
(සිළුමිණ කර්තෘ සහ රැස දිනපතා පුවත්පතේ සමාරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවයෙන් වර්ෂ පූර්ණය වෙනුවෙනි.)
පොසොන් සඳ වෙනදා මෙන් බැබළුණේ මේ දිවයිනට සදහම් ආලෝකය ලබා දුන් උද්දාමය ද සමඟ ය. වෙනදා දැනෙන උද්දාමය, ඒ පොසොන් සඳේ එළියේ මෙවර අපට දැනුණේ නැත; පෙනුණේ ද නැත.
“මම හෙට මිහින්තලා ආලෝක පූජාවට යනවා. අපි සිකුරාදා හම්බ වෙමු.“
එසේ සමු දී ගිය ඔහු යළි ආවේ නැත. කිසිවක් තිර නොවන බව කෙතරම් පසක් වුවද ගිය අවුරුද්දෙන් පසු ලබන සෑම පොසොන් පෝ දිනකම ඔහු සිහි නොකර සිටිය නොහැකි ය. මාධ්‍ය දිවියේ හමුවූ නේක චරිත මැද අසහාය චරිතයක් වූ ඔහු අප හැර යන්නේ ගිය අවුරුද්දේ පොසොන් සඳ බැස යද්දී ය. මේ අසහාය තරුණ චරිතය චාමර ලක්ෂාන් කුමාරයි. පසුගිය වසරේ පොසොන් පොහෝ දින හදිසියේ රෝගාතුර වන ඔහු මෙලොව හැර ගොස් අදට (30) හරියට ම වසරකි.
වසර 90ක් ලබා ඇති සිළුමිණ ඉතිහාසයේ ලාබාළතම කර්තෘ ලෙසින් පත්වීමේ වාසනාව හිමිකර ගත් චාමර ලක්ෂාන් කුමාරට ඒ වාසනාව මත්තේ සිළුමිණට එළිය දෙන්නට ගත කළ හැකි වූයේ සති කිහිපයක් පමණි. ඔහු ඒ ධුරයේ මතු නොව අප අතර සජීවී ව නොරඳවන්නට තරම් සොබාදහම අකාරුණික විය.
ලක්බිම පුවත්පතෙන් තම මාධ්‍ය වෘත්තියට අවතීර්ණ වන චාමර ලක්ෂාන් මට මුලින් ම හමුවන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ තිබූ ප්රජාතන්ත්රවාදය පිළිබඳ වැඩමුළුවකදී ය. කොළඹ සරසවියෙන් උපාධිධරයකු ලෙස පිටවුණු චාමරට පත්තර ලෝකයෙන් හෝ දේශපාලන ලෝකයෙන් පිට ලෝකයක් ඇතැයි මා ද විශ්වාස කළේ නැත.
අපේ මිතුරු දම තීව්ර කළ භූමිය වනුයේ පුංචි බොරැල්ලේ රිවිර කාර්යාලයයි. චාමර ලක්ෂාන් කවුදැයි මා හරියට ම හඳුනා ගත්තේ එහිදී ය. රිවිර සමාරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් සෑම සඳුදාවක ම පැවැත්වෙන රැස්වීමේදී චාමර විශේෂාංග පිළිබඳ යෝජනා ගණනාවක් ගෙන එයි. ඔහුගේ අංක එකේ තේරීම දේශපාලනය වුව ද සමාජයීය විමර්ශන, ක්‍රීඩා, නව්‍ය ප්රවණතා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔහුගේ යෝජනා පරාසයෙහි තිබිණි.
ඔහු නිතර වෙනස් මාතෘකා ගැන කතා කළේය. වෙනසක් ඇති කළ හැකි විශේෂාංග ලීවේය. තම දේශපාලන මතය කවරක් වුව ද ඔහු සෑම පක්ෂයක ම ප්‍රධාන පෙළේ දේශපාලකයන් අතර ඉල්ලුමක් ඇති මාධ්‍යවේදියකු විය. සම්මුඛ සාකච්ඡාවකට එවනවා නම් චාමර එවන්නැයි ඔවුන් ඉල්ලුවේ එය නිසි වෘත්තීයභාවයකින් සිදු කරන බවට තිබූ විශ්වාසය නිසා ය. මේ වෘත්තීයභාවය ඔහු ලද්දේ හැදෑරීමෙනි; සතතාභ්යාසයෙනි. අද කිසිදු විමසීමක් හැදෑරීමක් නැතිව මාධ්‍යකරණයට පිවිස වීරයන් වෙන්නට අකුරු අමුණන තරුණයන්ට මිය යන විටත් සතළිස් විය නොඉක්මවූ මේ තරුණයා ආදර්ශයකි.
