
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මෙරට ආදර්ශ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ලෙසින් ඒ සඳහා ඉහළ ම දායකත්වයක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගයීමට ද ලක් වූ කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් සමන්ති ඩි.නාගහතැන්න මහත්මිය සමඟ කළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.
සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති ප්‍රධානම බාධාව එරට වැසියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය බව හඳුනාගෙන තිබේ. රටක් ගොඩනැංවීමේදී ඇති වන ඒ බාධාව ගෙවුණු දශක කිහිපය පුරා ලොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපයක් වී තිබේ. තාක්ෂණික දියුණුවත් ඇතැම් සංවර්ධිත රටවල බලපෑමත් එසේ දියුණු වෙමින් පවතින රටවලට මත් රකුසා ඇතුළු වීමට හේතුවක් වී තිබේ.
අප රටේ ද ඉදිරි ගමනට මත්ද්‍රව්‍ය දැඩිව බලපෑම් කරන්නට වූ අතර එය විවිධ අංශයන්හි පසුබෑමට හේතු විය. ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.
එහි ප්‍රාදේශීය වැඩසටහනක් කුණ්ඩසාල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 2016 වසරේදී ආරම්භ කෙරිණි. 162,000 ක ජනකායක් සිටින කුණ්ඩසාල කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් අසූවක පවුල් 48,000ක් ජීවත් වෙති. ඒ වන විට එහි ග්‍රාම නිලධාරි වසම් බොහෝමයක මත්ද්‍රව්‍ය භාවිතය දැඩි ව තිබිණි. විශේෂයෙන් මහනුවර නගර සීමාවට ආසන්න කුණ්ඩසාල කොට්ඨාසයේ මහවත්ත, සිරිමල්වත්ත,ලේවැල්ල, මහවත්ත උතුර, දකුණ යන වසම්හි මේ වන විට මත් දව්‍ය භාවිතය වැඩි වශයෙන් පවතින බවට හඳුනාගෙන තිබිණි. දිගන, රජවැල්ල, කුඹුක්කදුර, ඉහළවෙල ,කෙන්ගල්ල යන ග්‍රාමසේවා වසම්වල ද මත්ද්‍රව්‍යවලට වැඩි නැඹුරුවක් පවතින බව ඒ වන විට හදුනාගෙන තිබිණි.
පසුගිය කාලයේ කුණ්ඩසාල කොට්ඨාසයේ කලාප රැසක මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ජනජීවිතය අඩාළ වී පැවැතිණි. ඒ වෙනුවෙන් විසැඳුම් සෙවීම එතරම් පහසු කරුණක් නොවීය. විසදුම් සෙවීම ද ප්‍රවේශමෙන් කළ යුතුව තිබිණි. මේ වන විට ගම්වල ගෘහ තුළ ගැටලු රැසක් මතුව තිබේ. ඒ හේතුවෙන් එකිනෙකාගේ ජන ජීවිත එකම දම්වැලක පුරුක් සේ පීඩන ජාලයකි. මෙහි බරපතලම ඛෙදවාචකය වනුයේ මේ වන විට මත් රකුසා පාසැල් පද්ධතිය බොහෝ දුරට ගිලගෙන සිටීමයි. කුණ්ඩසාල අධ්‍යාපන කොට්ඨාසයේ පාසැල් 36 ක් අතුරින් පාසැල් 17 ක මේ අවධානම හටගෙන තිබුණු අතර ඉන් පැසැල් කිහිපයක් ඉතා දැඩිව මත් අවධානමට ලක්ව තිබිණි.
එම වකවානුව වන විට මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ මෙරට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහක් මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ කොට්ඨාස ලෙස තෝරා ගැණුනු අතර ඉන් එක් කොට්ඨාසයක් ලෙස කුණ්ඩසාල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තෝරා ගැනුණි. 2016 අග වන විට මේ තෝරා ගැනීම සිදු වූ අතර ඉන් අනතුරුව 2017 ජනවාරි වන විට මතින් තොර කුණ්ඩසාලයක් උදෙසා වැඩපිළිවෙල ක්‍රියාවට නැන්විණි. මේ සඳහා ග්‍රාමසේවා වසම් අසූවට සම්බන්ධ හාරසියයක පමණ නිළධාරීන් පිරිසක් එක් විණි.
