කළුතරින් ඇල්ලූ විශාලතම හොර අරක්කු තිප්පොළ - අයිතිකරු පොහොට්ටු හෙංචයියෙක්ද? | Page 2 | සිළුමිණ

කළුතරින් ඇල්ලූ විශාලතම හොර අරක්කු තිප්පොළ - අයිතිකරු පොහොට්ටු හෙංචයියෙක්ද?

අපි වැඩ කරන්නෙ දමිත් ළඟ. දිනකට වාහන හතර පහ ‍එනවා. කුමන තැනකට ගෙනියනවද... කාටද දෙන්නෙ කියලා අප දන්නෙ නෑ මහත්තයෝ... අපි වැඩ කරන්නෙ පඩියට..රස්සාවට.

මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගැනුණු විශාලතම නීති විරෝධි මත්පැන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වූයේය.

මීට මාස දෙක තුනකට පෙරදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාස නිලධාරියෙකුට තොරතුරක් ලැබිණි. ඒ කළුතර හීනටියංගල නිවෙසක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන බවත්, ඊට අමතරව නීති විරෝධී ගිනිඅවිද තබාගෙන සිටින බවටයි.

ලැබුණු හෝඩුවාව ගැන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා දැනුම්වත් කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සූක්ෂ්ම මෙහෙයුමක් දියත් කළහ.

දින කීපයක්ම හීනටියංගල අදාළ නිවෙස අවට සැරිසැරූ බුද්ධි නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ස්ප්‍රිතු සහ කෘත්‍රිම රා නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා විශාල ප්‍රමාණයේ බැරල් තොග පිටින් එම ස්ථානයෙන් බෙදාහැරෙන බවටයි. ඒ අනුව පසුගිය 24 වැනිදා සවස තුනයි තිහට පමණ විශේෂ කාර්ය බළකා නිලධාරිහු හීනටියංගල එම නිවෙස සහ විශාල ඉඩමේ විශේෂ සෝදිසියක් සිදු කළහ.

කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර

එම ඉඩමේ නිවෙස් කීපයකි. එක් ස්ථානයක පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයකි. ඒ මධ්‍යස්ථානය රුපියල් 12000ක කුලියක් ගෙවා මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් කරගෙන යනු ලැබේ. ඊට මඳක් ඔබ්බෙන් ඉඩමේ කොණකට වන්නට විශාල ශාලාවක් බඳු ගොඩනැඟිල්ලකි. එය පරීක්ෂා කළ නිලධාරින් මවිතයට පත්වූයේ එහි පවත්වා ගෙනගිය මහා පරිමාණ නීති විරෝධි මත්පැන් නිෂ්පාදිත මධ්‍යස්ථානය දැකීමෙනි. කෝටි ගණනක් වටිනා දැවැන්ත යන්ත්‍රසූත්‍ර සහ විශාල ප්‍රමාණයේ බැරල් රැසක් එහි විය. බැලූ බැල්මට එම ස්ථානය රජය අනුමත මත්පැන් නිෂ්පාදිත ස්ථානයක් හා සමානය. එහෙත් එම ස්ථානය පවත්වා ගෙන ගොස් ඇත්තේ අනවසරයෙනි.

සිය වසර තිස් ගණනක සේවා කාලයේදී මෙවන් දැවැන්ත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් දැක නොමැති බව මේ වැටලීමට සහභාගි වූ විශේෂ කාර්ය බළකා උසස් නිලධාරියෙක් අප හා පැවසීය.

නීති විරෝධී මත්පැන් පෙරීමට එම ස්ථානයේ යන්ත්‍ර සූත්‍ර රැසක්ම විය. යන්ත්‍ර සඳහා කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව යන්ත්‍ර පරික්ෂා කිරීමේදී ආරක්ෂක නිලධාරින්ට පෙනී ගියේය. සීනි උර දහස් ගණනක් තවත් කාමරයක විය. ඒ කෘත්‍රිම මත්පැන් පෙරීමට සීනි අත්‍යවශ්‍ය හෙයිනි. කෘත්‍රිම රා හෙවත් ගෝඩා ලීටර් 150000ක් තිබුණේ ලීටර් 2000 බැරල් 32ක සහ ලීටර් 5000 බැරල් හයක බහාලමිනි. ඒ මොහොතේ එම ස්ථානයේ සිටියේ පුද්ගලයන් දෙදෙනෙකි.

මෙහි ඉදිරි පරීක්ෂණ සඳහා කළුතර සුරාබදු නිලධාරින් දැනුම්වත් කිරීමෙන් අනතුරුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු හා කළුතර සහකාර සුරාබදු නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියහ.

අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් අයකු වසර ගණනාවක්ම මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක සේවය කොට මත්පැන් පෙරීම පිළිබඳව හසළ දැනුමැත්තෙකි. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු මේ නීති විරෝධි මත්පැන් ජාවාරමට එක්ව සිටියේ රැකියාවක් ලෙසින් බව පැවැසීය. අනෙකා ඔහුට සහාය දුන් අයෙකි.

