
අද අප සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායේ එන 'ඉසිදත්ත සූත්‍රය' පිළිබඳවයි.
බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ දවසක් 'චිත්ත ගෘහපති' නම් උපාසකයා මච්ඡිකාසංඛ අඹ වනයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ බැහැදැක තම නිවෙසේ දානයකට වැඩම කරන්න කියලා ආරාධනාවක් කළා. පසුදින මේ තෙරුන් වහන්සේ පිරිස ගෘහපතිතුමාගේ නිවෙසේ දානයට වැඩම කළා. භික්ෂූන් දානය වළඳලා ඉවර වුණාට පස්සේ චිත්ත ගෘහපති ප්‍රශ්නයක් නැඟුවා: "ස්වාමීනි, 'ධාතු නානත්තය' කියන්නේ කුමක්ද?" කියලා. මෙහිදී 'ධාතු' කියලා කියන්නේ 'සත්ත්වයකු නොවන, පුද්ගලයකු, නොවන ආත්මයක් නොවන දෙය' කියන එකයි. ඇත්ත වශයෙන්ම ලෝකයේ සියලු දේම ධාතු කියලා අපට හැඳින්වීමට පුළුවන්. සත්ත්වයකු, පුද්ගලයකු, ආත්මයක් නොවන තැන ධාතුවක් කියලා කියන්න පුළුවන්. ශරීරයේ කුමන කොටසක් ගත්තක් ඒවා සියල්ල ධාතු. 'නානත්තය' කියලා කියන්නේ 'වෙනස්කම්' කියන එකයි. ධාතූන් අතර ඇති වෙනස්කම් පිළිබඳ බුදු රජාණන් වහන්සේ විග්‍රහ කර තිබෙනවා. මේ පිළිබඳ භික්ෂූන් වහන්සේ දැන සිටියත් ඔවුන් නිහඬව පසු වුණා. යළිත් වතාවක් ගෘහපතිතුමා ඒ ප්‍රශ්නය නැඟුවා. භික්ෂූන් නිහඬයි. තුන්වැනි වතාවටත් ගෘහපති එයම විමසුවා. එවර ඉසිදත්ත නම් තෙරුණුවන් වහන්සේ හඬ අවදි කර භික්ෂූන්ගෙන් විමසනවා: "ස්වාමීනි, චිත්ත ගෘහපතිතුමා ප්‍රශ්නයක් නඟනවා, මම ඊට උත්තර දුන්නාට කමක් නැද්ද?" කියලා. එවර ඉසිදත්ත තෙරුන් චිත්ත ගෘහපති වෙත හැරී "ගෘහපතිතුමනි, ධාතුනානත්තය කියන්නේ මෙන්න මෙයටයි" කියලා විග්‍රහ කළා.
තරහා-ක්‍රෝධ-උපනාහ
බලන්න: ඇස කියන්නේ ධාතුවක්. ඒ කියන්නේ සත්ත්වයෙක් නොවෙයි, ආත්මයක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, මම නොවෙයි, මගේ නොවෙයි. අප දන්නවා ඇහැ සත්ත්වයෙක් නොවෙයි, ආත්මයක් නොවෙයි, මගේ නොවෙයි කියලා. ඒත් අප හිතාගෙන ඉන්නවා ඇහැ මගේ කියලා. ඒත් ධාතුවක් මගේ වෙන්නේ නැහැ. දැන් බලන්න: ඇහැ අපේ නම්, අපට පුළුවන් වෙන්න ඕනෑ ඇහැ අපට අවශ්‍ය විදිහට තියාගන්න. පුළුවන්ද? බැහැ. කඳුළු එන්නේ නැතිව, ඇහිපිල්ලම් ගහන්නේ නැතුව ඉන්න බැහැ. කවුරු හෝ ඇහැට ඇන්නොත් රිදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ලෙඩ වෙන්නැතුව තියාගන්න බැහැ.
ඉන් පසුව දේශනා කළා රූප පිළිබඳ. ඇහැට පෙනෙන රූප ධාතු හැමදෙයම පුද්ගලයෙක්, ආත්මයක්, සත්ත්වයෙක් නොවෙයි. ජීවි දෙයක් අරගෙන බලන්න: සත්ත්වයෙක් ඉන්නවාද? නැහැ. කෑලි ගොඩක් එකතු කරලා හදපු දේකට තමයි පුද්ගලයෙක් කියන්නේ, අාත්මයක් කියන්නේ. ඒ නිසා ඇහැට පේන ජීව-අජීව සියල්ල ධාතු ලෙස හැඳින්වෙනවා.
මේ සියල්ල පුද්ගලයෙක්, ආත්මයක්, සත්ත්වයෙක් නොවෙයි කියලා හිතුවාම අපට වන යහපත ඉමහත්. බලන්න: අපට තරහා ඇති වනවා. ඒ තරහා නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ තරහා ක්‍රෝධය බවට පත් වනවා. ක්‍රෝධයත් පාලනය කරන්නට බැරි වුණොත් එය උපනාහ බවට පත් වනවා. උපනාහ කියන්නේ බද්ධ වෛරය කියන-එකයි. උපනාහ බවට පත් වුණාම එය බොහොම දරුණුයි. වෛර බැඳගන්නවා, පලි ගන්නවා. එය මෙලොවින් පරලොවට යනවා; භවයෙන් භවයටත් යනවා. නිවන් දකින කල්ම යන්න පුළුවන් තරම් එය හරිම දරුණුයි. ඒ නිසා තරහා ඇති වුණාම එය උපනාහ මට්ටමට පත් වන්න පෙර නවත්වාගන්න ඕනෑ. ක්‍රෝධ අවස්ථාවට ආවොත් ක්‍රෝධය පාලනය කරගන්න ඕනෑ. කිසිම කෙනකු කෙරෙහි බද්ධ වෛරයක් බවට පත් වන කල් වෛරය හිතේ තියාගන්න නරකයි. තරහා නැති වන්න නම් අප මෛත්‍රී කළ යුතුයි.
