සම්මාදිට්ඨිය නැතිව මොනවා කළත් වැඩක් නැහැ! | සිළුමිණ

සම්මාදිට්ඨිය නැතිව මොනවා කළත් වැඩක් නැහැ!

අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක්. ඒ තමයි සච්චවිභංග සූත්‍ර දේශනාව. ‍මෙයින් අපට විස්තර කර දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සැබෑම ‍බෞද්ධයකු ‍බවට පත් වන්න නම් අප ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්න ඕනෑ. මේ අෂ්ටාංගික මාර්ගයේ පළමුවන පියවර තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය. මේ අවබෝධය අප තුළ ඇති වී තිබෙනවාද නැද්ද කියලා දැනගන්න පළමු වැනි ගුණය තමයි අප කුසල්-අකුසල් පිළිගන්නවාද නැද්ද කියන කාරණාව. ඒ වගේම අපාය-දිව්‍යලෝකය පිළිගන්නවාද නැද්ද, අතීත ජීවිත තිබෙන බව පිළිගන්නවාද නැද්ද, මරණින් මතු උපදින බව පිළිගන්නවාද නැද්ද, කුසල-අකුසල කර්මවල විපාක ඇති බව පිළිගන්නවාද නැද්ද, බුදු කෙනකු පහළ වෙලා හිටි බව පිළිගන්නවාද නැද්ද යන කාරණා අප අපගෙන්ම ඇසිය යුතුයි. මේ කාරණා ටික මුළු හදවතින්ම විශ්වාස කරනවා නම් අපට සම්මාදිට්ඨිය තිබෙනවා කියා පිළිගත හැකියි.

බණ කීවාට - ඇහුවාට මදි

දන් දුන්නාට, පින්-දහම්වලට උදවු-උපකාර කළාට, බෝධිපූජා කළාට ඒ පමණින් කෙනකු ධර්මමාර්ගයට ඇවිල්ලා නැහැ. මේ කරුණු ටික පිළිගන්න-එකට නමක් කියනවා: ‘කම්මස්සකතා සම්මාදිට්ඨිය’ - කර්මය කර්මඵලය අදහනවා කියන අර්ථයයි. වචනයෙන් විතරක් සම්මාදිට්ඨිය ඇති කරගත් අය අප අතර ඉන්නවා: කතා කරන්න ගියාම බණ දන්නවා, පින්-පව් ගැන දන්නවා, උපදෙස් දෙන්න දන්නවා, උගන්වන්න දන්නවා. එහෙත් මුළු හදවතින් පිළිපදින්නේ නැහැ. එසේ නම් ඒ තැනැත්තාට සම්මාදිට්ඨියක් නැහැ.

සම්බුද්ධ සාසනයේ සම්මාදිට්ඨිය නැතිව මොනවා කළත් වැඩක් නැහැ. සම්මාදිට්ඨිය ඇති වූ කෙනා හිතන විදිය වෙනස්. හිතන දේට අපි කියනවා ‘සංකල්ප’ කියලා; පාලියෙන් ‘සංකප්ප’. සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ සංකප්ප ටික එයට අනුව වෙනස් කරගන්නවා. සමහර අය තමන් ඇසුරු කරන කෙනා අනුව හිතන විදිහ වෙනස් කරගන්නවා. ඇතැමුන් සම්මා දිට්ඨියට අනුව සිතිවිලි වෙනස් කරගන්නවා. යම් හෙයකින් ඔබට අයිති නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු දක්නට ලැබෙනවා කියලා හිතන්න. මේ වගේ දර්ශනයක් දැකලා නරක සිතිවිලි ඇති කරගන්නවාද කියලා හිතන්න. ඒ සිතිවිලිවල පින්තූර ගන්න පුළුවන් නම් ඒ ඡායාරූප තමන්ගේ අම්මාට, බිරියට/ ස්වාමිපුරුෂයාට, දරුවාට පෙන්වන්න පුළුවන්ද? ඒ සිතිවිලි ඒ තරම් නරකයි! ඒ තරම් නරක කාම-රාග සිතිවිලි තමයි ඇති වන්නේ. සම්මාදිට්ඨිය තිබෙන කෙනා ‘මේවා කාම සිතිවිලි. මේවා තුළ ලෝබය, කාමය වැඩෙනවා. ඒ නිසා මම ඇහැ සංවර කරගන්න ඕනෑ’ කියලා හිතලා ඒ සිතිවිලි පාලනය කරගන්නවා. පෘථග්ජනව සිටියත් අපටත් එය කරන්න පුළුවන්. තම ස්වාමියා, බිරිය පිළිබඳ සිතන්න ඕනෑ. ඇති වනකොටම ‘මේ මගේ සිතිවිල්ල පාපයක්, මා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා’ කියලා සිතන්න. එතනින් එහා බාහිර ලෝකයෙහි නරක සිතිවිලි ඇති කරගන්න එපා කියලා මේ කියන්නේ.

ජීවිත ගංගාව හරවන මන්ත්‍රය!

අපි සම්මා දිට්ඨියෙන් කරන්නේ ජීවිත ගංගාව ආපසු හැරවීමයි. එවිට සිත උඩුගම්බලා යන්න පටන්ගන්නවා. සිතිවිලිවලින් ඇතිවෙන වෙනස!