දෙදෙනාගේ පාපෝච්චාරණය මෙසේය.

“අපි වැඩ කරන්නෙ දමිත් ළඟ. දිනකට වාහන හතර පහ ‍එනවා. මොන තැනකට ගෙනියනවද... කාටද දෙන්නෙ කියලා අපි දන්නෙ නෑ මහත්තයෝ... අපි වැඩ කරන්නෙ පඩියට.” යනුවෙනි.

එම ස්ථානය වටලන මොහොතේ විශාල යන්ත්‍රවලින් අධික රස්නයක් පිටවෙමින් තිබු‍ණේ ඒ මොහොතේද අනවසර මත්පැන් නිෂ්පාදනය වෙමින් පැවැති හෙයිනි. කළුතර මහේස්ත්‍රාත්වරයාද එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා නීති විරෝධි ලෙස ස්ප්‍රිතු පෙරීම, බලපත්‍රයක් නොමැතිව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යෑම, ස්ප්‍රිතු පෙරීමට යොදාගන්නා උපකරණ ළඟ තබාගැනීම, නීති විරෝධිව මත්පැන් සෑදීමට යොදාගන්නා ගෝඩා ළඟ තබාගැනීම සහ ස්ප්‍රිතු ළඟ තබා ගැනීම යන කරුණු යටතේ වැරැදිකරුවන් කෙරිණි. ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් පන්ලක්ෂ තිස්දහසක දඩයක් නියමකොට නිදහස් කළේය.

යන්ත්‍ර විනාශ කිරීමට නියෝග

පසුගිය 26 වැනිදා නැවත එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණේ ස්ප්‍රිතු සහ යන්ත්‍රසූත්‍ර විනාශකොට දමන ලෙසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් වැටලීම සිදුකොට විනාඩි ගණනක් යද්දීම එම ස්ථානයට පැමිණි නීතිඥවරයකු විමසා තිබුණේ, සිදුවන්නෙ කුමක්ද යන්නයි. එම නීතිඥවරයා එවා තිබුණේ කවුරුන්ද යන්න තහවුරු නොවූවත් ඔහු පැමිණියේ මෙකී ජාවාරමේ ප්‍රධානියාගේ ඉල්ලීමකට අනුව බවට සැලවේ.

ඒ අනුව අත්අඩංගුවට පත් දෙදෙනා විසින් නම සඳහන් කරනු ලැබූ දමිත් නමැත්තා මේ වන විට පලා ගොස් සිටී. ඔහු සොයා විශේෂ කාර්ය බළකා නිලධාරින් මේ වන විටත් මෙහෙයුමක් දියත් කොට තිබේ. එසේම එම ස්ථානයද විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු නිලධාරිහු රැකවල්ලා සිටිති. වාර්තා වන ආකාරයට මේ ස්ථානයේ කිහිප දෙනෙකුම සේවයකොට ඇතත් එදින වැටලීමක් සිදුවන බවට ලද කිසියම් හෝඩුවාවක් මත එතැනනොසිටින්නට ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.

ජාවාරමේ ප්‍රධානියා ලෙස සැලකෙන දමිත් ධනංජය ද සිල්වා නමැත්තා කලෙක සිටම එම ස්ථානයේ මේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව සැලවේ. දේශපාලන හෙංචයියකු වන ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව පක්ෂයෙන් කළුතර ප්‍රාදේශීය සභාවට හීනටියංගල කොට්ඨාසයෙන් තරග වැදී පරාජයට පත්වූ පොහොට්ටුවේ කළුතර ප්‍රාදේශීය සභාවේ එකම අපේක්ෂකයාය.

දමිත් මේ වන විට පදිංචිව සිටින්නෙ බිරියගේ ඉඩමක පිහිටි නිවෙසකයි. නීති විරෝධි මත්පැන් මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නෙද එම ඉඩමේය.

විනාකිරි නිෂ්පාදනය කරන ස්ථානයක් යැයි හීනටියංගල වැසියන්ට පවසමින් පවත්වාගෙන ගිය මේ හොර මත්පැන් නිෂ්පාදනාගාරය ගැන ගම්වාසීන් පවසන්නේ වෙනස් කතාවකි.

“මෙතැන කලෙක සිටම නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරන බව හැමෝම දන්නවා. ඒත් වැඩක් වුණේ නෑ. කවුරුත් මේ ගැන හොයා බැලුවේ නෑ. එස්ටීඑෆ් එකේ නිලධාරින් මේක ඇල්ලුවේ නැත්නම් හැමදාම මේ දේවල් සිදු වෙනවා. මේ කෙනාට තියෙන දේශපාලන හයිය නිසා ගමේ මිනිස්සු පමණක් නොවේ, වගකිවයුත්තොත් මේවා ගැන නිහඬවයි ඉන්නෙ. පහුගිය ආණ්ඩු කාලේ තමයි මේවා මහා පරිමාණෙන් පටන්ගත්තෙ.” නම් ගම් කීමට අකැමැති ඒ අවට පදිංචිකරුවෙක් අප හා පැවසීය.