අසූචි කළයේ සිදුරු!
ඒත් සමහර වේලාවට තරහාවක් ඇති වුණාම මෛත්‍රී කරන්න බැහැ. 'අහවලා මට මෙහෙම කිවුවා.. ඇයි මෙහෙම කළේ.. කට්ටිය නැති තැන කියන්න තිබුණා නේ...' අපේ තරහා සාධාරණීකරණය කරගන්න සාධාරණ හේතු හොයනවා. යමක් යමෙක් කරලා ඉවරයි. එසේ නම් ඒ පිළිබඳ නැවත නැවත සොයන්න යෑම අසූචි කළයක හිල් විදිනවා වගේ. එක එක විදිහට වැගිරෙන්නේ අසූචිම තමයි. අසූචි කියන්නේ තරහා නම්, මේ තරහා තමයි එක එක විදිහට හිත තුළ මතු වෙමින් එන්නේ. අපට හිතෙන්නේ සාධාරණ හේතු කියලා. මේ මතු වන්නේ අසූචිම තමයි; එනම්: තරහාමයි. තරහාවක් ඇති වුණු අවස්ථාවලදී සාධාරණ හේතු හොයලා වැඩක් නැහැ. එය තරහා නැති කරන්න ලොකුම බාධාවක්.
සියල්ල පුද්ගලයෙක්, ආත්මයක්, සත්ත්වයෙක් නොවෙයි කියලා හිතුවාම අපට මහත් යහපතක් වන බව දේශනා කළේ මෙන්න මේ නිසයි.
මෛත්‍රී කරන විටත් තරහා ඇති වනවා නම්: මෛත්‍රී කරන-එක නවත්තලා තරහා ඇති පුද්ගලයා ධාතු වශයෙන් දකින්න ඕනෑ. එතකොට තරහා පවතින්නේ නැහැ. ඒ පුද්ගලයාගේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, අැට සැකිල්ල, වකුගඩු, හදවත, අක්මාව, පෙණහලු, බඩවැල, නොදිරවූ ආහාර, අසූචි, පිත, සෙම, සැරව, ලේ, කෙළ, ඩහදිය, සොටු, මූත්‍ර.. මේ ටික පුද්ගලයෙක්, ආත්මයක්, සත්ත්වයක් නොවෙයි; ධාතු මාත්‍රයක් කියලා බලන්න පුරුදු කරන්න ඕනෑ.
මේ විදියටම අපේ ශරීර දිහාත් බලන්න ඕනෑ. ලෞකික ජීවිතය එපා කියලා හිතෙයි කියලා බය වෙන්න කාරණා නැහැ. ධාතුමනසිකාරයෙන් කරන්නේ ප්‍රඥාව සහ සිහිය දියුණු වීම සහ ඉවසීම ප්‍රගුණ වීමයි. ධාතුමනසිකාරය හොඳින් පුරුදු කරන අයට පුදුම සැහැල්ලුවකින් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබෙනවා. අමනුස්ස අාදීන්ගේ බලපෑමක් ඇති වන්නේම නැහැ. ධාතු ලෙස බලන විට අමනුස්ස ආදීන්ට කය තුළ රැඳී සිටින්න, බාධා කරන්න, අවහිර කරන්න විදිහක් නැහැ. ශරීරයේ හැමතැනටම හිත යොමු කර-කර බලනවා නේ. ඒ අවස්ථාවේ ධාතු වශයෙන් දකිනවා නේ. ඒ තුළ පුදුම ආරක්ෂාවක් ලැබෙනවා; දැනුම, ධාරණ ශක්තිය වැඩෙනවා; සිහිය දියුණු වනවා; ස්මරණ ශක්තිය ඇති වනවා.
ධාතුමනසිකාරයේ අගය!
ඉන් පසු තමන්ට තරහාව ඇති වු කෙනා දෙස බලන්න පුරුදු වෙන්න. එයත් භාවනා කොටසක්. චක්කු විඥාන ධාතු - ඒ කියන්නේ රූපයක් දැක්කාම ඒ රූපය දැනගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය දකිනවා. එයයි විඥානය. සත්ත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, ආත්මයක් නොවෙයි, ධාතු පමණයි, කියලා හිතන්න. ඊළඟට කන ගැන සිතන්න. ශබ්ද වර්ග දෙකයි ලෝකයේ තිබෙන්නේ. සිතක් නිසා හට ගන්නා ශබ්ද චිත්තජ ශබ්ද කියලා හඳුන්නවා; ඍතු නිසා හට ගන්නා ශබ්ද ඍතුජ ශබ්ද කියලා හඳුන්වනවා. මේ අාකාරයට ධාතු මනසිකාරය වඩන විට මානසික ආතතිය අඩු වෙනවා; අර තරහා නිවෙනවා. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වන්න පුළුවන්.
මේ නිසා එදිනෙදා මොන ගැටලු-ප්‍රශ්න තිබුණත් තමන්ගේ මෙලොව-පරලොව යහපත වෙනුවෙන් භාවනාව වැඩිය යුතුයි... ධාතුමනසිකාරය වැඩිය යුතුයි...