
සහරාන්ට මුවා වී ජනතා කෑම වේලට තට්ටු කළ මාධ්‍ය ‘සහරාන්ලා’
දන්සල වැහුණෙ මේ කෑම සැකයි කියලා හිටපු ඇමැතියෙක් පත්තරේකට කිව්වට පස්සෙ
සහරාන් ඇතුළු මුස්ලිම් ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරුවා මහා හානියක් සිදු කර මාස දෙකක්ද ඉක්ම ගොස් ඇත. එහෙත් තවමත් අපට සහරාන් භිතිකාව ඇත. සහරාන්ලා මේ රටේ සමගියට කළ හානිය බරපතළය. කනගාටුව නම් සහරාන්ලාට මුවාවී ඇතැමුන් කරන්නට යන හානිය බලවත් වීමය. ආවාට ගියාට බොරු ආරංචි පතුරවමින් කළ හානිය ද විශාලය. මේ එවන් බේගල් ඇද බෑමක් නිසා අහිංසක ජනතාවගේ කෑම වේලටත් තට්ටු කළ කතාවක සුල මුලය.
දිනය ඉකුත් විසි හය වැනිදාය.
ඒ මද්දහනේ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සිට එළියට පැමිණි මම මහ මඟ ගමන්ගත් ත්‍රී රෝද රියකට ගොඩ වැදුණෙමි.
“කොහාටද?” රියැදුරු විමැසුවේ යායුතු තැනය.
“හරියටම තැන කියන්න දන්නේ නෑ... ජනපෝෂ කියන තැනටයි යන්න ඕන. ඉස්පිරිතාලෙට එන අයට කෑම දෙන තැනට.” වාක්‍ය සම්පුර්ණ කිරීමට ලැබුණේ නැත.
“චිට් එකක් ලැබුණද? මේ වෙලාවට කට්ටිය කෑමට ඇවිල්ලා ඇති.”
අරහෙන් මෙහෙන් පාරවලින් හරවමින් ඉදිරියට යන අතරේ රියැදුරු පවසයි. විනාඩි ගණනකදි මා ජනපෝෂ පදනම ඉදිරියේය.
“ඔතන හැම වෙලේම මිනිස්සු එන තැනක්. සතියෙ දවස් පහම උදේ දවල් කන්න තියෙනවා.”
ජනපෝෂ ගැන දන්නා කවුරුත් කීවේ එවැනි කතාවකි. එය ඇසීමෙන් මා සිතේ මැවී තිබුණේ බුදුන් දවස අනේපිඬු සිටාණන්ගේ දොළොස් මහේ දන් වැටය. මා එහි ගියේද කුස ගින්න නිවා ගැනීමට, ආහාර ගැනීමට පැමිණි උදවිය දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුදු දැක ගතහැකි වූයේ පාළුවට ගිය ස්ථානයකි.
“කෑම දෙන එක නතර කරලා. මේ තියෙන්නේ දැන්වීමක් දාලා.”
මදෙස බලා වයසක මවක පවසන්නට වූයේ විස්සෝපයෙනි.
“අම්මා කොහෙ ඉඳලද ආවේ?”
“මම තලාවේ ඉඳලා ආවේ. අද ක්ලිනික් දවස. පාන්දරින් ගෙදරින් ආවේ. නොම්බරයක් අරගත්තා ක්ලිනික් එක තියෙන්නේ හැන්දැවේ එකට. වෙනදා පුරුද්දට තමයි මම අදත් මෙතැනට ආවේ කෑම කාලා යන්න. අපි ලෙඩ තියෙන මිනිස්සු. මෙතැනට ආවාම පිරිසිදුව රහට කෑම වේලක් කන්න පුළුවනි. දැන් ඉතින් කඩේකින් ඔය මොනවා හරි කනවා. ”
ඇය කෑම කඩයක් සොයන්නට ගියාය. ගත වූයේ විනාඩි කිහිපයකි. තවත් දෙතුන් දෙනෙක්ම එහි ආහ. වෙනදාට කුස පිරෙන්නට බත් කටක් කෑ ඔවුන් යන්නට ගියේ කුස ගින්නෙනි.
