පෝරකයට ඉස්සර වෙන කුඩු ජාවාරම්කාරයන් කවුද? | Page 3 | සිළුමිණ

පෝරකයට ඉස්සර වෙන කුඩු ජාවාරම්කාරයන් කවුද?

මතට එරෙහිව නැගී සිට ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගත හැකි උපරිම පියවරත් දැන් ගෙන හමාරය. ඒ මරණීය දණ්ඩනය නියම වී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සිවු දෙනෙකු එල්ලා මරන්නට සිය අස්සන යෙදීමෙනි.

1976 වසරින් පසු මෙරට රාජ්‍ය පාලනය කළ කිසිදු රාජ්‍ය නායකයෙක් එල්ලුම් ගහට පණ දෙන්නට සිය අස්සන යෙදුවේ නැත. එබැවින් මරණිය දණ්ඩනය මෙරට ක්‍රියාත්මක වූයේ නාම මාත්‍රිකව පමණි. වසර 43 ක් තිස්සේ දුහුවිලි වැදෙමින් දිරා යමින් තිබුණු එල්ලුම් ගහට ජනාධිපතිවරයා පණ දෙන්නේ මත්කුඩු ජාවාරමට වරදකරුවන් වී මරණිය දණ්ඩනය ලැබූ පමණින් නොව, මරණීය දණ්ඩනය නියම වී සිටියදීත් බන්ධනාගාරය තුළ සිටිමින් ජංගම දුරකතන භාවිතා කරමින් තවදුරටත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නන්ට එරෙහිවය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කරන ආකාරයට අනුව මරණිය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් 1261 දෙනෙකි පමණ බන්ධනාගාරගත ව සිටිති. ඒ අයගෙන් වැඩි දෙනෙකු සිටින්නේ සිය දණ්ඩනයට අභියෝග කරමින් අභියාචනා ඉදිරිපත් කරය. සැබෑ ලෙසම මරණීය දණ්ඩනයට නියමවූවන් සේ සලකන්නේ අභියාචනාවලින්ද එම දඩුවමම තීන්දු වූ සිරකරුවන් පමණි. මෑතකදී නිකුත් වුණු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික වාර්තාවේ සදහන් සංඛ්‍යා දත්තයන්ට අනුව අභියාචනාවලින්ද තහවුරු වී මරණිය දණ්ඩනයට නියම වී සිටින්නන් ගණන 217 දෙනෙකි. ඒ අය අතර කාන්තාවන් 13 දෙනෙක්ද සිටින්නීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලට අනුව මරණිය දණ්ඩනයට නියම වී සිටින්නන්ගෙන් 86 දෙනෙකුම ඊට නියම වී සිටින්නේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙනි. ඒ අයගෙන් 12 දෙනෙක්ම විදේශිකයෝය. ඒ අය අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියානු සහ පාකිස්තානු ජාතිකයෝය. එම විදේශිකයන්ද මේ වන විට සිටින්නේ අභියාචනා ඉදිරිපත් කර බැවින් ඒ අය මරණීය දණ්ඩනයට ස්ථීර වශයෙන්ම නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව නැත. එසේම මත්කුඩු ජාවාරමට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූවන් 197 දෙනෙක්ද බන්ධනාගාරගතව සිටිති. ඒ අයගෙන්ද 95 දෙනෙක්ද විදේශිකයෝය.

බන්ධනාගාර සංඛ්‍යා දත්තයන්ට අනුව මරණිය දණ්ඩනයට ස්ථීර වශයෙන්ම නියම වී සිටින සමස්ත සිරකරුවන්ගෙන් 181 දෙනෙක් සිංහලයෝය. 28 දෙනෙක් දෙමළය. 08 දෙනෙක් මුස්ලිම්වරු ය.

ජාතිය මෙන්ම ආගම් පදනම්කරගෙන මරණීය දණ්ඩනයට නියමවූවන් වර්ග කෙරෙයි. ඒ අනුව මරණිය දණ්ඩනය නියම ව සිටින සිරකරුවන් 217 දෙනාගෙන් 164 දෙනෙක්ම බෞද්ධයෝය. 24 දෙනෙක් හින්දූන්ය. කතෝලිකයන් 21 දෙනෙකි. ඉස්ලාම්වරු සිටින්නේ 08 දෙනෙක් පමණි.

