මොකක්ද ඇත්තටම මේ ‘ධර්මය’ කියන්නේ? | සිළුමිණ

මොකක්ද ඇත්තටම මේ ‘ධර්මය’ කියන්නේ?

තෙරුවන් සරණ යන විට අප ‘බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’ කියනවා. පුංචිකාලයේදී අප අවබෝධයකින් යුතුව මේ පාඨ කියවන්නේ නැහැ. ඒ වගේම, ලොකු වුණාට පස්සේත් අප මේවා කියන්නේ හරියට දැනගෙන වෙන්නත් පුළුවන් - නොදැන වෙන්නත් පුළුවන්! මේ නිසා අප අද ‘ධර්මය’ කියලා සරණ යන්නේ නිවැරදිවම කුමක්දැයි විමසා බලමු.

තථාගතයන් වහන්සේ ධර්මය පැහැදිලි කර තිබෙන්නේ ‘සපරියාප්තික නවලෝකෝත්තර සද්ධර්මය’ යනුවෙනුයි. මෙයින් ‘සපරියාප්තික’ කියන්නේ අප ‘උගත යුතු කොටස’ කියන එකයි. එනම් ත්‍රිපිටකයයි. ත්‍රිපිටකයේ බුදුන් වහන්සේ වදාළ ධර්මය ස්කන්ධ වශයෙන් අසූහාරදහසක් තිබෙනවා. මෙහි ‘ස්කන්ධ’ කියන්නේ ‘එක අර්ථයක් ප්‍රකාශ කරන’ කියන අදහසයි. අප උගත යුතු, දරාගත යුතු ඒ අසූහාරදහසක් ධර්මය තමයි පරියාප්ති ධර්මය කියන්නේ.

අනෙක් කොටස ‘නවලෝකෝත්තර’ කොටසයි. එය ලෞකික එකක් නොවෙයි. මේ නිසායි ‘ලෝකෝත්තර’ කියන්නේ. ‘නවලෝකෝත්තර’ කියන්නේ එහි ධර්මතා නවයක් තිබෙන නිසයි. එනම්: සෝවාන් මාර්ගය - සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය - සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය - අනාගාමි ඵලය, අර්හත් මාර්ගය - අර්හත් ඵලය යනුවෙන් මාර්ග හතරයි, පල හතරයි, නිවන යන කොටස් නවයයි. මේවා අප විසින්ම අවබෝධ කළ යුතුයි; වටහාගත යුතුයි.

මේ අනුව අප කලින් සඳහන් කළ ‘සපරියාප්ති ධර්මය’ කියන ඒ ත්‍රිපිටකය හා ‘නවලෝකෝත්තර ධර්මය’ කියන මාර්ග-ඵල ධර්ම අට සහ නිවන යන මේ දහයටයි අප ‘ධර්මය’ කියලා කියන්නේ.

සපරියාප්ති කියනවා!

නවලෝකෝත්තර කියනවා!!

මේ ධර්මයේ ගුණ හයක් තිබෙනවා. මේවා තමයි ස්වාක්ඛාතෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වශයෙන් හැඳින්වෙන්නේ.

‘ස්වාක්ඛාතෝ’ කියන්නේ නිවනට සුදුසු සියලු දේ දේශනා කළා කියන එකයි. මේ ගුණය තිබෙන්නේ ත්‍රිපිටක ධර්මය තුළ පමණයි. අනෙක් ගුණ පහ අන්තර්ගත වන්නේ නවලෝකෝත්තර ධර්මය තුළ පමණයි. දැන් අපි මෙහි අර්ථ ඉගෙන ගනිමු. මරණ මංචකයේදී ඇසුවත් කිව හැකි විදිහට අප මේ ගුණ උගත යුතුයි බෞද්ධයන් විදිහට.

