රටේ ඇත්තන්ට රස හීන මවන රට කරවන තැන රාජ භෝජනය | Page 2 | සිළුමිණ

රටේ ඇත්තන්ට රස හීන මවන රට කරවන තැන රාජ භෝජනය

පාර්ලිමේන්තු දවසක මුළුතැන්ගෙයි 2750කට ඉවුම් පිහුම් කරනවා...

මුළුතැන්ගෙවල් දෙකයි... එකක හදන්නේ බටහිර ආහාර  අනිකේ පෙරදිග ආහාර...

කෑම සැකසීම කළින් දින ඇණවුම අනුවයි...

මුලින්ම සුප් කෝප්පයක්. ඉන්පස්සේ ඇක්ෂන් ටේබල් එකෙන් හොඳ රසවත් කෝසස් පිඟානක්. ඉන් පස්සේ ඇති තරමට කන්න බත් වර්ග, එළවළු මස්, මාළු පිනි, පලතුරු ඩෙසර්ට් වර්ග ඕනෑතරම්. මේ හැම වේලකටම වැය වෙන්නේ සුළු මුදලක් යැයි පැවසුවොත් ඔබ ඒ කොහේදැයි අපෙන් විමසීම් කරාවි. සුළු මුදලකට එවන් අපූරු ආහාර වේලක් භුක්ති විඳින්න කවුරුත් කැමතියි. ඒත් මෙතැන සුළුපටු අයට එහෙම කන්න යන්න ලෙහෙසි පහසු තැනක් ගැන නොවෙයි. මේ කතා කරන්නේ අපේ රට කරවන ප්‍රභූ ඇත්තන්ගේ අපූරු ආහාර වේල් හා එය පිළියෙල කෙරෙන අන්දම ගැනයි.

මේ ගැන පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණේ අහඹු සිදුවිමකින්. සිංහල අපේ ඇත්තන් කන්න දෙන දෙයක් ගැන දෙවරක් විමසීම් නොකරන, පුරාජේරු නොකියන ජාතියක් ලෙස ලොව ප්‍රසිද්ධය. ඒ හැදියාව සභ්‍යත්වයෙන්ම අප ලද දෙයකි. එහෙත් පසුගිය දිනක මන්ද පෝෂණයෙන් දරුවකු මිය යෑමේ කතාව කරළියට ආ අවස්ථාවේදි බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූයේ රට කරවන ඇත්තන්ගේ ආහාර වේල් පිළිබඳය. රට කරවන ඇත්තන් උදෙසා උයන පිහන දේ නිරපරාදේ කුණු බක්කියට යනවායැයි මතුවූ අදහස් ඔස්සේ අපිද ඒ ගැන සොයන්නට උනන්දු වීමු.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය වනාහි පාර්ලිමේන්තුවසේම ආරක්ෂිත කලාපයකි. මේ නිසා පාර්ලිමේන්තුවේ ආහාර වේල් මෙන්ම එහි ඉවුම් පිහුම් රටාව පමණක් නොව මෙසේ ආහාර අපතේ යනවායැයි බොහෝ දෙනා නඟන චෝදනාවන්හි සත්‍ය අසත්‍යතා සෙවීම පහසු කටයුතතක් නොවේ.

ඔහු අපට හමුවූයේ මේ තොරතුරු සොයා යන ගමනේදිය. පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වසර 42ක පමණ දිගු සේවා ඉතිහාසයක් ඇති ඔහු විශ්‍රාම යද්දී පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ආහාර පාන කළමණාකරු ලෙස කටයුතු කළ බන්දුල ප්‍රේමසිරි අබේසේකර මහතාය. හෙතෙම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ආහාර පාන පිළිබඳ බොහෝ අත්දැකීම් ඇත්තෙකි. පාර්ලිමේන්තුවේ ආහාර පාන කළමනාකාර තනතුරේ කටයුතු කළ දිගු කාලය මුළුල්ලේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව රාජ්‍ය නායකයන් ගණනාවකටම සියතින් සංග්‍රහ කර ඇති ඔහු සතුව රසබර පාර්ලිමේන්තු කතා බොහොමයකි. ඇතැම්විට කිසිවෙකුගෙන් හෝ අසන්නට නොලැබෙන තරම්ය.

