දශක හතරක ජනතා මෙහෙවර සමරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය | සිළුමිණ

දශක හතරක ජනතා මෙහෙවර සමරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

අසූව දශකය ආරම්භයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත වූයේ සමාජ සංවර්ධනය උදෙසා සහාය වූ පවුලේ තිරසාර භාවය සඳහා නිවසක හිමිකම ලබාදීමේ අපේක්ෂාවෙනි. මෙවන් සමාජ මෙහෙවරක් උදෙසා 1979 වසරේ ස්ථාපිත කෙරුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 40 ක් සම්පුර්ණ කරයි.

වසර 40 කට ප්‍රථම යාපහුවේ බඩල්ගම ජීවත් වූ දුප්පත් පවුල් සමූහයකට තමන්ගේම ස්ථිර නිවහනක අයිතිය නිර්මාණය කිරීමෙන් සහභාගිත්ව සංවර්ධනය මුල්කොටගත් උදාගම් ව්‍යාපාරය නිර්මාණය විය. එය ජාතික ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රථම නිවාස හා ජනාවාස වැඩසටහනයි.

ජාතික නිවාස දිනය

එදා අද කාලපරිච්ඡේදය තුළ සියලු ජන කණ්ඩායම් ආවරණය වන ආකාරයෙන් නිවාස සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක විය. 2015 වසරේ ජූනි 23 දින ප්‍රථම වරට ජාතික නිවාස දිනය සැමරූ අතර, මෙවර එහි පස්වන සැමරුමයි.මෙවර ජාතික නිවාස දින සැමරුම් විශේෂත්වය වන්නේ එම සැමරුම් කාර්යයට පුරෝගාමි වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන වසර සැමරීමයි.

ජාතික නිවාස දිනය සැබෑ ලෙසින්ම අගය වන්නේ නිවාස අහිමිකම නිසා හිමි වූ දුප්පත්කම, නිවසක අයිතිය ලැබීමෙන් පොහොසත් වූ නිවාසලාභීන්ට ය. නිවසක අහිමිකම දුප්පත්කමක් ලෙස තවදුරටත් හිතන ජනකොටසක් මෙරට ජීවත් වෙති. ඔවුන් සඳහා ස්ථිර නිවහනක් ලබාදීම වත්මන් ජාතික නිවාස වැඩසටහනේ මූලික අපේක්ෂාවයි.

එදා අග්‍රාමාත්‍ය, පළාත් පාලන, මහාමාර්ග, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටවනු ලැබුවේ එතෙක් රාජ්‍ය ආයතනයක් ලෙසින් ජාතික නිවාස දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ නිවාස සංවර්ධන ක්‍රියාවලිය සමාජයේ සියලු ජනකොටස්හි නිවාස අවශ්‍යතාව සපුරාලීම උදෙසා වඩාත් ඵලදායි වූ වැඩපිිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැංවිමේ අරමුණෙනි.

එතෙක් නිවාසකරණය සඳහා රාජ්‍ය දායකත්වය අත්‍යවශ්‍ය යැයි යන හැඟීම පැවැති යුගයක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ආකල්පයෙන් බැහැරව, නිවස යනු, නිවාසලාභියාගේ මුලික අවශ්‍යතාවක් වන බවත්, ඒ පිළිබඳ තීන්දු තීරණ සියල්ල ගත යුත්තේ නිවාසලාභියා වන බවත්, එයට රාජ්‍ය දායකත්වය අවශ්‍ය වන්නේ නිවාසලාභියාට කළ නොහැකි, ඔවුන් සතු නොවන මූලික මූල්‍ය සම්පත් හා තාක්ෂණ සහාය ලබාදීමේ දී පමණක් යන සංකල්පය සමාජගත කිරිමට මුලික විය.

නිවාස ලක්ෂයක්, දස ලක්ෂයක් හා පහළොස් ලක්ෂයක්

පේ‍්‍රමදාස මැතිතුමන්ගේ දායකත්වයෙන් යාපහුව උදා ගම්මානයෙන් ඇරඹි, සමාජයේ අඩු පහසුකම් සහිතව ජිවත් වූ දුගි දුප්පත් ජනතාවට නිවාස පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය එදා හඳුන්වනු ලැබුවේ, උදාගම් ව්‍යාපාරය ලෙසිනි. වසර 05 ක් තුළ නිවාස ලක්ෂයක් ඉදිකිරිමේ ක්‍රියාදාමය එමගින් ආරම්භ කළ අතර, 1979 - 1983 කාලයේ පවුල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නිවාස පහසුකම් සැපයීමෙන් සාර්ථකත්වය හිමි විය.