නවලෝකෝත්තර ධර්මයේ පළමු වැනි ගුණය වන්නේ සන්දිට්ඨික යන්නයි. ‘සන්දිට්ඨික’ කියන වචනය වචන දෙකක් එකතු වෙලායි හැදිලා ‍තියෙන්නේ. ‘සන්’ කියන්නේ ‘තමන් විසින්’ කියන අර්ථයයි. ‘දිට්ඨික’ කියන්නේ ‘අවබෝධ කළ යුතුයි’ කියන අර්ථයයි. නවලෝකෝත්තර ධර්මය තමන් විසින් අවබෝධ කරගත යුතු වන නිසා සන්දිට්ඨික වන්නේය කියලයි මේ වචනය පිළිබඳව දී ඇති නිර්වචනය. පාලියෙන් මෙය ‘නව විදෝති ලෝකෝත්තර ධම්මෝ සාමන්දට්ඨක්තීති සන්දිට්ඨිකෝ’ කියලා කියනවා.

අංගුත්තර නිකායේ තික නිපාතයේ මේ සඳහා හොඳ නිදසුනක් සඳහන් වනවා. අඥතර බ්‍රාහ්මණ නමින් හඳුන්වන එක්තරා බ්‍රහ්මණ කෙනෙක් බුදුන් වහන්සේ ළඟට ඇවිත් අහනවා: “සන්දිට්ඨිකෝ සන්දිට්ඨිකො භන්තේ වුජ්ජති තිට්ඨාවාතානුඛෝ අහං භන්තේ සන්දිට්ඨිකෝ වුත්තා භගවතාතා?’’ “භග්‍යවතුන් වහන්සේ ධර්මයට සන්දිට්ඨික සන්දිට්ඨික කියලා කියනවා. ධර්මයට සන්දිට්ඨික කියලා කියන්නේ ඇයි?’’ කියලා.

බුදුන් වහන්සේ ලස්සන තේරුමක් දෙනවා “රත්තෝ ඛෝ බ්‍රාහ්මණ රාගේන අභියෝතෝ පරියා භින්න චිත්තෝ අත්ත ව්‍යාබාධාය චේතේති පරව්‍යාබාධාය චේතේති උභයව්‍යාබාධායති චේතේතී චේත සුඛම්පි දුක්ඛස්ස පටිසන්වේදේති,’’ “බ්‍රාහ්මණය, ආශාව හිත තුළ හටගත්තාම ආශාව ඇති වූ කෙනා තමන්ට අයහපත පිණිස කටයුතු කරනවා, අනුන්ට අයහපත කරන්න කටයුතු කරනවා, තමන්ටයි අනුන්ටයි දෙපාර්ශවයටම අයහපතක් කරගන්නවා. මෙය වටහා ගත්තාම තමාට අයහපතක් කරගන්න හෝ අනුන්ට අයහපතක් කරන්න හෝ තමාටත් අනුන්ටත් දෙපිරිසටම අයහපතක් කරන්න හිතන්නේ නැහැ. මේ කරුණු තමන් විසින්ම අවබෝධ කරගත යුතුයි,’’ කියලා.

 

අකාලික කියන්නේ ඇයි?