අපට නිතර තරහා ඇති වනවා. ද්වේෂයක් ඇතිව සිටින අයට තරහා වැඩි වෙනවා. තරහා සිතිවිල්ලක් ඇති වුණාම සිතන්න ‘තරහා සිතිවිල්ලක්! තරහා සිතිවිල්ලක්!’ කියලා. තුන් වතාවක් හතර වතාවක් සිතන්න; තරහව පාලනය කරගන්න පුළුවන්. ‘මේ තරහාවත් අනිත්‍යයයි, මේ තරහාවත් අනිත්‍යයි’ කියලා නැවත නැවතත් හිතන්න. එසේ ‍සිතන කොට තරහා නැත්තටම නැති වනවා. කවදාවත් තරහා සිතින් නිදාගන්න එපා. අද දවසේ ඇති වූ තරහා අද දවසේම නැති කරලා නිදාගන්න. නැත් නම් ‍ඒ තරහා බද්ධ වෛරයක් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කෙනා දකිනවා ‘ද්වේෂය පාපයක්, මා එය දුරු කළ යුතුයි’ කියලා. තරහා සිතිවිලි ඇති වනවා, පවතිනවා, නැති වනවා - අනිත්‍යයි කියන දේ අප තේරුම් ගත යුතුයි.

අපට වෙලාවකට හිතෙනවා කෙනකු‍ට හිංසා පීඩා කරන්න; ගහන්න බනින්න මරන්න ‍තරම් තරහක් එනවා. කෙනකුට පාඩමක් උගන්වන්න කියලා හිතෙනවා. එහෙම ඇති වන සිතිවිලිත් ඇති වනවා, පවතිනවා, නැති වනවා කියලා අප අනිත්‍යය මෙනෙහි කළ යුතුයි. මෙසේ මෙනෙහි කළ විට හිංසාකාරි සිතිවිලි නැති වෙලා යනවා.

දවසට සිය වතාවක් අරහං බුදු ගුණය මෙනෙහි කරන්න ඕනෑ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණ සේක ආදි වශයෙන් බුදුගුණ මෙනෙහි කළ යුතුයි. සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා! තරහා නොවෙත්වා! කියලා සිතන්න ඕනෑ. මෛත්‍රී සිතිවිලි සිතන්නට පුරුදු වෙන්න ඕනෑ. මේවා තමයි නිවැරදි සිතිවිලි; සම්මා සංකප්පයන්: නිවන් මඟ දියුණුවට හේතු. මේ විධියට ‍සිතිවිලි වෙනස් වුණාම ජීවිතයම වෙනස් වනවා.

කට පාලනය කරගත්තෙ නැතොත්...

ජීවිතයට ධර්මය එකතු වුණාම කතා කිරීමේ ස්වභාවය පවා වෙනස් වන්න පටන් ගන්නවා‍. මේ බොරු කියන අය, කේලාම් කියන අය අපාගත වෙනවාමයි. මේ සංජීව මහ නිරයේ උපදිනවා. එය දස අකුසල කර්මයක්. අනෙක් කාරණාව පරුෂ වචන කීම. මේවා කරන්නේ නුවණ නැති අය- අඥානයන් විතරයි. හිතලා බලන්න මේවා නිරයගාමි වෙන්න තරම් පාප කර්ම. බහුලව පරුෂ වචන කියන අයට වෙන්නේ තාප නිරයේ ඉපදීමයි. කයේ ගිනි ජාලාවන් මැද උල ගහලා තමයි උපදින්නේ‍. ඒ නිසා පාපයන් බව දැනගෙන මේ වගේ පව්කාර සිතිවිලි නවත්තන්න ඕනෑ. කනට අමා දමන බඳු වැදගත් වචන කතා කරන්න පුරුදු වෙන්න ඕනෑ.

ඊළඟට වචනය වගේම ක්‍රියාවත් වෙනස් කරන්න ඕනෑ. මේ කයින් කරන දේවල්වලට කියනවා ‘කම්මන්ත’ කියලා. ඒ අනුව ‘සම්මා කම්මන්ත’ කියලා කියන්නේ යහපත් කර්මාන්තවලටයි. ධර්මය ජීවිතයට එකතු වුණාම නරක කායික ක්‍රියා නතර කළ යුතු බව සිතන්න පටන් ගන්නවා. පින්-පව් අදහන කෙනා මදුරුවකුවත් මරන්නේ නැහැ. අන් සතු පුංචි දෙයක් වත් සොරකම් කරන්නෙ නැහැ. ඒ ව‍ගේම තමන්ගේ භාර්යාවගෙන් තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සතුටු වෙන්න සිතට ගන්නවා. පරපුරුෂ/ පරස්ත්‍රී පුරුෂ ඇසුර නවත්වනවා. ටික වේලාවක් භාවනා කරන්න, බුදුන්ට මල් පූජා කරන්න, පිරිත් කියන්න නිතර පුරුදු-පුහුණු වෙනවා. මේ අය වීර්යය කරනවා යහපත් දේ දියුණු කරන්න, අකුසල් නැති කරන්න, සම්මා වායාමය ඇති කරන්න, ඉන් පසුව සම්මා සතිය, යහපත් සිහිය ඇති කරගන්න උත්සාහ කරනවා. ඉන් පසුව සතියට පැමිණෙනවා. එයයි බෞද්ධයකු කළයුතු, කරගත යුතු වන්නේ.

Comments