මධුෂ්ගේ කුඩු ජාවාරමේ ඉන්න මන්ත්‍රීලා | Page 2 | සිළුමිණ

මධුෂ්ගේ කුඩු ජාවාරමේ ඉන්න මන්ත්‍රීලා

ඩුබායි පොලිස් අත්අඩංගුවේ මාස තුනක් සිටි මාකඳුරේ මධුෂ් මෙරටට රැගෙන විත් දැන් මාසයකට වැඩිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේ රඳවාගෙන සිටින මධුෂ් මේ කාලය තුළ විමර්ශන නිලධාරීන් හමුවේ වමාරා ඇත්තේ ඔහු විසින් කළ අපරාධ ගැන පමණක් නොව, ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් , නීතීඥවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගැනද හෙළි කර ඇත.

වරක් ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ තමන්ට ආයුධ ලැබුණේ පොලීසියෙන් සහ දේශපාලනඥයන්ගෙන් බවය. පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නම්ද ඔහු කියා තිබිණි. එකී නම් අතර කාලයක් තිස්සේ මධුෂ් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ මැති ඇමතිකම් දැරූ දකුණේ දේශපාලනඥයෙක්ද සිටියේය.

ඒත් එක්කම තමන් ඇසුරු කළ සහ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන්ගේ නම් කිහිපයක්ද මධුෂ් වමාරා තිබිණි. ඒ අයගෙන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෝය. ඒ නම් අතර පක්ෂ විපක්ෂ භේදයක් නොවීය. විශේෂත්වයක් වන්නේ වාමාංශික දේශපාලන නියෝජනයක්ද ඒ තුළ තිබීමය. එකී දේශපාලනඥයාද දකුණේ නියෝජනයකි.

මධුෂ් සමග කිට්ටු ඇසුරක් පැවැති දේශපාලනඥයන් ඩුබායි යන එන විට මධුෂ් මුණ ගැසීමටද කිසිසේත්ම අමතක කර නැත. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වරක් ඩුබායි ගිය අවස්ථාවකදී ඔහුට සලකා ඇත්තේ මධුෂ්ය.

ඒත් එක්කම මෙරට මත්කුඩු ජාලය ගැනද බොහෝ තොරතුරු මධුෂ් හෙළි කර තිබේ. අත්අඩංගුවට ගන්නා මත්කුඩු දූෂිත පොලිස් නිලධාරීන් සහ සුරාබදු නිලධාරීන් විසින් හොර පාරෙන් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් කරන අයුරු එහිදී මධුෂ් හෙළි කර ඇතැයි කියැවෙන්නේ එවන් නිලධාරීන්ගේ නම්ගම්ද සහිතවය. ඒ අය අතර සිටින්නේ රාලහාමිලා පමණක් නොව, ඊට ඉහළ විවිධ තරාතිරම්වල නිලධාරීහු ද සිටිති. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නමක් සදහන් කරමින් ඔහු මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සහායෙන් හෝටලයක් ඉදි කිරීමක් ගැනද මධුෂ් යම් හෙළිදරව්වක් කර තිබේ. එහි ඇත්ත නැත්ත තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය.

මධුෂ්ට එරෙහිව පසුගිය වකවානුවේ අවි අමෝරාගත් පොලිස් නිලධාරීන් අතර එම නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටියේ ඉදිරියෙනි. මධුෂ්ගේ ගෝලබාලයන් කිහිප දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් පසුගිය කාල වකවානුවේදී වෙඩි කෑ විට අධිකරණය හමුවේ කරුණු දක්වන්නට පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේද එම නිලධාරියාය. මධුෂ්ගේ අපරාධ ගොනුවක් ඔහු විසින් වෙනමම පවත්වාගෙන ගොස් තිබිණි. එහෙත් දැන් මධුෂ්ගෙන් චෝදනා එල්ල වී ඇත්තේද එම නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.

මධුෂ්ගෙන් එවන් චෝදනා එල්ල වී ඇත්තේ ඔහු පස්සේ වැටී සිටි එම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමණක් නොව. මධුෂ්ගේ ගෝලබාලයන් කොටු කරගනිමින් මධුෂ්ගේ මෙරට පාතාල කටයුතු අඩපණ කිරීමට දැවැන්ත වැඩකොටසක් කළ විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරීන් පිරිසකටද මධුෂ් චෝදනා එල්ල කර ඇත. ඒ තමන්ට අවි ආයුධ දුන්නේ එකී නිලධාරීන් බව කියමිනි. මධුෂ් මේ සූදානම් වන්නේ තමන් මෙල්ල කරන්නට හැදූ පොලිස් නිලධාරීන් මෙල්ල කිරීමකටදැයි ඇත්තේ ගැටලුවකි.

මධුෂ් කට ඇර ඇත්තේ පොලිසිය ගැන පමණක් කියන්නට නොව, මත්කුඩු ජාලය සමඟ බැදී සිටින දේශපාලනඥයන් කිහිප දෙනෙක් ගැනද මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විටත් ඇත්තේ තොරතුරු වමාරය. ප්‍රා දේශිය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් ඒ අතර සිටින බව සඳහන්ය. ඒ අයගෙන් බොහෝ දෙනෙක් මධුෂ්ගේ මත්කුඩු ජාලයේ රැදී සිටින්නෝය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැනද මධුෂ් හෙළිදරව්වක් කර ඇතැයි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකි.

කලක් නියෝජ්‍ය ඇමතිධුරයක්ද දරා ඇති එම දේශපාලනඥයා විපක්ෂය නියෝජනය කරන්නෙකි. නගර සභාවක සිට පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඇත්තෙකි. එම දේශපාලනඥයා මධුෂ් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටියේ යැයි කියන්නේ අප නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරුය.

දේශපාලනයට එන්නට පෙර සිටම ඔහු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට කටකතාද පැතිර ගොස් තිබිණි. ඔහු ගැන මධුෂ් කියන්නට පෙර සිටම පොලිසිය ඒ ගැන දැන සිටියේ වසර කිහිපයක සිටමය. ඒ බුද්ධි අංශ තොරතුරු මඟිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා එම තොරතුරු ඔස්සේ සිටියේ එකී දේශපාලනඥයාට ඉව අල්ලමිනි. එහෙත් ඔහුට එරෙහිව චෝදනාවක් කරන්නට තරම් පැහැදිලි සාක්ෂියක් ඒ කිසිවෙකුටත් සොයා ගන්නට හැකි නොවීය.

දේශපාලනයට එන විට නොතිබුණු තරමේ මහා ධනස්කන්දයකටද දැන් ඔහු උරුමකම් කියන බව සඳහන්ය. සංචාරක හෝටල් මෙන්ම ගොඩනැගිලි රැසකද ඔහු හිමිකරුවෙකු බවද කියති. ඒ ගැනද මේ වන විට රහස් විමර්ශනයක් පැවැත්වෙමින් ඇතැයි පැවසෙන්නේ මුදල් විශුද්ධිකරණයට ඔහුව කොටු කරගැනීමට මාන බලමිනි. එහෙත් ඊට පෙර මධුෂ්ගේ හෙළි කිරීම්වලට අනුව එකී දේශපාලනඥයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වීමේ ප්‍රවණතාව ඉහළය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ සංකීර්ණ විමර්ශන කටයුතු අවසන් වූ වහාම බොහෝ විට එය සිදු වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Comments