිල්ලකද හිමිකරු ඔහුය. එසේම ඔහු වෛද්‍යවරුන්ට රජයෙන් ලැබෙන බදු සහන වාහන බලපත්‍ර මගින් ජපානයෙන් වාහන ගෙන්වීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගොස් ඇත. ඒ අනුව වෛද්‍ය සාෆි හිටි හැටියේම ප්‍රකෝටිපතිවරයෙකු වීමේ රහස පැහැදිලිය.

වෛද්‍ය සාෆි මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ කුරුණෑගල ජනතාවට උදව් උපකාර කිරීමටද පෙලඹී ඇත. බුද්ධි අංශ සඳහන් කරන්නේ ඔහු සමඟ අරාබි ජාතිකයෙකු සම්බන්ධව සිටි බවය. ඔවුන් දෙදෙනා කුරුණෑගල පැත්තේ ජනතාවට ළිං හාරා දී ඇති බවද කියති. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානයක උදව් උපකාරද සාෆිට ලැබී ඇත.

එම අරාබි ජාතිකයා කවුරුන්දැයි බුද්ධි අංශවලත් අබිරහසකි.

Comments