එසේ මරණීය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන්ගේ සිවිල් තත්ත්වය සොයා බැලීමේදී පෙනී යන්නේ 202 දෙදෙනෙකුම විවහාකයන් බවය. 14 දෙනෙක් අවිවාහකයන් වන අතර එක් අයෙක් සිටින්නේ නීතියෙන් වෙන්වය. එසේම මේ 217 දෙනාගෙන් 09 දෙනෙක් වැස්සකටවත් පාසල් නොගිය අය වෙති. 86 දෙනෙක් සිටින්නේ අටේ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූවෝය. සෙසු 122 දෙනා අටේ පන්තියට ඉහළ අධ්‍යාපනයක් ලැබූවෝය. ඒ අය අතර උපාධිධාරියෙක්ද සිටී. ඔහු මිනිස් ඝාතනයකට මරණීය දණ්ඩනය නියම වී සිටින පොලිස් නිලධාරියෙකි. මේ දිනවල ඔහු සූදානම් වන්නේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නටය. ඔහුගේ එම අභිප්‍රාය සාර්ථක වුවහොත් මරණීය දණ්ඩනය නියමව සිටියදී උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය ලැබූ ලෝකයේ පළමු සිරකරුවා වන්නේ ඔහුය.

බන්ධනාගාර සංඛ්‍යා දත්තයන්ට අනුව මරණිය දණ්ඩනයට නියම වී සිටින්නන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ කළුතර දිස්ත්‍රික්කයයි. එම ගණන 28කි. දෙවැනි තැන ගන්නනේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. එම ගණන 25 කි. කොළඹ දිස්ත්‍රික්කයට හිමිව ඇත්තේ තෙවැනි තැනය. එම ගණන 22 කි. මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් අතර මුලතිව්, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන්වල පදිංචි කිසිවෙකු නොමැතිවීමද විශේෂිතය. නුවරඑළිය, මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිටින්නේ එක් සිරකරුවෙකු බැගින් පමණි.

එසේ මරණිය දණ්ඩනය නියම සිටින සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් ගම්බද ජීවත්වූවෝය. 2018 වසරේ නිකුත් කළ බන්ධනාගාර සංඛ්‍යා දත්තයන්ට අනුව මරණිය දණ්ඩනයට නියමවූවන් අතර ගම්බද අය සිටින්නේ 163 දෙනෙක් පමණි. සෙසු 54 දෙනා නාගරිකව ජීවත්වූවෝය.

මේ අය අතර ගොවියෝ 24 දෙනෙක්ද, ධිවරයෝ 15 දෙනෙක්ද, ව්‍යාපාරිකයෝ 15 දෙනෙක්ද, පොලිසියේ 15 දෙනෙක්ද, ආදී වශයෙන් විවිධ වෘත්තීන්වල නිරතවූවෝ රැසක්ම සිටිති. ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින වැඩි දෙනෙක් මත්කුඩු ජාවාරම්කරුවෝය. ගොවියන්, ධීවරයන්, පොලිසියේ නිලධාරීන් ආදී සමාජයේ වෙනත් වෘත්තීන්වලනිරතවන්නන් වැඩි දෙනෙකු මරණිය දණ්ඩනයට නියම වී සිටින්නේ මිනිස් ඝාතන චෝදනාවලට වරදකරුවන් වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන්ගෙන් වැඩි දෙනෙක් නාගරික සමාජය නියෝජනය කරන්නෝය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහිවූවන් නොවීම විශේෂිතය. ඒ අය අතර සැබෑ ජාවාරම්කරුවන් සිටින්නේ අතළොස්සක් පමණි. වැඩි දෙනෙක් මරණීය දණ්ඩනයට නියම වී සිටින්නේ සැබෑ ඡාවාරම්කරුවන්ගේ අතකොලු බවට පත්වය. බන්ධනාගාර තොරතුරුවලට අනුව මරණිය දණ්ඩනයට නියමවී සිටින නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිටින්නේ වෙලේ සුදා, වෝඩ් ප්ලොස් සියාම්, මොහොමඩ් සුසෙයි, ඇතුළු කිහිප දෙනෙක් පමණි.

