පම්පෝරියට ගිහින් වරිගේ නහගත්තු කුරුණෑගල නාරි දොස්තර | Page 5 | සිළුමිණ

පම්පෝරියට ගිහින් වරිගේ නහගත්තු කුරුණෑගල නාරි දොස්තර

වෛද්‍ය සාෆි කුරුණෑගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ සැකසහිත ලෙස වත්කම් උපයාගැනීමේ චෝදනාවක් ඉදිරිපත් කරමිනි. ඔහු එසේ අත්අඩංගුවට ගත්තද පොලිසියේ යටි අරමුණ වූයේ එය නොවේ. සාෆි කළේ යැයි කියනු ලබන සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් රට තුළ යම් ආන්දෝලනයක් ඇති කරමින් ඒ ගැන යම් විමර්ශනයකට පොටක් පාදාගන්නටය. සාෆිට එරෙහිව කිසිදු පරීක්ෂණයක් සිදු නොවුණත් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණත් ජාතික පුවත්පතක් හරහා කුරුණෑගල පොලිස් ලොක්කා ඒ පොට පාදාගත්තේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රටේ ඇතිව තිබෙන නොසන්සුන් තත්ත්වයද ඊට රුකුලක් විය. කුරුණෑගල පොලිසිය සැලසුම් කළ පරිදිම සිසේරියන් සැත්කම් පුවත ආන්දෝලනයට තුඩු දුන්නේය. සාෆි කළේ යැයි කියන සිසේරියන් සැත්කම් 8000 සැබෑ ලෙසම කළේ දැයි අදටත් නිශ්චිතවම තහවුරු නොවූ සංඛ්‍යාවකි.

එම ගණන් මිනුම් කියැවෙන්නේ 2015 මහා මැතිවරණ සමයේදී ඔහු ජාතික පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවකදීය. එම සම්මුඛ සාකච්ඡාවේදි පවසා ඇති ආකාරයට අනුව පැය දෙකකදී ඔහු සිසේරියන් සැත්කම් අටක් පවා කර ඇත. ඉන් කියැවෙන්නේ විනාඩි පහළොවක් වැනි කෙටි කාලයක් තුළදී සිසේරියන් සැත්කමක් කරන්නට තරම් ඔහු දක්ෂයෙකු බවය. සිසේරියන් සැත්කම්වලට අමතරව ඔහු සාමාන්‍ය දරු උපත් 15000ක්ද නාරිවේදී සැත්කම් 5000ක්ද කර ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා 2004 වසරේදී වෛද්‍ය වෘත්තියට පිවිසෙන ඔහු වසර 10ක් වැනි කාලයක් තුළ මේ සා විශාල සැත්කම් ප්‍රමාණයක් සැබෑ ලෙසම කර ඇත්නම් ඔහු සැබෑ වැඩකරුවෙකි. එසේම ඔහු සැත්කම් අතරතුර ශල්‍යාගාරයේ සිටි සෙසු වෛද්‍යවරුන්ටත් සහායක කාර්ය මණ්ඩලයටත් නොදැනෙන්නට මවුවරුන්ගේ පැලෝපීය නාළයට හානිකර ඒ අය වඳභාවයට පත් කළේ නම් ඔහු තරම් වැඩ්ඩෙක් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ නැතුවා වන්නට පුළුවන. ඒ දේවල් සියල්ල ඔහු විසින් කර ඇත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස මිස විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස නොවීමද විශේෂත්වයකි.

වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල පොලිසියේ නිලධාරීන් ඔහු රැගෙන යන්නේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා හමුවටය. එහිදී වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් 8000කට වැඩි ප්‍රමාණයක් කළ බව තමන් හා පැවැසූ ආකාරය පවසන්නේ සරත් වීරබණ්ඩාර මහතාය. එකී සිසේරියන් සැත්කම් අතරේ පැලෝපීය නාළයට හානි කරමින් මවුවරු කීදෙනෙකු වඳභාවයට පත් කළේදැයි වෛද්‍ය සාෆිගෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර විමසූ විට ඊට පිළිතුරු ලැබෙන්නේ “මම වැරුද්දක් කරලා නැහැ. ඕනෑම පරීක්ෂණයක් කරන්න කියන්න. අන්තිමට ඇත්ත එළියට ඒවි“ යැයි කියාය.

වත්කම් පරීක්ෂණයක් සිදු වන්නේ කෙසේද?

