
වෙසක් මාසය බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ කුමන ආකාරයකටද ඒ හා සමානව හින්දු වැසියන්ටද වෙසක් මාසය ඉතා වැදගත්ය. බෞද්ධයාගේ වෙසක් පොහෝ දිනයෙන් පසු දිනයේ සිට එළඹෙන කාලය හින්දු බැතිමතුන්ට "වයිහාසි" සමය වේ.
වයිහාසි සමයේදී නැති නම් වෙසක් පොහොයෙන් පසුව එළඹෙන පළමු සතිය "විශාඛම්" වශයෙන් හින්දු බැතිමතුන් සලකනු ලබයි. විශාඛම් සතියේ එළඹෙන පළමු වැනි සඳුදා ඔවුන් සිය පුද පූජා සඳහා තෝරාගන්නේ වට්‌ටාපලෙයි ඓතිහාසික හින්දු කෝවිලයි. වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා යොදා ගැනෙන්නේද එම සඳුදා දිනයයි.
සඳුදා රාත්‍රියේ සිට ඇරඹෙන එම මංගල්‍යය අඟහරුවාදා දහවලින් නිමාවට පත් වෙයි. ඒ බැතිමතුන් උදෙසා පිරිනමනු ලබන විශාල දානයකින් පසුවය. නමුත් ඊට දින හයකට පෙර සිට වට්‌ටාපලෙයි හින්දු කොවිලේ විශේෂ පුද පූජා පවත්වනු ලබයි.
මේ වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය යෙදී තිබුණු කාල වකවානුවට අනුව පසුගිය මැයි මස 18 වැනිදා වෙසක් පොහොය යෙදී තිබුණේ සෙනසුරාදා දිනයකදීය.
හින්දු බැතිමතුන්ගේ කාල ගණනය අනුව ඔවුන්ගේ විශාඛම් සතිය එදා සිට ඇරඹුණා සේම වෙසක් පොහොයෙන් පසුව එන පළමු සඳුදා මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්විය යුතු නිසා කෝවිලේ වාර්ෂික මංගල්‍යය යෙදී තිබුණේ මැයි මස 20 වැනිදාටය.
මුහුදු ජලයෙන් පහන් දැල්වීම
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වට්‌ටාපලෙයි ගම්මානයේ පිහිටි කන්නයි අම්මාන් ඉපැරැණි දේවාලය චිර ප්‍රසිද්ධ වී ඇත්තේ වට්‌ටාපලෙයි වශයෙනි.
වට්‌ටාපලෙයි කෝවිලේ පැවැත්වෙන චාරිත්‍ර අතර ඉතාම සුවිශේෂී වතාවත වන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. හින්දු බැතිමතුන් "පාත්තු තෙන්වල්" නමින් හැඳින්වෙන එම වතාවතේදී මුලතිව් මුහුදෙන් ලබාගන්නා ජලයෙන් අපූරුවට පහන් දන්වන ආකාරය දැකගත හැකිය.
මේ කෝවිලේ මුලින්ම පහන් දැල්වීම සඳහා මුහුදු ජලය ලබා ගන්නේ වසර ගණනාවක සිට තෝරාගත් ස්ථානයකිනි. මේ ස්ථානයෙන් මුහුදු ජලය ලබාගැනීමේදී අලුයම සිට විශාල වතාවත් සමුදායක් ඉටු කොට බෙරහඬ මධ්‍යයේ හා කුරුක්කල්වරුන්ගේ ස්තෝත්‍ර මධ්‍යයේ මුහුදු ජලය අලංකාර පෙරහරකින් කෝවිල කරා වඩම්මවයි.
කෝවිලේ වාර්ෂික මංගල්‍යය සඳහා පහන් දැල්වීමට පැමිණෙන බැතිමතුන්ට ලබාදෙන්නේ එම මුහුදු ජලයයි. හාස්කම කුමක් වූවත් ඒ තෝරාගත් ස්ථානයෙන් ලබාගන්නා මුහුදු ජලයෙන් වෙනත් තෙල්වලින් මෙන්ම අපූරුවට පහන් දැල්විය හැකි වීම විශේෂත්වයකි.
මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ විද්‍යාත්මක භාවය කෙසේ වුවද වට්‌ටාපලෙයි කෝවිලේ මහානුභාවය නිසාම එය සිදු වන බවට විශ්වාස තබන හින්දු බැතිමත්තු කුමන ආකාරයේ බාරහාර ක්‍රමයක් අනුගමනය කළද අවසානයේදී මුහුදු ජලයෙන් පහන් දැල්වීමටද අමතක නොකරති.