බැලු බැල්මට එම යන්ත්‍ර සූත්‍ර වසර ගණනාවක් පුරාම එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට තිබෙන බව වැටලීම කළ නිලධාරින්ගේ මතයයි. මුල් කාලයේ කිසිදු රැකියාවක් නොකළ දමිත් මේ වන විට කෝටිපතියෙකි. එසේම ඔහු මහා පරිමාණ ධනස්කන්ධයක් හිමිකර ගෙන ඇත්තේද මේ නීති විරෝධි මත්පැන් ජාවාරම නිසායැයි ගම්මු කියති.

සුරාබදු නිලධාරීන්ට තර්ජන

එම ස්ථානයේ තිබෙන මත්පැන් පෙරීමට යොදාගත් යන්ත්‍රද කෝටි ගණනක දේපළකි. නම් ගම් නොකී පුද්ගලයා පවසන පරිදි දමිත්ට කළුතර පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු සමඟ ළඟ ඇසුරක් තිබේ. එම ඇසුර හරහා ඔහු මේ සියලුම ජාවාරම්වල නිරත වන්නේ නීතියද වළපල්ලට යවමින් බවට ගම්මු චෝදනා කරති.

දමිත් මීට පෙර අවස්ථා ගණනාවකදීම සුරාබදු නිලධාරින් කිහිප දෙනෙකුටම නොයෙක් ආකාරයේ තර්ජන ගර්ජන කර තිබුණේ එම නිලධාරින්ගේ ජීවිතද අවදානමකට ලක් කරමිනි. ඒ මේ ජාවාරමට සුරාබදු නිලධාරීන්ගේ සහාය නොලැබුණු හෙයිනි.

මීට වසර හත, අටකට පෙරදී එක්තරා සුරාබදු නිලධාරියෙකුට දමිත් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණේ එකී නිලධාරියාගේ නිවෙසටම ගොස්ය. විවිධාකාරයෙන් නීතිය සමඟ සෙල්ලම් කරන මෙකී පුද්ගලයා නීති විරෝධි මත්පැන් ජාවාරම හරහා සියලු සුරසැප විඳිමින් සිටී. තමාට විරුද්ධව යන සෑම තරාතිරමකම අයෙකුට ඔහු, 'තමාට බත් කන්න නොදෙන පිරිසට තමන්ද බත් කෑමට ඉඩ තියන්නේ නෑ' යනුවෙන් තර්ජනය කරන බවද සැලවේ. එතරම් 'හයිය'ක් මෙකී ජාවාරම්කරුට ලැබී ඇත්තේ දේශපාලන හස්තවල බලය නිසා බව කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පවසති.

සුරාබදු නිලධාරින්ද නොමඟ යවමින් පොල් ගස් විශාල ප්‍රමාණයෙන් තිබෙන බවට බේගල් පවසා බලපත්‍ර ගෙන නීති විරෝධීව මත්පැන් නිපදවා එකී පොල් ගස්වලින් නිපදවන මත්පැන් බවට හඟවන ජාවාරම්කාරයන් තවත් කිහිපදෙනකුම කළුතර දිස්ත්‍රික්කයේ සිටින බවට සැලවේ.

එම හිඩැසෙන් රිංගා යන දමිත්ලා වැනි හොර ජාවාරම්කරුවන් නීති විරෝධීව නිපදවන මත්පැන්්‍ ප්‍රධාන පෙළේ මත්පැන් නිපදවන සමාගම් හරහා රටපුරා බෙදාහරිමින් කෝටි ගණනින් මුදල් උපයනුයේ කිසිදු හිරිකිතයකින් තොරවය. රට වනසන මෙවන් ජාවාරමුන්ට අතදෙමින් දේශපාලන රැකවරණ සලසන දේශපාලනඥයන්ට ඉදිරි මැතිවරණයකදී නිසි තීන්දුවක් ලබාදීම ජනතාවගේ වගකීම වන්නේය.

දමිත්ලා සිදුකරන කෘත්‍රිම මත්පැන් නිෂ්පාදනවල ඉවත දමන දෑ අවට ඇති වගුරු බිම් හා සමාන පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක්ද ඒ අවට සිදුවෙමින් තිබෙන බවට හීනටියංගල ගම්වාසීහු මැසිවිලි නඟති. දේශපාලන බලයට මුවාවී රටේ නීතිය, අවනීතිය කරමින් මෙලෙස හැසිරෙන දමිත්ට පමණක් නොව සෙස්සන්ට එරෙහිවද ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා ලෙස වගකිවයුත්තන්ට අවධාරණය කරමු.

Comments