අලාකාර්ට් හා මේන් කිචන්

“පාර්ලිමේන්තුවේ ආහාර පිළියෙල කරන ආකාරය වගේම ආහාර පිළිගැන්වීම පිළිබඳ තොරතුරු හරිම රසවත්. එදා පැරණි පාර්ලිමේන්තුවේ තිබුණේ එක් ආපන ශාලාවක් පමණයි. ඒ නිසා හැම දේම සිදුවුණේ සරල ආකාරයටයි. ඒත් 1982 අප්‍රේල් 29 දා පරණ පාර්ලිමේන්තුව දියවන්නාවට ගෙන ආවට පස්සේ මේ හැම කටයුත්තක්ම ගොඩාක් සංකීර්ණ වුණා කිව්වොත් නිවැරදියි. කෑම පිසීම පමණක් නෙමේ, පිසින කෑම ප්‍රමාණයේ පවා ලොකු වෙනස්කම් ගණනාවක් සිදුවුණා. සාමාන්‍ය පාර්ලිමේන්තු රැස්වීම් තිබෙන දවසක පාර්ලිමේන්තුවේ ප්‍රධාන මුළුතැන්ගෙහි 2750 කට පමණ ඉවුම් පිහුම් කටයුතු කරනවා. ඒත් අයවැය වැනි විශේෂ අවස්ථාවකදි ඒ ප්‍රමාණය 3750 ක් දක්වා ඉහළ නඟිනවා. තාමත් මේ ප්‍රමාණයේ ලොකු වෙනස්වීම් නැහැ කියලයි මම හිතන්නේ. පාර්ලිමේන්තුවට සියලුම ආහාර පාල සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන මුළුතැන්ගෙයින්. මුළු පාර්ලිමේන්තුවටම ආහාර පිසින ප්‍රධාන මුළුතැන්ගෙවල් දෙකම තියෙන්නේ පළමුවැනි මහලේ. ඉන් බටහිර ආහාර පාන සැකසෙන මුළුතැන්ගේ හැඳින්වෙන්නේ ‘අලාකාර්ට්’ලෙසින්.

මැති ඇමැතිවරුන්ට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන මස්, මාළුවලින් හදන කෑම, කෝසස් වගේම විවිධ සුප් ජාති, පේස්ට්‍රි, පැටිස් වගේ තේ පානය සඳහා සකසන සියල්ල සකස් කරන්නේ මේ අලාකාර්ට් එකේයි. ‘මේන් කිචන් ’එක තියෙන්නේත් අලාකාර්ට් එක සමඟයි. පාර්ලිමේන්තුවේ සියලුම පෙරදිග කෑම හදන්නේ මේන් කිචන්එකෙයි. 

දින හතරට වට්ටෝරු හතරක්

පාර්ලිමේන්තු සැසිවාර තියෙන දවස් හතරට සකසන කෑම වට්ටෝරුව දවසින් දවස වෙනස් වෙනවා. කිසිම කෑමක් කලින් හදා තියන්නේ නැහැ. හැමදේම උයන්න ගන්නේ එදින උදේටයි. එදිනෙදාට අවශ්‍ය කරන මස් මාළු එළවළු පහේ වර්ග සියල්ල මේන් කිචන් එකට ගන්නේ පාර්ලිමේන්තුවේ තියෙන ආහාර ගබඩාවෙන්. ඒ ගබඩවට අමු එළවළු, පලතුරු වගේ දේවල් සපයන්න පළපුරුදු සැපයුම්කරුවන් ඉන්නවා. ඒ අය දින දෙකෙන් දෙකට අලුත් එළවළු, පලතුරු ගබඩාවට ගෙනත් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ප්‍රධාන සූපවේදියාගේ අනුදැනුම මත තමයි, සියල්ල පිසීම ආරම්භ කරන්නේ. එදාට දෙන ආහාර වට්ටෝරුව හෙවත් මෙනුව තීරණය කරන්නේ ඔහු ඇතුළු කිහිප දෙනෙක්. දිනකට ඉවුම් පිහුම් කළ යුත්තේ කී දෙනෙකුටද යන්න පුරුද්දක් වශයෙන් කල් ඇතිව ලබා ගන්නවා. සමහර මැති ඇමැතිවරුන් තමන් මුණ ගැසීමට එන විශේෂ අමුත්තන් ගැන හා ඔවුන්ට සංග්‍රහ කළයුතු අන්දම ගැන කල්තියා දැනුම් දෙනවා.