“මේක මහ අපරාධයක්” වයසක මවක පැවසූයේ කනගාටුවෙනි.
දෙදහස් දොළහ වසරේ ඔක්තෝබර් මස විසි වෙනි දින ඇරඹි ජනපෝෂ දන්සල වසර හතක් තිස්සේම රජයේ නිවාඩු හා සති අන්ත දින හැර සතියේ දින පහේම පැවැත්විණි. නමුදු මේ දන්සල පසුගිය ජූනි මස විසි හතර වැනිදා සිට නතර විය. කොළඹ ජාතික රෝහල අසල පමණක් නොව කළුබෝවිල මහ රෝහල හා මහරගම පිළිකා රෝහල අසල පැවැති උදේ සහ දිවා ආහාර ලබා දුන් දන්සල ද නතර කර ඇත්තේය.
වසර ගණනක් තිස්සේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් සද්භාවයෙන් පවත්වාගෙන ආ මේ ජනපෝෂ දන්සල්වලට එකවරම නැවතීමේ තිත තැබුණේ ඇයි.? එයට වගකිව යුත්තෝ කවුද?
සැබැවින්ම සිදු වූයේ කුමක්ද?
ඒ වන විටත් කොළඹ මහරෝහල ආසන්නයේ විපුලසේන මාවතේ ජනපෝෂ දොරටුව ඉදිරියට පැමිණ අපේක්ෂා භංගත්වයට පත් රෝගීන් පැවැසුවේ තමුන්ට මෙම දන්සල වැසීම නිසා විඳින්නට සිදුව ඇති අපහසුතාව ගැනය.
පත්තරේ ප්‍රවෘත්තියෙන් පස්සේ කෑම නෑ
“මම තමයි රෝහලට බෙහෙත් ගන්න එන කෑම අවශ්‍ය අයට චිට් එක බෙදුවේ. මම මගෙ යාළුන්ටත් දීලා තිබුණා චිට් බෙදන්න. සාමාන්‍යයෙන් උදේටයි දවල්ටයි හයසිය ගණනක් විතර කෑම ගන්න එනවා. මිනිස්සුන්ට මෙතනින් ලොකු සහනයක් ලැබුණේ. කොළඹ කෑම කඩ පිරිසිදු නැහැ. අනිත් එක දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය තියෙන මිනිස්සු රෝහලෙන් බෙහෙත් අරගන්න ආවාම මෙතැනට ඇවිල්ලා කාලා තේ බීලා යනවා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පස්සේ රෝහලට දුර ඉඳලා එන සෙනඟ නතර වුණා. ඒ දවස්වලත් කෑම දෙන එක නතර වුණේ නැහැ. මිනිස්සු කිසිම අකමැත්තකින් තොරව ඇවිල්ලා කෑම කාලා ගියා. නමුත් පහුගිය දවසක පත්තරේක පළවෙලා තිබුණු ප්‍රවෘත්තියෙන් පස්සේ තමයි හැමදේම වෙනස් වෙන්න ගත්තේ. එක්තරා මන්ත්‍රිතුමෙකුත් මෙතන කෑම දීම සැක සහිතයි කියලා කිව්වා කියලා මාධ්‍ය මඟින් ප්‍රවෘත්ති පළවුණා. ඉන් පස්සේ තමයි ආයතනය කෑම දෙන එක නතර කරන්න තීරණය කරලා තියෙන්නේ. අවසාන වරට කෑම දුන්නේ විසි හතර වෙනි සඳුදා. මමත් මෙතන රස්සාව කරන කෙනෙක්. මටත් මාසෙකට වැටුපක් ලැබුණා. දැන් ලෙඩ්ඩුන්ට කෑමත් නැහැ. අපට රස්සාවත් නැහැ.” රුවන් පවසන්නේ කනගාටුවෙනි. ඔහු මැලේ ජාතිකයෙකි. ජනපෝෂ පවත්වාගෙන යනු ලැබුවේ ප්‍රසිද්ධිය නොසොයන ප්‍රමුඛ පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසිනි. එමෙන්ම ජනපෝෂ ආයතනවල සිංහල දෙමළ මුස්ලිම් ජාතික සියල්ලෝම සේවය කරති. දිවයිනේ විවිධ පැතිවලින් ජාති ආගම් බේදවලින් තොරව පැමිණි ජනයා මෙතෙක් දිනක් කා බී සැනසි ගියහ. දැන් ඔවුහු සුසුම් හෙළමින් එදෙස බලා සිටිති.