සඳුදා සවස් කාලයේ ඇඳිරි වැටෙත්ම මුහුදු ජලයෙන් පහන් දැල්වීම ආරම්භ වෙතත් මුළු කෝවිල් භූමිය පුරාම පහන් දැල්වුවද පෝලිමේ අවසානයට සිටින පිරිසට පහන් දැල්වීමට අවස්‌ථාවක් එළඹෙන්නේ අඟහරුවාදා දහවලේදීය. ඊට හේතුව වන්නේ එතරම් විශාල ජනකායක් මේ පහන් දැල්වීමේ අවස්‌ථාවට සහභාගි වීමයි.
කැලෑබද මාර්ගවලින් දෙමළ ජනතාව කතරගම වන්දනා කිරීමට මාස ගණනක් ගමන් කරන්නා සේ මුලතිව් වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයටද යාපනය, කිලිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල සිට කැලෑබද මාර්ගවලින් කෝවිල් භූමිය කරා ළඟාවෙයි.
කැලෑබද මාර්ගවලින් පයින්ම සැතපුම් ගණනාවක් දුර ගෙවමින් පැමිණීමද බාරහාර වීමේ සම්ප්‍රදායේ තවත් ලක්‍ෂණයකි.
ජනශ්‍රැතිය
එම කෝවිල පිළිබඳ පැනෙනා ජනශ්‍රැතිය රසවත්ය. මීට බොහෝ කාලයකට එපිට වකවානුවක නන්දිකඩාල් කලපුවට එපිටින් පැවත තිබුණේ විශාල කුඹුරු යායකි. ඒ වකානුවේ ප්‍රදේශවාසීහු එක්ව මේ කුඹුරුයාය අස්වද්දා තිබුණහ. එක් දිනක් ගොවි පිරිසක් මේ කුඹුරු යායේ වැඩ කරමින් සිටිද්දී වියපත් කාන්තාවක් පැමිණ ගිමන් හැරීම සඳහා අසල වූ නගුලක් මතින් වාඩි වූවාය. එය කොහොඹ ලීයෙන් කළ නගුලක් විය. විඩාපත් බවක් පෙන්නූ කාන්තාව කුඹුරු වැඩේ යෙදෙමින් සිටි පිරිස අමතා ඇයට කෑමට යමක් ඇවැසි බව කීවාය.
ගොවියෙකු ඇය ළඟට පැමිණ කෑමට රුචි මොනවාදැයි විමසූ විට ඇය පවසා තිබුණේ කිරිබත් තිබේ නම් යහපත් බවය. වැඩ කරමින් සිටි තරුණයෙක් අසල සිටි එළදෙනෙකුගෙන් කිරි දොවා කිරි බතක් සකස් කිරීමට සූදානම් විය. කිරිබත් පිළියෙල කර අවසන් වන විට රෑ බෝ වී තිබිණි. මෙය පිළිගැන්වීමට අවශ්‍ය ආලෝකය ලබාගැනීම සඳහා පහනේ තෙල් නොවීය. පිරිස කල්පනා කරමින් සිටියේ පහන දැල්වීමට තෙල් සපයා ගන්නා ආකාරය පිළිබඳය.
“පහන් පත්තු කරන්න තෙල් ඕන නෑ. අර ඉස්සරහ කලපුවෙන් ගිහින් මුහුදු වතුර ටිකක් ගෙන්න. ගෙනත් පහන පත්තු කරන්න“ වියපත් කාන්තාවගෙන් උපදෙස් ලැබිණි. මුහුදු වතුරෙන් පහන් පත්තු කළ නොහැකි බව දනිතත් මුවින් නොබැණ මුහුදු වතුර රැගෙන විත් පහන්වලට දමා පත්තු කිරීමට ගොවි පිරිස කටයුතු කළහ. අරුමය වූයේ එම පහන් පත්තු වීමය. ඒ සමඟම “මට පුද සත්කාර කරන්නේ නම් ඔබට වරදින්නේ නැහැ.’ යැයි පවසමින් වියපත් කාන්තාව අතුරුදන් වූවාය. පහුවදා වන විට මේ මැහල්ල ඉඳගෙන හිටි නගුල පැළ වී තිබිණි.