එය ඔහු නිශ්චිතවම කලින් දැනුම් දිය යුතුමයි. ඒ විශේෂ ඇනැවුම්වලට අමතරව එදා දිනයේ විශේෂත්වය අනුව සිටින ප්‍රමාණය තීරණය කරන්න අපටත් අවබෝධයක් තියෙනවා. කාරක සභා, අයවැය විවාද පැවැත්වෙන අවස්ථාවලදි සිටින ප්‍රමාණය ගැන අපට පළපුරුද්ද අනුව අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් දෛනිකව ආහාර ගන්න නිලධාරීන් වගේම සේවක පිරිසුත් ඉන්නවා.

මේ සියල්ලත් සමඟයි අපි දිනයට උයන පිහන ප්‍රමාණය තීරණය කරන්නේ. කිසිම විටක අපතේ යන පරිදි ආහාර සකස් නොකළත් යම්යම් හේතු මත ආහාර අපතේ යන්න පුළුවන්. උදාහරණයක් ලෙස විශේෂ පිරිසකට කෑම ඇනැවුම් කළ මැති ඇමැතිවරුන්ගේ අමුත්තන් බලාපොරොත්තු වූ පරිදි එදින නොපැමිණියහොත් ඒ ආහාර යම් ප්‍රමාණයක් අහක යන්න පුළුවන්. ඒත් එහෙම අවස්ථා හරිම විරලයි. ආහාර අහක යන කතාව ගුණාත්මක බවින් තොර කතාවක්. ඒ දේ අදටත් ඒ ආකාරයෙන්ම වලංගුයි.” පෙර දිනයේ පාර්ලිමේන්තු මුළුතැන්ගෙයෙහි ආහාර කපා කොටා සකස් කළද ආහාර පිසීම ආරම්භ කරන්නේ එදින පෙරවරුවේ බව අබේසේකර මහතා පවසයි. ඒ රටේ ප්‍රභූ පිරිසකගේ ආහාර වේල් හා ආරක්ෂාව ගැන ඔවුන්ගේ වැඩි වගකීමක් ඇති නිසාය. හැලප, දොදොල්, කේක් වැනි තේ පැන් සංග්‍රහයට ලබාදෙන රසකැවිලි කිහිපයක් පමණක් කලින් දින පිසීම කළද අනිකුත් සියල්ල සැකසෙන්නේ අදාළ දිනයේය. එය ඔවුන් සතු වගකීම නොපිරි‍හෙලා ඉටු කිරීමකි.

පැරැණි ක්‍රමේටම සැකසෙන පහේ

“පාර්ලිමේන්තුවේ තුනපහ හැදෙන්නේ මිරිස් ගලේ, වංගෙඩියේ කොටමින් අඹරමින් පරණ විදිහටමයි. එදා පැරණි පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි ආහාරවල රසය, ගුණය උපරිමයෙන් තිබුණා. එදා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හිටියේ අඩු පිරිසක්. මන්ත්‍රීවරුන් පවා සැරින් සැරේ හිතුණු හිතුණු වෙලාවට කෑමට එන්නේ නැහැ. කෑමට එන්නේ නියමිත වෙලාවට විතරයි. ඒ නිසා වෙලාව එනකොට අපිත් හොඳ සූදානමින් හිටියා. අද වගේ නෙමේ , එදා පාර්ලිමේන්තු මුළුතැන්ගෙයෙහි දේශීය ආහාර වර්ග බොහෝමයක් හැදෙනවා. ඒ හැම දේම කරන්න ඉන්නේ සේවකයෝ 21 දෙනයි. කිසිම කෑමක් අද වගේම එදත්

කල්තියා උයන්නේ නැහැ. පෙර දවසේ කරන්නේ පසු දිනයට උයන හාල්වල වී ඇහිඳින එක, එලවළු කපන එක, මිරිස් ගලේ මිරිස් තුනපහේ අඹරන එක. එදා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙහි වංගෙඩි, ළිප්ගල්, ඇඹරුම් ගල් වගේ ගැමි මුළුතැන්ගෙයක තියෙන සියලු උපකරණ තිබුණා. පොල් සම්බෝලය හැමදාම හදන්නේ මිරිස් ගලේ අඹරලා. එහෙම කළේ උයන ආහාර වල රසය, ගුණය වැඩි කරන්න. එදා මුළුතැන්ගෙහි අද වගේම මැති ඇමැතිවරුන්ට බත් ජාති දෙක තුනක් හැදෙනවාමයි. රතු බත්, සුදු බත් වගේම එළවළු බතක් නිතරම හදනවා. අදත් එහෙමයි.