තමන් නියැළෙන පත්තර ලෝකය තුළ තම ලකුණ තිර කරන්නට නම් වෙනසක් අවැසි බව තදින්ම විශ්වාස කළ ඔහු, පුවත්පත් ලෝකය හැඩ කළේය.
තරුණ පුවත්පත් කලාවේදියකු ලෙස ඔහුට මේ වෙනස වෙනුවෙන් ස්වර්ණමය වරම් දෙකක් හිමි විය. එකක් මෙරට පුවත්පත් ගොන්නට අලුත් පුවත්පතක් එක් කිරීම ය. ඒ ලේක්හවුසිය විසින් පටන් ගත් රැස පුවත්පත ය. රැස පුවත්පත දැනට පළවන දිනපතා පුවත්පත් අතර වෙනස් පත්තරයක් වන්නේ චාමරගේ මේ ප්රයත්නය නිසා ය.
ඔහු ලද දෙවැනි වරම වන්නේ වසර අසූ අටක් මුළුල්ලේ මෙරට මාධ්‍ය අඹර එළිය කරන සිළුමිණ පුවත්පත ඔහු අතට පත්වීම ය; ඒ පත්වීම ද වෙනස් ය. ඒ එතෙක් සිළුමිණ කර්තෘත්වය දැරූ කතුවරුන් අතර ළාබාලතම කතුවරයා ලෙසින් ය. සිළුමිණ ද වෙනසක් සමඟ එළි දැක්වීම චාමරගේ අභිප්‍රාය විය.
ඔහු මේ වෙනසට සවිමත් පදනමක් දැම්මේ ය. සිළුමිණ මේ වෙනස සමඟ නවමු මානයකට පාඨකයන් ගෙන යමින් සිටී.
මතුගම කන්නන්ගරයෙන් තම මූලික සිප් කළ චාමර කොළඹ විශ්වවිද්‍යාලයයෙන් තම උසස් අධ්‍යාපනය නිමවා මාධ්‍ය ලෝකයට එක් වන්නේ, ඔහුට තවත් අවස්ථා ගණනාවක් තිබියදී ය. ඒ ඔහු තුළ මාධ්‍ය කලාව කෙරහි තිබූ නොතිත් ආශාව නිසා ය. ක්‍රීඩාව පිළිබඳ දැඩි ඇල්මක් සහිත මේ තරුණයා චාමර ලක්ෂාන් කුමාර ලෙස තම මාධ්‍ය ලකුණ තබන්නේ ලක්බිම පුවත්පතිනි.
එයින් පසුව දේශපාලනය, සමාජය ආර්ථිකය ඇතුළු සියලු ක්ෂේත්‍ර පිළිබඳ ව ඔහු තම පෑන හසුරුවන්නේ මුහුකුරා ගිය සහෘදයන්ට ද නොදෙවෙනි ලෙසිනි. ඔහුගේ මේ අසිමිත දක්ෂතාව හේතුවෙන් රිවිර පුවත්පත ආරම්භයේදී ම එහි දොර චාමර ලක්ෂාන් කුමාරට විවර වන්නේ ය. එයින් තවදුරටත් තම මාධ්‍ය පන්නරය ලද චාමර ඉරුදින පුවත්පතට සම්බන්ධ වන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ය. තම නිසඟ කුසලතාවත් සතතාභ්‍යාසයත් හරහා කුසලතා වඩා ගන්නා ඔහුට පත්තර මහගෙදර දොර ද විවර වෙයි. ඒ දිනමිණ පුවත්පතේ සම කර්තෘවරයකු ලෙස ය. එයින් පසු සිළුමිණ පුවත් පතේ ද සම කර්තෘවරයා ලෙසින් පත්වන චාමරට ලේක්හවුස් වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා තවත් අභියෝගයක් දෙන්නේ ය.
ඒ ආයතනය අලුතින් ම ආරම්භ කරන රැස පුවත්පතේ නායකත්වයයි. නොපැකිළ ව මේ අභියෝගය බාර ගත් චාමර එතැන් සිට කර්තෘවරයකු ලෙස තම ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ විශේෂයෙන්ම පාඨකයන් සතුටු වන පුවත්පතක් නිර්මාණය කිරීමෙනි.
එමෙන්ම සියලු දේශපාලන පක්ෂ සිවිල් සමාජය, ව්‍යාපාර ලෝකය ඇතුළු සෑම පරාසයක් තුළ ම තම සබඳතා ගොඩ නඟන චාමර එයින් තනිකරම අපේක්ෂා කළේ තමා හෝ තම පෞද්ගලික ජීවිතය බබළවන්නට නොව තම සේවය දෙන පුවත්පත් එළිය කිරීමට ය.