මේ යටතේ මුලිකව ග්‍රාමසේවා වසම් මට්ටමින් මත් ද්‍රව්‍ය නිවාරණ ග්‍රාමිය කමිටු ආරම්භ කෙරිණි.මේ සඳහා අවරුදු 18-35 අතර තරුණයන් දස දෙනකු අනිවාර්යයෙන් ඇතුළත් කෙරිණි. සෑම ග්‍රාමසේවා වසමක ම මෙවැනි කමිටු පිහිටුවීම සිදු කෙරුණු අතර ඒ පිහිටුවීම මාස තුනක් තුළ අවසන් කෙරිණි. ඒ සෑම කමිටුවක් සඳහා ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරියකු පත් කෙරිණි.
ඒ නිලධාරීන් අමාත්‍යාශ 32 ක සේවාව වෙනුවෙන් යොදවා ඇති නිලධාරීන් ය. මේ නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් ලෙසින් මත් ද්‍රව්‍ය නිවාරණය සදහා යෙදවුණු අතර ඒ වන විට අධික අවධානමක පැවැති කුණ්ඩසාලයෙහි ග්‍රාම නිළධාරි වසම් හා එයට ආසන්න වසම් පිළිබද දැඩි අවධානය යොමු විය.
2016 වන විට කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් හැර අනෙකුත් සියලු වසම් වලට මත් රකුසා එබී තිබිණි. මින් වසම් දහයක පමණ දැඩි පැතිරීමක් පැවැති අතර ඒ වසම් හා එයට යාබද වසම්හි මත් ද්‍රව්‍ය නිවාරණට වේගවත් කිරීම මේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ අවශ්‍යතාව විය. 2017,2018 වසර වල රහස්‍ය මහජන වාර්තා 169 ක් ලැබුණ ද මේ වසරේ මේ වන විට එවැනි පැමිණිලි ලැබී ඇත්තේ එකක් පමණි. ජාතික වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන මුල්වකවානුවේ ඇතැම් ග්‍රාමසේවා වසම් පාලනය කැර ගත පවා නොහැකි මට්ටමක පැවැති අතර වැඩසටහන් සඳහා මහජන සහභාගිත්වය ඉතා ම පහළ මට්ටමක පැවතිණි. එහෙත් අද වන විට මෙවැනි වැඩසටහන් සඳහා මහජන සහභාගීත්වය සියයට සියයක මට්ටම දක්වා ඉහළ නැංවී තිබේ. 2019 මාර්තු වන විට කුණ්ඩසාල ප්‍රදේශිය ලේකම් කොට්ටාසයේ ග්‍රාම නිලධාරි වසම් අසුව අතුරින් දහයක මත් ද්‍රව්‍ය භාවිතය මුළුමනින් ම පාලනය වී තිබේ. රජවැල්ල, ගල්මඩුව, ගල්පිහිල්ල, අරංගල, මක්කානිගම, අලවතුගිරිගම,මහවත්ත උතුර,දකුණ.බටහිර,නැගෙනහිර යන වසම් මෙලෙස පාලනයට ලක්ව ඇත.
2017 දී මෙම වැඩපිළිවෙල ඇරඹි වකවානුව වන විට මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් හේතුවෙන් රජවැල්ල වසමෙහි මරණයක් සිදු වූ අතර ඒ කාලය වන විට දැඩි ලෙස මත්ද්‍රව්‍ය පැතිරීමක් ඒ වසම තුළ දක්නට ලැබිණි. මෙය අනෙකුත් වසම් වලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකි. ඇතැම්විට එහි පාලනය කැර ගත නොහැකි මට්ටමක් දක්නට ලැබිණි. එහෙත් අද වන විට මේ වසම් තුළ ඉහළ ම පාලනයක් දක්නට ලැබෙන අතර එහි තරුණ පිරිස්හි ක්‍රියාකාරිත්වයෙන් පුනරුද සංසදය නමින් විශේෂ මත් ද්‍රව්‍ය නිවාරණ සංසදයක් ද පිහිටවනු ලැබ තිබේ.