අසූව දශකය ආරම්භයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවුල් දසලක්ෂයකට නිවාස පහසුකම් සැපයීමේ නිවාස සංවර්ධන වැඩසටහන මගින් නිවාසකරණය සඳහා සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලිය එක් කරනු ලැබීය. රජයෙන් ලබාදෙන සීමිත මුදලකින් නිවාසලාභීන්ගේ ඉතිරිකිරිම් හා ශ්‍රමය දායක කරගනිමින් නිවසක් නිර්මාණය කළ හැකි බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ එම කාර්ය සමාජගත කළ පාඩම විය.

එවැන්නක් කිසිසේත් ඉටු කළ නොහැකි යැයි සමාජ මතයක් පැවැති යුගයක සැබෑ ලෙසින්ම ජනතාවගේ දායකත්වයෙන් නිවස නිර්මාණය කළ හැකි බවත්, ඒ සඳහා රජය කළ යුත්තේ නිවාසලාභියාට කළ නොහැකි මුලික අවශ්‍යතා සපුරාලීම පමණක් බව නිවාස දසලක්ෂයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ රටට මෙන්ම ජාත්‍යන්තරයට ද ලබාදුන් පණිවිඩය විය.

ප්‍රාදේශීය ගම්උදාව

මෙම ක්‍රියාදාමය හේතුවෙන් සහභාගිත්ව සංවර්ධනය නිවාස සංවර්ධනයට මෙන්ම රටේ සෙසු සංවර්ධන කාර්යයන් සඳහා ද දායක කරගත හැකි බව අවබෝධ කරලීමට සමත්විය.

ඒ හේතුවෙන් මෙම නිවාස සංවර්ධන ක්‍රියාවලියට බද්ධව වෙනත් උප සංවර්ධන වැඩසටහන් රැසක් නිර්මාණය විය.

උදා කළ ගම්මාන මෙම නිවාස සංවර්ධන වැඩසටහනෙන් බිහිවු අතර, ගම්මාන රැසක සංවර්ධනය ප්‍රාදේශීය බල ප්‍රදේශයක් තුළ සිදු කළ යුතු සංවර්ධනය එදා හඳුන්වාදෙනු ලැබුවේ ප්‍රාදේශීය ගම්උදාව ලෙසිනි. එම ප්‍රාදේශිකයන් කිහිපයක එකතුවෙන් බිහි වන දිස්ත්‍රික්කයට ඒකාබද්ධ සංවර්ධනය, දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන ලෙසින් හඳුුනාගත් අතර, පසුකලක ගම්උදාව සංවත්සරය නිමිත්තෙන් විධිමත් ලෙසින් දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ වූයේ එම ක්‍රියාවලියේ සාර්ථක ප්‍රතිඵල හේතුවෙනි.

රජය ගමට යයි

සංවර්ධන කාර්යයන්හි සාර්ථකත්වය පිළිබඳ නිසි පසු විපරමක් අත්‍යවශ්‍ය වේ. එම කටයුත්ත රාජ්‍ය ආයතනික මැදිහත්වීමෙන් ප්‍රථම වරට සිදු කෙරුණේ උදාගම් ජංගම සේවාවෙනි. එමඟින් අරමුුණු කරගනු ලැබුවේ ගම් තුළ සිදු වූු සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ නිවාසලාභීන්ට හිමි වුයේ ද යන්න පිළිබඳ පසුවිපරම් කිරීමකි. ඒ සියලු ක්‍රියාකාරකම් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ දායකත්වය සහභාගීත්වයට සහ සහ මෙහෙයවීම නොඅඩුව හිමි විය.

ජගත් නිවාස වසර - ලෝක ජනාවාස දිනය

සහභාගිත්ව සංවර්ධනය ක්‍රියාකාරිත්වයට රැගෙන ගිය පුරෝගාමී ආයතනය වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යි.

රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමන්ගේ පුරෝගාමිත්වයෙන් ජාත්‍යන්තරට රැගෙන ගිය 1987 ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව නිර්මාණය කිරීමේ දී පුරෝගාමීත්වය ගනු ලැබූවේ නිවාස අධිකාරිය වන අතර, ලෝක ජනාවාස දිනය ජගත් සංවිධානය වෙත, ශ්‍රී ලාංකිය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරිමට ද අධිකාරිය පුරෝගාමි දායකත්වයක් ලබාදෙනු ලැබීය.