ජනපෝෂ වෙතින් දිවා ආහාරය නොමිලයේ ගැනීමට පැමිණි පිරිස අතර සිටි එස්. ඩබ්ලිව්. සිවාජි කතා කළේ බොහෝ කනගාටුවෙනි.
“මම අවුරුදු කිහිපයක් තිස්සේ රෝහලෙන් බෙහෙත් ගන්න එනවා. උදේ හයට ගෙදරින් එන්නේ. කෑම කාලා එන්නේ නැහැ. දවල් දොළහ දොළහාමාර විතර වෙනවා බෙහෙත් අරන් ඉවර වෙනකොට. අපිට හැමදාම සල්ලි නෑ. තියෙන දවස් වගේම නැති දවසුත් තියෙනවා. කෑම එකක් කන්න රුපියල් සියයකට වැඩිය යනවා. පිරිසිදුවට කන්න තමයි මෙතැනට එන්නේ. උදේට කෑවොත් පාන්, පරිප්පු, කිරිතේ එකක් ලැබෙනවා. බෝම්බ පිපිරුණු සිද්ධියෙන් පස්සේ චිට් බෙදන එක නතර වෙලා තිබුණේ. අපි පුරුද්දට තමයි එන්නේ. අපිට කිසිම ජාති බේදයක් නැහැ. මේච්චර කල්නම් මෙතැන ගැන අපට කිසිම අවිශ්වාසයක් තිබුණේ නැහැ. දැනුත් එහෙම එකක් නැහැ. අවුරුදු ගාණක් අපි මෙතැනින් කෑම කෑවානේ. අපිට වෙච්ච වරැද්දක් නම් නැහැ.” සිවාජී පවසන්නේය.
ඔහු කියන දෙයට හූමිටි තබමින් සිටි මයිල්වාගනම් පැමිණ තිබුණේ තලවාකැලේ සිටය.
අවුරුදු තුනක් තිස්සේ කෑම කෑවා
“මම පාන්දර තුනට ආවේ. මට ස්ටෙන්ට්ස් දෙකක් දාලා තියෙන්නේ. මම දෙදහස් පහළොවේ ඉදලා තමයි බෙහෙත් ගන්න එන්නේ. අවුරුදු තුනක් තිස්සේ මම මෙතැනින් කෑම කෑවේ. අදත් ඒ පුරුද්දට තමයි ආවේ. දැන් ඉතින් කඩේකට යන්න තමයි වෙන්නේ.”
මයිල්වාගනම් කඩයක් සොයා යන්නට ගියේය.
හැට හැවිරිදි නිහාල් ජයශාන්ත සායනයකට පැමිණි අයෙකි.