අද මේ රටේ පුවත්පත් කර්මාන්තය පමණක් නොව සමස්ත මාධ්‍ය කර්මාන්තයම අභියෝගාත්මක ය. සාම්ප්‍රදායික මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නුතන තාක්ෂණික ප්‍රවාහ මැද අනවරතව යන්නට නම් ඒ තුළට නිර්මාණශීලීත්වය ගොනු කිරීම අවශ්‍ය ම ය. ඒ සඳහා නිර්මාණශීලී නායකයන් අවශ්‍ය ය. ඒ සඳහා වඩාත් උචික වන්නේ මාධ්‍යයේ පරිචයක් සහිත තරුණ නායකයන් ය.
ඒ අනුව බලන කල චාමර ලක්ෂාන් කුමාර එවැනි පරිචයක් සහිත චරිතයකි. එහෙත් ඔහු මේ වනවිට අපට අහිමි ය.
ඔහුගේ දරුවාට, බිරියට, මා පියන්ට අහිමි ය; ඒ සොබා දහමේ හැටිය.
එය පවුලට පමණක් නොව මිතුරන් වන අපටත් සමස්ත මාධ්‍ය කර්මාන්තයටත් වේදනාබර ය. වසරක් ගෙවෙන මේ මොහොතේ මේ චාමර ලක්ෂාන් කුමාර නම් අපගේ සහෘදයාට මෙවන් අකල් මරණයකින් තොර භව ගමන කෙළවර අමා මහ නිවන් සුව පතමු.
චාමින්ද
චාමර වෙනුවෙන් කළ කැමිලා පාසලේ සත්කාරය
මංජුල සමරසේකර
කාර්යබහුල පරිසරයෙන් මිදි මොහොතකට අප සන්සුන් පරිසරයක නතර වීමු. එය අපේ දෑස්වලට කඳුළු නැංවූ හැඟුම්බර මොහොතකි. පුංචි දරුවන් අප දෙස බලා සිටින්නට වූයේ කෘතවේදීවය. සමාජයෙන් කොන්කරන්නේ නැතිව මේ දරුවන්ට ද ලොවක් ඇතැයි සිතන්ට අපට කියා දුන් අවස්ථාවකි ඒ. සිදු වන්නේ කුමක්ද , පැමිණියේ කවුරුන්ද ඇතැම් දරුවන් දන්නේ වත් නැත. ඇතැමෙකුට කාගේ හෝ ආධාරයක් ඕනෑමය. විශේෂ අවශ්‍යතා සහිත ඒ දරුවන් සමුහය සොයා ඉකුත් සිකුරාදා අප මත්තේගොඩ පිහිටි කැමිලා පාසලට ගියේ කෘතගුණ සිහි කිරීමේ පින්කමක් කිරීමේ අරමුණිනි.
ඒ මීට වසරකට පෙර අපෙන් වියෝ වූ ආදරණිය මාධ්‍ය සගයා සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ හා රැස පුවත්පතේ ආරම්භක කර්තෘ වු අභාවප්‍රාප්ත චාමර කුමාර ලක්ෂාන් මහතාගේ ගුණ සැමරුම් පින්කම සඳහාය.
විශේෂ අවශ්‍යතා සහිත මේ දරුවෝ මොහොතකට අප නෙත් තෙත් කළහ. සිත අතරමං කළහ. කාගේ හෝ උදව් අවැසි කැමිලා පාසලේ දරුවන්ගෙන් ඇතැමෙකුට මවුපියන් අහිමිය.
ඔටිසම් දරුවෝ හා සෙමෙන් මනස වර්ධනය වන දරුවන් අතර පුර්ණ ආබාධිත දරුවෝද වූහ. කෙසේ වෙතත් කැමිලා පාසලේ දරුවන්ට දිවා ආහාරය පිරිනැමීම හා ඔවුන්ට අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පිරිනැමීම මෙහිදි සිදු විය. සිංහ සමාජය විසින් ආරම්භ කරන ලද කැමිලා පාසලේ දරුවෝ පොත පත ඉගෙනුමට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට දක්ෂය. ඇතැමෙකු ගී ගැයීමට දක්ෂය. ඇතැමෙකු නර්තනයට දක්ෂය. ඔවුන් හා අප හමු වූ ඒ මොහොතේ දරුවෝ අප ඉදිරියේ ඔවුන්ගේ හැකියා ප්‍රදර්ශනය කළහ.
චාමර ලක්ෂාන් මහතා සිහි කරමින් පැවැති පින්කම සඳහා ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු පාලනාධිකාරියේ නියෝජිතයන්, රැස කර්තෘමණ්ඩලයේ සාමාජිකයෝද එම අවස්ථාවට සහභාගි වූහ.
එමෙන්ම අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් මහතාගේ මවුපියන් හා ඥාතීහුද එම අවස්ථාවට එක් වී සිටියහ.
ඡායාරූප සුදම් ගුණසිංහ