ඒ සංසදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගයීමට ද ලක්ව ඇත. ඒ තරුණ පිරිස් එක්ව ගමට මත් ද්‍රව්‍ය ඇතුළු වන සියලු මර්ග සොයා ඒවා වසා දැමීමට කටයුතු කළහ. මේ සදහා මෙම පිරිස් විශාල පරිශ්‍රමයක් මෙන්ම කැප කිරීමක් කෙරිණි. විශේෂයෙන් ගමට ඇතුළු වන පිටස්තර පුද්ගලයන්, කණ්ඩායම්, වාහන මෙන්ම ලැඟුම් ගන්නා පිරිස් පිළිබද දැඩි අවධානය යොමු කෙරිණි. මේ වැඩපිළිවෙල ඔස්සේ රජවැල්ල ග්‍රාමයේ වෙළදසැල්හි සිගරට්, දුම්වැටි අළෙවිය නවතා දැමිණි.
දැඩි ලෙස මත් ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහි වු පිරිස් මෙම වැඩපිළිවෙල ඔස්සේ පුනරුත්ථාපනය කෙරිණි.එම ක්‍රියාවළිය සදහා ඔවුන් පිටතට ගෙන යාමක් නොකළ අතර මොවුන් ගම තුළම ගමෙහි සංසදයෙහි මැදිහත්වීමෙන් පුනරුත්ථාපනය කෙරිණි.එහිදි ප්‍රතිකාර කිරිමද ගම තුළම සිදුවිණි.ඒ සදහා මූල්‍යමය දායකත්වයද ගමෙන්ම යොමු කෙරුණු අතර එනිසා අනවශ්‍ය ගැටළු ඇතිවීම වැළකිණි.මෙහි මතට ඇබ්බැහි වු තරුණයනට ප්‍රශ්න රැසකට කොටු වී සිටි පිරිසක්ව සිටි අතර ප්‍රතිකාර සදහා යොමු කෙරෙන වකවානුවේ මොවුන්ගේ ප්‍රශ්න හදුනා ගත් අතර ඒ සදහා විසදුම් සෙවීමද ඒ අතර සිදුවිය.අද වන විට මොවුනගේ ජීවිත බොහෝ ලෙස වෙනස් වි ඇත. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දැනුවත් කිරීම ඉතා ම ප්‍රවේශමෙන් කළ යුතුය. එය දැළි පිහියෙන් කිරි කනවා සේ වැඩපිළිවෙළකි. නිසි ලෙස සිදු නොවුවහොත් පද්ධතියම කඩා වැටේ. මෙහි දැනුවක් කිරීම් ද එසේය. එය නිසි ලෙස සිදු නොවුවහොත් සිදු වන්නේ ප්‍රවර්ධනයකි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය පිළිබද අනවශ්‍ය ප්‍රචාරණය,එය භාවිතය, ආදිය පිළිබඳ දැනුවත් කිරීමෙන් බැහැර විය යුතුය. ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ බලකාය, අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය වැනි ආයතන ඒ සඳහා වැඩි වශයෙන් සම්බන්ධ කැර ගත යුතු වේ.
මත්ද්‍රව්‍ය භාවිතයට ගැනෙන්නකු සිටින පවුලක් සෑම අතින් ම කඩා වැටීමට ලක් වේ. ඒ තුළ මානසික කඩා වැටීම් රාශියකි. විශේෂයෙන් මතට ඇබ්බැහි වු පියවරුන් සිටින පවුල්හි දරුවන් දැඩි මානසික පීඩනයකින් කල් ගත කෙරේ.
මේ පිළිබඳ ව දරුවන්ගෙන් රහසිගත අදහස් ගැනිමේදී කුණ්ඩසාලේ එක් පැසැලකින් එවැනි යෝජනා 17 ක් ලැබිණි. ඒ දරුවන්ගේ කලකිරීම උපරිමයෙන් දක්නට ලැබුණු අතර ඔවුහු විශාල මානසික කඩා වැටීමක සිටියහ. සමහර පියවරුන් පැමිණෙන විට දරුවන් ඇද යට සිටින බැව් ඔවුන් එහි ලියා තිබිණි.
කුණ්ඩසාලයේ මත්ද්‍රව්‍ය නිවාරණයේ ඉලක්කය 2025 දී මතින් තොර කුණ්ඩසාලයකි. රටම එක් වුවහොත් 2025 ට පෙර රට ම මතින් තොර රටක් වේවි.