“ගෙදර යනවා වගේ අපට මෙතැන කෑම ෂුවර්. ඒ නිසයි පුරුද්දට ආවේ. මෙතැනට කෑම කන්න වැඩිපුරම එන්නෙ තරුණ අය නෙමෙයි. වයසක මිනිස්සු. ඉස්පිරිතාලෙන් ක්ලිනික් එකට නොම්මරය අරගෙන ඇවිල්ලා මෙතැනින් කෑම කාලා ආයෙ පෝලිමට යනවා. මේක නතර වුණු එක මහ පව් වැඩක්. හොඳ දේ අගය කරන්න ඕන. මිනිස්සු මෙතැනට කෑම කන්න ඇවිල්ලා ජාති ආගම් බේද හෙව්වේ නැහැ.”
සුනිල් ජයශාන්ත ද පැවැසුවේ තමන් වැනි රෝගින්ට අද විඳින්නට සිදුව ඇති අපහසුතාව ගැනය. ජනපෝෂ මධ්‍යස්ථානයට පැමිණෙන ඔවුන්ට ආහාර පමණක් නොව වැසිකිළි හා කැසිකිළි පහසුකම් ද ලැබිණ. රෝහලට වඩා එතැන පිරිසිදුය. එමෙන්ම රෝගීන්ට ආහාර ලබා දුන්නේ බුෆේ ක්‍රමයටය. ඇති තරම් ආහාර බෙදා ගෙන කන්නටය. සියල්ල පිළිවෙලය. ආහාර ගන්නා ස්ථානය මෙන්ම ජනපෝෂ භුමිය ද මල් වවා හැඩකර ඇත. එය පුංචි පහේ රෙස්ටුරන්ට් එකක් වැනිය.
වහන්න එපා කියා ලියන්න
“මම බිස්නස් කළේ. නමුත් දියවැඩියා රෝගය නිසා කකුලේ තුවාලයක් ආවාට පස්සේ ඒ සියල්ල නතර වුණා. බෙහෙත් ගන්න ආවාම මම කෑම කාලා යන්න මෙතැනට එනවා. මේක වහපු එක හරි පාඩුවක්. පුළුවන්නම් පත්තරේ ලියන්න මේක වහන්න එපා කියලා. අසරණ මිනිස්සු විතරක් නෙමෙයි රෝහලට බෙහෙත් ගන්න ආව යමක් කමක් තියෙන අයත් බඩගිනි වෙලාවට මෙතැනට ඇවිල්ලා කුසගින්න නිවා ගත්තා.” වසා දමා තිබූ ජනපෝෂ මධ්‍යස්ථානයේ පුටුවක වාඩිවී ගිමන් හරිමින් සරත්සිරි පැවැසුවේය.
ජනපෝෂ වසා දමා ඇත. එහි ඇතුළුවන තැන ගේට්ටුවේ ඇත්තේ කෑමහල වසා දමා ඇති බව දැක්වෙන දැන්වීමකි. ඇතැමෙක් පැමිණ එය කියවා ආපසු හැරී යති. ඇතැමෙක් පැමිණ දැන්වීමත් කියවා, ඒ කියු දෑ සත්‍යමදැයි සැකහැර දැන ගැනීමට මෙන් ඇතුළට පැමිණ බලති. වෙනදාට බුෆේ දැමු මේස පුටු සියල්ල එක තැනක ගොඩ ගැසු ගමන්ය. පිඟන් කෝප්ප බඩු කාමරයක ගොඩ ගසා තිබිණි.
‘එව කව බොව ගිමන් හරින්න’, ඒ අපේ රටේ මිනිසුන් අනෙකාට සංග්‍රහශිලි වූ ආකාරයයි. නන්නාඳුන මිනිසුන්ට ලක්ෂ ගණනින් වියදම් කරමින් දිනපතා කුසගින්න නිවන්නට මඟ පෑදු ඔවුහු කිසිදිනෙක ජාති ආගම් බේද නොසැලකූහ. සියලු ජාතින් සහයෝගයෙන් සිටි මෙරට ජනතාව අතර බේද බින්නකම් ඇති කරන්නේ එක්තරා සුළු පිරිසකි. මෙවැනි ජනතා සුබ සිද්ධිය සැලසූ ආයතනයක් මේ හදිසියේම වසා දැමුණේ ඇයි? අපි ඒ කතාව ද සොයා බැලුවෙමු. රටේ එක්තරා දේශපාලනඥයකු ආවාට ගියාට පැවසූ කතාවක් එක්තරා මුද්‍රිත මාධ්‍යයක පළ කිරීම නිසා මෙවැනි දෙයක් සිදුවූ බව දැන ගැනීමට ලැබිණි. ඉන් හැමදාම මෙන් පහර වැදුණේ පොඩි මිනිසුන්ටමය.