එදා සාමාන්‍යයෙන් දෛනිකව උයන පිහින එළවළු වර්ගවලට අමතරව සුවිශේෂී දේශීය කෑම කිහිපයකුත් හදනවා. ඒවාට මැති ඇමැතිවරුන් හරීම ප්‍රියයි. කිරි කොස් මාළුවක්, ගමේ කොළ සම්බෝලයක් අනිවාර්යයි. ඒ වගේම එදා ගොඩාක් මැති ඇමැතිවරු කෑමෙන් පස්සේ තැඹිලි වීදුරුවක් පානය කරන්න ඉල්ලනවා. මේ නිසා අපි තැඹිලි ගෙඩි 10-15 ක් ගෙනත් තියෙනවාමයි. ඒ වගේම එදා මැති ඇමැතිවරුන්ගේ ජනප්‍රිය පානයක් බෙලි බීම එක. කාරක සභාවක් හෝ වෙනත් රුස්වීමක් තිබුණොත් අපි දෙන්නෙම බෙලි බීම එක.”

අද ඒ සියල්ල කාලයාගේ ඇවෑමෙන් වෙනස්ව ඇත්තේය. උයන පිහන ප්‍රමාණයේ සිට ආහාර පානවලද රසය ගුණයද වෙනස්වය.

මන්ත්‍රී භෝජනාගාරය උණුසුම් වන හැටි

දහවල් 11.30 පමණ වෙද්දි පාර්ලිමේන්තුවේ මේන් කිචන් හා ඇලකාර්ට් හි කටයුතු තරමක් නිහඬ වන්නේය. ඉන් අනතුරුව ඇරඹෙන්නේ පාර්ලිමේන්තු ආපන ශාලාවල ආහාර පිළිගැන්වීමේ කටයුතුය. මන්ත්‍රිවරුන් කන බොන අයුරු පමණක් නොව ඔවුන්ගේ සිතුම් පැතුම් පවා විදහා දක්වන මන්ත්‍රී භෝජනාගාරය පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා කතා රැසක් අබේසේකර මහතාගේ මතක ගොන්නේ සැඟව ඇත්තේය.

“එදා එක භෝජනාගාරයක් පමණක් තිබුණු පරණ පාර්ලිමේන්තුවෙන් අලුත් පාර්ලිමේන්තුවට පැමිණි පසු අපේ දින චර්යාව ගොඩාක් වෙනස් වුණා. අලුත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර 6 ක් තිබුණා. ඒවා එකකට එකක් වෙනස්. ඒ වගේම අදටත් ඒවා එහෙමමයි. මේ භෝජනාගාර 6 න් අපේ අවධානය වැඩියෙන් යොමු වුණේ පළමුවැනි තටටුවේ ඇති මන්ත්‍රී භෝජනාගාරයට.

එදා තිබුණු තැනමයි අදටත් මේ භෝජනාගරය තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ භෝජනාගාරයට එන්නේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක මැති ඇමැතිවරුන් පමණයි. නමුත් පාර්ලිමේන්තුවේ සුවිශේෂි අවස්ථාවක් වන අයවැය දා දෙන තේ පැන් සංග්‍රහයේදි පමණක් හැම කෙනෙකුටම මේ භෝජනාගාරයේදි තේ පැන් සංග්‍රහයට එක් වෙන්න පුළුවන්. දවල්ට මේ භෝජනාගාරයේ ආහාර පිළිගන්වන්නේ බුෆේ ක්‍රමයට.