කොහොඹ ලීයෙන් කළ නඟුල දලු ලා කොහොඹ පැළයක් බවට පත් වී තිබිණි. ප්‍රදේශවාසීහු එතැන කෝවිලක් ඉදි කළහ. ඒ කෝවිල නන්දිකඩාල් කලපුවේ පිහිටා ඇති වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල බව ඔවුන්ගේ විශ්වාසය ය. ඇදහීමට අනුව ඒ මැහැල්ල ලෙසින් පෙනී සිට ඇත්තේ කන්නගි අම්මාන්ය. කන්නගී අම්මාන් යනු පත්තිනි දේවියගේ එක් පෙනී සිටීමකි.
මල් ඉසීම
වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී දෙවියන්ට පුදපූජා පවත්වන අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් අවස්‌ථා තුනකදීම ගුවනේ සිට කෝවිලට මල් ඉසීම සිදු කෙරිණි.
කිසිදු ආගමක් ධර්මයක් තුට්‌ටුවකට මායිම් නොකළ එල්.ටී.ටී.ඊ. සංවිධානයද සිය ගුවන් හමුදාව ආරම්භ කළ වර්ෂයේම වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දා ගුවනේ සිට එක්‌වරක් වට්‌ටාපලෙයි කෝවිලට මල් ඉස තිබේ.
සිද්ධිය දුටුවන් එය විස්‌තර කළද දෙමළ මාධ්‍යකරුවන්ට හැර සිංහල මාධ්‍යවේදීන්ට එම සිද්ධිය වාර්තා කිරීමට නොහැකි වූයේ ආරක්‌ෂක අංශ තරයේම එම සිද්ධිය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. ය සතුව ගුවන් බලයක් ඇති බව මුල් වරට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පිළිගැනීමට බල පෑ එකම සාධකයද එදා එල්.ටී.ටී.ඊ. ගුවන් යානයකින් මුලතිව් වට්‌ටාපලෙයි කෝවිලට ගුවනේ සිට මල් ඉසීමේ ක්‍රියාවලියයි. හෙලිකොප්ටර් යානා මඟින් වට්‌ටාපලෙයි කෝවිලට මල් ඉසින විට ලක්‍ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ස්‌ත්‍රොත්‍ර කියමින් දෙපසට මාරු කරගත් අත්වලින් කන් අල්ලාගෙන උඩ පනිමින් දෙවියන් උදෙසා කන්නලව් කිරීම මේ වාර්ෂික මංගල්‍යයේදී දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.
නමුත් මෙවර රටේ පැවති අයහපත් වාතාවරණය නිසා හෙලිකොප්ටරයෙන් මල් ඉසීමක් සිදු නොවිණි. එමෙන්ම කෝවිලේ පුදපූජා කටයුතු සදහා පැමිණ සිටි අති විශාල ජනකායට ආරක්ෂාවක් සපයා දීමට සිදු වූ බැවින් යුද හමුදාවට පොලීසියට පොලිස් විශේෂ කාර්ය බළකායට මෙවර මුලතිව් වට්ටාපලෙයි කෝවිල් භූමියේ දින දහයකට වඩා වැඩි කාලයක් රැදී සිටීමට සිදු විණි.
මුලතිව් ආරක්ෂක අංශ සාමාජිකයන්ටද මේ වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ඉතා හොඳින් හුරු පුරුදු වූ මංගල්‍යයකි. ඔවුහුද මේ මංගල්‍යය සඳහා පැමිණෙන බැතිමතුන්ට ආහාර පිස දාන දෙති. මේ මංගල්‍යය සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ මේ කෝවිලේ ඇතැයි කියන හාස්කම් සමුදායක් නිසාය
මුහුදේ සිට පාවී පැමිණ ගොඩබිමට සේන්දු වූ මහානුභාව සම්පන්න කෝවිල් තුනක් ලෙස සැලකෙන හලාවත මුන්නේශ්වරම් දේවාලයද, මන්නාරමේ තිරුකේතීශ්වරන් කෝවිලද, ත්‍රිකුණාමලයේ කෝනේශ්වරන් කෝවිලද තරමට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වට්‌ටාපලෙයි කෝවිලද සුප්‍රසිද්ධ තත්ත්වයකට පත් වී තිබේ. ත්‍රිකුණාමලයේ පිහිටි කෝනේශ්වරන් කෝවිලේ ඇති මහානුභාවය හේතුවෙන් යමෙකු ප්‍රාර්ථනා කරන යමක් ඇත්ද එය එලෙසින්ම ඉටු වන බවට හින්දු බැතිමතුන් තුළ අචල විශ්වාසයක් පවතී.
