
රටවල් ගණනාවක් විසින් දැන් ලෝකයේ බිහිසුණුම හා අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යම මිනීමරුවා ලෙස නම්කර ඇත්තේ අයිඑස් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩිය. ඔහු ජීවග්‍රහණයෙන් හෝ මරා අල්ලා ගැනීමට එංගලන්තයේ එස්ඒඑස් (SAS)බළකාය යොදවා මහා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය හා ඇමෙරිකානු විශේෂ බළකායේද සහයෝගයෙන් සිදු කෙරෙන මේ මෙහෙයුමට එංගලන්ත රාජකීය නාවික හමුදාව හා සමාන විශේෂ බෝට්ටු බළගණය ද යොදවා තිබේ. එංගලන්තයේ එම්අයි 6 බුද්ධි අංශය සහ බ්‍රිතාන්‍ය රජයේ සංනිවේදන මූලස්ථානය හෙවත් GCHQ ආයතනය මේ මෙහෙයුමට තාක්ෂණයෙන් සහාය වෙයි.
බැග්ඩෑඩි හසුකර ගැනීමේ මෙහෙයුම වේගවත් කිරීමේ ආසන්නතම සිද්ධිය ලෙස හඳුන්වා ඇත්තේ අප රටේ මෑතකදී සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ය. ඉන් බ්‍රිතාන්‍ය පුරවැසියන් අට දෙනෙක් ද මියගියහ.
ලෝක බුද්ධි අංශ අනතුරු ඇඟවීම්
බැග්ඩෑඩි ගේ ක්‍රෑරතර ත්‍රස්ත ජාලය බ්‍රිතාන්‍යයද ඇතුළුව මුළුමහත් බටහිර පුරාම තවත් බිහිසුණු ඝාතන සිදුකිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ලෝක බුද්ධි මෙහෙයුම් ඒජන්සි බිය පළකර තිබීම ද මේ මෙහෙයුම් තීව්ර කිරීමට තවත් හේතුවක්වී තිබේ.
එංගලන්තයේ එස්ඒඑස් හමුදාව යනු බ්‍රිතාන්‍ය හමුදාවේ සුවිශේෂ ගුවන් සේවා මෙහෙයුම් සිදුකරන විශේෂ බළකායකි. අභිරහස් හා ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම වැනි ක්‍රියාන්විත සඳහා මේ බළකාය සෘජුව ක්‍රියාත්මක වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බැග්ඩෑඩි ප්‍රහාරයේ වගකීම සිය සංවිධානය විසින් බාරගනු ලබන බව පවසමින් වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි. මින් අට වසරකට පෙර පකිස්ථානයේදී ඇමෙරිකානු නාවික සීල් කොමාන්ඩෝ භටයන් විසින් ඝාතනය කරනු ලැබූ අල් කයිඩා නායක බින් ලාඩන් අනුව යමින් ‘ඒකේ 47’ රයිෆලයක් ද පසෙකින් තබාගෙන බැග්ඩෑඩි සිය අනුගාමිකයන් දිරිමත් කරමින් නිකුත් කළ එම පණිවුඩයෙන් ඔහු බටහිර හමුදාවනට ඇනුම් පද කියමින් අපහාස උපහාස කරන අන්දම දැක්වේ. මිනිත්තු 18ක් පුරා දිවෙන එම වීඩියෝ පටය ඔහු නිකුත් කර තිබුණේ 2014 වසරේදී නිකුත් කළ වීඩියෝ පටයෙන් පස් වසරකට පසුය. එම හඬ පටයෙන් බැග්ඩෑඩි සිටින ඉසව්වක කිසිම ඉඟියක් හෝ පළ නොවීය.
බැග්ඩෑඩි පණපිටින් හෝ මරා අල්ලා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට පෙර ඔහුගේ හිස සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් පිරිනැමීමට ඇමෙරිකානු රජය තීරණය කළේය.
බ්‍රිතාන්‍ය රජයේ ත්‍රස්තවාදය පිළිබද හිටපු උපදේශක කර්නල් රිචඩ් කෙම්ප් අයිඑස් නායකයා හඳුන්වන්නේ මැද පෙරදිග හා ලෝකය පුරා සිටින අනුගාමිකයන් ඉතාම ම්ලේච්ජ හා පුරාතන ක්‍රමයට ඝාතන සිදු කිරීමට මෙහෙයවන, මෙතෙක් ලොව පහළ වූ ක්‍රෑරතම මිනිසුන් අතරින් කෙනකු ලෙසය.