පෙරවරු 11.45 පමණ වන විට ප්‍රධාන සුපවේදියා සමඟ මේ සඳහා බලය පැවැරු කිහිප දෙනකු ආරක්ෂිතව ආහාර අරගෙන මේ භෝජනාගාරයට එනවා. මේ භෝජනාගාරයේ පමණක් ඇති විශේෂත්වය තමයි එහි ඇති ‘ඇක්ෂන් ටේබල්’එක. නොපිසූ එහෙත් බාගෙට පිළියෙල කළ, සීසන් කළ කෑමයි මේ මේසයේ තියෙන්නේ. තෝර මාළු පෙති, මස් පෙති වගේම එවැනි නොපිසූ ආහාර මැති ඇමැතිවරුන්ගේ ඉල්ලීම අනුව සකස් කර දෙනවා. මෙය පාර්ලිමේන්තුවේ වෙන කිසිම ආපන ශාලාවක දකින්න නැහැ.

මන්ත්‍රීවරයෙක් බීම වර්ගයක් ඉල්ලුවොත්, මාමයිට් එකක් ඉල්ලුවොත් හදා දෙන්නෙත් මේ ඇක්ෂන් ටේබල් එකෙන්මයි. සාමාන්‍යයෙන් බුෆේ එකට යන්න කලින් තමන් කැමැති විදියට බොන්න සුප් වර්ග දෙකක් තියලා තියෙනවා. මොලගතන්නි සුප්, ක්‍රීම් ඔෆ් ෆිෂ් සුප් එදත් හරිම ජනප්‍රියයි. ඕනෑම මන්ත්‍රීවරයෙකුට නිදහසේ ඇවිත් කාලා යන්න පුළුවන් විදියට තමයි මේ භෝජනාගාරයේ කෑම සකස් වන්නේ. කෑමෙන් පස්සේ කැමැති විදියට කන්න අයිස් ක්‍රිම්, පලතුරු වර්ග පවා කපලා තියෙනවා.

අය වෙන්නේ සුළු මුදලක්

මේ හැමදේම කෑමට ගත්තත් ඒ අයගෙන් අය වෙන්නේ සුළු මුදලක්. මට මතක ඇති කාලය වෙනකම්ම මේ සඳහා අයවුණේ රුපියල් 150 ක් පමණයි. එදා මන්ත්‍රී භෝජනාගාරයේදි මන්ත්‍රීවරයෙක් අමතර කෑමට දෙයක් ගත්තත් විශේෂ අයවිමක් කළේ නැහැ.” අබේසේකර මහතාට භෝජනාගාරයේ සියලු සිදුවීම් හොඳින් මතකය. කාලය වෙනස් වුවා හරෙන්නට අදද මෙහි බොහෝ කටයුතු සිදුවන්නේ පෙර පරිද්දෙන්ම බව ඔහු සිය මතකය අවදි කරමින් පවසන්නේය.

සවස ඇර­‍ෙඹන තේ පැන් සංග්‍රහය

“අපට දෙවැනියට වැදගත් වන්නේ මන්ත්‍රීවරුන්ගේ ආගන්තුක භෝජනාගාරයයි. මෙයත් වෙන්වෙලා තියෙන්නේ මන්ත්‍රීවරුන් සමඟ පැමිණෙන අමුත්තන් වෙනුවෙන්. එන අමුත්තන් සංකඛ්‍යාව අදාළ මන්ත්‍රීවරයා කල් ඇතිව දැනුම් දෙන්න ඕන. ඒත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ භෝජනාගාරයටත් අමුත්තන් ගේන්න බැහැ. ගේන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ අමුත්තන් පැමිණිය යුත්තේ අදාළ මන්ත්‍රිවරයා සමඟයි. සාමාන්‍යයෙන් ඉඩකඩ වෙන් වෙන්නේ 120-125 ක ප්‍රමාණයකට. ඒ එන හැමෝගෙම ආහාර වෙනුවෙන් සුළු මුදලක් අදාළ මන්ත්‍රීවරයාගේ වැටුපින් කැපෙනවා. මේ භෝජනාගාරයේ ආහාර ගන්න ලංකාවේ විශේෂ පුද්ගලයකුට අවසරය තියෙනවා. ඒ රජයේ විගණකාධිපතිවරයාට. මෙහි කෑම පිළිගැන්වීම මන්‍ත්‍රී භෝජනාගාරයේ වගේම බුෆේ ක්‍රමයට වුණත් මේකේ ඇක්ෂන් ටේබල් එකක් නැහැ. සුප් වර්ග දෙකක්, බුෆේ ක්‍රමයට බත්, මාළු පිණි හා අතුරුපස පිළිගැන්වෙනවා. සවස 2.30 වෙනකම් දවල් ආහාර දීලා ඉන්පසුව මෙහි සූදානම් වෙන්නේ සවස තේ පැන් සංග්‍රහයටයි.” සවස 4ට ඇරඹෙන තේ පැන් සංග්‍රහය පැවැත්වෙන්නේද ඒ ඒ භෝජනාගාරවලමය. නමුත් මන්ත්‍රීවරුන්ගේ

