අපූරු සුසංයෝගකින් නිර්මිත සොඳුරු පාසල නේත්‍රා | සිළුමිණ

අපූරු සුසංයෝගකින් නිර්මිත සොඳුරු පාසල නේත්‍රා

මෙය ඉතා අපූරු පාසලකි. මහියංගණය ආසනයේ රිදීමාලියද්ද ගම්මානයේ මේ පාසල පිහිටා ඇත. පාසල නිර්මාණය කිරීමට දායක වූ සියලු මිනිසුන් සුන්දර අපූරු මිනිසුන් බව පැහැදිලිය. 2004 වසරේ සාමාජිකයන් 21 දෙනෙකුගෙන් යුක්තව විමුක්ති සංසදය නමින් ගමේ ස්වේච්ඡා සමිතියක් ආරම්භ විය. විමුක්ති සංසදයේ ප්‍රධාන අනුශාසක වරයා සමන්ත විද්‍යාරත්න සහෝදරයා වේ. 2007 වසරේ සමිතියේදී ප්‍රදේශයට නවීනතම දැනුම ලබාදීමට පාසලක් ආරම්භ කිරීමට යෝජනාවක් ගෙන ස්ථිර කර ගනු ලබයි. ඒ අනුව යමින් සියලු සාමාජිකයන් තම ශ්‍රමය හා හැකියාව ද ධනය ද යොදවමින් පාසලක් ඉදිකිරීමේ මූලික වැඩකටයුතු අරඹනු ලබයි. මේ සඳහා කේ.එච්.එම්. සෝමාවතී මෑණියන් විසින් වටිනා ඉඩම් තීරුවක් පාසල සඳහා පරිත්‍යාග කරනු ලබයි.කොළඹ මැනිං මාකට් ව්‍යපාරික හිතවතුන් පාසලට අවශ්‍ය පරිගණක මෙන්ම පුස්තකාල පොත් ද කඳ මලු ලෙස බැඳගෙන විටින් විට රැගෙන විත් පරිත්‍යාග කරයි. එසේම ඕමානයේ, ඕස්ට්‍රේලියාවේ හා කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකීය හිතවතුන් ද ආධාර උපකාර ලබා දෙයි. ලාංකීය හිතවතුන් ගණනාවක් ද විවිධ ගණයේ උපකාර සහයෝග නේත්‍රා පාසලට ලබා දුන්නේ ය. ඒ අනුව මේ වන විට නේත්‍රා පාසල ඉතා නවීන පහසුකම් වලින් සුසැදි දියුණු පාසලක් බවට පරිවර්තනය වෙමින් පවතී.

ඌව වෙල්ලස්සේ යනු ඓතිහාසික බිමකි. ඊට හේතු ගණනාවකි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ලංකාවේ පළමු වෙඩි මුරය පත්තු වූයේ ඌව වෙල්ලස්සේ 1817, 1818 විමුක්ති අරගලයෙනි. එහිදි අධිරාජ්‍යවාදීන්ට එරෙහි වන්නට තරම් වෙල්ලස්සේ ජනයාට ශක්තියක් ලැබුනේ කෙසේද ? ඒ එම ප්‍රදේශයේ තිබූ සශ්‍රීකත්වය බව අප තේරුම්ගත යුතුය. වෙල් ලක්ෂයක් තිබූ බිමක ශක්තිය අපට තේරුම් ගැනීමට අපහසු නොවන්නකි.

කායික හා මානසික ශක්තියක් ඇති ඌව වෙල්ලස්සේ වීරෝධාර මුතුන් මිත්තන් සුදු අධිරාජ්‍යවාදීන් සමඟ මුහුණට මුහුණ සටනකට ගියේ ඌව වෙල්ස්සේ තිබු ඒ සශ්‍රික බවේ බල මහිමය ද හේතුවෙනි. ඒ සටන කෙළවර වූයේ පරාජයකින් බව ලියැවී තිබුණත්, අධිරාජ්‍යවාදීන්ට මේ ලාංකීය භූ තලයෙන් ඉක්මනින් ඉවත්ව යෑමට මුල්ගල තැබුවේ ඒ අරගලයේ බව වටහාගත යුත්තකි. අධිරාජ්‍යවාදීන් ඌවේ තිබූ සශ්‍රීකත්වයට බිය වූයේ ය; වෛර බැන්දේ ය. එනිසාම ඔවුන් සියලු වැව් අමුණු සුණු විසුණු කර, ළමා හා තරුණ තරුණියන් ද ඝාතනය කර, බිම් පාළු ප්‍රතිපත්තියට අනුව යමින් වෙහෙර විහාර විනාශ කර ඌව වෙල්ලස්ස පාළු කනත්තක් කළේ; හරකා බාන මරා දැමුවේය; ඵල දරන සියලු ගස් කපා දැමුවේය.

සුද්දන් රට හැර ගොස් දැනට වසර 71 වන විට අද ද ඌව වෙල්ලස්ස ලංකාවේ දුප්පත් ම පළාත වී ඇත. සුද්දන් ගෙන් බැට කෑ ඌව වෙල්ලස්සේ ජනතාව හැත්තෑ එක් වසරක පාලකයන්ගෙන් ද බැට කමින් තිබෙන බවට එය සාධකයක් ව පවතී. එවන් බිමක ජනයාට ලොව දික්විජය කිරීමට ඇවැසි නවීනතම තාක්ෂණික දැනුම දායාද කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදල හා හිතවතුන්ගේ දායකත්වයෙන් නේත්‍රා පරිගණක පාසල බිහිවීම ඌව වෙල්ලස්සේ ජනතාව හිමිකරගත් අමිල ත්‍යාගයක් බව පැවසිය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රතිපාදන හා මන්ත්‍රීවරුන්ගේ වැටුප් මුදල් යොදවමින් ටිකෙන් ටික වසර ගණනාවක් තුළ පාසලේ ගොඩනැඟීම් සිදුකරනු ලබයි. එහි පළමු මහලේ වැඩ අවසන් කර 2017 වසරේ දී විවෘත කරන අතර 2018 වසරේ සිට නේත්‍රා නමින් පරිගණක පාසලක් ආරම්භ කරනු ලබයි.