කොළඹ අවටින් පමණක් නොව රටේ දුර බැහැර පළාත්වලින් එනම් යාපනය, මඩකලපුව, නුවරඑළිය, අනුරාධපුර පෙළොන්නරුව ගාල්ල හා මාතර ආදී පළාත්වලින් පැමිණි රෝගීන් ද ගෙදර යනවාක් මෙන් කුස ගින්න නිවා ගැනීමට පැමිණියේ ජනපෝෂ ආයතනයටය.
අජිත් ප්‍රියනත් වසර කිහිපයක් තිස්සේ මෙහි සේවය කළේය.
පත්තරේ තිබුණේ බොරු
“එක වැඩක් කියලා නැහැ. මෙතැන හැම දෙයක්ම වගේ කරනවා. මට පැවරිලා තිබුණ් ආරක්ෂාව බැලීම. ඒ වගේම මම මේ මිදුල ලස්සන කරනවා මල් හිටවලා. අපිට ආයතනයෙන් පඩි ගෙවනවා. හරි දුකයි දැන් මිනිස්සු ඇවිල්ලා හැරිලා යනකොට. රිය අනතුරකින් තුවාල වෙලා අවුරුද්දකට කිට්ටු වෙන්න දැඩි සත්කාරයේ ප්‍රතිකාර ගන්න දරුවෙක් ඉන්නවා. එයාගේ තාත්තා හැමදාම වගේ පුතා බලන්න එනවා. ඒ තාත්තා පුතා බලන්න ආවාම මෙහෙන් තමයි කෑම කන්නේ. ඒ වගේ තව කීදෙනක් මෙතැනට දවසකට යනවා එනවද? මේ වැඩෙන් අපිට රස්සාවත් නැති වුණා. අසරණ මිනිස්සුන්ට කෑම කන්නත් නැති වුණා. ” අජිත් පවසන්නේ දැනටත් එතැනට ඇවිත් හැරී යන මිනිසුන් පෙන්වමිනි.
ජනපෝෂ හි තේ සෑදිමේ කටයුත්ත කරනු ලැබුවේ හැත්තෑ හැවිරිදි මොහොමඩ් සිබ්ලි ය.
“මම තේත් හදනවා. හට්ටි මුට්ටිත් හෝදනවා. උදේ වැඩට එන්නේ හයහමාරට විතර. අටට තමයි කෑම දෙන්න පටන් ගන්නේ. මම දවසට තේ දෙසීයක් විතර හදනවා. මේ වැඩේ නිසා දැන් හැමදේම නතර වුණා.” සිබ්ලි පවසන්නේ දුකෙනි.
මහරගම පිළිකාරෝහල, කළුබෝවිල රෝහල සහ ජාතික රෝහල අසල ඇති ජනපෝෂ ආහාර සකස් කරනු ලැබුවේ මීතොටුමුල්ලේ ස්ථානයකය. මෙම ස්ථාන තුනේම සේවක සංඛ්‍යාව හතළිහක් පමණය. ජනපෝෂ හි වැඩ බලන මොහොමඩ් නසාර් අපහා පැවැසුවේ මෙවැනි කතාවකි.