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු වන බව කියන පොට්ට නෞෆර් සහ දෙමටගොඩ චමින්ද මරණිය දණ්ඩනය නියම වී සිටින්නේ මිනිස් ඝාතන චෝදනාවන්ට වරදකරුවන් වෙමිනි. පොට්ට නෞෆර්ට මරණිය දණ්ඩනය නියම වී ඇත්තේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයටය. මරණිය දණ්ඩනයට එරෙහිව ඔහු අභියාචනාධිකරණයටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා කළත් ඒ කිසිදු අධිකරණයකින් ඔහුට සහනයක් නොවීය. ඒ අනුව ඔහු නම් දැන් මරණිය දණ්ඩනයට කැප වී හමාරය.

පාතාල කල්ලි නායකයෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාද පොලිසිය හඳුන්වන්නේ මහා පරිමාණයේ මත්කුඩු ජවාරම්කරුවෙකු ලෙසිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලට අනුව මරණීය දණ්ඩනයට නියම වී සිටියත් ඔහු බන්ධනාගාරයේ සිට මහා පරිමානයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවයි. පොලිස් තොරතුරු සදහන් කරන ආකාරයට අනුව ඔහු මෙරට සිටින අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. මේ ජාවාරම්කරු මරණිය දණ්ඩනයට නියම වන්නේ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයටය.

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සමඟ මරණීය දණ්ඩනයට නියම වී සිටින ඔහුද මරණීය දණ්ඩනයෙන් ගැලවෙන්නට අභියාචනයක් කළ ද තීන්දුවේ වෙනසක් නොවීය. එ බැවින් ඔහුද දැන් සිටින්නේ මරණීය දණ්ඩනයට කැප වීය. ඒ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සමඟිනි.

මෙරට මත්කුඩු ජාවාරමේ ඉහළින්ම සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන්නේ වෙලේ සුදාය. ප්‍රබල දේශපාලනඥයන් සහ පොලිසියේ ඉහළම නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැති ඔහු සිය මරණිය දණ්ඩනයට එරෙහිව මුල්ම අභියාචනය යොමු කරන්නේ අභියාචනාධිකරණයටය. මහාධිකරණයෙන් ඔහුට නියම කෙරුණු දඩුවම අභියාචනාධිකරණයෙන්ද මෑතකදී තහවුරු කළේය. ඒ අනුව මරණීය දණ්ඩනයෙන් ගැලවෙන්නට දැන් ඔහු පිහිට පතා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමිනි.

මොහොමඩ් සියම් හෙවත් වෝර්ඩ් ප්ලේස් සියාම්ද වෙලේ සුදා මෙන්ම මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. සියාම්ලා මත්කුඩු ජාවාරමේ අතපොත් තබන විට වෙලේ සුදාලා කොලු ගැටව්ය. එකල ඔහු ඇසුරු කළේ වෙලේ සුදා ඇසුරු කළ දේශපාලනඥයන්ට වඩා බලගතු දේශපාලනඥයෝය. 2003 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට සිය බිරියත් සමඟ හසු වන විට එවකට කැබිනට්ටුවේ සිටි වැඩි පිරිසක් ඔහුගේ ගජමිතුරෝය. කොළඹ හතේ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සියාම්ගේ මාලිගාවක් බදු නිවසට රිංගා නොමැති දේශපාලනඥයෙකු එවකට නොසිටි තරම්ය.

එකී දේශපාලනඥයන්ගේ පිහිටෙන් ජනපති පොදු සමාවකින් නිදහස ලබන්නටද ඔහු පසුගිය ආණ්ඩු සමයේදී සියාම් මාන බලා තිබිණි. එය ව්‍යාර්ථ වන්නේ ආණ්ඩු පෙරළිය හේතුවෙනි. සිය බිරියත් සමඟ මරණිය දණ්ඩනයෙන් ගැලවෙන්නට කළ ඒ පළමු උත්සාහය ව්‍යාර්ථ වීමත් සමග ඔහු දෙවැනි පියවර තබන්නේ අභියාචනාධිකරණය හරහාය. මරණිය දණ්ඩනයට එරෙහිව ඔහු ඉදිරිපත් කර ඇති අභියාචනය මේ වන විටත් ඇත්තේ විභාග වෙමිනි.