භෝජනාගාරයේ නම් මෙම තේ පැන් සංග්‍රහය ඉහළින්ම පැවැත්වෙන්නේය. සැන්විච්, විවිධ කේක් වර්ග, පැටිස් වැනි කෑම වර්ග 6-7 ක් සමඟ තේ, කෝපි ඔවුන් සභාව අවසන් වී කුමන මොහොතේ හෝ පැමිණෙන තෙක් ලබාදීම සිරිතකි. එය අදටත් එසේමය. මන්ත්‍රීවරයෙකුට උණුසුම්ව යමක් කෑමට අවශ්‍ය වුවහොත් මයික්‍රොවේව් උදුනකින් ආහාරය උණුසුම්කර දීමට ද මේ භෝජනාගාර සේවකයෝ යුහුසුළු වෙති. යම් හෙයකින් තේ පැන් සඳහා සකස් කළ අහරක් අවසන් වුවහොත් ඒ සඳහා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කිහිපයක් සමඟ චිස් කැල්ලක් හෝ නෑ බෑ නොකියා දෙන්නට මොවුහු කටයුතු කරති.

කෝසස් නම් බත් බෑ

“මේ භෝජනාගාර දෙකට අමතරව මන්ත්‍රීවරයාගේ වැඩිවන අමුත්තන් වෙනුවෙන් වගේම කමිටු සභාවලට හෝ පාර්ලිමේන්තු විවාදවලට පැමිණෙන නිලධාරීන්ට ආහාර ගන්න විශේෂ භෝජනාගාරයක් පළමු තට්ටුවේ තියෙනවා.

මෙකේ කෑම කෑවොත් යන බිලත් ගෙවන්න වෙන්නේ අදාළ මන්ත්‍රීවරයාටමයි. පළමුවැනි තට්ටුවේ විධායක භෝජනාගාරය වෙන්වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ අයට.

මේ භෝජනාගාරයේ ආහාර පිළිගන්වන්නේත් බුෆේ ක්‍රමයටයි. බත් වර්ග දෙකක්, මාළු, මස්, එළවළු වර්ග හතරක්, ඩෙසර්ට් වර්ග හතරක් පමණ සකස් වෙනවා. බත් කන්න අකමැති නම් ඒ වෙනුවට කෝසස් එකක් ඕඩර් කර ගන්න පුළුවන්. හැබැයි කෝසස් ගත් අයෙකුට බත් ගන්න තහනම්. ඒත් එදා කවුරු හරි එහෙම බෙදා ගත්තොත් අපි කිසිවක් නොකියා නොදැක්කා වගේ ඉන්නවා. බඩ ගින්නට බෙදා ගන්නකොට අපට එපා කියන්න බැහැ. මේවාට අමතරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට වෙනම භෝජනාගාරයකුත්, පාර්ලිමේන්තුව බලන්න පැමිණෙන මහජනතාවට මහජන භෝජනාගාරයකුත් තියෙනවා. පිටස්තර අයට වුණත් මේවායින් ආහාර ගන්න පුළුවන් වෙන්නේ කල් ඇතිව දැනුම් දීමෙනුයි.”