පොලිසියේ නිල ප්‍රකාශයන්ට අනුවත් වෛද්‍ය සාෆි කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්කම් විමර්ශනයකට අදාළවය. එසේ අත්අඩංගුවට ගත් ඔහු මහා රෑම කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා හමුවට රැගෙන යෑමට තිබුණු අවශ්‍යතාව තවමත් අපැහැදිලිය.

වත්කම් පරීක්ෂණ පැවැත්වීමට අපේ රටේ නීතියෙන් බලය පැවරී ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එම බලය එම අංශ දෙක හැරුණු කොට වෙන කිසිදු අංශයකට මෙතෙක් ලබාදී නැත. අල්ලස් කොමිසම විසින් වත්කම් පරීක්ෂණ සිදු කරන්නේ අල්ලස් පනතින් ලැබී ඇති නීතිමය ප්‍රතිපාදනයන්වලිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එකී නීතිමය ප්‍රතිපාදනයන් ලැබී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනතිනි.

සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු සම්බන්ධයෙන් වත්කම් පැමිණිලි වැඩි වශයෙන් විභාග කරන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසිනි. රජයේ නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් වත්කම් විමර්ශනයක් පැවැත්වීමේ බලය අල්ලස් කොමිසමට අහිමිය. ඒ බලය ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එපමණක් නොව, රජයේ සේවකයන් සම්බන්ධයෙන්ද මුදල් විශුද්ධිකරණයෙන් පරීක්ෂණ පැවැත්වීමේ නීතිමය බලයත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය.

ක්‍රමවේදය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට හෝ වත්කම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලද සැණින් සැකපිට යැයි කියා කිසිවෙකුත් අත්අඩංගුවට ගන්නට යන්නේ නැත. අත්අඩංගුවට ගැනීමෙන් පසු පරීක්ෂණ පවත්වන්නට යන්නේත් නැත. මුලින්ම සිදු වන්නේ මූලික විමර්ශනයකි. ඒ නාමික හෝ නිර්නාමිකව ලද පැමිණිල්ල නිවැරදි පැමිණිල්ලක්දැයි සොයා බලන්නටය. සියල්ල සිදු වන්නේ රහසිගතවය. අඩුම තරමින් එකී චෝදනාව ලැබූ පුද්ගලයා පවා තමන්ට එරෙහිව පැමිණිල්ලක් විභාග කරන බවක් නොදන්නා තරමට එය සිදු වන්නේ රහසිගතවය. පූර්ණ විභාගයක් පවත්වන්නේ ඉන්පසුවය.

“වත්කම් විමර්ශනයකදී අපට බලයක් තිබෙනව රහසිගතව තොරතුරු පරීක්ෂා කිරීමට. බැංකු ගිණුම්, වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම ඉඩකඩම් සහ යාන වාහන ආදීය පිළිබද තොරතුරු ප්‍රමුඛයි. සියලු තොරතුරු රැස් කරලා තමයි චෝදනාවට ලක් වෙලා තියෙන පුද්ගලයාගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ. ඔහුගේ හඬටත් අපි ඇහුම්කන් දෙනවා. ඔහු කියන දේවල් පරීක්ෂා කරලා බලනවා. අන්තිමට ඔහුට එල්ල වී ඇති චෝදනාව පරීක්ෂණවලින් තහවුරු වන්නේ නම් අපි අත්අඩංගුවට ගැනීමකට යන්නේ නැහැ. කෙළින්ම නඩු පවරනවා.

“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙකු වත්කම් පරීක්ෂණයක් සිදු වන අයුරු පැහැදිලි කළේ එසේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මූලික විමර්ශන පවත්වන්නේ ඒ ආකාරයටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මුදල් විශුද්ධිකරණයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට යන්නේ නැත. සියල්ල සිදු වන්නේ පූර්ණ විමර්ශනයකින් අනතුරුවය.

ඒ අතරතුරදී සැකකටයුතු දේපොළ ඇත්නම් අධිකරණය මඟින් තහනම් කරන්නටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම හෝ යම් වත්කම් විමර්ශනයක් පවත්වන්නේ නම් එය සිදුවන්නේ යම් වෘත්තීය ක්‍රමවේදයකට අනුවය. එහෙත් කුරුණෑගල පොලිසිය වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත් ක්‍රමවේදය එකී වෘත්තීයභාවය රැකීමෙන් සිදු වුණු නීතිමය රාමුවක් යටතේ සිදු වූවක්දැයි ඇත්තේ ගැටලුවකි.

Comments