ඊළඟට ‘අකාලිකෝ’. අයන්න අප භාවිත කරනවා ‘නැහැ’ අර්ථයෙන්. අකාලික කියන වචනයේ තේරුම ‘කාලයක් නැහැ’ කියන එකයි. ධර්මය ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් කාරණාව නොවෙයි මෙහි තේරුම. එය තේරුම් ගන්න කර්ම විපා‍ක දෙන හැටි තේරුම් ගන්න ඕනෑ. සමහර කුසල අකුසල කර්මවල විපාක මෙලොවදීම ලැබෙනවා. ඒවාට අප කියනවා දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. මෙලොවදීම පටිසන් දෙනවා කිව්වාට එය ලැබෙන්නත් යම්කිසි කාලයක් යනවා. දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ ඉක්මනින් පූදිනගසක් වගේ. කර්මය මේරුවාම තමයි මෙලොව ලැබෙන විපාක ලැබෙන්නේ. දෙවැනි ජීවිතයේදී දෙවැනි ‍ජීවිතයේදී විපාක දෙන කර්මයට කියනවා උපපජ්ජවේදනීය කර්මය කියලා. තුන්වැනි ජීවිතයේ සිට නිවන් දක්නා ජාති දක්වා පටිසන් දෙන කර්මය අපරාපරියවේදනීය කර්මයයි. මේ සියල්ල කාලයට අයිතියි. හැබැයි ලෝකෝත්තර කුසල කර්ම තිබෙනවා, ඒවා ඉන්ද්‍රිය දියුණු අවස්ථාවලදී එය නිරුද්ධ වීමත් සමඟ විපාක දෙනවා. කර්ම විපාක දෙන්න වගේ කාලයක් මේ අතරතුර ගත වන්නේ නැහැ. සෝවාන් මාර්ග සිත ඇති වුණු කෙනෙක් සෝවාන් පලයට පත් වන්නේ නැතුව මොන විදිහටවත් මරණයට පත් වන්නේ නැහැ. බුදුන් වහන්සේ කියනවා, යම් කිසි ශ්‍රාවකයෙක් ඉන්නවා, ඔහු සෝවාන් මාර්ගයට පත් වන මෙහොතයි, කල්පය විනාස වන ‍මොහොතයි එකට යෙදී තිබෙනවා. මෙහිදී ශ්‍රාවකයා සෝවාන් පලයට පත් වන තෙක් කල්පය විනාශ වන එක නවතිනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුන් වහන්සේ ඔහු හඳුන්වන්නේ ‘කල්පය නවත්වන කෙනා’ - ‘තිත කප්පී’ නමින්. සෝවාන් පලයට පත් වන්නාට එතරම් බලයක් තිබෙනවා. කල්පය විනාස වීම ‍සෝවාන් වන ඔහුගේ සිතේ බලයෙන් නවතිනවා. එයාට සෝවාන් ඵලයට පත් වීමටයි මේ අවකාශය ලැබෙන්නේ. ඒ අතරතුර කාලයක් නැති නිසයි ‘අකාලික’ නම් වන්නේ. තවත් පැහැදිලි කළොත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සිතට අනතුරුව අර්හත් ඵල සිත උපදින බැවින්ද අකාලිකයි. මේ තමයි අකාලික කියන වච‍නයේ තේරුම. කාලයක් නැත්තේ මාර්ගයයි පලයයි අතර පමණයි.

බුද්ධිමතුන් තුන් දෙනෙක්!

‘ඒහි පස්සිකෝ’ වචනයේ තේරුම ‘එව, මේ ධර්මය බලව!’ කියා විධාන කරන්න සුදුසුයි කියන එකයි. මෙතන තිබෙන්නේ විධානයක්. පාලියෙන් කියන්නේ ‘ඒහි පස්ස විධින්තිථි’ - ඇවිත් බලන්නැයි බල කරන්න, අණ කරන්න සුදුසුයි මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය.

අනෙක් ගුණය තමයි ‘ඕපනයික’ කියන්නේ. ඒ කියන්නේ ‘පමුණුවාගත යුතුයි, තමා තුළ උපදවාගැනීම සුදුසුයි’ කියන එකයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ හිස ගිනි ගත් මොහොතකදී පවා ඔබ යම් දේකට මහන්සි ‍විය යුතුයිද, එය නම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. හිස ගිනි ගත් මොහොතක ඒ ගින්න නිවන්න මහන්සි වනවාටත් වඩා ඒ මොහොතේදීත් ඔබ මහන්සි විය යුත්තේ ශ්‍රී සද්ධර්මය අවබෝධය කරගැනීමටයි.

අනෙක් කාරණාව ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ කියලා කියන්නේ ‘විඤ්ඤූන්ජහෙවත් බුද්ධිමතුන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතුයි කියන එකයි. මෙහි බුද්ධිමතුන් වශයෙන් දැක්වෙන්නේ ධර්මය අව‍බෝධ කරගන්න පුළුවන් අයයි. එහෙම අය ඉන්නේ තුන් දෙනයි ඉන්නේ. පළමුවැන්නා ‘උග්ගටිපන්නෝ’ - ධර්ම මාතෘකා ඇසූ පමණින් අවබෝධ වනවා නම් අන්න ඒ ඇත්තායි. දෙවැන්නා: විභචිතඤ්ඤූ - මාතෘකාව විස්තර කළ විට අවබෝධ කරගන්නා තැනැත්තායි. අන්තිම කෙනා නෙය්‍ය: මාතෘකාව කිව්වාට, විස්තර කිව්වාට අවබෝධ වන්නේ නැහැ; ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් අවබෝධ කරගන්නවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්නට, ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අපත් නොපමාවම වීර්යය ගත යුතුයි.

Comments