පාර්ලිමේන්තු භෝජනාගාරයේ එදාත්, අදත් කෑම පිසින්නේ කල් ඇතිව අදාළ ප්‍රමාණය දැන ගැනීමෙන් අනතුරුවය. ඒ නිසා කිසිදු කෑමක් නිරපරාදේ අපතේ යන්නේ නැතිබව අබේසේකර මහතා පවසයි. එසේවුවත් යම් හෙයකින් ඉතුරු වූ කෑම පාර්ලිමේන්තුවේ කිසිම සේවකයකුටවත් පිටතට රැගෙන යෑමට එදා ඉඩ දුන්නේ නැත. එදා එකක්ව තිබූ පාර්ලිමේන්තු භෝජනාගාර හයක් දක්වා වැඩිවෙද්දී එහි කටයුතු මෙහෙයවීම ද සිතන තරම් ලෙහෙසි පහසු වූයේද නැත. අද බුෆේ ක්‍රමයට ආහාර පිළි ගැන්වුවද එදා පැරණි පාර්ලිමේන්තුවේ මැති ඇමැතීන් හා ජනාධිපතිවරුන්ටත් ආහාර පිළිගැන්වීමේදි එවැනි බුෆේ ක්‍රමයක් තිබුණේ නැත. රටේ විධායක ජනාධිපතිවරයාට පවා එදා පැරැණි පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ ආහාර පිළිගැන්වූයේ මේසයට දීසිවලටය.

“එදා පාර්ලිමේන්තු ආපන ශාලාවේ බුෆේ ක්‍රමයක් තිබුණේ නැහැ. මැති ඇමැති කෙනෙක් එනවා දැක්කහම ඉක්මනට දුවලා ගිහින් දීසිවලට බෙදලා මේසයට කෑම ගේනවා. ඒ නිසා අහක යනවා අඩුයි. මේ හැම දේම කරන්න ඉන්නේ හතර දෙනෙකු වගේ සුළු පිරිසක්. ආහාර පාන දීසිවලට දාලා බන්දේසියක තියලා බෙදාගෙන යනවා. එදා දවසේ උයන විශේෂ කෑමක් ඒ කියන්නේ කිරිකොස් මාළුවත්, ගොටු කොළ සම්බොලයක්. පොළොස් මාළුවක් තිබුණොත් දීසියක දාලා එකෙනුත් ටිකක් ඒ අයගේ පිඟානටම බෙදනවා.

එහෙම කෑම බෙදලා අපි මේසයට සෑහෙන දුරකින් ඉන්නවා, ආයිත් අඬගහයි කියලා. ඒ අතර සමහරු තැඹිලි ටිකක්, බෙලි ටිකක් ඉල්ලනවා. එදා අද වගේ පිටරටින් ගේන පලතුරු මැති ඇමැතිවරුන්ට කෑමට දුන්නේ නැහැ. එදා අඹ, ගස්ලබු, අලිගැට පේර ඇති යහමින් තිබුණා. ඒවගේම පලතුරුවලින් හදන පුඩින් ජාතිත් කෑමට පිළිගැන්වුවා. නුවරඑළියේ හැදෙන රුබාබ් කියන වර්ගය කන්න මැති ඇමැතිවරුන් හරීම ආසයි. එදා හැමෝම ඒවා හරිම ආසාවෙන් කෑවා බිව්වා. අපි අතින් අත්වැරුද්දක් වුණත් කවුරුත් දොසක් කියන්න ගියේ නැහැ. එදා අපි උයපු ආහාරවල රස ගුණ බලන්න කොලිටි කන්ට්‍රෝලර් කෙනෙක්වත් හිටියේ නැහැ.” අබේසේකර මහතා උජාරුවෙන් පවසන්නේය.

එදා පාර්ලිමේන්තු මුළුතැන්ගෙය බොහෝ ගෞරවණීය ස්ථානයක් වූ බවද අබේසේකර මහතාගේ අදහසය. එකල ආහාර පිසීමේදි වගකීමට වඩා යුතුකම් විශිෂ්ට ලෙසින් සැලකීමට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය පුරුදුව සිටි බවද හෙතෙම පවසන්නේය. රටේ මහජන නියෝජිතයින් කුසගින්නේ නොතැබීමේ දැඩි වගකිමද ඒ අතර විය. එහෙත් ඔහු අවධාරණයෙන් පවසන්නේ සිය ජීවිතයේදි අරපිරිමැස්ස ඉගෙන ගත්තේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදී බවය.

(එදා පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිදුවු රසවත් සිදුවිම් ලබන සතියේ)

සේයාරූ - කැලුම් ලියනගේ

Comments