පාසලේ කළමනාකරණය සඳහා වැටුප් නොලබමින් සේවය කරන අපූරු අධ්‍යක්ෂක මණ්ඩලයක් ද පත් වේ. ඒ පත් වූ උගත් බුද්ධිමත් පිරිස තම කාලය හා ධනය පාසලේ වැඩි දියුණුව සඳහා ද යොදවන අතර ඉගෙනුමට පැමිණෙන දු දරුවන් සඳහා ඉගැන්වීමට ගුරු මණ්ඩලයක් ද වේ. මේ අපුරු ගුරුවරුන්ද ගෞරවනීය ගුරුවර භූමිකාව වෘත්තියක් නොකර කිසිදු වැටුපක් නොලබා දරුවන්ට තම දැනුම ලබාදීමට ස්වෙච්ඡාවෙන් එක් වී සිටීම සුන්දර මෙන්ම අපූරු සුසංයෝගයකි. රුපියල් ශත, නම්බු නාම වලට බොහෝ දෙනා හඹා යන මොහොතක උගත් බුද්ධිමත් පිරිස් සහ රිදීමාලියද්ද ගැමියන් එකතුවී රටට ම ආදර්ශයක් සපයන අපූරු පාසලක් ගොඩ නැඟෙන්නේ ඒ අයුරින් ය. මේ සොඳුරු තක්සලාව සොයා යන රටේ සහ ලෝකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ක්‍රමක්‍රමයෙන් පාසලේ වැඩිදියුණුව සඳහා සහයෝගය දීම අරභයි.

මේ පාසල සඳහා ඌව වෙල්ලස්ස නියෝජනය කරමින් බිබිල, පදියතලාව, මහියංගණය, කන්දකැටිය, හසලක, රිදීමාලියද්ද , දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මෙවර ඇතුළත් කරගෙන තිබේ.

පළමු කණ්ඩායමට සහතික ප්‍රදානය හා දෙවන ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් බඳවා ගැනීමේ මහෝත්සවය ඉතා අභිමානවත් අයුරින් සැලසුම් කර තිබුණු අතර ඒ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ද ප්‍රවීණ රංගනවේදී දීපානි සිල්වා මෙනවිය ද ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් ද විද්වතුන් ගණනාවක් ද සහභාගි වූ අතර, රජය විසින් අධ්‍යාපනය ලබාදීමේ වගකීම දෙමාපියන් කර මත පටවා තිබෙන මොහොතක දෙමව්පියන් ද දහස් ගණනින් ලක්ෂ ගණනින් වියපැහැදම් කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මොහොතක, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන්ගේ වැටුප් යොදවමින් හිතවතුන්ගේ සහයෝගයෙන් හා ස්වෙච්ඡාවෙන් සහාය දෙන ආචාර්ය මහාචාර්යවරුන්ගේ දායකත්වය මෙවන් අපූර්වතම සොඳුරු පාසලක් නිර්මාණය වීම අප කාගේත් ප්‍රශංසාවට ලක්විය යුත්තක් බව සටහන් කර තබමි.

2018 වසරේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට ළමුන් 107 බඳවා ගෙන සම්පූර්ණයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දුන් අතර, දෙවන කණ්ඩායම බඳවා ගැනීමේ අභිමානවත් උත්සවය පසුගිය මැයි 25 දින සිදු කෙරිණි.

දෙවැනි කණ්ඩායමට නවක පිරිස ලෙස 250ක පිරිසක් බඳවා ගත් අතර රාත්‍රී පාඨමාලාවක් ද මෙතැන් සිට අරඹන බව පැවසේ. රාත්‍රී පාඨමාලාව සඳහා වයස අවුරුදු 60 දක්වා වූ ගම්වැසියන්ට අවස්ථා උදාකර දී තිබේ. ඒ අනුව බලන කල නේත්‍රා පාසල යනු ලොකු කුඩා ජනතාවට නවීනතම දැනුමෙන් සම්ප්‍රේෂණය කිරීම උදෙසා ඇරඹූ අපූරු සොඳුරුතම පාසලක් බව කිව යුතුය.

නේත්‍රා පාසලේ ඉගෙනුම ලබන පිරිසට පරිගණක අධ්‍යාපනයට අමතරව බාහිර දැනුම ලබාදීමට වැඩසටහන් ගණනාවක් සංවිධානය කරන තිබේ. මෙවර නේත්‍රා පාසලේ දී ගෝර්කි නමින් අපූර්වතම පුස්තකාලය විවෘත විය. විවෘත කරන මොහොත වන විට හිතවතුන්ගේ දායකත්වය මත ගෝර්කි පුස්තකාලයේ සඳහා අවශ්‍ය පොත්පත් හා උපකරණ විශාල ප්‍රමාණයක් ද ලැබී තිබීම සුවිශේෂත්වයකි. මෙහි ඉගෙනුම ලබන දරුවන්ට හා වැඩිහිටියන්ට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවන අතර විවිධ රසවින්දන වැඩසටහන් සම්භාව්‍ය චිත්‍රපට රස විඳීමට අවස්ථා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් ගණනාවක් ද සැලසුම් කර තිබීම සුවිශේෂත්වයකි.

Comments