“ලොවපුරා ප්‍රචණ්ඩත්වය වර්ධනය කරමින් ම්ලේච්ජ ප්‍රහාර සිදු කිරීම සඳහා බැග්ඩෑඩි විසින් විසකුරු පණිවුඩ පතුරුවා හැරීම වහාම නැවැත්විය යුතුයි.” කර්නල් කෙම්ප් මෙලෙසඳහන් කර ඇත්තේ 2017 වසරේදී ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් එංගලන්තයේ මැන්චෙස්ටර්වලදී පුද්ගලයන් 23 දෙනකු ඝාතනය කරමින් සිදුකළ බෝම්බ පුපුරවා ගැනීම ද සිහිපත් කරමිනි.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරින් බටහිරට වන්නට පිහිටි අල් අන්බාර් පළාතේ නිසරු කාන්තාර ප්‍රදේශය බැග්ඩෑඩි සැඟවී සිටින ප්‍රදේශ ලෙස සැක කරයි.
“බැග්ඩෑඩි අල්ලා ගැනීම ඉතා වැදගත් මෙහෙයුමක් වුවත් ඔහු නිසැකවම සිටිතැයි කියා ස්ථානයක් නම් කිරීම අපහසුයි. බොහෝවිටි ඔහු සැඟව සිටින්නේ බටහිර හමුදාවනට පය තැබීමටවත් අපහසු ප්‍රදේශයකයි. ඔහු කාලයක් සිය දැඩි පාලනයට නතු කරගෙන සිටි ඉරාකයේ මොසුල් නගරය ආශ්‍රිත අල් අන්බාර් ප්‍රදේශයේ ඔහු සිටිතැයි අනුමාන කළ හැකියි.” බටහිර බුද්ධි සේවා නියෝජිතයෝ පවසති.
ඉරාකයේ ‘රන් ඩිවිෂනය’ලෙසින් හැඳින්වෙන ඉරාක හමුදා විශේෂ ඒකකය ද මේ මෙහෙයුමේදී උතුරු ඉරාකයේ සැකසහිත නගර හා ගම්මානවල බැග්ඩෑඩි සොයා සැරිසරනු ඇත. කුවේටයේ කිසියම් ස්ථානයකින් ගුවන්ගත කෙරෙන රාජකීය ගුවන් හමුදා ඩ්‍රෝන යාත්‍රා හා එංගලන්ත ‘Reaper squadron’ නමින් යුතු විශේෂ ඒකකයේ ගුවන් නියමුවෝ පැය 12ක් පුරා සෝදිසි කිරීම්වල නිරත වෙති.මේ ඩ්‍රෝන යානා හඳුනා ගත් සැණින් ඉළක්කය කරා ස්වයංක්‍රීයව ප්‍රහාර එල්ල කෙරෙන මිසයිල හතරකින් සමන්විත වේ.
රියදුරා හෝ සහෝදරයා සොයා
බැග්ඩෑඩිගේ සහෝදරයා හෝ රියැදුරා හෝ විසින් පදවනු ලබන වාහන සොයා මෙම ඩ්‍රෝන යානා පැය 24 පුරාම අල් අන්බාර් හා මොසුල් ප්‍රදේශ නිරීක්ෂණය කරයි.
ඒකාබද්ධ හමුදා සමඟ එක්ව සිරියානු රජයේ හමුදා අයිඑස් ත්‍රස්තවාදීන්ගේ අවසන් සිරියානු බල ප්‍රදේශද විනාශ කර දැමීමෙන් පසු අයිඑස් ත්‍රස්තයෝ දැන් උතුරු, බටහිර හා නැඟෙනහිර ඉරාක ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ දරමින් සිටිති. සයිප්‍රසයේ ස්ථානගත කර ඇති රාජකීය හමුදා ටයිෆූන් ජෙට් යානා විසින් ඉරාකයේ උතුරු ටික්රිට් හා නැඟෙනහිර බෙයිජි ප්‍රදේශවල තිබූ අයිඑස් ත්‍රස්තවාදීන් සතු ගුහා ජාලයක් ඉතා මෑතකදී බෝම්බ දමා විනාශ කරනු ලැබීය. එම මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමඟ ඉරාකය බලා පලා යන අයිඑස් ත්‍රස්තවාදීන්ට මඟ අහුරමින් සිරියා හා තුර්කි දේශ සීමා වසා දැමීමට කටයුතු යොදා තිබේ.