එලෙසින්ම දැඩි භක්‌ති විශ්වාසයක් ඇති මුලතිව් වට්‌ටාපලෙයි කෝවිල වෙනුවෙන්ද හින්දු බැතිමත්හු වසර පුරාම බාරහාර වෙති.
කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනයේදී බාරහාර ඔප්පු කිරීමට පැමිණෙන හින්දු බැතිමතුන් නිසාම වට්‌ටාපලෙයි කෝවිල් භූමිය මංගල්‍යය සමයේදී එකම මිනිස් හිස් ගොඩක් බවට පත්වෙයි. රටේ තත්ත්වය කොතරම් අයහපත් බව කියවුණද මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට මෙවරද බැතුමතුන් අඩු වූයේ නැත.
ආරක්ෂක අංශවල කැපවීම මත වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය ඉතා විචිත්‍ර වාර්ෂික මංගල්‍යයක් සැමරීමට ලක්‍ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන්ට අවස්‌ථාව සලසා දී තිබිණි.
මේ නිසාම වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දා කාවඩි නැටුමෙන් හා සංගීතයෙන් කෝවිල් භූමියම අලංකාර විණි. කාන්තාවන් පමණක් විසින් සිදු කරනු ලබන "පාල් කාවඩි" පෙරහරවල්ද වට්‌ටාපලෙයි කෝවිලේදී දැක ගන්නට ලැබිණි. කුඩා කලයකට කිරි දමා ඊට කොහොඹ අතු හා මොනර පිල් යොදා අලංකාර ලෙස සරසන ලද කළය හිස මත තබාගෙන කිරි නොඉහිරෙන පරිද්දෙන් කාවඩි නැටීම "පාල්කාවඩි" නැටීමයි.
කාවඩි සංගීතයට අනුව පිරිස් නටද්දී තවත් පිරිසක් සිය සිරුරේ පිටට කොකු ගසා ලණුවල ආධාරයෙන් බිමට මුහුණ සිටින ලෙස එල්ලී කොහොඹ අතු දෑතට ගෙන කෝවිලේ දෙවියන්ට නමස්‌කාර කරනු දැකිය හැකි විය. යුද්ධය හමාර වී වසර දහයක් ඉක්ම ගිය මොහොතක මෙවර පැවති වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලයේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව තුළ බෞද්ධාගම කෙරෙහි ඇති නැඹුරුතාව උද්දීපනය වී ඇති ආකාරයටම හින්දු ජනතාව තුළද ඔවුන්ගේ ආගම කෙරෙහි වූ නැඹුරුතාවයේ ප්‍රවර්ධනයක් දක්‌නට ලැබමින් පවතී.
යුද සමයේදී වන වැදී ගිය ආගමික සිද්ධස්‌ථාන සොයමින් ඔවුන් එසේ ආගමික නැඹුරුතාවකට පිළිපන් සමයක සිංහල බෞද්ධයන්ද වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට ගොස් සිටි අන්දම දැක ගැනීමට ලැබිණි.
සාමය සමඟිය සමානාත්මතාව හා ජාතික සංහිඳියාව අපේක්ෂා කරන මෙවන් මොහොතම මුලතිව් වට්ටාපලෙයි කෝවිල් භූමියෙන් දැකගන්නට ලැබුණු යහපත් හා හිතකර මෙන්ම අගය කළ යුතු ගුණාංග රැසක්ම වෙයි.
එවැනි ගති ලක්ෂණ තවත් වර්ධනය කිරීම සඳහා යුද සමයේදී විනාශ වී ගිය එවැනි සිද්ධස්ථාන සොයා බලා ඒවා තවදුරටත් පිළිසකර කිරීමට රජව පියවර ගත යුතුය.
එවිට හින්දු වැසියන්ගේ මනස් තුළට යළි යළිත් කුණු කන්දල් හා පවිටු අදහස් ඇතුළු වීමට අවකාශ නැත. මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ දුටු චමත්කාරය මේ රටේ සෑම ආගමික ස්‌ථානයකින්ම දැකගැනීමට අවස්‌ථාව උදා වන්නේ නම් සාමය, සමඟිය, එකමුතුකම මිස යළිත් යුද්ධයකට අත පෙවීමකට අවස්‌ථාව නොලැබෙන බව මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල් භුමියේදී දැකගන්නට ලැබුණු සුබවාදී දසුන් සමුදායකි.