දිනකට 1200ක් විතර කෑවා
“මේ ආයතනය ආරම්භ කළේ රෝහලට පැමිණෙන දුප්පත් මිනිස්සු වෙනුවෙන්. අවුරුදු හතක් තිස්සේ මෙය පවත්වගෙන යනවා. මේක පවත්වාගෙන යන මහත්මයා කැමති නැහැ ඔහු ගැන, ඔහුගේ නමක්වත් සඳහන් කරනවාට. උදේ කෑම වේල සහ පාන්, පරිප්පු, පොල් සම්බෝල, සමඟ කිරි තේ දුන්නා. . දවල් ආහාර වේලට බත්, පරිප්පු, මාළු, එළවළු, පපඩම් තියෙනවා. බත් දුන්නේ කීරි සම්බාවලින්. නිවාඩු දිනවල වැහුවේ ඒ දවස්වලට රෝගීන් එන්නේ නැති නිසා. ජාතික රෝහලේ බෙහෙත් ගන්න එන අය 600ක් විතර දවසකට මෙතනින් කෑම ගත්තා. පිළිකා රෝහලේ දවසට 300ක් හා කළුබෝවිල රෝහලේ දවසට 300 දෙනෙකු සඳහා කෑම ලබා දුන්නා.
පත්තරේ ප්‍රවෘත්තියක් පළවුණාට පස්සේ අපේ ප්‍රධානියා තීරණය කරලා තියෙනවා මේක තාවකාලිකව නතර කරන්න. ඒ ප්‍රවෘත්තියේ ඔක්කෝම තියෙන්නේ බොරු. අපි මේ කෑමවලට හරක් මස් ලබා දුන්නේ නැහැ. ඒ වගේ අපි කෑම පිටට ගෙනියන්න දුන්නේ නැත්තේ කවුරුහරි අපේ කෑම එළියට ගෙනිහිල්ලා මොනවා හරි දැම්මොත් හරි අපිව අහුවන නිසයි. අපි බොහෝම සද්භාවයෙන් මේ කෑම නොමිලේ දීම කළේ. මෙක වහපු දවසේ ඉඳලා මිනිස්සු පුරුද්දට ඇවිල්ලා යනවා. මම මුස්ලිම්. එත් මෙතන වැඩකරන අය ඔක්කෝම මුස්ලිම් නෙමෙයි. අනිත් එක තමයි කෑම කන්න හැම ජාතියෙම අය ආවා. අපිටත් හරිම කනගාටුයි මේක නතර වුණු එකට. අපි පිරිසිදුකමටයි මුල්තැන දුන්නේ. ජනපෝෂ ආයතනට 2018 වසරේ සුසේවාභිමානි සම්මානයත් ලැබුණා. ” නසාර් පවසන්නේ දැන් උද්ගව ඇති තත්වයයි.
කවුරුන් කුමක් කීවත් ජනතාව පෝෂණය කිරීම සහා ඇරඹි ජනපෝෂ දැන් වසා දමා ඇත. කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කරන කතාවක ප්‍රතිඵලය වූයේ පොඩි මිනිසුන්ගේ බඩට පහර වැදීමය.
ජනපෝෂ වැසුනේ ඇයිදැයි තොරතුරු සොයන්නට ගොස් එතැන රැඳී සිටි පැය කීපයේ එතැනට ආගිය අය බොහෝය. ඒ කිසිවකුත් එහි පැමිණියේ ජාතිබේද හෝ ආගම් බේද නොසොයාය. ඔවුන් පැමිණියේ කුසගින්න නිවා ගැනීමටය. දැන් ඔවුන් ආපසු හැරී යන්නේ අපේක්ෂා භංගත්වයෙනි. ඒපොඩි මිනිසුන්ගේ බත්පතට හෙනහුරා අටවා ඇත්තේ වගකීමකින් තොර මාධ්‍ය කලාවත් ආවාට ගියාට කටමැත දෙඩවූ දේශපාලඥයකුත්ය.
ඡායාරූප - ගයාන් පුෂ්පික