“අයිඑස් ම්ලේච්ජ ඉස්ලාම් අන්තවාදීන්ට අවසානයේ අත්වන ඉරණම කවුරුත් දන්නවා. ත්‍රස්තවාදීනට හමුදාමය වශයෙන් ප්‍රහාර එල්ල වෙද්දී අයිඑස් නායකයන් ලෝකය පුරා ගිනි අවුළුවමින් පළිගැනීමේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දැරිය හැකියි. බැග්ඩෑඩිට ඔහුගේ වෛරය පතුරුවන පණිවුඩ බෙදා හැරීමට ඉඩ තබන්නේ නෑ. ඔහුගේ වෛරය පැතිරවීම් සදහටම නතරකරලීමේ මෙහෙයුමට විශාල පිරිසක් ක්‍රියාකාරීව සහභාගිවී සිටිනවා” යැයි මෙහෙයුම් අධීක්ෂණයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
සැඟව සිටින ‘අවතාරය
“බැග්ඩෑඩි සිටින්නේ කුමන ස්ථානයකදැයි කිසිකෙනෙක් දන්නේ නෑ. එහෙත් බිම් මට්ටමේ සැකකටයුතු සෑම දෙයක්ම සෑම ස්ථානයක්ම පරික්ෂාවට ලක්වෙනවා. ඔහු කෙතරම් පරෙස්සම්සහගත පුද්ගලයකු වුවත් කුමන වේලාවක හෝ ඔහු අතින් අතපසුවීමක් සිදුවිය හැකියි. ඔවුන්ට සෑමවිටකම අවසානයේදී අතපසුවීම් සිදු වෙනවා. එතැනදී එක්කෝ ඔහු අපට කොටුවේවි. නැත්නම් ඝාතනයට ලක්වේවි.”
කෙසේවුව, එංගලන්තයේ ආරක්ෂක අමාත්‍යංශය විශේෂ හමුදා මෙහෙයුම පිළිබඳ වැඩි විස්තර හෙළිකර නැත.
බැග්ඩෑඩි හඳුන්වන්නේ ‘අවතාරය’ යන අන්වර්ථ නාමයෙනි. දෙවසරක අනවරත යුද්ධයකින් අන්ත පරාජයට පත්වූවත් අනුගාමිකයන් අතර තවමත් සිය තැන රැකගෙන සිටින අයිඑස් ජ්‍යෙෂ්ඨ අණදෙන්නන් අතරින් එකෙකි.
යුප්‍රටීස් ගංගාධාරයේ පෙරදී ප්‍රමාණයෙන් එංගලන්තය තරම්ව තිබූ පසුව ටිකෙන් ටික අහිමිව ගොස් ඉතිරිවූ කුඩා බිම්කඩක තමා විසින්ම නම්කරගනු ලැබූ ඉස්ලාම් රාජ්‍යයක අධිපතියාව බැග්ඩෑඩි සැඟව සිටිතැයි වාර්තා වේ. ඔහු ආගිය තැන් ලෙස සැකකෙරුණු ස්ථාන 17ක් අතරින් ස්ථිරවම ඔහු සිටිතැයි සිතන ස්ථාන 4ක් ගැන දැන් ඉරාකය විපරමින් සිටින බව ඉරාකයේ ආරක්ෂක උපදේශක හිෂාම් අල් හෂෙමි මේ මස මුලදී ප්‍රකාශ කර තිබේ. අල් අන්බාර් ද ඒ අතරින් එකකි.
අයිඑස් ත්‍රස්තයන් සිය සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමට හා ඔවුන් ලොව පුරා සිදුකළ ම්ලේච්ජ ඝාතන සැමරීමට ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භාවිත කළ බවට විමර්ශන මගින් හෙළිවී තිබේ. එසේම ඔවුන් පසුගිය පාස්කු ඉරිදා අපරටේ සිදු කළාක් වැනි මිනිස් ඝාතන තවදුරටත් සිදු කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා කළ තර්ජනද මෙසේ බැග්ඩෑඩි අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුම් කඩිනමින් දියත් කිරීමට හේතුවී තිබේ.
සිරියාවේ දී එලයිට් බළකා හපන්කම්
සිරියාවෙන් අයිඑස් ත්‍රස්තයන් තුරන් කිරීමේ මෙහෙයුමේදී ද එංගලන්ත එස්ඒඑස් එලයිට් බළකාය යොදවනු ලැබ තිබිණි. ඔවුන් සමඟ සිරියානු කුර්දි සටන්කාමීන් ද හරිහරියට එක්ව සටන් වැදිණි. අයිඑස් ත්‍රස්තයන් සමඟ සිරියාවේ අවසන් සටනේදී එස්ඒඑස් භටයකු කළ හපන්කමක් පිළිබඳ ලොවපුරා මාධ්‍ය පසුගිය මාර්තු මස අගදී වාර්තා කර තිබිණි.