සියාම් මෙන්ම තවත් වැඩකරුවෙකු වන්නේ මොහොමඩ් සුසෙයිය. හෙරොයින් කිලෝ 02 යි ග්රෑම් 25 ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටුවී මරණිය දණ්ඩනයට නියම වී සිටින ඔහු බන්ධනාගාරයේ සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නට වූයේ මහා පරිමාණයෙනි. එසේ ඔහුට සම්බන්ධකම් ඇති හෙරොයින් කිලෝ 103 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අල්ලන්නේ පසුගිය වසරේදීය. මරණිය දණ්ඩනයට නියම වී සිටියදීත් මත්කුඩු ජාවාරමේ නිරත වන්නන්ට මරණීය දණ්ඩනය ලබාදෙන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයක් යොමු වන්නේ යැයි සඳහන් වන්නේ ඒත් එක්කමය.

සුසෙයිද මේ වන විට සිටින්නේ සිය මරණිය දණ්ඩනයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු අනාවරණය කරන්නේ සුසෙයි පමණක් නොව, මරණිය දණ්ඩනයට නියම වී සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් බහුතරයක්ම හිරේ හිටියත් ජාවාරම්වල නිරතව සිටින බවය. ලංකාවේ නමගිය නීතීඥවරුන්වට නඩු කටයුතු වලට මිලියන ගණනින් වියදම් කරන්නට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේද ඒ නිසා වෙන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලදාරීන්ගේ අදහසය.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ නම කියැවෙන්නන් අතර මොහොමඩ් සිද්ධික්ද සිටින්නේ ඉහළිනි. ඔහුද අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. පකිස්තානයේ සිට මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර අස්සේ සඟවා මෙරටට මත්කුඩු රැගෙන ආවේ සිද්ධික්ය. ඩුබායි රටේත් පාකිස්තානයේත් මාරුවෙන් මාරුවට සැඟ වී සිටි ඔහුව 2015 වසරේ ආණ්ඩු වෙනසත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙරටට කුදලාගෙන එන්නේ පාකිස්තානයේ සිටය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලට අනුව ඔහු මෙරටට හෙරොයින් තොග රැගෙනවිත් ඇත්තේ කිලෝ සිය ගණනනි.

එහෙත් ඔහුට එරෙහිව අධිකරණයේදී කිසිදු චෝදනාවක් සාක්ෂි සහිතව සනාථ කරන්නට නම් තවමත් පොලිසියට හැකියාවක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. මත්කුඩු නඩු කිහිපයකින්ම මේ වන විටත් ඔහු නිදහස ලබා ඇත්තේ එබැවිනි. ඒ අතර තවත් නඩු කිහිපයකට ඔහු සිටින්නේ ඇප ලබාය. එසේම වූවත් ඔහු තවදුරටත් බන්ධනාගාරගතව සිටින්නේ තවත් නඩු කිහිපයක් ඔහුට එරෙහිව විභාග වෙමින් ඇති බැවිනි. බන්ධනාගාරයේ සිටියත් ඔහු තවමත් කරන්නේ පකිස්තානයේ සිට මෙරටට හෙරොයින් තොග පිටින් ගෙන්වාගෙන බෙදා හැරීමය.

බන්ධනාගාර තොරතුරු සදහන් කරන ආකාරයට අනුව අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින වෙලේ සුදා, සියාම්, සුසෙයි ඇතුළු ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සිය මරණිය දණ්ඩනයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් එල්ලා මරණ මුල් කණ්ඩායමට ඔවුන් කිසිසේත්ම අයත් නොවනු ඇත. එල්ලා මරන්නට නියමිතව ඇත්තේද ඔවුන් හැරුණු කොට මරණ දඩුවම ස්ථිර ලෙසම නියම ව සිටින 217 දෙනා අතර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් සිවු දෙනෙකි. ඒ අය කවුරුන්දැයි ඉකුත් සිකුරාදා වන තුරුත් ජනාධිපති කාර්යාලයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ නැත. ඒ නිසාම මරණිය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන් සියල්ලක්ම පාහේ දැන් සිටින්නේ තූෂ්තිම්භූතවය. මෙතෙක් කිසිදා සිතට නොදැනුණ තරමේ මරණ බිය පවා ඔවුන්ට දැන් හොද හැටි දැනී හමාරය

Comments