දුප්පතුනට නිවාස සැදු සෙවණ

දුප්පතුන්ට නිවාස ඉදි කිරීම සඳහා රාජ්‍ය මූල්‍යායෝජනය නොලැබුණු අවස්ථාවක දී, වැල්ලවාය ප්‍රදේශයේ දුගි දුප්පත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරමින් පසුකලක දහස් සංඛ්‍යාත දුප්පතුන් වෙනුවෙන් නිවාස නිර්මාණය කළ සෙවණ අරමුදල ස්ථාපිත කළේ ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුරෝගාමිත්වයෙනි.

ඇඟලුම් කම්හල් 200

පිටිසර ගම් දනව්වල තරුණ තරුණියන් රැකියා අපේක්ෂාවෙන් නගරයට පැමිණිම වෙනුවට ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නගරයේ ඇති අවස්ථා ගමට ගෙන යෑමේ, ඇගලුම් කම්හල් 200 වැඩසටහන, නිර්මාණය වූයේ ගැමි ආර්ථිකය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළ මඟිනි.

ජනසවිය

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ ගම සහ නගරයේ දුප්පත්කම දුරුකරලීම සඳහා වු ජනසවිය සංකල්පය නිර්මාණයවීම සඳහා හා අවශ්‍ය මුුලික පසුබිම ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හේතු විය.

ගතවූ වසර 40ක කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස සංවර්ධනය මුල්කොටගත් නිවසේ ජිවත්වන නිවාසලාභියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරිමටත්, සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීම උදෙසාත් සිදු කෙරුණු විවිධ වූ ජාතික වැඩසටහන් සඳහා සිය දායකත්වය නොමඳව ලබා දී තිබේ.

සැමට සෙවණ2015 වසරේ සිට වර්තමානය දක්වා නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මැතිතුමන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ පුරෝගාමි ආයතනය වුයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිියයි.

එම ආදර්ශ ගම්මාන ක්‍රියාවලියෙන් ගතවු සිවු වසරකට අධික කාලපරිච්ඡේදය තුළ නිවාස හා ජනාවාස සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 33, 280කට අධික මුදලක් රාජ්‍ය අරමුදල් ආයෝජනය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමත් වු අතර, එමඟින් ප්‍රතිලාභ ලැබූ පවුල් ප්‍රමාණය 377500 ක් පමණවේ.

නව ගම්මාන 2500ක්

මෙම කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාවට නැංවූ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ මෙම ක්‍රියාවලියේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහනක් වේ. 2015 වසරින් ඇරඹි මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළින් මේ වන විට නව ආදර්ශ ගම්මාන 2500කට අධික ප්‍රමාණයක ඉදිකිරිම් කටයුතු ආරම්භ වි තිබේ. ගරු නිිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන් අපේක්ෂා කළ පරිදි 2019 වසර අවසන් වන විට නව ආදර්ශ ගම්මාන 2500 ක ඉදි කිරීම් කාර්යයන් ඇරඹිමට අපේක්ෂා කළද, නිවාස ප්‍රතිලාභීන්ගේ දායකත්වයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යය මණ්ඩල කැප වීමත් හේතුවෙන් මෙම සංවර්ධන ඉලක්කය 2019 වසරේ ජුනි මාසයේ දී ළඟා කරගැනීමට සමත් වී ඇත.

සිවු දශකයකට හිමිකම් කිියන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලාංකික ජන සමාජයේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 25කට අධික සංඛ්‍යාවකට නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා සිය දායකත්වය ලබාදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමත්ව ඇත.

හතලිස් වන සංවත්සර අපේක්ෂාව

නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ සජිත් පේ‍්‍රමදාස මැතිතුමන්ගේ අපේක්ෂාව වන්නේ ඉදිරි වසර කිහිපයේදි ශ්‍රී ලාංකික ජන සමාජයේ සෑම පුරුසියෙකුටම තමන්ගේම නිවහනක හිමිකම ලබාදීමයි. එකි අභියෝගය ජය ගැනීම සඳහා උපරිම දායකත්වය ලබාදීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරයේ අපේක්ෂාව වේ.

ලක්විජය සාගර පලන්සූරිය
සභාපති-ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Comments