ඒ වෙද්දී සිරියාවේ කුඩා නගරයක් වන බාගූස්හි හුදෙකලා කොනක එස්ඒඑස් බළකායේ ඩී රෙජිමේන්තු භටයෝ හා කුර්දි සටන්කාමිහු අයිඑස් ත්‍රස්තයන් හා මුහුණට මුහුණලා සටනේ සිටියහ. ත්‍රස්තයන්ට යටත්වීම සඳහා කෙතෙක් කල් දුන්නද ඔවුන් මරණය තෙක් සටනේ යෙදීමට දිවුරමින් දිගින් දිගටම සටනේය. යටත් වීමට වඩා ආගම වෙනුවෙන් දිවිපිදීම බොහෝ ත්‍රස්තවාදීන්ගේ ප්‍රාර්ථනාව විය. එස්ඒඑස් භටයෝ බාගූස් වටකරද්දී පෙරදී බැංකුවක් ලෙස පැවැති ගොඩනැඟිල්ලකට කොටුවූ ත්‍රස්තවාදීහු එතැන බළකොටුව කරගනිමින් එකදිගට සැඟවී කුර්දි හා එස්ඒඑස් භටයන්ට ප්‍රහාර එල්ල කරන්නට වූහ. එස්ඒඑස් භටයකු ත්‍රස්ත වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබද්දී එක්භටයෙක් සිය ස්වයංක්‍රීය ග්‍රෙනේඩ විදිනයෙන් දිගින් දිගටම ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට විය. ඔහුගේ ආයුධය සවිකර තිබුණේ තුවක්කු අටල්ලක් ලෙස සැකසූ පැරැණි හමුදා ලෑන්ඩ් රෝවර් රථයකය. මිනිත්තුවකදී මීටර් 3000ක පරාසයක උණ්ඩ වට 350ක් පිටකළ හැකි එම ආයුධය එස්ඒඑස් භටයන් අතර ඉතා ජනප්‍රිය වූවකි. එස්ඒඑස් භටයා දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා අඩපණ වූ බැංකු ගොඩනැඟිල්ල කඩා වැටිණි. සටන සිදුවූ ස්ථානයේ පසුදා කළ පරික්ෂා කිරීමේදී අයිඑස් ත්‍රස්තවාදීන්ගේ සිරුරු 30කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.
“කඩා වැටුණු බැංකු ගොඩනැඟිල්ල පරික්ෂාවට ගියේ එම සටනට එක්ව සිටි කුර්දි සෙබළුන්. එහිදී හමුවූ ත්‍රස්ත සිරුරු සියල්ලම පාහේ දැඩි තුවාල සිදුව තිබුණා. සිරියාවේ සිටි අයිඑස් ත්‍රස්තයන් විනාශ කරමින් එලෙස සටන අවසන් කිරීමට දායක වූයේ තනි එස්ඒඑස් භටයෙකි.” යන ලෙසින් එංගලන්තයේ පළවන ‘ඩේලි ස්ටාර් ’ටැබ්ලොයිඩ් පුවත්පත එම පුවත වාර්තා කරමින් සඳහන් කර තිබිණි.
අයිඑස් ත්‍රස්තවාදීන්ගේ බොහොමයක් ඝාතන දැන් හැරී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු රටවල් දෙසටය. අයිඑස් ත්‍රස්තයන් මැඩලීම සඳහා කලක සිටම පෙරටවිත් සිටින එංගලන්ත එස්ඒඑස් බළකාය සිරියාවේ අයිඑස් සටන්කාමීන් මර්දනයට මෙන්ම මැද පෙරදිග අර්බුද ගහන රටවල මෙහෙයුම් සඳහා යෙදවේ. එංගලන්තයේ එස්ඒඑස් හමුදා සාමාජිකයන් රටවල් කීපයකම විශේෂ මෙහෙයුම්වලදී අත්කර ගත් ජයග්‍රහණයන්ගෙන් ලද කීර්තිය නිසා අද එංගලන්තයේ දී විශේෂ ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන අතර වෙනත් රටවලද සැලකුම් ලබති. බළකායේ ආදර්ශ පාඨය වන 'Who Dares Wins' යන පාඨය අද එංගලන්තයේ ජනප්‍රිය සංස්කෘතියේ එක් අංගයක්ව පවතී.